ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාවේ සෙබළෙකුගේ හෝ නිළධාරියකුගේ වීරත්වය උදෙසා පිරිනැමෙන ඉහළම හා ගෞරවාන්විතම සම්මානය වන්නේ පරම වීර විභූෂණ පදක්කමයි (PWV).
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විශේෂ ගැසට් පත්‍ර අංක 156/5 මඟින් 1981 වසරේ සැප්තැම්බර් මස පළමුදා මෙම පදක්කම පිරිනැමීම අනුමත කරනවා. එදින පටන්, තම ජිවිතයද අාත්මාරක්ෂවද දෙවැනි කොට සලකමින් තම සහෝදර භටයන්ට ජිවිත ආරක්ෂාව සලසමින් තම බල සේනාංකයේ මූලික අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා පෞද්ගලිකව, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මව්බිම වෙනුවෙන් අභීතව දිවිදුන් රණවිරුවන් සඳහා පරම වීර විභූෂණය නිර්දේශ වෙනවා.
තමන්ට හිමි වූ සම්මානය දැකගැනීමට තරම් ජීවත් නොවූ ඔවුන්ගේ කතාව ඉතා ආකර්ෂණීය මෙන්ම හද කම්පා කරන්නට සමත් වෙනවා. ඉතින් අද අපි හිතුවා ඉන් දෙදෙනෙකුගේ, පරම වීර විභූෂණය හිමිවූ අභීත ක්‍රියාවලීන් මොනවද යන්න ලිපියකින් ඔබ වෙත ගෙන එන්න.
පරම වීර විභූෂණය
මෙම පදක්කම එංගලන්තයේ රාජකීය හමුදාවේ “සතුරා සමඟ මුහුණට මුහුණ සටන් කර අභීතව මිය ගිය සොල්දාදුවන්ට” උපහාර පිණිස 1856 සිට පිරිනැමෙන Victoria Cross පදක්කම මෙන්ම “ජීවිත අවධානමක් ගෙන සටන් කරන සොල්දාදුවන් වෙනුවෙන්” 1861 වසරේ සිට ඇමරිකානු ජනපතිවරයා විසින් පිරිනමන Medal of Honor පදක්කම හා සමවෙන පදක්කමක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
මෙය ප්‍රදානය කිරීම යෝග්‍ය යැයි යුද්ධ හමුදාපති, නාවික හමුදාපති හෝ ගුවන් හමුදාපති විසින් නිර්දේශ කරනු අතර එය දිවිදුන් විරුවා වෙනුවෙන් ඔහුගේ මවට, පියාට හෝ බිරිඳට ජනාධිපතිවරයා විසින් පිළිගන්වනු ලබනවා. ස්ථිර හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම නිලධාරියෙකුට හා සෑම සොල්දාදුවෙකුටම පදක්කම හිමිවීමේ අයිතිය ලැබෙන අතර 1981 වසරේ සිට මේ දක්වා තමන් පිළිබඳව නොසිතා රටේ ඒකීය භාවය ආරක්ෂා කරගැනීමට සහ ත්‍රස්තවාදී උවදුරු වලින් අප මාතෘ භුමිය බේරා ගැනීම වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පරමවිභූෂණයෙන් පිදුම් ලැබූ විරෝධාර රණවිරුවන් ගණන 29ක් වෙනවා.
අලිමංකඩ සිංහයා – කෝප්‍රල් හසලක ගාමිණී කුලරත්න
“නිර්භීත – වේගවත්” යන සිංහ රෙජිමේන්තු ආදර්ශ පාඨය ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් ස්වෙච්ජාවෙන්ම අලිමංකඩ හමුදා කඳවුරේ සිදු වීමට ගිය මහා විනාශයක් වැළක්වූ රණවිරුවෙක් ලෙස ගාමිණී කුලරත්න ඉතිහාස ගත වෙනවා. 1986 වසරේ අගෝස්තු 24 දින සිංහ රෙජිමේන්තුවේ සෙබල අංක 34553න් යුද්ධ හමුදාවට එක් වූ ඔහු දැඩි ලෙස ඊළාම් යුද්ධය ඇවිලී ගිය කාල වකවානුවක කන්කසන්තුරේ, පලාලි හා අලිමංකඩ වැනි ත්‍රස්ත ප්‍රහාර ඉහළම ප්‍රදේශ වල සේවය කරනවා.
1991 ජුලි 13 දින කොටි ත්‍රස්තයන් විසින් අලිමංකඩ කඳවුරට පිට පිටම ප්‍රහාර එල්ල කළ හතරවෙනි දිනය වූ අතර ආහාර ද්‍රව්‍ය හා උණ්ඩ ද අවසන් වෙමින් තිබුණා. ආධාරක භට කණ්ඩායමක් ලබා ගැනීමට අණදෙන නිලධාරී මේජර් කරුණාරත්න උත්සාහ කළත් එය සාර්ථක වූයේ නෑ. මේ වන විට හමුදාවට බරපතල හානි සිදු වී තිබූ අතර සොල්දාදුවන් දැඩි පීඩනයකට හසු වී සිටියා.
