Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා විනාශයක් අත ළග ද?

සංකිර්ණ ජාත්‍යන්තර පර්යාය තුළ කිසිදු රාජ්‍යයකට තනිව පැවැත්මක් නැත. එක් රාජ්‍යයක චර්යාව, අනෙක් රාජ්‍යයන්ට ද සෘජුව හා වක්‍රව බලපානු ලබයි. පසුගිය දිනවල ඉන්දියාව හා පාකිස්තානය අතර කාශ්මීරය මුල් කරගනිමින් ගැටුම්කාරී වාතාවරණයක් උද්ගත විය. වර්තමානය වන විට එම මතභේදකාරී තත්ත්වය යම් පමණකින් සමනය වී පැවතුණ ද, එමඟින් ගැටුම අවසන් වූවායැ යි පැවසිය නොහැකි ය. මේ ගැටුමේ ඇති බරපතලකම වන්නේ ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද න්‍යෂ්ටික බලවතුන් වීම යි. යම් ලෙසකින් මේ දෙපාර්ශවය අතර ගැටුමක් උද්ගත වුවහොත් න්‍යෂ්ටික ප්‍රහාරයකට යෑමේ ඉතා ඉහළ හැකියාවක් පවතී. ඉන්දියාවට ඉතා ආසන්න රාජ්‍යයක් ලෙස එහි බලපෑම සෘජුවම ශ්‍රී ලංකාවට ද අත්විඳින්නට සිදුවනු ඇත. ඒ නිසාම න්‍යෂ්ටික ප්‍රහාරයකින් විය හැකි බලපෑම පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වන අප ද අවබෝධයෙන් සිටිය යුතු කාලය එළඹ ඇත.

න්‍යෂ්ටික තාක්ෂණය සොයාගැනීම

න්‍යෂ්ටික බලය ලොවට හඳුන්වා දුන්නේ ඇල්බට් අයින්ස්ටයින් විසිනි. ඒ E = mc2 සූත්‍රය ආශ්‍රයෙනි. එම සූත්‍රය භාවිතා කරමින් ඇමරිකාව පළමුවරට න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකළහ. ඉන් අනතුරුව, සෝවියට් දේශය ද න්‍යෂ්ටික බලය අත්පත් කරගැනීම වෙත අවධානය යොමු කළහ. ඒ අනුව වරින් වර ඇමෙරිකාව සහ සෝවියට් රුසියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකළහ. ඒවා ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව වර්ධනය විය. පසුකාලීනව බිතාන්‍ය, ප්‍රංශය වැනි ලෝක බලවතුන් ද න්‍යෂ්ටික බලය අත්පත් කරගත්හ. වර්තමානය වන විට රාජ්‍ය නමයක් සතුව න්‍යෂ්ටික අවි ආයුධ පවතී.

න්‍යෂ්ටික අවිආයුධ කොපමණ නිෂ්පාදනය කළත්, න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කළේ ඉතිහාසයේ එකම අවස්ථාවක දී පමණි. ඒ 1945 ජපානයේ හිරෝෂිමා හා නාගසාකි වෙත එල්ල කරන ලද ප්‍රහාරය යි. ඉන් අනතුරුව, මේ තාක් කිසිදු න්‍යෂ්ටික ප්‍රහාරයක් සිදුකර නොමැත. හිරෝෂිමා හා නාගසාකි අතිබිහිසුණු විනාශය  දුටු ඇල්බට් අයින්ස්ටයින් ප්‍රකාශ කළේ, මෙවැනි විනාශයක් තමාට පුරෝකතනය කරගත හැකි වූවා නම් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවන්නට කිසි ලෙසකින් කටයුතු නොකරන බව යි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, හතරවෙනි ලෝක යුද්ධයක් ඇති වුවහොත් එය අනිවාර්යයෙන්ම මිනිසා විසින් දඬුමුගුරු ආදියෙන් සිදුකරන බව යි. එමඟින් ඔහු අදහස් කරනු ලැබුවේ තුන්වැනි ලෝක යුද්ධය අනිවාර්යෙන්ම න්‍යෂ්ටික යුද්ධයක් වන බව යි. න්‍යෂ්ටික ප්‍රහාරයක බලපෑම පුරෝකතනය කළ නොහැකි තරම් බලවත් ය. එය මානවයාට, පරිසරයට දීර්ඝකාලීන සහ කෙටිකාලීනව බිහිසුණු ප්‍රතිවිපාක අත්පත් කර දෙයි.

