Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොවිසඳුණු අතුරුදහන්වීම්-9: බ්‍රැන්සන් පෙරී ගේ හදිසි අතුරුදහන් වීම

තවමත් විසඳී නැති, ලොව පුරා අවධානයෙන් පසුවන්නන්ට උභතෝකෝටිකයක් ඉතිරි කර තිබෙන අතුරුදහන් වීම් පිළිබඳ ව ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි පසුගිය ලිපියෙන් අප සාකච්ඡා කළේ, අමෙරිකා එක්සත් ජනපදයෙහි, මිසූරි ප්‍රාන්තයේ, ස්ප්‍රිංෆීල්ඩ් හී සිදු වූ සුසී ස්ට්‍රීටර්, ෂෙරිල් ලෙවිට් හා ස්ටේසි මැකෝල් යන තිදෙනාගේ හදිසි අතුරුදහන් වීම පිළිබඳව යි.

විවිධ අය පිළිබඳ, ඒ සබැඳි ව සැක සංකා මතු වූවත්, අද වෙන තුරුත් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගන්නට කිසිවෙක් සමත් වී නැහැ. මිසූරි ප්‍රාන්තයේ ම, ස්කිඩ්මෝර් හි ජීවත් වූ බ්‍රැන්සන් පෙරී නම් 20 වියැති තරුණයාගේ හදිසි අතුරුදහන් වීමත් ඒ ආකාරයේ ම කුකුසක් කාගේත් සිත් තුළ ඉතිරි කළ සිද්ධියක් වෙනවා.

මහ දවාලේ සිදු වූ අතුරුදහන් වීමක්

බ්‍රැන්සන් පෙරී අතුරුදහන් වූයේ 2001 වසරේ, අප්‍රේල් මස 11 වැනි දා, මිසූරි ප්‍රාන්තයේ, ස්කිඩ්මෝ හි, ඔහුගේ පියා ගේ නිවසේ දී යි. දිවා කාලයේ දී හදිසියේ ම ඔහු අතුරුදහන් වන විට නිවසේ සිටියේ ඔහු පමණක් නොවීම විශේෂිත යි. ඔහුගේ හොඳ ම මිතුරිය වන ජෙනා ක්‍රෝෆඩ් ඒ වන විට ඔහුගේ නිවසට පැමිණ සිටියේ, නිවස පිරිසුදු කරන්නට ඔහුට සහාය වන්නට යි. බ්‍රැන්සන් ගේ පියා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබූ අතර, එදින සවස හෝ පසු දින, ඔහු නිවසට නැවත රැගෙන ඒමට සැලසුම් කර තිබුණා.

ක්‍රෝෆ්ඩ් පවසන පරිදි බ්‍රැන්සන් ඇය අවසන් වරට දුටුවේ නිවසට එළියට බසින වේලාවේ දී යි. ඔහු ක්‍රෝෆඩ් අමතමින් පවසා තිබුණේ තමන් කුලියට ගත්, කාර් බැටරිය නැවත පණගන්වන රැහැන්, කුලියට ගත් ස්ථානයට ආපසු දීමට යන බව යි. මේ වේලාවෙහි තවත් දෙදෙනෙක්, පෙනෙන මානයකට වී, බ්‍රැන්සන් ගේ පියාගේ කාරය අලුත්වැඩියා කරමින් සිටියා. ඔවුන් ද බ්‍රැන්සන් නිවසෙන් පිටතට බසිනු දුටුවා. කෙසේ නමුත්, මෙවැනි කිහිප දෙනෙක් මධ්‍යයේ වුවත්, බ්‍රැන්සන් අතුරුදහන් වූයේ, කිසිවෙක් නොදකින පරිද්දෙන් වීම විශේෂිත යි.

 බ්‍රැන්සන් තමන් සේවය කළ සත්වෝද්‍යානයේ – Public Domain

බ්‍රැන්සන්ට අඩන්තේට්ටම් කළ අසල්වැසියා

බැන්සන් පෙරී ගේ අතුරුදහන් වීම ඔස්සේ ප්‍රදේශයේ පොලිසිය ඉක්මනින් ම පර්යේෂණ ආරම්භ කළා. අතුරුදහන් වීමේ ස්වභාවය අනුව ඉක්මනින් ම ඔහු හමු වේ යැයි ඔවුනට විශ්වාසයක් තිබුණ ද එය එසේ වූයේ නැහැ. ඔවුනට සාක්ෂි රාශියක් ලැබුණ ද, ඒ සියල්ල පල රහිත බැව් ඔවුනට ඉක්මනින් ම වැටහුණේ, මේ සිද්ධිය තවත් එක් අබිරහසක් බවට පත් කරමින්. මෙම අතුරුදහන් වීමේ සිද්ධිය අමෙරිකා එක්සත් ජනපදය තුළ පමණක් නොව, ලොව පුරා ම කතිකාවතක් නිර්මාණය කරන්නටත් සමත් වුණා.

