Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවට පැමිණි ලෝ ප්‍රකට වීදි සිත්තරා

සී215  හෙවත් ක්‍රිස්ටියන් ගේමි ලෝක වීදි චිත්‍ර කලාව ගැන උනන්දු වන අය අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමි පුද්ගලයෙක්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. තමන්ට හිමි අනන්‍යතාවයක් හිමි දැවැන්තයෙක්. ප්‍රංශ ජාතික  කලාකරුවෙක්. ඔහු මිනිසුන්ගෙන් පිරි පෙදෙස්වල පුංචි ග්‍රැෆිටි චිත්‍ර අඳින්නට ප්‍රිය කරන අයෙක්. ඒ චිත්‍ර කාලය සමඟ මැකී යා යුතුයි. මිනිසුන් අතර මුහුව යා යුතුයි. ක්‍රිස්ටියන් ගේමි එය දැඩිව විශ්වාස කරනවා. ඒ නිසාම මිනිසුන් පිරි පෙදෙස්වල, පුංචි වීදි නිවාසවල, බිත්තිවල ඔහු දැවැන්ත නොවන, පුංචි නොවන චිත්‍ර අඳිමින් ලෝකය පුරා ගමන් කරනවා. තමන්ගේ චිත්‍ර සංරක්ෂණය නොවිය යුතු බව ඔහු විශ්වාස කළත් ඔහුගේ චිත්‍ර ආරක්ෂා කරගන්නට ඒ චිත්‍රවල වටිනාකම දන්නා අය උපරිම කැපවෙනවා. ඔහු ගැන දන්නා අය අතර වුව ඔහු ලංකාවට පැමිණ ගිය බව නොදන්නා අය සිටිනවා විය හැකියි.

ගේමි ඇඳි සහෝදරයින් දෙදෙනෙක් (C215 Facebook Page)

ඉංග්‍රීසි පුවත්පත් කිහිපයක, යමු වෙබ් අඩවියේ, සහ රාවය පුවත්පතේ හැර ක්‍රිස්ටියන් ගේමිගේ ලංකාගමනය ගැන අපේ රටේ බොහෝ දෙනෙක් කතාබහ කලේ නැහැ. ප්‍රංශය වීදි චිත්‍රවලට විශාල ගෞරවයක් දක්වන රටක් වුණත් ලංකාව වීදි චිත්‍ර, වීදි නාට්‍ය වැනි වීදියේ කලාවන් ගැන ඒ තරම් උනන්දුවක් හෝ ගෞරවයක් දක්වන්නේ නැති බව බොහෝ දෙනෙකුගේ අත්දැකීමක්.

ක්‍රිස්ටියන් ගේමි

C215 යන සංකේත නාමයෙන් තමන්ව හඳුන්වාගන්නා ක්‍රිස්ටියන් ගේමි පෙර කී ලෙස ලෝ පුරා ජනප්‍රිය වීදි චිත්‍ර ශිල්පියෙක්. ඔහුව “බැන්ස්කි සඳහා ප්‍රංශයේ පිළිතුර” ලෙසත් විචාරකයන් විසින් හඳුන්වනවා. බැන්ස්කි කියන්නේත් එංගලන්තයේ උපන් ජනප්‍රිය ග්‍රැෆිටි කලාකරුවෙක්.

වීදි චිත්‍ර සඳහා ස්ටෙන්සිල් මාධ්‍යය පාවිච්චි කරන ඔහු ජනප්‍රිය වී ඇත්තේත් ස්ටෙන්සිල් චිත්‍ර වලිනුයි. ඔහු වසර ගණනාවක් චිත්‍ර ඇඳ ඇතත් ස්ටෙන්සිල් මාධ්‍යයට යොමුවුණේ 2006 සිටයි. බෝඩ් එකක් මත තමන්ට අවශ්‍ය චිත්‍රයේ මූලික හැඩය කපාගෙන එය මත වර්ණ තවරා චිත්‍ර ඇඳීමයි ඔහුගෙ කලාව. බොහෝ වීදි කලාකරුවන් මෙන් ඔහුත් වර්ණ ගන්වන්නට වෛවර්ණ ස්ප්‍රේ ගන් පාවිච්චි කරනවා.