න්‍යෂ්ටික ප්‍රහාරයක බලය

න්‍යෂ්ටික පිපිරීමක් සාම්ප්‍රදායික බෝම්බ පිපිරීමකින් වෙනස් වන්නේ එය සාමාන්‍ය ප්‍රහාරයකට වඩා දහස් සංඛ්‍යාත (ඇතැම් විට මිලියන සංඛ්‍යාත) ශක්තියක් හා බලයක් අන්තර්ගත වන නිසාවෙනි. දෙවර්ගයෙම  ප්‍රහාර රඳා පවතින්නේ පිපිරීමේ හෝ කම්පනය තරංගවල විනාශකාරී බලපෑම මත ය. පිපිරීමක දී ඇති වන උෂ්ණත්වය සාම්ප්‍රදායික පිපිරීමකට වඩා අතිශයින්ම බලවත් ය. පිපිරීමක දී නිකුත් වන ශක්තිය ආලෝකය හා තාපය ස්වරූපයෙන් විමෝචනය වේ. එම ශක්තිය පිළිස්සුම් තුවාල ඇති කිරීමට මෙන්ම ගිනි කුණාටු ඇති කිරීමට තරම් ද බලවත් ය.

න්‍යෂ්ටික අවියක ශක්තියෙන් 85%ක් පමණ කම්පන හා තාප ශක්තිය ජනනය කරයි. ඉතිරි 15%ක න්‍යෂ්ටික  විකිරණ ලෙස මුදා හරී. ඉන් 5%ක් ආරම්භක න්‍යෂ්ටික විකිරණවලින් සමන්විත ය. පිපිරීම සිදු වී මිනිත්තුවක් හෝ ඊට ආසන්න කාලයක් තුළ දී නිකුත් වේ. එය ගැමා කිරණ හෝ නියුට්‍රෝන නමින් හඳුන්වයි. ඉතිරි 10% යම් කාල පරාසයක් තුළ දී විමෝචනය වන අවශේෂ න්‍යෂ්ටික විකිරණ වේ.  

Yield යනු න්‍යෂ්ටික අවියක ශක්තිය ගණනය කරන ආකාරය යි.

  • කිලෝටොන් 1ක න්‍යෂ්ටික අවියක කිලෝටොන් 1ක TNT බලයක් පවතී.
  • මෙගාටොන් 1ක අවියක මෙගාටොන් 1ක TNT බලයක් පවතී.
  • මෙගාටොන් 1ක බෝම්බයකින් වර්ග සැතපුම් 800ක් විනාශ කරයි.

න්‍යෂ්ටික පිපිරුමක බලය රඳා පවතින්නේ පුපුරා යන උස අනුව යි. න්‍යෂ්ටික අවියක් පෘථිවි පෘෂ්ඨය මත හෝ ඊට ආසන්නයෙන් පිපිරී ගියහොත් විශාල ආවාටයක් ඇති කරයි. වාතය, ඉහළ උන්නතාංශය, දිය යට, භූගත සහ මතුපිට පිපිරීම් ලෙස පිපිරිම් වර්ග කිහිපයක් හඳුනාගත හැකිය.

