Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මැන්ඩෙලා ආචරණය: ඔබේ මනස ඔබව මුළා කරන ආකාරය

ඔබට කුඩාකල පටන් කුමක් හෝ විශේෂ යමක් පිළිබඳව විචිත්‍රවත් මතකයක් තිබී, හදිසියේම එය කිසිම දිනකවත් සිදුනොවුණු දෙයක් බවට හෝ එය සිදු වී ඇති ආකාරය පිළිබඳ ඔබට ඇත්තේ අන් අයට වඩා හාත්පසින්ම වෙනස් මතකයක් බව ඔබට දැනගැනීමට ලැබීමෙන්, ඔබ කවදා හෝ තිගැස්මට පත් වී තිබේ ද? එසේ නම් මෙම සංසිද්ධිය සඳහා නමක් ඇති බව දැනගැනීමට මත්තෙන් ඔබ සතුටට පත් වේවි. එසේම මෙවැනි අමුතු මතක ඇති ලොව එකම පුද්ගලයා ද ඔබ නොවෙයි.

මොකක්ද මේ මැන්ඩෙලා ආචරණය කියන්නෙ? 

කෙටියෙන් පැවසුවහොත් ඒ වර්තමාන යථාර්ථය හා ඉතිහාසය සමග නොගැලපෙන මතකයන් පැවතීම යි. මෙම පදයේ නිර්මාතෘ අමෙරිකානු ගත්කතුවරියක් වන ෆියෝනා බෲම් මහත්මිය පැහැදිලි කරන ආකාරයට මැන්ඩෙලා ආචරණය කියන්නෙ; මෙම යථාර්ථයේ කිසිමදිනෙක සිදුනොවුණු සංසිද්ධියක් පිළිබඳ යමෙකුට පැහැදිලි මතකයක් පැවතීම යි. ඒත් ඇත්තටම එයට ‘මැන්ඩෙලා ආචරණය’ යනුවෙන් පවසන්නේ ඇයි? එයට හේතුව වන්නේ ෆියෝනා බෲම් මහත්මියගේම හරි අපූරු අත්දැකීමක්.

නෙල්සන් මැන්ඩෙලාගේ මරණය

නෙල්සන් මැන්ඩෙලාගේ මතක ස්මරණය

ඇය පවසන පරිදි ඇයට හා ඇගේ හිතවතුන් කිහිපයකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු හා හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මියයාමට පෙර 1980 කාලයේ දී සිරගෙදර දී මියගිය බවත්, එය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය වූ ආකාරය පිළිබඳ ඔවුන්ට පැහැදිලි මතකයක් ඇති බවට ඇය උපුටා දක්වනවා. 2010 වර්ෂයේ දී අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් නෙල්සන් මැන්ඩෙලාගේ මරණය පිළිබඳ තමන්ට ද වැරදි මතකයක් ඇති බවට ප්‍රකාශ කර සිටියා. නමුත්, ඇත්තටම මැන්ඩෙලා 1990 වර්ෂයේ දී සිරගෙයින් නිදහස් වී පෙණහලු ආබාධයකින් මියගියේ 2013 වසරේ දී යි. මෙහි පුදුමසහගත කරුණ වන්නේ බොහෝ දෙනෙකුට, විශේෂයෙන්ම ආගන්තුකයන්ට පවා සත්‍ය වශයෙන් සිදුනොවූ දෙයක් පිළිබඳව එකම මතකයක් ඇත්තේ කෙසේ ද යන්න යි.

විද්‍යාත්මක පසුබිම

මනෝ වෛද්‍යවරුන් මැන්ඩෙලා ආචරණය මතකය, විශේෂයෙන්ම ව්‍යාජ මතක හා සමාජයීය බලපෑම් ඔස්සේ විග්‍රහ කිරීමට මේ වන විට සමත් වී තිබෙනවා. ඔවුන් විග්‍රහ කරන ආකාරයට මෙයට හේතු වී ඇත්තේ සිදුවීම් හෝ අත්දැකීම් වැරදියට සිහිපත් කිරීම හෝ පවතින මතකයන් විකෘති කිරීමයි.

