ලෝකය ආසන්න වශයෙන් ගෝලාකරයි. ඒ නිසා ලෝකයේ විවිධ තැන් වලට හිරු උදා වෙන්නේ විවිධ වේලාවන් වලයි. පෘථිවිය බටහිර සිට නැඟෙනහිරට භ්‍රමණය වන නිසා අපිට නැඟෙනහිරින් හිරු උදා වී බටහිරින් බැස යන්නා සේ පෙනෙනවා. පෘථිවිය තමා වටා එක් වටයක් සම්පූර්ණයෙන් භ්‍රමණය වීමට දළ වශයෙන් පැය 24 ක් ගන්නවා. මේ අනුව මේ පැය 24 තුළ එක් දේශාංශයක පිහිටන ලක්ෂ්‍යයක් හිරුට මුහුණලා තිබෙන විට ඊට ප්‍රතිවිරුද්ධ දේශාංශයක් ඒ මොහොත වන විට හිරුගෙන් ප්‍රතිවිරුද්ධ පෙදෙසේ පිහිටනවා. පළමු ලක්ෂ්‍යයට මධ්‍යාහ්නය උදා වන විට දෙවන ලක්ෂ්‍යයට මධ්‍යම රත්‍රිය උදා වෙනවා.
අක්ෂාංශ හා දේශාංශ යන මනඃකල්පිත් රේඛා සිතියම් වල ඇඳීමට ප්‍රධාන හේතු දෙකක් වන්නේ නාවික හා දුම්රිය ගමනාගමන පහසුව, සන්නිවේදනය හා සබැඳි වේලා කලාප වෙන් කිරීමයි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් එකම වේලා කලාපයකට අනුබද්ධව පිහිටන නිසා මුළු රට පුරාම එකම වේලාව භාවිත වන අතර, රුසියාව වැනි විශාල රටවල් වේලා කලාප කිහිපයක් තුළ පිහිටනවා.
වේලා කලාප වල මූලික සිද්ධාන්තය
ලෝකය දේශාංශ 360 කට බෙදා තිබෙනවා. මේ දේශාංශ 360 ම එක් වරක් හිරුට එල්ල වීමට පැය 24 ක කාලයක් ගත වෙනවා. ඒ අනුව පෘථිවියට අනුරූපව හිරුට එක් දේශාංශයක් පසු කර යාමට දළ වශයෙන් මිනිත්තු 4 ක පමණ කාලයක් ගත වෙනවා. බොහෝ රටවල් එක් දේශාංශයකට වඩා වපසරියක පිහිටන නිසාත් විනාඩි 4 වේලා කලාප ඇති කිරීම ගැටළු සහගත නිසාත් දේශාංශ 15 ක් ඇතුළු වන පරිදි පැයෙන් පැයට හෝ දේශාංශ 7.5 ක් ඇතුළු වන පරිදි පැය බාගයේ වේලා කලාප ඇති කර ගැනීමට මිනිසුන් උත්සුක වී තිබෙනවා.
වේලා කලාප බිහිවීමේ ඉතිහාසය
වර්තමාන ඔරලෝසු බිහිවීමට ප්‍රථමයෙන් පුරාතන ජනයා වේලාව නිර්ණය කිරීම සඳහා විවිධ උපකරණ භාවිතා කළ අතර සූර්යයා හරියටම මුදුන් වීම හෝ කටක හෝ මකර නිවර්තන වලින් පිටත පිහිටි ස්ථානයක නම් සූර්යයා උපරිම වශයෙන් අහසෙහි නැඟෙන මොහොත මධ්‍යාහ්නය ලෙස සළකමින් මේ උපකරණ සකස්ව තිබුණා. සූර්යය ඝටිකා ඊට උදාහරණ සපයනවා.
ක්‍රි.ව 17 වන සියවසේදී සරළ අවලම්භ ඝටිකා බිහිවීම සිදුවුණා. නමුත් නමුත් නාවුක කටයුතු වලදී ඒවා යොදා ගැනීම එතරම් නිවැරදි හෝ ප්‍රායෝගික වුණේ නැහැ. ක්‍රි.ව 1764 දී කාල මානකය (Chronometer) නිපදවීම සිදු වුණු අතර එමඟින් විවිධ පාරිසරික තත්ත්ව යටතේදී නිවැරදිව වේලාව ගණනය කිරීමට හැකියාව ලැබුණා.