පිපිරිමක බලපෑම

පිපිරීමක දී සිදුවන්නේ කම්පන තරංග හරහා වායු පීඩනය වෙනස් වී හදිසි සුළං තත්ත්වයක් නිර්මාණය වීම යි. න්‍යෂ්ටික පිපිරීමත් සමග තත්පර භාගයක් වැනි ඉතා සුළු කාලයක් තුළ ගිනි බෝලයක් නිර්මාණය වේ. එහි දී ඇති වන උෂ්ණත්වය අධිපීඩන තරංගයක් ලෙස වර්ධනය වී පිටතට ගමන් කරයි. එම කම්පනය සුළං ධාරාවක් නිර්මාණය කරනු ලබයි. එය වස්තූන් වෙත ගතික පීඩනයක් ඇති කරයි. ඒ අනුව එම අධි පීඩනය හානිවලට ප්‍රධාන හේතුව වේ.

අධි පීඩනය

ප්‍රහාරයේ බලපෑම මනිනු ලබන්නේ අධි පීඩනය පරිමාව (psi) මත යි.

  • අධි පීඩන පරිමාව එකක් නම් වීදුරු ජනෙල් ආදිය කැඩී බිඳී යයි.
  • අධිපීඩන පරිමාව තුනක් වන විට නිවාස කඩා වැටීමට ලක් වේ.
  • අධිපීඩන පරිමාව දහයක් වන විට කොන්ක්‍රීට් ගොඩනැගිලිවලට හානි වෙයි.
  • පරිමාව විස්සක් වන විට ඉතා ශක්තිමත් කොන්ක්‍රීට් ගොඩනැගිලි කඩා වැටේ.

අධි පීඩන පරිමාව සමග සුළං ධාරාවක් ඇති වෙයි.

මිනිසුන්ට මාරාන්තික හානියක් සිදුවීමට නම් 40psiවලට වැඩි පීඩනයක් අවශ්‍ය වේ.

විකිරණ නිකුත් වීම

න්‍යෂ්ටික පිපිරීමකින් ලැබෙන ශක්තියෙන් සියයට 35ක් පමණ තාප විකිරණ වේ. එය හිරුගේ අභ්‍යන්තර උෂ්ණත්වයට සම වේ.

ගිනි බෝලය

පිපිරීමෙන් තත්පරෙන් මිලියනයකටත් අඩු කාලයක් තුළ දී ගිනි බෝලයක් නිර්මාණය වේ. ගිනි බෝලයේ මඟින් අවට වාතය දවාල යි. ඒ අනුව එය සුළං බැලුනයක් මෙන් ක්‍රමයෙන් ඉහළ නගී. ඒ තත්පරේට අඩි 250ක් 350ත් අතර වේගයෙනි. විනාඩියකින් පමණ පසුව ගිනි බෝලය ක්‍රමයෙන් සිසිල් වන්නට පටන් ගනී. තවදුරටත් ඒ හරහා විකිරණ විමෝචනය නොකරයි.

බිම්මල් වලාකුළ

ගිනි බෝලය සිසිල් වන විට එහි වාෂ්ප ඝනීභවනය වී වලාකුළක් නිර්මාණය වේ. මෙහි නයිට්‍රජන් අම්ලය හා  නයිට්‍රජන් ඔක්සයිඩ් තිබීම නිසා වලාකුළ මුල දී රතු පැහැයට හුරු දුඹුරු පැහැයකින් දිස්වේ. පසුව, එය ක්‍රමයෙන් සුදු පැහැයට හැරේ. මේ වලාකුළ තුළ ඇදගන්නා ලද සුන්බුන් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පැවතිය හැකිය. මිනිත්තු දහයකට පමණ පසු එහි උපරිම උස වාර්තා වාර්තා කරයි. ඉන්පසු එය තව දුරටත් ඉහළ නොයයි.

ගිනි කුණාටු

න්‍යෂ්ටික පිපිරීමක දී විශාල තාප ශක්තියක් මුදාහරී. එය ගිනි කුණාටු මඟින් විමෝචනය වේ. කුණාටුවක් හටගැනීමට නම් සැතපුම් අටක පමණ සුළං වේගයක් පැවතිය යුතු ය. එහි බලපැමට ලක්වෙන ප්‍රදේශය අවම වශයෙන් සැතපුම් භාගයක් පමණ වේ.

