Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩි ම මිල ගණන්වලට අලෙවි වූ පොත් කිහිපයක්

ලොව ඇති වටිනා ම වස්තුවක් වූ පොතක් කියවා යම් අයකු ලබන දැනුමට කිසි දිනෙක මිලක් නියම කළ නොහැකි බව අපි දනිමු. ඒ පොතක් කියවීමෙන් යම් අයකු ලබන දැනුම ඔහුට හෝ ඇයට පමණක් නොව ඔවුන්ගෙන් පසු ව පැමිණෙන පරම්පරා ගණනාවකට වුවත් ලබාදීමට හැකි වීම යි.

කෙසේ වෙතත් මුදල් මත පදනම් වූ වර්තමාන සමාජයේ අනික් සියලු දේට මෙන් පොත්වලට ත් මිල ගණන් නියම කිරීමට සිදු ව තිබේ. ඒ අතර සමහර පොත් යම් අයකුට දැරිය හැකි මිල ගණන් යටතේ මිලදී ගත හැකි වුවත් සමහර පොත් මිලදී ගැනීමට නම් අප සෑහෙන ධනවතුන් විය යුතු ය.

ඒ තරමට ම වටිනා පොත් ද වර්තමානයේ දී අලෙවි කිරීමට තිබේ. එපමණක් නොව යම් පොතක් ලියූ තැනැත්තා, එය භාවිත කළ තැනැත්තා හෝ එම පොත මුද්‍රණය කළ කාල වකවානුව වැනි කරුණු මත ද පොත්වල වටිනාකම තීරණය වේ. මෙම ලිපිය එවැනි විවිධ හේතු නිසා විශ්වාස කළ නොහැකි තරම් මිල ගණන්වලට අලෙවි වූ පොත් කිහිපයක් පිළිබඳව යි.

1. ද කොඩෙක්ස් ලීස්ටර් (The Codex Leicester)

ලියනාඩෝ ඩාවින්සි රචිත විද්‍යාත්මක ලිපිවලින් සමන්විත මෙම සටහන් පොත පිටු 72කින් යුක්ත වේ. ෆොසිල නිර්මාණය වීම, ජලය ගලායාම සහ සඳ බැබළීම වැනි සියලු දේ සිදුවන්නේ කෙසේ ද යන්න ඔහු එම ලිපිවල විස්තර කර තිබෙනවා. ඔහුගේ ම අත්අකුරින් ලියූ සටහන් අන්තර්ගත වන මෙම පොත 1717 වසරේ දී තෝමස් කෝක් නම් පුද්ගලයා මිලදී ගත්තේය. ඔහු පසුකාලීනව එංගලන්තයේ පැරැණිත ම නගරයක් වන ලීස්ටර් හි අර්ල්වරයා ලෙස තේරී පත් විය.

ඊට වසර 163කට පසුව, එනම්, 1980 දී කලාකෘති එකතු කිරීම සිය විනෝදාංශය කරගත් ආර්මන්ඩ් හැමර්, ලීස්ටර් රාජ්‍යයෙන් මෙම පොත මිලදී ගත්තේය. වසර දාහතරක් පමණ ඔහු සතුව තිබූ එය 1994 වසරේ දී ප්‍රසිද්ධ වෙන්දේසියක අලෙවි කිරීම සඳහා තබා තිබිණි. එම වෙන්දේසිය අතරතුර ලොව අංක එකේ ධනවතකු වන බිල් ගේට්ස් අමෙරිකන් ඩොලර් මිලියන 30.8ක මුදලක් ගෙවා මෙම පොත මිලදී ගත්තේ එය ලොව වැඩි ම මිලකට අලෙවි වූ පොත බවට පත් කරමිනි.