අතුරුදහන් වන අවස්ථාව වන විට, බ්‍රැන්සන් ප්‍රදේශයේ සත්වෝද්‍යානයකට අනුයුක්ත ව සේවය කළා. ඔහු එක් වර ම හෘද ස්පන්දනය වැඩි වන රෝගයකින් ද පෙළුණා. මේ සඳහා ඔහු ප්‍රතිකාර ද ලබා ගත්තා. අතුරුදහන් වීම වන විට ඔහු ස්ථිර ලෙස පදිංචි ව සිටියේ සිය පියාගේ නිවසේ ම යි.

අප්‍රේල් මස 7 වැනි දා, එනම් ඔහු අතුරුදහන් වන්නට දින කිහිපයකට පෙර, ඔහු සිය අසල්වැසියෙක් වන ජේසන් බියර්මන් නමැත්තා හමුවීමට ගොස් තිබුණා. ඔහු සිතා මතා ම හඳුනා නොගත් මත්ද්‍රව්‍යයක් බ්‍රැන්සන්ට ලබා දී තිබුණු අතර, අනතුරු ව ඔහු සමග ලිංගික කර්තව්‍යයක ද නිරත ව තිබුණා. ඔහු බ්‍රැන්සන් නිරුවත් කිරීමෙන් අනතුරුව, ඔහුගේ ශරීරයේ රහස් පෙදෙස්වල රෝම ඉවත් කර තිබුණා. නැවත පියවි සිහිය ලැබීමෙන් අනතුරු ව, බ්‍රැන්සන් ලැජ්ජාවට පත්ව වහාම එතැනින් ඉවත් ව ගොස් තිබූ අතර, ඔහුගේ පියාට සියල්ල පවසා තිබුණා. මේ නිසා බියර්මන් සමඟ බ්‍රැන්සන්ගේ පියා අතිශය කෝපයට පත් වූ නමුත්, කිසි දිනෙක ඔහු තම පුත්‍රයාගේ අතුරුදහන් වීමට බියර්මන් සැක යැයි පැවසුවේ නැහැ. ඇත්තෙන් ම ඔහු සැක කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි කිසි ලෙසකින් පෙළ ගැසුණේ නැහැ.

 අතුරුදහන් වන විට බ්‍රැන්සන් සිටි නිවස- Public Domain

මිනී මස් කන ආගමික පූජකයා

ඉවතට ගිය බ්‍රැන්සන් නැවත නොපැමිණීම නිසා, ඔහුගේ නිවසේ ඒ වන සිටි ජෙනා ක්‍රෝෆඩ් සිතුවේ, ඔහු නොදන්වා කොහේ හෝ ගොස් ඇති බව යි. මේ නිසා මඳ වේලාවක් බලා සිටි ඇය, සිය නිවස වෙත ගොස් තිබුණේ, යම් අසාමාන්‍ය දෙයක් සිදු ව ඇති බව නොදැනයි. පසු දින බ්‍රැන්සන්ගේ නිවසට පැමිණි ඔහුගේ මිත්තණිය, කිසිවෙක් නිවසේ නැති බැව් දැක ඉවත ගියා. ඉන් පසු දිනත් ඇය පැමිණි අතර, එදිනත් බ්‍රැන්සන් නිවසේ නැති බැව් දුටු ඇය, වහා ම මේ පිළිබඳ ව ඔහුගේ මාපියන් දැනුම්වත් කළා. ඔවුන් තිදෙනා මේ පිළිබඳ ව පොලිසිය දැනුම්වත් කළ අතර, අප්‍රේල් මස 16 වැනි දා ඔවුන් පර්යේෂණ ආරම්භ කළා. නිවස තුළ කිසිදු සොරකමක් සිදු ව නොතිබූ අතර, වෙනයම් කඩාකප්පල්කාරී දෙයක් සිදු ව ඇති බවට සැක කෙරුණා.