හිරෝෂිමාවේ ඇති වූ ගිනි කුණාටුවෙන් වර්ග සැතපුම් 4.4ක් විනාශ විය. නමුත් නගසාකිවල ගිනි කුණාටුවක් ඇති නොවීය. එයට හේතු වූයේ භූවිෂමතාවය පැවැති විවිධත්වය යි.  

ගිනි කුණාටු සාම්ප්‍රදායික බෝම්බ ප්‍රහාරවල දී ද ඇති විය හැකිය. දෙවන ලෝක යුද්ධ සමයේ ටෝකියෝ වැනි නගරවල ගිනි කුණාටු ඇති වී තිබේ.

මිනිස්සුන්ට ඇතිවිය හැකි බලපෑම

විකිරණවලට නිරාවරණය වීමෙන් සම පිලිස්සී යා හැකිය. මෙය flash පිලිස්සුම් නමින් හඳුන්වයි. මෙහි දී තුවාල ඇති වන්නේ පුද්ගලයන්ගේ සම, විකිරණ ශක්තිය අවශෝෂණය කර ගැනීමෙනි.

මේ මෙගාටොන් 1ක පිපිරීමක් තුළ දී;

සැතපුම් හතක් දුරින් සිටින පුද්ගලයන්ගේ පිලිස්සුම් තුවාල ඇති වේ.

සැතපුම් හයක් දුරින් සිටින පුද්ගලයන්ගේ සමේ පටක විනාශ වේ. සැතපුම් 5කට ආසන්න ප්‍රමාණයක් සිටින පුද්ගලයන්ගේ ශරීරයෙන් සියයට 25ක් පමණ පිලිස්සී යයි. එය ඉතාමත් මාරාන්තික විය හැකිය.

හිරෝෂිමා නාගසාකිවල සිදු වූ මරණවලින් සියයට පනහක පමණ පිලිස්සුම් තුවාල දැකගත හැකි විය.

අන්ධ භාවය

න්‍යෂ්ටික පුපුරායාමෙන් නිපදවන දීප්තිමත් ආලෝක ධාරාව දෘෂ්ටි විතානයට හානි කරයි. දෘෂ්ටි විතානයේ  දෘශ්‍ය හා කෙටි තරංග අධෝරක්ත කිරණවලට ගොදුරු වේ. එහි ප්‍රතිඵල ලෙස තාවකාලික අන්ධභාවයට පත්විය හැකියි. අන්ධභාවයට පත්විය හැකියි.

මෙගා ටෝන් 1ක පිපිරීමක් තුළ දී;

  • දහවල් කාලය නම් සැතපුම් 13ක් දුරට
  • රාත්‍රී කාලයේ නම් සැතපුම් පනස් තුනක් දුරට සිටින පුද්ගලයන් තුළ flash අන්ධභාවය ඇති කරයි .
  • විකිරණවලට ශරීරය නිරාවරණය වීම නිසා හිසකෙස් ගැලවී යාමට ඉහළ හැකියාවක් පවතී.
  • මොළයේ පවතින සෛල නැවත වර්ධනය නොවන නිසා විකිරණ බලපෑමකට ලක් වූවොත් මොළයට බරපතල හානි සිදු වේ. එය මරණවලට ද හේතු විය හැකිය.
  • රුධිර පද්ධතියේ ලිම්පොසයිට්ස් සෛල අවම විය හැකිය. මේ නිසා ලියුකේමියා රෝගය ඇති වීමේ අවදානම ඉහළ යි. හිරෝෂිමා හි මේ රෝග ලක්ෂණය වසර දහයක් පමණ වනතුරු මිනිසුන් තුළ දැකගත හැකි විය.
  • හෘදය තුළ කුඩා රුධිර නාල විකිරණවලට නිරාවරණය වීමෙන් හෘදයාබාධ ඇති වීමේ හැකියාව ඉහළ යයි.
  • ප්‍රජනන සෛල ද විනාශ විය හැකි බැවින් වඳභාවයට පත්වීමේ ඉහළ අවදානමක් ද පවතී.
  • දීර්ඝකාලීන වශයෙන් රක්තහීනතාවයට ද පත්විය හැකිය. ජපානයේ වසර දහයක් පමණ වනතුරු ජනතාව අතර රක්තහීනතාව ඉහළ අගයක් ගන්නා ලදී.
  • ලියුකේමියාව, පියයුරු පිළිකා, පෙනහළු පිළිකා, තයිරොයිඩ් පිළිකා වැනි පිළිකා ඇති වීමේ හැකියාවක් ද මේ නිසා ඇති වේ.