ද කොඩෙක්ස් ලීස්ටර් පොතේ එක් පිටුවක් – www.nytimes.com

2. ද ගොස්පෙල්ස් ඔෆ් හෙන්රි ද ලයන් (The Gospels of Henry the Lion)

ජර්මනියේ බ්‍රන්ස්වික් පළාතේ පිහිටි දේවස්ථානයකට අයත් ව තිබූ මෙම පොත 12 වැනි සියවසට අයත් එකක් බව සොයාගෙන තිබේ. පිටු 266කින් යුතු මෙම පොතේ පිටු 50ක ම දැකිය හැක්කේ විවිධ රූප සටහන් වීම විශේෂත්වයකි.

එය අයත් ව තිබූ බ්‍රන්ස්වික් දේවස්ථානය 1173 වසරේ දී ඉදි කර ඇත. මෙම පොත ලියැ වී ඇත්තේ 1175 වසරේ දී බව ඉතිහාසඥයන් පවසයි. කෙසේ නමුත්, එය 1188 වසරේ දී හෝ ඒ ආසන්න කාලයේ දී ලියූවක් බවත් තවත් සමහරුන්ගේ මතය යි.

1983 දෙසැම්බර් 6 වැනි දින ලන්ඩන් නගරයේ පැවැති වෙන්දේසියක් අතරතුර අමෙරිකන් ඩොලර් මිලියන 11.7ක මුදලකට මෙම පොත අලෙවි විය. එය මිල දී ගත්තේ ජර්මනියේ ස්ථාපිත කර ඇති කෞතුක වස්තු සංරක්ෂණය සඳහා වන ආයතනයක් සහ වෙනත් ධනවතුන් කිහිප දෙනකු ය. බිල් ගේට්ස් ‘ද කොඩෙක්ස් ලීස්ටර්’ පොත මිලදී ගන්නා තුරු ලොව වැඩිම මිලකට අලෙවි වූ පොත ලෙස සැලකුණේ ‘ද ගොස්පෙල්ස් ඔෆ් හෙන්රි ද ලයන්’ පොත වීම විශේෂත්වයකි.

ගොස්පෙල්ස් ඔෆ් හෙන්රි ද ලයන් පොතේ අන්තර්ගත රූපසටහනක් – www.wikipedia.org

3. ද බ’ඩ්ස් ඔෆ් අමෙරිකා (The Birds of America)

ලොව ප්‍රකට පරිසරවේදියකු සහ චිත්‍ර ශිල්පියකු වන John James Audubon ලියූ මෙම පොතේ අමෙරිකා එක්සත් ජනපදයේ ජිවත් වන පක්ෂීන් රැසකගේ රූප සටහන් අන්තර්ගත වේ. එම රූප සටහන් සියල්ල කතුවරයා ඇඳි ඒවා නොවන අතර ඉන් සමහරක් ඔහුට එවා ඇත්තේ වෙනත් පුද්ගලයන් ය.

මෙය ලන්ඩනයේ සහ එඩින්බරෝ නගරයේ දී 1827 සිට 1838 දක්වා කොටස් කිහිපයක් වශයෙන් පළමු වරට මුද්‍රණය කර තිබේ. මෙහි ඇති පක්ෂීන්ගේ රූපසටහන් අඟල් 39 සිට 66 දක්වා විශාලත්වයෙන් යුතු අතර ඒවා බොහොමයක් එම පක්ෂීන්ගේ ජීවමාන ප්‍රමාණයට සමාන බව කියැවේ. මෙම පොතේ ඇති තවත් විශේෂත්වයක් ලෙස මේ වන විට ලොවෙන් වඳ වී ගොස් ඇති පක්ෂීන් කිහිප දෙනකුගේ (පහක් හෝ හයක්) රූපසටහන් ද එහි අන්තර්ගතව තිබීම හැඳින්විය හැකි ය. Audubon ඇඳි රූප සටහන්වලට අමතර ව ඔහුගේ සහයකයකු වශයෙන් කටයුතු කළ ජෝසප් මේසන් ඇඳි රූප සටහන් 50ක් ද මෙම පොතේ අන්තර්ගත වේ.