කාල මානකය නිපදවීමෙන් පසුවත් ලෝකයේ බොහෝ නගර සිය වේලාව නිර්ණය කලේ හිරු උදාව හා හිරු බැසයාම අනුවයි. මේ නගර ලෝකයේ විවිධ ස්ථාන වල, විවිධ අක්ෂාංශ හා දේශාංශගත පිහිටීම වල පිහිටීම නිසා ඒවායේ හිරු නැඟ එන හා බැස යන වේලාවන් වෙනස් වුණා. ඒ කෙසේ නමුත් මේ වෙනස්කම් ඒ තරම් ගැටළුවක් නොවූයේ දීර්ඝ ගමන් හා ගෝලීය සන්නිවේදනය 18 හා 19 වන සියවස් වල මුල් භාගයේ ඒ තරම් ප්‍රචලිතව නොතිබීම නිසායි. ඒ කෙසේ නමුත් සන්නිවේදනය හා දුම්රිය ගමන් වැනි දේ ලොව ජනප්‍රිය වීමත් සමඟ හිරු නැඟීම හා බැසීම අනුව වේලාව නිර්ණය කිරීම ඉතා පැටළිලි සහගතබව මිනිසුන්ට අවබෝධ වුණා. මෙහි ප්‍රතිඵලයක් හැටියට දේශාංශ කිහිපයක් එකට ඈඳා එය ඔස්සේ පවතින සියළුම ස්ථාන වල එකම වේලාවක් භාවිත කිරීමේ ‘වේලා කලාප’ ක්‍රමවේදය කරළියට පැමිණුනා.
19 වන සියවසේ ඇති වූ අහියෝග
19 වන සියවසේ ඇමෙරිකා එස්කත් ජනපදයේ දුම්රිය මාර්ග ඇති වීමත් සමඟම එහි ගමන් කරන්නවුන්ට අත් විඳීමට වූ දැඩි අපහසුතාවයක් වූයේ ඒවා වේලා කලාප රැසක් තුළින් ගමන් කිරීමයි. මේ නිසා ඔවුනට දුම්රිය කාල සටහන් වලට අනුගත වීම ඉතා කරදරකාරී එකක් වුණා. එකළ ඇමරිකා එක්සත් ජනපදයේ සියළුම නගර පාහේ විවිධ වේලාවන් භාවිතා කළ අතර සමහර විටක දීර්ඝ ගමනක් යන මඟියෙකුට දිනකට විවිධ වේලා කලාප 300ක් පමණ පසු කිරීමට සිදු වුණා. මේ තත්වයට විසඳුමක් ගෙන එමින් ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රි.ව 1883 දී ප්‍රධාන වේලා කලාප 4 ක් හඳුන්වා දෙනවා.
ග්‍රිනිච් මධ්‍යාහ්න රේඛාව හා වර්තමාන වේලා කලාප සම්මත වෙයි.
19 වන සියවසේ පසු භාගය වන විට ලොව පුරා ‘වේලා කලාප’ ක්‍රමය ප්‍රචලිතව තිබුණු අතර ලොව තැනින් තැන විවිධ ප්‍රධාන වේලා කලාප තනාගෙන භාවිත කරනු දකින්නට ලැබුණා. මින් වඩාත්ම ප්‍රචලිතව තිබුණේ එංගලන්තයේ ග්‍රිනිච් නඟරය මධ්‍ය කරගෙන තනාගෙන තිබූ ‘ග්‍රිනීච් මධ්‍යාහ්න රේඛාව’ යි. එංගලන්තය කුඩා රටක් බැවින් සිය භූමිය මත දී ඒ තරම් වේලා වෙනස ඔවුනට ගැටලුවක් නොවුනත් ලොව පුරා විසිරුණු යටත් විජිත පිහිටා තිබීමත් නාවුක ගමනාගමන කටයුතු සීඝ්‍ර ලෙස සිදු කිරීමත් නිසා ලොව පුරා යම්කිසි සම්මත වේලා කලාප ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඔවුන්ටත් තදින්ම දැනුණා.