දිගු කාලීනව ඇති විය හැකි බලපෑම්

විකිරණ වර්ෂාවන් ඇති වීම

පිපිරීමක දී නිකුත් වන විකිරණ පිපිරීමත් සමග නිර්මාණය වන බිම්මල් වලාකුළ සමග ඉහළ අවකාශයට ගමන් කර පසුව, සුළු වෙලාවකින් නැවත පෘථිවිය මතු පිටට වැටේ. නමුත් එමඟින් වැඩි බලපෑමක් ඇති නොකරයි. මන්ද, එලෙස පතිත වන භූමිය තුළ දැනටමත් විනාශයක් සිදු වී ඇති හෙයින් අලුතෙන් විනාශ වීමට යමක් ඉතුරුව නොතිබීම යි. නමුත් මෙහි බරපතලකම වන්නේ එසේ ඉහළ යන විකිරණ පෘථිවියට පතිත වීමට පෙර සුළඟින් යම් ප්‍රදේශයක පැතිර යයි. එම නිසා විකිරණ පතිත වන ප්‍රදේශය වෙනස් වේ. එම විකිරණ ජල අංශු සමග තැන්පත් වීමෙන් දූෂිත න්‍යෂ්ටිකකරණය වූ වර්ෂාපතනයක් ලැබිය හැකිය. ඒ අනුව පිපිරුම සිදුනොවූ ප්‍රදේශයන් ද වර්ෂාපතනය හරහා විකිරණ බලපෑමට ලක්වේ.

සීත කාලගුණයක් ඇති විය හැකිය.

ගිනි කුණාටු මඟින් ඉහළට නගින දුමාරය ටොන් බිලියන ගණනින් අවකාශය තුළ තැන්පත් වී අංශු පටියක් නිර්මාණය කරයි. මෙහි බලපෑම නිසා සූර්යාලෝකය සති ගණනාවක් පෘථිවියට පතිත නොවේ. ඒ අනුව ශීත කාලගුණයක් ඇති වේ. එම තත්ත්වය ප්‍රභාසංස්ලේෂණයට ද බාධාවකි. ඒ අනුව අධික සීතල, ආහාර හිඟ වීම,  ඉහළ විකිරණ මට්ටම යන හේතු මත ප්‍රහාරයට සෘජුව ලක් නොවූ ප්‍රදේශවල ජනතාවගේ ද, සත්ත්වයන්ගේ ද ජිවිත විනාශ විය හැකිය .

මේ අනුව පැහැදිලි වන්නේ න්‍යෂ්ටික ප්‍රහාරයක බලපෑම අදාළ ප්‍රහාරය සිදු වූ ස්ථානයට පමණක් සීමා නොවී සමස්ත කලාපයටම, ලෝකයටම සෘජු හා වක්‍ර අන්දමින් බලපෑම් ඇති කරන බව යි. එසේම එහි බලපෑම එක් පරම්පරාවකින් අවසන් නොවේ. පරම්පරා ගණනාවක් යන තුරු විකිරණශීලී පරිසරයේ බලපෑම පවතී.  

මූලාශ්‍රය:

www.atomicarchive.com

කවරයේ පින්තූරය: 

indy100 

Related Articles