බ’ඩ්ස් ඔෆ් අමෙරිකා පොතේ ලොව පුරා ඇති පිටපත් ගණන 119ක් බවට මේ වන විට ගණන් බලා තිබේ. 2010 වසරේ පැවැති වෙන්දේසියක දී මෙහි එක පිටපතක් අමෙරිකන් ඩොලර් මිලියන 11.5ක පමණ මුදලකට අලෙවි වී තිබේ.

ද බ’ඩ්ස් ඔෆ් අමෙරිකා පොතේ අන්තර්ගත ජීවමාන ප්‍රමාණයේ පක්ෂි රූප – www.thepicturalist.com

4. ද කැන්ටබරි ටේල්ස් (The Canterbury Tales)

මෙය ජෙෆ්රි චෞසර් නම් ඉංග්‍රීසි ලේඛකයා 1387-1400 කාල සමයේ ලියූ කතන්දර 24කින් සමන්විත පොතක් වේ. 1066 වසරේ සිට 15 වැනි සියවස අගභාගය දක්වා භාවිත කළ පැරැණි ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති මෙය ගද්‍ය සහ පද්‍ය යන ශෛලීන් දෙකෙන් ම ලියා තිබේ. මෙය ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලැකේ.

ලන්ඩනයේ සිට කැන්ටබරි හි දේවස්ථානයක් වන්දනාමාන කිරීමට යන වන්දනාකරුවන් පැවැත්වූ තරඟයක් අතරතුර ඔවුන් කියූ කතන්දර ආකාරයෙන් මෙය ලියා තිබේ. පොතේ සඳහන් ආකාරයට එම තරගයේ ජයග්‍රාහකයාට එක්තරා අවන්හලකින් නොමිලේ ආහාර වේලක් දී තිබේ.

කෙසේ වෙතත් මෙහි කතුවරයාට සිය ජිවිත කාලය තුළ මුලින් සැලසුම් කල පරිදි මෙය ලියා අවසන් කිරීමට නොහැකි වී ඇත.

මෙහි වන්දනාකරුවන්ගේ චරිත 30ක් ඇතුළත් ය. ඔහු මුලින් සැලසුම් කර ඇත්තේ එක් වන්දනාකරුවකු දේවස්ථානයට යන අතරතුර කතන්දර දෙකකුත්, ආපසු එන අතරතුර තවත් කතන්දර දෙකකුත් පවසන ආකාරයෙන් මෙය රචනා කිරීමට යි. මෙහි කතන්දර 24ක් පමණක් අන්තර්ගත වීම තුළ කියවෙන්නේ ඔහු මුලින් සැලසුම් කළ පරිදි එය රචනා කිරීමට ඔහුට නොහැකි වී ඇති බවයි.

මෙහි ප්‍රථම මුද්‍රණයට අයත් පිටපත් 12ක් අතුරින් එකක් 1998 වසරේ දී ලන්ඩන් නගරයේ පැවැති වෙන්දේසියක් අතරතුර අමෙරිකන් ඩොලර් මිලියන 7.5ක මුදලකට අලෙවි විය.

ද කැන්ටබරි ටේල්ස් පොත සහ එහි මුල් පිටුව – www.raptisrarebooks.com

5. ෆ’ස්ට් ෆෝලිඕ (First Folio)

විශිෂ්ට ගණයේ ඉංග්‍රීසි ගත්කතුවරයකු වූ විලියම් ශේක්ස්පියර්ගේ සගයන් දෙදෙනකු වූ ජෝන් හෙමින්ගස් සහ හෙන්රි කොන්ඩෙල් එක් ව සම්පාදනය කළ ‘Mr. William Shakespeare’s Comedies, Histories, & Tragedies’ යන ග්‍රන්ථය වර්තමානයේ හඳුන්වන්නේ ‘First Folio’ යන නමිනි. එය ශේක්ස්පියර්ගේ අභාවයෙන් වසර හතකට පසු, එනම් 1623 වසරේ දී ප්‍රථම වරට මුද්‍රණය කර තිබේ. එහි ශේක්ස්පියර් නිර්මාණය කළ නාට්‍ය 36ක් අන්තර්ගත ය.