මේ නිසා එංගලන්තයත් ලොව ප්‍රබල අනෙක් රටවලුත් එක්ව ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදී 1884 වසරේ ඔක්තෝබර් මාසයේදී ‘ජාත්‍යන්තර මධ්‍යාහ්න රේඛා සමුළුව’ පවත්වනු ලබනවා. එහිදී ග්‍රිනීච් මධ්‍යාහ්න රේඛාව මධ්‍ය කොටගෙන වේලා කලාප බිහි කරගැනීමටත්, ග්‍රිනීච් නගරය මධ්‍යයෙන් දෙශාංශ 0 ගමන් කරන ලෙස සලකා නැඟෙනහිරට හා බටහිරට දේශාංශ වෙන් කිරීමටත් සම්මත කර ගැණුනා.
20 වන සියවසේ වේලා කලාප
විසිවන සියවසේ මුල් භාගය වන විට ග්‍රිනීච් මධ්‍යාහ්න වේලාව ලොව සම්මත වේලාව ලෙස ලෝකය පුරාම ස්ථාපිත වී තිබුණත් ලොව සමහර රටවල් තමන්ගේ දේශාංශික පිහිටීම අනුව ග්‍රිනිච් වේලාවේ සිට විනාඩි ගණන් වෙනස් වන පරිදි සිය ප්‍රාදේශීය වේලාවන් පවත්වාගෙන ගියා. ඒ කෙසේ නමුත් එමඟින් ලෝකයා ග්‍රිනිච් වේලාව හඳුන්වා දීමේදී බලාපොරොත්තු වූ පහසුතාව ළඟා කරගත නොහැකි වූ නිසා ක්‍රි.ව 1972 දී සම්බන්ධීකරණය කරන ලද විශ්වීය සම්මත වේලාව (Coordinated Universal Standard Time) ග්‍රිනිච් මධ්‍යාහ්න වේලාව වෙනුවට හඳුන්වා දුන් අතර 1978 වසර වන විට ලොව සියළු රටවල් පාහේ නිළ වශයෙන් එය පිළිගෙන එයට අනුව ආසන්න පැය හෝ පැය භාගයක ඉර උදා වෙනස අනුව වේලා කළාප සාදා ගත්තා.
වේලා කළාප 24 කට වඩා තිබෙනවා
විශ්වීය සම්මත වේලාවට (UTC) අනුව ඉර උදාව සිදු වන වෙනසට අනුව ආසන්න පැයට හසු වන පරිදි වර්තමානය වන විට වේලා කලාප වෙන් වී තිබුණත් (ග්‍රිනිච් රේඛාවෙන් නැඟෙනහිරට +1, +2 හා බටහිරට -1, -2 යනාදී වශයෙන්) සමහර ස්ථාන වල ආසන්න පැය බාගය හෝ විනාඩි 15 ට අනුවත් වේලා කලාප වෙන් කරගෙන තිබෙනවා. උදාහරණ වශයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඉන්දියානු සම්මත වේලාව වන විශ්වීය සම්මත වේලාවට වඩා පැය 5 1/2 ක් ඉදිරියෙන් සිටින ලෙස සිය වේලාව සකස් කරගෙන තිබෙනවා. නේපාලය විශ්වීය සම්මත වේලාවට වඩා පැය 5 කුත් මිනිත්තු 45ක් ඉදිරියෙන් ඇති වේලා කලාපයක් සකසාගෙන නිළ වශයෙන් භාවිතා කරනවා. මේ විව්ධ වේලා කලාපයන්ට අනන්‍ය වූ නම් ද තිබෙනවා. සමහර විටෙක වේලා අඩු වැඩියෙන් එකම වේලා කලාපයට අයත් වූවත් ප්රාදේශීයව එය වෙනත් නම් වලින් ව්‍යවහාර වෙන අවස්ථාත් තිබෙනවා.
