Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවපුරා ප්‍රසිද්ධ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන

සෑම වසරකම සැප්තැම්බර් මාසය ශ්‍රී ලාංකික පොත් කියවන්නන්ට සුවිශේෂී මාසයක්. එයට හේතුව වන්නේ ලංකාවේ විශාලම පොත් ප්‍රදර්ශනය වන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ” බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමයි. දින 10ක් පුරා පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය ආසියාවේ විශාලතම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයන්ගෙන් එකක්.

දෙස් විදෙස් පොත් ප්‍රකාශන සමාගම් 450කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනයට සහභාගී වන අතර රූපවාහිනිය, ගුවන් විදුලිය මෙන්ම විශේෂයෙන් අන්තර්ජාලය ලොවපුරා ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන මෙම කාල වකවානුවේ පොත් ප්‍රදර්ශනය අතුරු සිදුරු නොමැතිව පාඨකයන්ගෙන් පිරීයාම පොත් වලට වත්මන් සමාජය දක්වන ඇල්ම හා ආදරය මැනවින් නිරූපණය වෙනවා.

ඉතින් අද ලිපිය තුළින් අප ඉදිරිපත් කරන්නට යන්නේ ලොවපුරා පාඨකයන් කුල්මත් කරමින් ලොව වටා පැවැත්වෙන ජාත්‍යන්තර පොත් සල්පිල් පිළිබඳව කෙටි විස්තරයක්. ඔබත් පොතට ආදරය කරන පොත් ලෝලියෙක්නම් මෙම ලිපිය වැදගත් වේවි.

මොස්කව් ජාත්‍යන්තර පොත් සල්පිල – රුසියාව

මොස්කව් ජාත්‍යන්තර පොත් සල්පිල (Moscow Photos)

ඉතාමත් අඩු මිලකට පාඨකයන්ට පොත් මිලදී ගැනීමට හැකි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලෙස ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ මොස්කව් පොත් ප්‍රදර්ශනයයි. සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේ 5 වනදා සිට 10 වෙනිදා දක්වා මොස්කව් නුවර පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ලොව ප්‍රකට පොත් ප්‍රකාශකයන් 1300ක් පමණ සහභාගී වෙනවා.

හොඳම සාහිත්‍ය කෘති සඳහා රුසියානු රජය විසින් රුනෙට් (Runet) සාහිත්‍ය සම්මාන හා ත්‍යාග සාහිත්‍යකරුවන්ට පිරිනමන්නේ මෙම පොත් ප්‍රදර්ශනය තුළදීයි.

Night book fair – එක්සත් අරාබි එමීර් රාජ්‍යය

රාත්‍රියේ පමණක් පැවැත්වෙන ලොව එකම පොත් සල්පිල ලෙස වාර්තා වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්තු මස 5 වනදා සිට 9 වනදා දක්වා රාත්‍රීන් 5ක් පුරා පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයයි.

ලොව වටා කතුවරුන් විශාල ප්‍රමාණයක් මෙයට සහභාගී වන අතර පොත් පිළිබඳව කතුවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා, ප්‍රකට ලේඛකයන් මුණ ගැසීමේ අවස්ථා හා පොත් පිළිබඳව විචාරාත්මක දේශන ඇතුළු විවිධාංග සියයකට අධික සංඛ්‍යාවක් පොත් ප්‍රදර්ශනය තුළ අන්තර්ගත වෙනවා.

එඩින්බර්ග් පොත් සැණකෙළිය – එංගලන්තය

එඩින්බර්ග් පොත් සැණකෙළිය (The Guardian)

1983 වසරේ සිට සෑම වසරකම අගෝස්තු මාසයේ දින 14ක් පුරාවට එංගලන්තයේ  එඩින්බර්ග් නගරයේ චාලට් චතුරශ්‍රයේ පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය පොත් සැණකෙළියක් ලෙස හැඳින්වීම ඉතා නිවැරදියි. එයට හේතුව වන්නේ එහි පවතින උත්සවශීලි විචිත්‍රත්වයයි.