2003 වසර වන තුරු බ්‍රැන්සන් පෙරී ගේ අතුරුදහන් වීම පිළිබඳ ව සාධනීය සාක්ෂියක් කිසිවකුට ලැබුණේ නැහැ. කෙසේ නමුත්, ප්‍රදේශයේ විසූ ආගමික පූජකයෙක් හා බාලදක්ෂයන් පුහුණු කරන්නකුගේ අසාමාන්‍ය චර්යා පිළිබඳ ව පොලිසියේ අවධානය යොමු වුණේ මේ අතර යි. ජැක් වේන් රොජර්ස් නම් වූ ඔහු 2003 වසරේ දී පොලිස් භාරයට ගැනෙන්නේ වෙනත් ම චෝදනාවකටයි. ලිංගික සංක්‍රාන්තිකයකුට සැත්කමක් සිදු කිරීමේ දී, රුධිර වහනය නැවැත්වීමට ඔහු අපොහොසත් ව තිබූ අතර, එය පොලිසියට පැමිණිලි කරනු ලදුව, බලපත්‍රයක් නොමැතිව වෛද්‍ය ප්‍රතිකාර හා සැත්කම් සිදුකිරීමේ චෝදනාව පිට ඔහු අත් අඩංගුවට ගැනෙනවා.

 බ්‍රැන්සන් පෙරී සොයා දෙන ලෙස දැක්වෙන දැන්වීම් පුවරුවක් – Public Domain

අසාමාන්‍ය තොරතුරු

බලධාරීන් රොජර්ස්ගේ නිවස පරීක්ෂා කිරීමේ දී ඔහු පිළිබඳ අසාමාන්‍ය තොරතුරු හෙළිවූවා. ඔහුගේ පරිගණකයේ තිබී කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ හමුවුණා. ලිංගික අඩන්තේට්ටම්, හිංසා කිරීම් සහ මිනිමැරුම් පිළිබඳව වූ පුවත් ද ඔහු එකතු කොට තිබුණා. ඔහු සැත්කම් කිරීමේ දී ඉවත් කළ සමහර මානව ශරීර කොටස් ආහාරයට ගත් බවත් පොලිස් නිලධාරීන්ට පැවසුවා.

රොජර්ස් විවිධ දේ ගැන සටහන් තබා තිබූ අතර, රන්වන් කෙස් ඇති තරුණයෙක් ඝාතනය කර අවට ස්ථානයක වළ දැමූ බවට වන සටහනක් ද එහි වුණා. මෙහි වූ තොරතුරු බ්‍රැන්සන් හා සෑම අතින් ම ගැළපුණු අතර, ප්‍රශ්න කිරීමේ දී රොජර්ස් පැවසුවේ එය තමන් සිතට පැමිණි හුදු මනඃකල්පිත කතාවක් පමණක් බව යි. මේ ඔස්සේ පර්යේෂණ කෙරුණ ද, කිසිදු සාක්ෂියක් හමු නොවීම නිසා රොජර්ස් එම චෝදනාවෙන් නිදහස් කරන්නට පොලිසියට සිදු වුණා.

අවසානයක් නොවූ අවසානයක්

රොජර්ස් ගේ සිද්ධියෙන් පසු අද වන තුරුත් බ්‍රැන්සන් ගේ අතුරුදහන් වීම පිළිබඳ කිසිදු සාධනීය තොරතුරක් නොලැබුණු අතර, කිසිවෙක් වෙත දැඩි ලෙස සැකයක් යොමු වුණේ ද නැහැ. ඔහු යම් අයුරකින් ඝාතනය වන්නට ඇති බැව් පොලිසිය විශ්වාස කරනවා. සිද්ධීන් මෙසේ පෙළ ගැසෙද්දී සමහර පාර්ශව තවමත් ඒ පිළිබඳ ව ඇඟිල්ල් දිගුකරමින් සිටින්නේ රොජර්ස් වෙත යි. මේ සියල්ල මධ්‍යයේ පොලිස් පොත් වල බ්‍රැන්සන් පෙරී නාමය සඳහන් වී ඇත්තේ, වසර විස්සක් තිස්සේ අතුරුදහන් ව සිටින් පුද්ගලයෙක් ලෙසට යි.

කවරයේ ඡායාරූපය - bringbransonhome.wordpress.com

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Newspressnow.com

talkmurder.com 

Related Articles