ලෝකයේ බැංකු ක්‍රමය ආරම්භ වෙලා තියෙන්නේ බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂ්ටාචාර කාලයේදීයි. වර්තමානය වෙනකොට ලෝකයේ බැංකු බොහොමයක් ස්ථාපිත කරලා තියෙනවා. නමුත් අද කතා කරන්නේ නම් මේ ආකාරයේ බැංකුවක් ගැන නම් නෙවෙයි. මීට වඩා වෙනස් පරමාර්ථයක් පදනම් කර ගත් බැංකු ක්‍රමයක් ගැනයි.
ඉන්දියාවේ මදුරාසියේ කිඹුල් බැංකුවක් පිහිටවලා තියෙනවා. මෙම බැංකුව හඳුන්වන්නේ Madras Crocodile Bank Trust කියලයි. නමුත් මෙහි නිල නාමය විදියට සඳහන් වෙන්නේ මදුරාසි කිඹුල් බැංකු භාරය සහ උරග විද්‍යාව සඳහා මධ්‍යස්ථානය යි.
මදුරාසි කිඹුල් බැංකුවේ පිහිටීම හා ස්ථාපනය කිරීම
ඉන්දියාවේ මදුරාසිය වර්තමානයේ හඳුන්වන්නේ චෙන්නායි කියලයි. ඒ අනුව සලකලා බැලුවහම මෙම කුඹුල් බැංකුවට චෙන්නායි ඉඳලා කිලෝ මීටර් 40ක දුරකින් යුක්තව දකුණට වන්නට අක්කර අටක පමණ පිහිටලා තියනවා කියලයි සඳහන් වෙන්නේ. ඒ වගේම මෙම ස්ථානය උරගයන් හා උභය ජීවින් පිළිබඳව හදාරන්න ඉන්දියාවේ තිබෙන එකම ස්ථානය ද වෙනවා.
මෙහි ආරම්භය නැතිනම් ස්ථාපනය කිරීම ගැන කතා කිරීමේදී එය 1976 වර්ෂය දක්වා දිව යනවා. ඒ වගේම ආරම්භයේදී සිටි කිඹුලන් සංඛ්‍යාව වන්නේ තිදෙනෙක් පමණයි.
කිඹුල් බැංකුව ආරම්භ කිරීමේ පරමාර්ථ
වර්තමානය වන විට මෙහි කිඹුලන් 3000ක් පමණ සිටින බව වාර්තා වෙනවා. ඒ වගේම මේ ආකාරයට වෙනස් වූ දෙයක් කිරීමට අරමුණ මොකක් වෙන්න පුලුවන්ද? සමාජයේ ගොඩක් දෙනා කිඹුලන්ට දක්වන්නේ බියක්. මේ හේතුවෙන් ඔවුන් මරා දැමීමේ තර්ජනයකට ද මුහුණ පා තිබෙනවා. ඒ වගේම තමයි කිඹුල් සම උපයෝගී කරගෙන නිපදවන භාණ්ඩවල මිල ඉතාමත් ඉහළයි. ඒ වගේම කිඹුලන්ගේ සම උපයෝගී කර ගනිමින් නිපදවන සපත්තු, බඳ පටිවලට ඇතැම් පුද්ගලයන් දැඩි කැමැත්තක් දක්වන බවත් සදහන් වෙනවා.
මීට අමතරව ගංගාවන් ආශ්‍රිතව සිදු කරන නොයෙකුත් සංවර්ධන කටයුතු වලදී මෙන්ම අනෙකුත් සංවර්ධන කටයුතු වලදීත් කිඹුලන්ගේ ජිවිතවලට ඇති වන්නේ ප්‍රබල තර්ජනයක්. මේ හේතුව නිසා අනාගතයේදී කිඹුලන් අතුරුදහන් වීමක් සිදු වෙනු ඇතැයි මෙය ස්ථාපිත කළ පිරිස විශ්වාස කළ බව දැක්වෙනවා. සරලවම දක්වනවා නම් කිඹුලන් වඳ වී යාම වැළැක්වීම හා ආරක්ෂා කිරීමට කටයුතු කිරීමයි. ආරම්භයේදීම ඉන්දියානු කිඹුල් විශේෂ තුනකට පමණ අයත් වන සතුන් බෝ කිරීම සිදු කරලා තියෙනවා. ඒ වගේම ඉන් අනතුරුව ස්වභාවික පරිසරයට ඔවුන්ව මුදා හැරීමක්ද කළ බවයි දැක්වෙන්නේ.