මෙය පැවැත්වෙන්නේ වසර දෙකකට වරක් පමණයි. ලොව පුරා සිටින ප්‍රකට මෙන්ම විද්වත් කතුවරුන් 500ක් පමණ මෙයට සහභාගී වීමට අාරාධනා ලබනවා.  මෙහිදී  පොත් පිළිබඳව සම්මන්ත්‍රණ, විචාරයන් පිළිබඳව විවාද, ග්‍රන්ථකරණය පිළිබඳව වැඩමුළු හා යොවුන් සාහිත්‍යකරුවන්ට  කෘති නිර්මාණය කිරීමේදී ඇතිවන ගැටළු සඳහා ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගැනීම වැනි අවස්ථා උදා වෙනවා.

විශේෂයෙන් පාසල් ළමුන්ට මුද්‍රණ ශිල්පය හා චිත්‍රකරණය පිළිබඳව වැඩමුළු රාශියක් ප්‍රදර්ශනය පුරාවටම දකින්නට පුළුවන්.

ප්‍රෑන්ක්ෆරට් පොත් ප්‍රදර්ශනය – ජර්මනිය

ප්‍රෑන්ක්ෆරට් පොත් ප්‍රදර්ශනය (TicketTail)

ලොව ඇති දුර්ලභම හා පැරණිම පොත් අලෙවි වන පොත් ප්‍රදර්ශනය ලෙස ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ ජර්මනියේ පැවැත්වෙන ප්‍රෑන්ක්ෆරට් පොත් ප්‍රදර්ශනයයි. සෑම වසරකම ඔක්තෝම්බර් මාසයේ 10 – 14 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී ග්‍රන්ථ කතුවරුන් එක් වී විශාල දේශන සංඛ්‍යාවක් පවත්වනවා.

මීට සමගාමීව සෑම වසරකම සැප්තැම්බර් 5 සිට 15 දක්වා ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයන් ජර්මනියේ බර්ලින් නුවරට  එක්රැස් වී ලෝක සාහිත්‍ය පිළිබඳව වැඩමුළුවක් පවත්වනවා. ලොව පුරා විසිරී සිටින විවිධ ජාතීන්ට, විවිධ සංස්කෘතීන්ට අයත් ලේඛකයන් හා පාඨකයන් තම අත්දැකීම් එකිනෙකා අතර බෙදා ගන්නා අවස්ථාවක් ලෙස මෙය නම් කර දක්වන්නට පුළුවන්.

ජයිපූර් හා නවදිල්ලි පොත් ප්‍රදර්ශන – ඉන්දියාව

පොත් ප්‍රකාශනය අතින් ලොව තුන්වන ස්ථානය දිනාසිටින අසල්වැසි ඉන්දියාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන දෙකක් සෑම වසරකම පැවැත්වෙනවා. මේ අතරින් ආසියා ශාන්තිකර කලාපයේ විශාලම පොත් ප්‍රදර්ශනය වන්නේ ජායිපූර් පොත් ප්‍රදර්ශනයයි. එය ජනවාරි 24 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වෙනවා.

නවදිල්ලි පොත් ප්‍රදර්ශනය ඉන්දියාවේ පැවැත්වෙන පැරණිම පොත් ප්‍රදර්ශනයයි. එය සෑම වසරකම පෙබරවාරි 5 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වෙනවා. ලෝකයේ බොහෝ රටවල කර්තෘවරුන්, පොත් ප්‍රකාශකයන්, දේශකයන් හා කවියන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේදී පාඨකයන්ට මුණගැහෙන්නට පුළුවන්.

