Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විවිධ ස්ථානවලට පතිත වූ ‘අමුතු වැසි’

මීට ටික කලකට ඉහත දී මුලතිව් ප්‍රදේශයට අයිස් වැස්සක් වැටුණා. ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටකට අයිස් වැස්සක් වැටීම අසාමාන්‍ය දෙයක් ලෙස සැලකෙනවා. කෙසේ නමුත් උපනිවර්තන හා ධ්‍රැවාසන්න දේශගුණයක් ඇති රටවලට අයිස් වර්ෂා පතිතවීම ඒ තරම් විරල නැහැ.

ලොව විවිධ ප්‍රදේශවලට අතීතය පුරා ඉතා අසාමාන්‍ය වැසි වැටී තිබෙනවා. මින් සමහරක් විශ්වාස කිරීමට අපහසු තරමේ ‘විකාර රූපී’ ඒවා. මේ එවැනි කිහිපයක් ගැන තොරතුරු යි.

ගෙඹි වර්ෂා

i.imgur.com

1873 දී ඇමෙරිකාවේ කැන්සාස් නුවරට ගෙම්බන් සහිත වර්ෂාවක් ඇදහැලුණා. මීට අමතර ව 1901 දී මිනසෝටා ප්‍රාන්තයට මෙන්ම, 1981 දී ග්‍රීසියටත් මෙවැනි ම ‘ගෙඹි වර්ෂාවක්’ ඇදහැලුණා. විශේෂත්වය වන්නේ ග්‍රීසියට වැටුණු මෙම ගෙම්බන් විශේෂය උතුරු අප්‍රිකාවට ආවේණික විශේෂයක් වීම යි.

ශුද්ධ වූ බයිබලයට අනුව ‘ගෙම්බන් අහසින් වැටීම’ හඳුන්වන්නේ ප්‍රබල ශාපයක ලකුණක් ලෙස යි. කෙසේ නමුත් විද්‍යාත්මක ව බලන කල ගෙම්බන් හෝ ඉස්ගෙඩියන් ගහන වර්ෂා ස්වභාවයේ ඇති විය හැකියි. ගෙම්බන් හා ඉස්ගෙඩියන් ඒ තරම් බරින් යුතු ජීවීන් නොවන අතර, ටොනාඩෝවක් වැනි ප්‍රබල සුළඟක් ජල ප්‍රභවයකට ඉහළින් නිර්මාණය වන විට ඇති වන ප්‍රබල ආකූල ප්‍රවාහ නිසා එම ජලතලය තදාසන්න ව සිටින කුඩා, සැහැල්ලු වස්තූන් ඒත් සමග ඉහළට ඇදී යා හැකියි. සුළඟේ ප්‍රබලත්වය අඩු වන විට වැස්සක් ලෙස ඒවා නැවත පොළොවට ඇදී එනවා.

මත්ස්‍ය වර්ෂා

thehumornation.com

ඉතිහාසය පුරා ම වරින් වර ලොව තැනින් තැන මත්ස්‍ය වර්ෂා ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාව ද 2014 දී මත්ස්‍ය වර්ෂාවකට මුහුණ දුන්නා. කෙසේ නමුත් මේවා අතරින් වරෙක ඉන්දියාව මුහුණ දුන් මත්ස්‍ය වර්ෂාව විශේෂිත එකක් වන්නේ එය ඉතා තදබල එකක් වීම නිසා යි. එහි දී පොළොවට පතිත වූ සමහර මසුන් රාත්තල් 8ක් තරම් බරින් යුතු බැව් පැවසෙනවා.

1861 දී භූමිකම්පාවක් සිදුවීමෙන් අනතුරුව සිදු වූ මත්ස්‍ය වර්ෂාවක් ගැන සිංගප්පූරුවෙන් වාර්තා වුණා. මීට අමතර ව 1948 වසරේ එංගලන්තයෙනුත්, 1966 දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරිනුත් මත්ස්‍ය වර්ෂා වාර්තා වුණා. 1989 දී ඕස්ට්‍රේලියාවේ ම ඉස්ප්විච් නුවරට තවත් මත්ස්‍ය වැස්සක් වැස්සා. මෙහි දී සාඩින් මසුන් 800ක් පමණ පොළොවට පතිත වූ බැව් සඳහන්.

මත්ස්‍ය වර්ෂා සිදුවන්නේ ද ජලතල ආසන්න ව දැඩි සුළං ප්‍රවාහ නිර්මාණය වීම නිසා යි. ගෙඹි වර්ෂාවලට වඩා මත්ස්‍ය වර්ෂා සුලබ වන්නේ ඔවුන්ගේ අනාකූල හැඩය නිසා සුළං ප්‍රවාහ සමග ඉහළට ඇදී යාම වඩා පහසු වීම නිසා යි.

මකුළු වර්ෂාව

mysticurious.com

බ්‍රසීල ජාතිකයෙකු වන එරික් රීස් එක් වරෙක ‘මකුළු වර්ෂාවක්’ අත්දුටුවා. ඔහු එය රූපගත කරගෙන අන්තර්ජාලයට පවා මුදාහරින්නට කටයුතු කළා. මෙම වර්ෂාවේ දී පතිත වී ඇත්තේ Anelosimus eximius spider නම් ඉතා කුඩා මකුළු විශේෂයකුයි. මොවුන් සාමාන්‍යයෙන් ගොදුරු අල්ලාගැනීම සඳහා උස් ගස්වල දැල් බැඳීම සිදු කරනවා. බ්‍රසීලයේ සමහර පෙදෙස්වල මොවුන් බහුල ව වෙසෙන අතර, මොවුන් රාශියක් ජීවත් වන ප්‍රදේශයක් ඔස්සේ හමා ගිය බලවත් සුළං ප්‍රවාහයක් හේතුවෙන් මොවුන් ගුවන්ගත වී නැවත පතිත වෙන්නට ඇති බැව් විශ්වාස කෙරෙනවා.