ශේක්ස්පියර් නිර්මාණය කළ නාට්‍ය 19ක් පමණ 1623ට පෙර මුද්‍රණය කර තිබුණ ද, මෙය ඔහුගේ නාට්‍ය පිටපත් බොහොමයක් වඩාත් නිවැරදි ව ඇතුළත් කර සම්පාදනය කර ඇති ග්‍රන්ථය ලෙස සැලකේ. එහි අන්තර්ගත වන නාට්‍ය පිටපත් 18ක් ඊට පෙර මුද්‍රණය කළ බවක් ද සොයාගෙන නැත. මෙම ග්‍රන්ථයේ මුල් පිටපත් 750ක් අතුරින් පිටපත් 235ක් පමණක් මේ වන විට ඉතිරි වී තිබේ. එම ප්‍රමාණයෙන් වැඩි කොටසක් කෞතුකාගාර වැනි ස්ථානවල තබා තිබේ.

මෙම පොතේ මුල් මිල පවුමක් පමණ වූ නමුත් මේ වන විට මෙය ලොව වඩාත් ම මිල අධික පොත්වලින් එකක් ලෙස සැලකේ. 2001 වසරේ දී මෙම ග්‍රන්ථයේ එක පිටපතක් මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාපකයකු වන පෝල් ඇලන්, ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක මුදලක් ගෙවා මිලදී ගත්තේය.

ෆස්ට් ෆෝලිඕ පොතේ ඇතුළත – www.hurriyetdailynews.com

6. ද ටේල්ස් ඔෆ් බීඩ්ල් ද බාර්ඩ් (The Tales of Beedle the Bard)

හැරී පොටර් කතා මාලාව හරහා අතිශය ජනප්‍රියත්වයට පත් මෑතකාලීන ගත්කතුවරියක වූ ජේ.කේ. රෝලිං රචනා කළ මෙම පොතෙහි එක පිටපතක් මෑත කාලයේ දී වැඩිම මිලකට අලෙවි වූ අත්පිටපත ලෙස වාර්තාවක් තැබී ය.

ඇය සිය අතින් ම ලියා මෙහි මුල් පිටපත් හතක් සකස් කළ අතර ඒවායේ අන්තර්ගත රූප සටහන් ද ඇය ම අැඳි  ඒවා වීම විශේෂත්වයකි. එම අත්පිටපත් හතෙන් හයක් ම ඇය සිය මිතුරන් කිහිප දෙනකු අතර බෙදා දුන්නා ය. කෙසේ නමුත් ඉන් ඉතිරි වූ පිටපත 2007 වසරේ දී පැවැති වෙන්දේසියක් අතරතුර අමෙරිකන් ඩොලර් මිලියන 3.98ක මුදලකට අලෙවි වූයේ ඇය ද පුදුමයට පත් කරවමිනි. එම පොත මිලදී ගත්තේ Amazon.com සමාගම ය. ඇය එම පිටපත අලෙවි කිරීමෙන් ලැබුණු මුදල ළමයින්ගේ සුබසාධනය සඳහා වැඩසටහන් සිදු කරන පුණ්‍යායතනයකට පරිත්‍යාග කළා ය. 

ද ටේල්ස් ඔෆ් බීඩ්ල් ද බාර්ඩ් පොතේ පසුකාලීන මුද්‍රණයක් – www.amazon.ca

කවරයේ කවරයේ ඡායාරූපය- www.discovermagazine.com

මූලාශ්‍ර:

www.flavorwire.com

www.byliner.com

www.luxatic.com

www.nytimes.com

Related Articles