කිඹුල් බැංකුවේ සංරක්ෂණය වන කිඹුලන්
මෙම ස්ථානය කිඹුලන්ගේ වාසස්ථානයට උචිත ආකාරයට ඉදි කර තිබෙනවා. ඒ වගේම එක් එක් කිඹුල් වර්ගවලට ඕනෑ කරන ජලයද සපයා තිබෙන බව දැක්වෙනවා. මුල් කාලයේ කිඹුල් බිත්තර රැක්කවීම මඟින් පැටවුන් ලබාගෙන තිබෙනවා. මේ සඳහා තමිල්නාඩු ආදී ප්‍රදේශ වලින් බිත්තර ලබා ගෙන තිබෙනවා. ඒ වගේම ආරම්භයේදී කැලයට ඔවුන්ව මුදා හරියත් අද වන විට තිබෙන අහිතකර තත්ත්ව හේතුවෙන් මෙසේ කිරීම නතර කොට තිබෙනවා.
ඒ වගේම ලෝකයේ විවිධ රටවල සිටින කිඹුල් විශේෂ මෙහි දී දැක බලා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ලෝකයේ දැනට කිඹුල් විශේෂ 23ක් පමණ සිටින බවත් ඉන් වර්ග 14ක් පමණ මෙහි සිටින බවත් දැක්වෙනවා. ඒ වගේම මෙසේ විවිධ වර්ග වලින් සිටින කිඹුලන් හඳුනා ගැනීමේ පහසුව පිණිස වයස, බර, දිග හා වර්ගය ආදිය පුවරුවල දක්වා තිබීම මෙම ස්ථානය නරඹන්නන් සඳහා පහසුව සැලසීමක් වෙනවා. මෙම ස්ථානයේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ මෙම ස්ථානයේ සිදු කරනු ලබන සියලු කටයුතු එහි සංචාරයේ නියුතු පුද්ගලයන් හට දැක බලා ගත හැකි වීමයි. ඒ වගේම මාළු මඟින් පමණක්ම යැපෙන ගැරියල් කියන කිඹුල් විශේෂය අද වන විට තර්ජනයට භාජනය වී සිටින සතෙක් යනුවෙන් හැඳින්වෙන අතරම මෙම විශේෂය මෙම ස්ථානයේදී දැක බලා ගැනීමට හැකි වෙනවා. එමෙන්ම සතුන්ගේ සුබසාධනය ආදී කටයුතු උදෙසා පශු වෛද්‍යවරියක් සිටින බවත් සඳහන් වෙනවා.
කිඹුල් බැංකුවේ අනෙකුත් සංරක්ෂණ වැඩ කටයුතු
කිඹුලන් සංරක්ෂණය සිදු කිරීම මෙන්ම මෙහි දී නයි පොළොංගු ආදී උරග විශේෂ ද සංරක්ෂණය කිරීමක් සිදු වෙනවා. මේ සඳහා ඉරුලා නමැති ගෝත්‍රික ජනතාව සහය දක්වනවා. මෙම පිරිස ගැන සඳහන් කිරීමේදී මොවුන් දකුණු ඉන්දියානු ද්‍රවිඩ ගෝත්‍රිකයන් පිරිසකි. 1972 වසරේදී වනජීවී සංරක්ෂණ පනත නීති ගත වීම සිදු වෙනවා. මෙසේ සිදු වීමට පෙරාතුව මෙම ජන කොටස් නයි පොළොංගු ආදීන් විකුණලා තමයි ජීවිකාව කරලා තියෙන්නේ. නමුත් මෙසේ නීති ගත වීමත් සමඟම මෙම පිරිසට කර කියා ගත නොහැකි තත්වයක් උදා වෙලා. මෙයට විසඳුමක් විදියට මෙම ඉරුලාවන් එකතු කරලා සමුපකාර සමිතියක් හදලා තියනවා. එමඟින් සිද්ද වෙන්නේ සර්ප විෂ එකතු කරලා විකුණනු ලබන ව්‍යාපාරයක්.
කැලෙන් සර්පයින් අල්ලලා, මුට්ටියක දාලා තියලා, සතියකට එක සේරයක් බැගින් හතර වාරයක් පමණ සර්ප විෂ එකතු කරලා වන සංරක්ෂණ නිලධාරියාගේ අධීක්ෂණය මත කැලයටම මුදා හැරීමක් සිදු කරන බව දැක්වෙනවා.
මීට අමතරව වඳ වී යන තර්ජනයට මුහුණ පා තිබෙන කැස්බෑවන්, ඉබ්බන් ආදියද දැක බලා ගැනීමේ හැකියාවක් තිබෙනවා.
පරිසරයේ සුන්දරත්වයට වගේම සමබරතාවය තබා ගැනීමට මෙම උරග විශේෂ වැදගත් වෙනවා. මෙහි නම, නැතිනම් කිඹුල් බැංකුව යන්න ටිකක් අහන්න දකින්න දෙයක් නොවුනාට පරිසරයෙන් වඳ වී යන සත්ත්ව විශේෂ සම්බන්ධයෙන් මෙහි දී සිදු කරන සේවය මෙන්ම පරමාර්ථය ඉතාමත් ඉහළයි.
කවරයේ පින්තූරය: commons.wikimedia.org