මාංශ සහ රුධිරය

piedraonline.blogspot.com

මාංශ කැබලි හා සමහර විටෙක රුධිරය ද අහසින් වැටුණු අවස්ථා ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. 1876 මාර්තු මස 3 වන දා ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තය තුළ පිහිටි ඔලිම්පියා ස්ප්‍රින්ග්ස් නම් කුඩා නගරයට හදිසියේ ‘මස් කැබලි’ වර්ෂාවක් ඇදහැලෙන්නට පටන්ගත්තා. මෙහි දී අඟල් 2-4 ප්‍රමාණයේ දිග පළලකින් යුතු මස් කැබලි රාශියක් ඇදවැටුණු අතර, පසුව ඒවා මිනිස් ළදරුවෙකුට හෝ අශ්වයෙකුගේ පෙනහැල්ලක කොටස් බවට හඳුනාගැනුණා.

මේ අමුතු වර්ෂාව පිළිබඳ පර්යේෂණ සිදුකෙරුණු අතර එහි දී නිගමනය කෙරුණේ මාංශ භක්ෂක කුරුළු රෑනක් විසින් මියගිය අශ්වයෙකුගෙ කොටස් අනුභව කොට ඉතිරිය රැගෙන යාමට තැත් කිරීමේ දී ඒවා බලවත් සුළං ධාරාවකට මුසු වී ගිලිහී යාම නිසා මෙම වර්ෂාව පතිත වී ඇති බව යි.

1890 වසරේ ඉතාලියෙන් රුධිරය සහිත වර්ෂාවක් වාර්තා වුණා. මෙම රුධිරය පක්ෂී රුධිරය බැව් හඳුනාගැනුණා. මීට අමතර ව 1869 දී කැලිෆෝනියාවෙන් ද, 1841 දී ටෙනිසි ප්‍රදේශයෙන් ද රුධිරය හා මාංශ මිශ්‍රිත වර්ෂා වාර්තා වුණා.

පණු වර්ෂා

YouTube

2001 මාර්තු මස 4 වන දා එංගලන්තයේ පාපන්දු ක්‍රීඩා කරමින් සිටි කිහිපදෙනෙකු පණු වර්ෂාවක් අත්දැක තිබෙනවා. මෙහි දී බිම් පණුවන් කැදලි පිටින් පොළොවට පතිත වී තිබෙනවා. සත්ත්වයින් වැනි ද්‍රව්‍ය ඇදහැළුණු අනෙකුත් අවස්ථාවල මෙන් නොව, මේවා වර්ෂාව සමග බිම පතිත වී නොතිබූ අතර පැහැබර කාලගුණයක් තිබූ එම දිනයේ එක්වරම මෙම පණුවන් පොළවට ළඟා වී තිබෙනවා. 2007 දී මෙවැනි ම පණු වර්ෂාවක් ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයෙන් ද වාර්තා වුණා. මේ ආකාරයේ පණු වර්ෂා වියළි නමුත් ප්‍රබල සුළං ධාරා බිම පණුවන් වෙසෙන එළිමහන් තැනිතලා ඔස්සේ හමා යාම නිසා සිදුවන්නේයැ යි අනුමාන කරනමුත්, තවමත් එය හරිහැටි තහවුරු කරගෙන නැහැ.

මුදල් වර්ෂා

istockphoto.com

ජල බිඳුවලට අමතර ව අහසින් විවිධ වස්තූන් ඇදවැටීම ඒවා අත්දකින උදවියට එතරම් ප්‍රසන්න හැඟීමක් ජනිත නොකරන නමුත්, මේ වර්ගයේ වර්ෂා පිළිබඳ ව නම් තත්ත්වය එසේ වෙන්නේ නැහැ. 1957 වසරේ ප්‍රංශයේ කුඩා නගරයකට මුදල් නෝට්ටු වර්ෂාවක් වැස්සා. මේ සියල්ල ම පාහේ ෆ්‍රෑන්ක් 1000 නෝට්ටු වුණා. මේ ආකාරයට ම චිකාගෝ නුවරට ඇමෙරිකන් ඩොලරයේ නෝට්ටු වර්ෂාවක් ඇදහැලුණේ 1975 දී යි.

1968 දී එංගලන්තයේ රැම්ස්ගේට් ප්‍රදේශයට පැන්ස වර්ෂාවක් ඇදහැලුණා. නැවතත් එරටින් මෙවැනි ම ‘වර්ෂාවක්’ 1981 දී වාර්තා වුණා. මුදල් නෝට්ටු, මාංශ, ගෙම්බන්, හා මත්ස්‍යයින්ට වඩා බොහෝ සෙයින් සැහැල්ලු නිසා මුදල් සහිත මල්ලක් වැනි යමක් ප්‍රබල සුළං ප්‍රවාහයකට හසු වී ගසාගෙන යාම පහසුවෙන් සිදුවිය හැකි දෙයක් වෙනවා.

කවරයේ පින්තූරය: videoblocks.com

මූලාශ්‍රයයන්:

Listverse.com

thoughtco.com

Related Articles