වෝක්ෂෝල් වීදියේ ඇති චිත්‍රයක්

ඔහු මිනිසුන්ගේ සැබෑ ප්‍රමාණයෙන්ම චිත්‍ර අඳින්නට ප්‍රිය කරනවා. බොහෝවිට ලොව ජනප්‍රිය වීදි චිත්‍රකරුවන් බිත්ති පුරාවට චිත්‍ර අඳින්නට ප්‍රිය කරන අවස්ථා තියෙනවා. ඔවුන් දින ගණන් එක චිත්‍රයක වැඩකටයුතු කරනවා. එහෙත් ගේමි එසේ කරන්නේ නැහැ. එපමණක් නෙවෙයි, ඔහු බොහෝවිට ජනප්‍රිය චිත්‍ර අඳින්නේ ද නැහැ.

‘මම ඒ තරම් ජනප්‍රිය සංස්කෘතියේ රූප හෝ මුහුණු ගැන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒ වෙනුවට සාමාන්‍ය මිනිසෙකුගේ මුහුණක් අයිකන් එකක් බවට පත්වීම ගැන මම විශ්වාස කරනවා. මම වැඩ කරන්නේ දේශපාලන අදහසක් එක්ක කියලා මට කියන්න බැහැ. මම දේශපාලනික කෙනෙක් නෙවෙයි’, ගේමි එසේ කියනවා.

මිනිස්සු පාරේ යනකොට මගේ චිත්‍රය බලන්නට කැමතියි නම් බලාවි. නැත්නම් ඒ නිර්මාණය ගණන් ගන්නේ නැතිව එය පහුකරගෙන යාවි. ඒ නිදහස ඔවුන්ට දෙන්නයි මම චිත්‍ර දැවැන්ත ඒවා ලෙස අඳින්නෙ නැත්තේ’, ඔහු වැඩිදුරටත් කියන්නේ එහෙම.

සිය ජීවිතය තුළ අසීරු අත්දැකීම් වලටත් ඔහු මුහුණ දී තියෙනවා. ඔහුගේ මවට අවුරුදු 12 දී ඔහු ඇයට දාව ඉපිද තියෙනවා. ඒ 1973 දී. ඇය වයස අවුරුදු 18 දී සියදිවි නසාගත් බව ගේමි කියනවා. ‘ඇයත් මම වගේම අඳිමින් සහ දුම් උරමින් කාලය ගත කළා’, ගේමි එසේ කියනවා. එය ඔහුගේ කලා ශෛලිය හැඩගස්වන්නට හේතුවක් වෙන්නට ඇති. තමන්ගේ දියණිය ද ඔහුගේ කලාවට බලපෑම් කර ඇති බව ඔහු කියනවා.

හික්කඩුවේ චිත්‍රයක් ( C215 Facebook Page )

මාවතේ සිටින පුද්ගලයන්, වැඩිහිටියන්, පෙම්වතුන්, පූසන්, අනාථයින්, ශ්‍රමිකයන්ව තමන්ගේ චිත්‍රවලට තේමා ලෙස තෝරාගන්නට ඔහු ප්‍රිය කරනවා. අනෙක් අතට ඔහු යම් බිමකට ගොඩබැස්සාට පසුව ඒ පොළොවෙන්ම තෝරාගත් චරිතම චිත්‍රවලට තේමා ලෙස තෝරාගන්නවා. උදාහරණයක් ලෙස ඔහු ලංකාවේ ඇඳ ඇති චිත්‍රවල සිටින්නේ ලංකාවේ දී ඔහු දුටු චරිතමයි. යම් චිත්‍රයක් ඒ ප්‍රදේශයටම අයිති කොටසක් ලෙස තබන්නට ඔහු කැමතියි. බොහෝවිට ඔහු ඡායාරූප ගෙන ඒවා ස්ටෙන්සිල් චිත්‍ර බවට පත්කරනවා.