පොත් කියවන්නන්ගේ පාරාදීසය – අයර්ලන්තය

ද්‍රෝමිනීර් පොත් සල්පිල (Sika Ireland)

පොත් කියවන්නන්ගේ වඩාත් ආකර්ශනීය රටක් ලෙස අයර්ලන්තය හඳුන්වන්නට පුළුවන්. එයට හේතුව වන්නේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පහකට අධික සංඛ්‍යාවක් වසර පුරා අයර්ලන්තයේ පැවැත්වීමයි.

විවිධ ආකර්ශනීය අංග රැසකින් සමන්විත වන මෙම ප්‍රදර්ශන අතරින්  ඔක්තෝම්බර් 5 – 7 දක්වා ඇන්ත්ලෝන් සාහිත්‍ය උත්සවයත්, ඇස්පෙක්ට් පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 26 – 30 දක්වාත්, ද්‍රෝමිනීර් පොත් සල්පිල ඔක්තෝම්බර් 11 සිට 14 දක්වාත්, එනිස් පොත් දැක්ම මාර්තු 1- 3 දක්වා හා කොක් වසන්ත පොත් සැණකෙළිය පෙබරවාරි 15- 18 දක්වාත් පැවැත්වෙනවා.

පොත් ප්‍රකාශකයන්, කර්තෘන් හා පාඨකයන් එකම තැනක මුණගැහෙන මේ ජාත්‍යන්තර ප්‍රදර්ශන වලට අමතරව අයර්ලන්තයේ අන්ධ කවීන්ගේ සංවිධානය මඟින් “ලිස්ටෝටල් ලේඛක සතිය” නමින් තවත් සාහිත්‍ය උළෙලක් පවත්වනවා.

සෙන්ගෝවියා පොත් ප්‍රදර්ශනය – ස්පාඤ්ඤය

ලෝකයේ ළමා සාහිත්‍ය වෙනුවෙන් පැවැත්වෙන පොත් ප්‍රදර්ශන අතරින් ප්‍රමුඛ ස්ථානයක් ලබා ගන්නා පොත් සල්පිලක් ලෙස සෙන්ගෝවියා පොත් ප්‍රදර්ශනය හඳුන්වන්නට පුළුවන්. සෑම වසරකම සැප්තැම්බර් මාසයේ 27 සිට 30 වනදා දක්වා විවෘතව පවතින මෙහි ලේඛකයන් දිරිගැන්වීම සඳහා විවිධ වැඩමුළු පැවැත්වෙනවා.

තෙසලොනිකි පොත් සල්පිල- ග්‍රීසිය

තෙසලොනිකි පොත් සල්පිල (Publishing Perspectives)

ග්‍රීසියේ වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලොව පුරා ප්‍රසිද්ධව ඇත්තේ පැරණි ග්‍රීක සාහිත්‍ය කෘති පාඨකයාට මිලදී ගතහැකි ජාත්‍යන්තර සාහිත්‍යය උළෙලක් ලෙසයි. ඊට අමතරව බටහිර සාහිත්‍ය කෘතිද මිලදී ගතහැකි අතර ප්‍රදර්ශකයන් 400ක් පමණ ප්‍රදර්ශනයට සහභාගී වෙනවා.

ලිපිය තුළින් ඉදිරිපත් කරන ලද්දේ ලොව පුරා පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන හා ඒවායේ විවිධාංග පිළිබඳවයි. ලොව වැදගත් පොත් ප්‍රදර්ශන සියල්ල පැවැත්වෙන කාලවකවානු පිළිබඳවද සටහන් කර තිබෙනවා. එම කාලයන්හිදී එවැනි නගර වල සංචාරය කරන්නට ගියොත්, එහි පැවැත්වෙන ජාත්‍යන්තර පොත් සැණකෙළි නැරඹීමට අමතක කරන්න එපා.

කවරයේ ජායාරූපය Her Campus

මුලාශ්‍ර-Wikipedia, mapsofworld.com , internationalpublishers.org, newdelhiworldbookfair.gov, booksmakeadifference.com

Related Articles