දිවා සුරැකුම් කාලය
ලොව සමහර රටවලට ග්‍රීෂ්මයේදී වැඩි කාලයක් ඉර එළිය වැටෙන නිසා ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිය වේලාව පැයක් හෝ පැය භාගයක් පමණ ඉදිරියට ගන්නවා. ග්‍රීෂ්මය අවසන් වූ පසු නැවතත් එය පෙර තත්ත්වයටම වෙනස් කරනවා. මෙය මුලින්ම නිළ වශයෙන් 1908 වසරේදී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ තන්ඩර් බේ නගරයේ ක්‍රියාත්මක කර ඇති අතර රටක් වශයෙන් මෙය මුළින්ම ක්‍රියාවට නැංවූයේ 1916 වසරේ ජර්මනියයි.
ජාත්‍යන්තර දින රේඛාව
ග්‍රිනිච් මධ්‍ය රේඛාවේ සිට බටහිරට බටහිර දේශාංශත් නැඟෙනහිරට නැඟෙනහිර දේශාංශත් විහිදී යන අතර ඒ දෙකම එකට හමුවන අංශක 180 රේඛාව රුසියාව හා ඇලෙස්කාව අතරින් පැසිෆික් සාගරය ඔස්සේ වැටෙනවා. එකළ ඒ තරම් ගැටළුවක් නොවුණත් පසු කළෙක ගමනාගමනය දියුණු වූ පසු මෙම රේඛාව හරහා ඔබ මොබ යන්නෙකුට තමන් සිටින්නේ කුමන දිනෙකදැයි යන ගැටළුව පැන නැග්ගා. ඒ අනුව මේ රේඛාව ඔස්සේ නැඟෙනහිර දිශාවට යන්නෙකුට සිය දින දසුනේ එක් දිනක් ආපස්සට ගියා සේ සැලැකිය යුතු ලෙසත් බටහිර දිශාවට යන්නෙකුට දිනක් ඉදිරියට එකතු කරගත යුතු ලෙසත් ක්‍රමවේදයක් සකස් කෙරුණා. මෙය 1884 ජාත්‍යන්තර මධ්‍යාහ්න රේඛා සමුළුවේදී සම්මත වුණු අතර එහිදී ග්‍රිනිච් මධ්‍යාහ්න රේඛාව දෙශාංශ 0 ලෙසත් දේශාංශ 180 ‘ජාත්‍යන්තර දින රේඛාව’ ලෙසත් නම් කෙරුණා. රට රටවල පිහිටීම අනුව සරළ රේඛාවකින් මදක් අපගමනය වීම් සහිතව මේ රේඛාව සම්මත කරගෙන තිබෙනවා.
එකම මොහොතේ දින 3ක්
එකම මොහොතක පෘථිවියේ විවිධ ස්ථාන වල සම්මත වශයෙන් දින 3 කට අයත් කාලයන් ගත වෙමින් තිබිය හැකි බව ඔබ දන්නවාද?
පැසිෆික් සයුරේ මධ්‍යට වන්නට විසිරී පවතින කිරිබාති වලට අයත් වන දූපත් සමූහය ජාත්‍යන්තර දින රේඛාවේ දෙපස පැවතීම නිසා එකම රාජ්‍යය තුළ එක විට දින දෙකක් ගත වෙන්නා සේ සැළකීමට සිදු වුණා. එසේම ඒවා එකම වේලා කලාපයකට අයත් ලෙස සලකන්නටත් ප්‍රායෝගිකව නොහැකි තරම් දුරකින් පිහිටා තිබෙනවා. මේ නිසා කිරිබාති රජය -11 හා -10 වේලා කලාප පාවිච්චිය අතහැර ඒ වෙනුවට +13 හා +14 වේලා කලාප භාවිතයට ගැනීමට පටන් ගත්තා. ටොංගාව කළක සිටම +13 වේලා කලාපය භාවිතා කළා. ඊට අමතරව නවසීලන්තයත් සිය දිවා සුරැකුම් කාලය ක්‍රියාත්මක කරන අවධියේදී +13 වේලා කලාපයට ගැනෙනවා. මේ අනුව +13 වේලා කලාපයට යම් මසක පළමු වන දින උදා වනට විට ලන්ඩනය පෙර මාසයේ 31 වන දින දිවා කාලය ගත කරනවා. ඒ වාගේම -12 වේලා කලාපයට අයත් ස්ථාන තවමත් 30 වනදා අවසන් පැය ගත කරනවා.
කවරයේ පින්තූරය -videoblocks.com