නව දිල්ලිය, ලන්ඩන්, ස්තාන්බුල්, ෆෙස්, රෝමය, පැරිස් වැනි නගර සහ බ්‍රසීල්, පෝලන්තය, ඊශ්‍රායල්, මොරොක්කෝ වැනි රටවල්වල ඔහුගේ වීදි චිත්‍ර චාරිකාව ගමන් කරලා තියෙනවා.

ලංකාගමනය

සී215 ගේ ගමනේ එක් ගමනාන්තයක් වුණේ ලංකාව. 2014 සැප්තැම්බරයේ ලංකාවට පැමිණි ඔහු ඩෝසන් වීදිය, වෝක්ෂෝල් වීදිය, මැලේ වීදිය, කොම්පඤ්ඥ වීදිය ඇතුළු ප්‍රදේශ කිහිපය චිත්‍ර ඇඳ තියෙනවා. වසර දෙකකට පෙර අප ඒ වීදිවල ඇවිද ගියේ චිත්‍ර දැකබලාගන්නටයි. ඒ පෙදෙස්වල ත්‍රීවිල් රියදුරු සොහොයුරන් අපට ඒ චිත්‍ර සොයාගන්නට උදව් වුණා. එකල තිබුණු චිත්‍ර අතරිනුත් බොහොමයක් මේ වනවිට විනාශ වෙමින් පවතිනවා.

සී215 ෆේස්බුක් පිටුවට අනුව ඔහු හික්කඩුවේ ද චිත්‍රයක් ඇඳ තියෙනවා. තවත් පෙදෙස්වල ගේමි චිත්‍ර ඇඳ තිබෙනවා විය හැකියි.

කාංචනාගේ නිවසේ තිබුණු චිත්‍රය (C215 Facebook Page)

කෙසේ නමුත් ඒ චිත්‍රවලින් බොහොමයක් මේ වෙද්දී විනාශ වී හමාරයි. අප සමඟ වසර දෙකකට පෙර කතාබහ කළ කාංචනා මහත්මිය තමන්ගේ නිවසේ තිබුණු චිත්‍රය මතින් තීන්ත ආලේප කර ඇත්තේ ඒ චිත්‍රයේ වටිනාකම නොදැන යි. ත්‍රීවීලයක තිබුණු චිත්‍රයක් ත්‍රීවීලරයේ ටෙන්ට් එක මාරු කිරීමත් සමඟ විනාශ වී ගිහින්. මැලේ වීදියේ කෝවිල ඉදිරිපිට චිත්‍රයක දේශපාලඥයෙක් විසින් පෝස්ටර් අලවා තිබුණා. බිත්තිවල තිබුණු චිත්‍ර කිහිපයක්ම නොපෙනෙන තරම් දුර්වර්ණ වී ගිහින්. මේ වෙද්දී හොඳින්ම පෙනෙන චිත්‍රය තමයි නවා සිනමාහලේ ඇති පූසෙකුගේ චිත්‍රය. නව සිනමාහලේ හිමිකරු නවරත්නම් මහතා පවසන අන්දමට නව සිනමාහල ළඟදී කඩා බිඳ දමන්නට නියමිත යි. ඒ වෙද්දී ඒ පූසාත් නැතිවේවි.

ලංකාවේ චිත්‍ර එසේ කාලයේ වැලිතලාවෙන් යටවෙමින් පැවතියත් ඔබට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වැනි වෙබ් අඩවි හරහා ක්‍රිස්ටියන් ගේමිගේ නිර්මාණ දැකබලාගත හැකියි.

ලාංකේය ප්‍රේක්ෂකයන් සමඟ චිත්‍රයක් අඳිමින් (C215 Facebook Page)

Cover –  Wikimedia

Related Articles