එදිනෙදා ජීවිතයේ දී ඉතාමත්ම සාමාන්‍ය දෙයක් වන ගොතන ලද හෝ වැරදි ලෙස අර්ථකථනය කරන ලද මතකයන් නොදැනුවත්වම නිෂ්පාදනය කිරීම, confabulation ලෙස හැඳින්වෙනවා. ව්‍යාජ මතක කෙනෙකුගේ මනසේ ආකාර ගණනාවක් ඔස්සේ ඇති වෙන්න පුළුවන්.

උදාහරණයක් ලෙස “ඇඳ” සහ “කොට්ටය” වැනි සමීප සම්බන්ධතා ඇති වචන ලැයිස්තුවක් අපේ මනස විසින්  ඉගෙනීම ඔස්සේ එක් වරම “නින්ද” වැනි වචන ලැයිස්තුව ඔස්සේ ඉදිරිපත් නොකළ වචන වැරදි ලෙස හඳුනාගන්නේ කෙසේ ද? යන්න ඩීස්-රෝඩිගර් සහ මැක්ඩර්මොට් උපමා මඟින් පෙන්නුම් කරවනවා.

ව්‍යාජ මතක “ප්‍රභව අධීක්ෂණ දෝෂ” ඔස්සේ ද ඇති විය හැකි බව මේ වන විට සොයාගෙන තිබෙනවා. මෙවැනි අවස්ථා බොහෝ විට සැබෑ හා පරිකල්පනය පවා වෙන්කර හඳුනාගැනීමට මිනිසුන් අසමත් වන අවස්ථා වෙනවා. එක්සත් ජනපදයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජිම් කෝන්, “Lost in the Mall” පටිපාටිය භාවිතයෙන් මෙය කොතරම් පහසුවෙන් සිදුවිය හැකිදැ යි පෙන්නුම් කෙරෙනවා. මෙම පරීක්ෂණයේ දී මහාචාර්‍ය කෝන්, සිය පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ ළමා සිදුවීම් විස්තර කරන කෙටි විස්තර සපයනවා. එයින් එකක්, ඔහුගේ සහෝදරයා සාප්පු සංකීර්ණයක අතරමං වීම ගැන යි. පුදුමය යනු සිදුවීම සිදු වූ බව කෝන්ගේ සහෝදරයා විශ්වාස කළා පමණක් නොව, ඔහු එයට අමතර විස්තර ද එක් කළා. මේ ආකාරයෙන් විවිධ හේතූන් ගණනාවක් ඔස්සේ ව්‍යාජ මතක ඇති විය හැකි බව ඔවුන්ගේ අදහස යි.

ලොව පුරා මැන්ඩෙලා ආචරණ සිදුවීම් ගණනාවක් සිදු වී තිබෙනවා. ඒ අතරින් කිහිපයක් පහත දැක්වෙනවා. 

කියුරියස් ජෝර්ජ් කාටුනයේ ඇබැද්දිය

කියුරියස් ජෝර්ජ් කාටූනය

ජනප්‍රිය ළමා සාහිත්‍යයෙන් ලබාගත් කුතුහලයෙන් පිරි කුඩා වඳුරා ගැන අපට වැරදියට මතක තබා ගත හැක්කේ කුමක් ද? නමුත් තවමත් මේ චරිතය වලිගයකින් නිරූපණය කර තිබුණා ද, නැද්ද යන්න පිළිබඳ යම් විවාදයක් පවතිනවා. කියුරියස් ජෝර්ජ් බොහෝ දෙනෙකුට මතක ඇති එච්. ඒ. රේ. මහතාගේ පොත්වලින් හා පී. බී. එස්. නාලිකාවේ ගිය කියුරියස් ජෝර්ජ් කාටුන්වලින්. එහෙත් නැත, ජෝර්ජ් හට කිසිවිටෙක වලිගයක් තිබුණේ නෑ.

ගිරිපුර ඇත්තෝ

ෆ්ලින්ස්ටෝන්ස්/ ගිරිපුර ඇත්තෝ කාටූනය

ලංකාවේ අපි ගිරිපුර ඇත්තෝ ලෙස හඳුන්වන මේ අපූරු කාටූන් මාලාවේ සැබෑ නම “The Flintstones”. නමුත්, ලොව බොහෝ දෙනෙකුට මෙම වචනය පිළිබද මතකය ඇත්තේ “The Flinstones” ලෙස යි. ඒ අනුව ඔවුන් ෆ්ලින්ට්ස්ටෝන්ස් හි පළමු “ටී” අකුර අතහැර දමා භාවිතයේ යොදාගන්නවා. නමුත්, සැබැවින්ම සැවොම පුදුමයට පත් කරමින් 1960 දී නිෂ්පාදන දිනයේ පටන් ඔවුන්ගේ නමට සෑමවිටම “ටී” යන අකුරු දෙකක් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටීම

ව්‍යාජ මතකයන්ගෙන් හෙබි පුද්ගලයන් ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම පිළිබඳ සටහන් කරන ආකාරය

මෙය ශ්‍රී ලාංකික අපට බොහොම අපූරු කාරණාවක්. ඔබ විශ්වාස කරනවා ද, ලංකාවේ භූගෝලීය පිහිටීම ගැන වෙනස් මතකයක් තිබෙන පුද්ගලයන් ගණනාවක් ලොව පුරා සිටින බව? ඔවුන්ට අනුව කුඩා කාලයේ සිට ශ්‍රී ලංකාව ගැන මතක ඉන්දියාවට සෘජුව පහළින් පිහිටා ඇති බව‍ යි. නමුත්, සැබැවින්ම අපේ රට පිහිටා ඇත්තේ ඉන්දියාවට පහළින් තරමක් ගිනිකොන දෙසට වන්නට යි. මේ පිළිබඳව මැන්ඩෙලා ආචරණය පිළිබඳ වූ වෙබ් අඩවියේ සිදුකළ සාකච්ඡාවක දී එප්. කූගන් සටහනක් තබමින් පවසන්නේ; “1985 දී මම ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ගමනක් සූදානම් කළා. මගේ සූදානම තුළ, මම කොළඹට පියාසර කිරීම සඳහා කේරළයට ගියා. මොකද, කේරළය ඉන්දියාවෙන් පිටවීමට ආසන්නම නගරය වන නිසා. මම සිතියම් පරීක්‍ෂා කරද්දි ශ්‍රී ලංකාව තිබුණේ ඉන්දියාවේ පතුලේ මිසක් පැත්තේ නෙවේ. නමුත්, වත්මන් සිතියම් දෙස බලන විට මම අද සංචාරය කරන්නේ නම් මදුරාසියේ සිට පිටත්ව යාමට ඉඩ තිබුණි.” ලෙස යි.

ලින්ඩ්බර්ග් ළදරුවාගේ පැහැරගැනීම

පැහැරගැනීමට ලක් වූ චාල්ස් ලින්ඩ්බර්ග් ළදරුවා

1932 දී ගුවන් නියමු චාල්ස් ලින්ඩ්බර්ග්ට සිතාගත නොහැකි අත්දැකීමක් ලැබුණි. ඔහුගේ මාස 20ක් වයසැති පුතා පැහැර ගනු ලැබුණා. අදටත් බොහෝ පිරිසකට මතක මෙම සිද්ධිය තවමත් නොවිසඳුණු අභිරහසක් හැටියට යි. ඔවුනට අනුව පැහැරගැනීමෙන් අනතුරුව දරුවා නැවත කිසිදිනෙක හමුනොවුණු බව යි සඳහන් වෙන්නෙ. නමුත්, එය නොවේ සිදුවූයේ. කණගාටුවට කරුණ නම්, මූලික පැහැර ගැනීම සිදු වී මාස දෙකකට මත්තෙන් කුඩා දරුවාගේ සිරුර සොයාගැනීම යි. මරණ පරීක්ෂණ වාර්තාවකට අනුව, දරුවා පැහැරගෙන ගොස් වැඩි කලක් යන්නට මත්තෙන් හිසට පහරක් එල්ල වී තිබෙනවා.

අපේ විශ්මිත මනසේ තවත් අපූරු උප්පරවැට්ටියක් හැටියටත් මැන්ඩෙලා ආචරණය හඳුන්වන්නට පුළුවන්. තවත් මෙවැනි කුතුහලයෙන් පිරි සිදුවීම් ගණනාවක් ඉහත උදාහරණවලට අමතරව සිදු වී තිබෙනවා. ඔබට ඒ පිළිබඳව වැඩි දුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම්, ෆියෝනා බෲම් මහත්මියගේ මෙම මැන්ඩෙලා ආචරණය සංසිද්ධිය සඳහා සැකසූ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි. මඳක් සිතන්න, ඔබටත් මැන්ඩෙලා ආචරණය පිළිබඳ අත්දැකීමක් තිබෙනවා ද?

Related Articles