Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“භයානක විශ්ව කිරණ අද රෑට ශ්‍රී ලංකාවට!!” – (සහ වෙනත් අන්තර්ජාලමය මිත්‍යා)

සියළුම ආකාරයේ තොරතුරු දැනගැනීමට, විනෝදාස්වාදය ලබාගැනීමට අන්තර්ජාලය තමයි ප්‍රයෝජනවත්ම තැන. ඒ වුණත්, අන්තර්ජාලයේ සංසරණය වන බොහොමයක් තොරතුරු සැලකිය යුතු ලෙස අතිශයෝක්තියට නංවා තිබෙනවා පමණක් නොවෙයි, අසත්‍ය තොරතුරුත් බොහොමයි. වර්තමානයේ බොහොමයක් ජංගම දුරකතන වල ඉන්ටර්නෙට් පහසුකම් තිබෙන නිසා මැසේජස් හරහාත්, වට්සැප්, ෆේස්බුක්, සහ ඊමේල් හරහාත් මෙවැනි අසත්‍ය තොරතුරු සංසරණය වන්නේ ත‍ටු ලැබුණාටත් වඩා ඉක්මනින්. නිතරම මතුවන මෙවන් ඇතැම් අසත්‍ය පුවත් නිසා නිතර නිතර නොසන්සුන්තාවයන් ඇති වන නිසාත්, එයින් ලැබෙන ප්‍රථිපල අහිතකර වන නිසාත් නිතරම බෙදාහැරෙන එවැනි අන්තර්ජාල මිත්‍යා කීපයක් මෙහි පැහැදිලි කිරීමට අප සිතුවා.

අද රාත්‍රියේ පෘථිවියට එන “කොස්මික් කිරණ”

මෙය 2012 වසරේ පමණ සිට වරින්වර අන්තර්ජාලයේ සංසරණය වන මිත්‍යාවක්. ඉතා භයානක “කොස්මික් කිරණ” අද රාත්‍රියේ පෘථිවියට ළඟාවන බවත්, එයින් ආරක්ෂා වීමට ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක ආදිය සිරුරෙන් ඈතට කර තබාගන්නා ලෙසත්, මෙම පුවත NASA සහ BBC වෙබ් අඩවි වල පවා පළ වූ බවත් එම මැසේජයේ කියැවෙනවා.

NASA සහ BBC වලින් ප්‍රචාරය කළා යැයි කියන, බැලූ බැල්මට විද්‍යාත්මක පුවතක් අසත්‍යක් වෙන්න පුළුවන් ද?

පුළුවන්.

සාමාන්‍යයෙන් “කොස්මික් කිරණ” යනුවෙන් හැඳින්වෙන්නේ හිරුගෙන් හෝ සුපර්නෝවා පිපිරීමක් වැනි ශක්තිය අධික ලෙස පිටකරන ප්‍රතික්‍රියාවකින් විහිදෙන, ආලෝකයේ වේගයෙන් ගමන් කරන අධි ශක්ති ආරෝපිත අංශුයි. නමුත් හිරුගෙන් පිටවන විකිරණ මට්ටම් සහ මතුපිට ක්‍රියා නිරන්තරයෙන් නිරීක්ෂණය කෙරෙන නිසාත්, සුපර්නෝවා බවට පත්විය හැකි මියයමින් පවතින තාරකා අප සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයේ පිහිටා නැති නිසාත් “භයානක කොස්මික් කිරණ” ඇතිවීමේ අවධානමක් නැහැ. ඔබ අභ්‍යාවකාශයේ පාවෙමින් සිටිනා ගගනගාමියෙක් නොවේ නම්, කිසිසේත්ම බියවිය යුතු නැහැ.

පැරසිටමෝල් වල මචුපෝ වෛරසය?

පැරසිටමෝල් පෙති වල “මචුපෝ” නම් මාරාන්තික වෛරසයක් අඩංගු බවත්, එය ආසාදනයෙන් බොලීවියානු රක්තපාත උණ වැළ‍ඳෙන බවත්, මේ පුවත වෛද්‍යවරුන් පවා තහවුරු කර ඇති බවත් යනුවෙන් කියැවෙන පුවතක් මේ දිනවල ෆේස්බුක් හරහා බෙදාහැරෙනවා.

අසත්‍යයකි.

මචුපෝ වයිරසය මූලිකවම වාතය හරහා පැතිරෙන්නක් වන අතර මීයන් වැනි සතුන් රෝග වාහකයින් ලෙස ක්‍රියා කරනවා. මිනිස් සිරුරෙන් පිට වියළි පරිසර වල දී මෙම වයිරසය ප්‍රවර්තනය වීමේ හැකියාව අවමයි. එනිසා පැරසිටමෝල් හෝ කිසිම වියළි ඖෂධයක මෙම ජීවී වයිරසය අඩංගු වීමේ හැකියාවක් නැහැ. එසේම බොලීවියාවෙන් පිටත මෙම රෝගය ආසාදිතයින් වාර්තා වී නැහැ.

බබෙක්ට AB+ රුධිරය අවශ්‍යයි

Plz Plz Plz Plz Fwd this Msg urgently..atleast to 10 Frnds.. I am also forwarding.. A Baby Needs AB+Blood Immediately. Contact=+94752606704…….­­.­.. Don’t Delete………. Ur Small SMS Will Save a Child !It is reall sms plz forward – Whatsapp කණ්ඩායමකින් උපුටා ගත්තකි 

මේ මැසේජ් එක නම් ඔබ බොහොමයක් දෙනාට ලැබෙන්න ඇති. පොඩි දරුවෙක්ට රුධිරය අවශ්‍යයි කියලා ඇහුවම හිත උණු නොවෙන්නෙ කාගෙද? නමුත් මේ පුවතෙහි සත්‍යතාවක් තිබිය හැකි ද?

කිසිසේත්ම නැහැ.

AB+ රුධිරය ඇත්තන් සර්ව ප්‍රතිග්‍රාහකයින් ලෙස හැඳින්වෙනවා. ඒ, සිද්ධාන්තයක් වශයෙන් ගත් කළ අවශ්‍යතාවකදී ඔවුනට ඕනෑම රුධිර ගණයක් ලබාගත හැකි නිසායි.  රුධිර හිඟයක් ඇති වුණු අවස්ථාවකදී එයින් ආපදාවට පත්වීමේ අවම ඉඩක් ඇත්තේ AB+ රුධිරය ඇත්තවුනුයි. නමුත් රෝහල්ගත කළ රෝගියෙකුට අවශ්‍ය වන ඕනෑම රුධිර ගණයක රුධිරය සැපයීමේ හැකියාවක් ලේ බැංකුවට තිබෙන නිසා, රුධිර හිඟයක් ඇතිවීමේ ඉඩක් නොමැති තරම්.

“Dance of the Hillary”

Dance of the Hillary නමින් විඩියෝවක් අන්තර්ජාලයේ බෙදාහැරෙමින් පවතින බවත්, එය නැරඹීමට තැත් කළහොත් එයින් ජංගම දුරකතනයේ ඇති සියළුම මෘදුකාංග විනාශ වී යන බවත්, මේ පුවත BBC මගින් නිවේදනය කළ බවත් පැවසෙන පණිවුඩයක් ෆේස්බුක් හා වට්සැප් හරහා සංසරණය වෙමින් පවතිනවා.

මෙය අසත්‍යයකි.

BBC මගින් එවැනි කිසිදු ප්‍රවෘත්තියක් නිවේදනය කර නැහැ. එමෙන්ම, එවැනි වයිරසයක් පිළිබඳව හෝ එයින් ජංගම දුරකතන මෘදුකාංග විනාශ වීමේ කිසිදු සිදුවීමක් වාර්තා වී නැහැ. මීට පෙර “Dance of the Pope” යනුවෙන් මෙවැනිම ආකාරයේ පණිවුඩයක් බෙදාහැරුණු අතර එහිද කිසිදු සත්‍යතාවයක් තිබුණේ නැහැ.

ගෙයින් ගෙට පැමිණ HIV ආසාදනය කෙරේ

මේ ඉතාමත්ම මෑතකදී පැතිර ගිය, එමෙන්ම නරක ප්‍රතිපල ද අත්කර දුන් අසත්‍ය ප්‍රවෘත්තියක්. ඉන් කියැවුණේ රාජ්‍ය ආයතනයක පිරිසක් ලෙස පෙනී සිටිමින් ගෙයින් ගෙට පැමිණ HIV වයිරසය ශරීරගත කරන කුමණ්ත්‍රණයක් පිළිබඳව සැලකිල්ලෙන් පසුවන ලෙසයි. මොවුන් රුධිරය පරීක්ෂා කරන ආකාරයෙන් හෝ ඉන්සියුලින් ලබාදෙන මුවාවෙන් HIV වෛරසය ශරීරගත කරන බව මෙම පණිවුඩයේ සඳහන් වුණා.

එමෙන්ම දැනට මාස කීපයකට පෙර අන්තර්ජාලයේ සංසරණය වුණු මෙවැනිම තවත් පණිවුඩයක සඳහන් වුණේ මැජෙස්ටික් සිටි සිනමා ශාලාව ඇතුළු තවත් සිනමා ශාලාවන් කීපයකම අසුන් වල HIV වෛරසය අඩංගු ඉදික‍ටු ගසා තිබූ බවත්, එම ක‍ටු ඇනුනු පුද්ගලයින් AIDS රෝගයෙන් මියගිය බවත්. එම පණිවිඩය වසංගත රෝග පාලනය කිරීමේ මධ්‍යස්ථානයෙන් නිකුත් කළ බවට ද එහි සඳහන් වුණා.

HIV ශරීරගත කරවීමේ එවැනි ප්‍රයත්නයක් පිළිබඳව කිසිදු තොරතුරක් ලංකාවෙන් වාර්තා වී නැහැ.

කෙසේ නමුත් අන්තර්ජාලය හරහා ඉතා වේගයෙන් පැතිර ගිය මේ පුවත නිසා රජය විසින් දියත් කරනු ලැබූ බරවා මර්දන වැඩසටහන අඩාල වන තත්ත්වයකට පත්වුණා. බරවා රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් රාත්‍රී කාලයේ නිවෙස් වලට ගොස් නිවැසියන්ගේ රුධිරය පරීක්ෂා කිරීම කළ යුතුව තිබුණ ද, අන්තර්ජාලය පුරා පැතිර ගිය මෙම HIV භීතිකාව නිසා ඇතැම් නිවැසියන් මෙම වැඩසටහනට විරුද්ධ වී ඇති අතර, ඇතැමුන් නිලධාරීන්ට පහර දීමටත්, පොලීසිය කැඳවීමටත් පියවර ගෙන තිබුණා.

අන්තර්ජාලයේදී ත‍ටු ලැබෙන මෙවැනි පුවත් බොහොමයක් ඉන්දියාව වැනි රටවලින් ලංකාවට පැමිණෙන අසත්‍යයන් පමණයි. එනිසා යම් තොරතුරක් ලැබුණු පමණින් කලබලයට පත්ව එය බෙදාහැරීමෙන් වැළකී එහි සත්‍යාසත්‍යතාව විමසා බැලීමෙන් අනාගතයේ උද්ගත විය හැකි බොහොමයක් ගැටළු වළකාගැනීමට හැකිවෙයි.

මුලාශ්‍ර: snopes.com

Hoax-slayer.net

කවරයේ පින්තුරය: 93fIikQ.png  (Imgur)

Related Articles