අලිමංකඩ ප්‍රධාන කඳවුරට යාර 30 ක් පමණ දුරින් පිහිටි ආරක්ෂක බංකරයේ කෝප්‍රල් රොවෙල් හා කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවා ආරක්ෂක රාජකාරීවල නියැලෙමින් සිටිනවා. 13 වෙනිදා වන විට ත්‍රස්තවාදීන් කඳවුර දෙසට මෝටර් සහ RPG ප්‍රහාරයක් දියත් කරමින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ බුල්ඩෝසරයක නැගී දකුණු පස දොරටුවෙන් ඇතුල් වීමට උත්සාහ දරනවා. මෙහිදී වහාම ක්‍රියාත්මක වන ගාමිණී බුල්ඩෝසරයේ පිටුපසින් ගොස් එය උඩට නැග බුල්ඩෝසරය ඇතුළට අත් බෝම්බ දෙකක් දමනු ලබනවා. ඒ සමඟම මහත් හඬ දෙමින් පුපුරා යන බුල්ඩෝසරයෙන් බිමට මේ වීරයාගේ නිසල සිරුර වැටෙනවා. මේ පිපුරුමෙන් බුල්ඩෝසරය සම්පූර්ණයෙන් විනාශ වන අතර එහි සිටි ත්‍රස්තයන් පහක් ජිවිතක්ෂයට පත්වෙනවා.
ආත්මාරක්ෂාව පසෙක ලා කළ මේ ක්‍රියාව හේතුවෙන් හසලක ගාමිණී නම් රණවිරුවා උදෙසා වීර විභූෂණ පදක්කම හිමිවන අතර විරෝධාර රණවිරුවා සිහිපත් වීම සඳහා ඔහුගේ පිළිරුවක් අලිමංකඩ පිපිරීම සිදු වූ ස්ථානයේ ඉදිකර තිබෙනවා.
මරණය පෙනී පෙනී මුලතිව් සටනට අණ දුන් සෙන්පතියා – කර්නල් ෆස්ලි ලෆීර්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය පිහිටුවීමට මුල්වූ ප්‍රධාන නිලධාරියෙක් වන කර්නල් ඒ. ෆස්ලි ලෆීර් “අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා” යන විශේෂ බලකායේ ආදර්ශ පාඨය මැනවින් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ නිලධාරියෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එසේම ක්ෂණික විහිදුම් බලකායේ කුඩා කණ්ඩායම් මෙහෙයුම් නිලධාරියකු ලෙස විශිෂ්ඨ මෙහෙවරක් කළ බවද කිව යුතුයි.
1982 පෙබරවාරි 27 දා පුහුණුව නිමාකර දෙවැනි ලුතිනන්වරයකු වශයෙන් යුද්ධ හමුදාවේ අධිකාරී ලබන ඔහු ක්ෂණික විහිදුම් බළකා B බල ගණයේ අණදෙන නිලධාරී ලෙසද, විශේෂ බළකා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලෙසද කටයුතු කරනවා. පළමු විශේෂ බලකා රෙජිමේන්තුවේ ප්‍රථම අණදෙන නිලධාරියා ලෙස යාපනය “රිවිරැස” මෙහෙයුමට දායක වී සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර්ගේ අණදීම යටතේ “වඩමාරච්චි” මෙහෙයුමේ විශාල කාර්යභාරයක් ඉටු කරන්නට පළමු විශේෂ බලකා රෙජිමේන්තුවට හැකි වෙනවා.
1996 ජුලි 18 වන දින මුලතිව් හමුදා කදවුර කොටි ත්‍රස්ත්‍රවාදීන්ගේ දරුණු ප්‍රහාරයකට ලක්වෙනවා. ආධාරක භට කණ්ඩායම් වලට මුලතිව් කඳවුරට ගොඩබිමෙන් කිසිසේත්ම ලඟා විය නොහැකි වන අයුරින් LTTE ත්‍රස්තයන් දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අවස්ථාවේ “ත්‍රිවිධ පහර” මෙහෙයුම ක්‍රියාත්මක කරමින් මුලතිව් කඳවුර බේරා ගැනීම සඳහා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූ කර්නල් ෆස්ලි ලෆීර් පළමු විශේෂ බලකා භට කණ්ඩායමේ සෙබළුන් 275කට අණදෙමින් ගුවනින් මුලතිව් කඳවුරේ දකුණු ප්‍රදේශයට ලඟා වී සතුරාගේ ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සඳහා තම කණ්ඩායම මැනවින් මෙහෙයවනවා.
මෙම සටනේදී LTTEය විසින් ජාත්‍යන්තර යුද්ධ නීති උල්ලංඝනය කරමින් පැරෂුට් භටයන්ට පවා ප්‍රහාර එල්ල කරනවා. විශේෂ බලකා යුද්ධ උපක්‍රම භාවිතා කරමින් සටනට ප්‍රවිෂ්ට වී සිටින විට ත්‍රස්තයන්ගේ වෙඩි පහරකට මෙම විරුවා ලක් වෙනවා.
වෙඩි පහරින් ලැබූ තුවාල පිලිබඳ නොසලකා හරිමින් තම කණ්ඩායමට අණදෙමින් සිටින අතර කර්නල් ෆස්ලි ලෆීර් නම් නිර්භීත යුද්ධ සෙන්පතියා මෝටර් ප්‍රහාරයකට ලක් වී මිය යනවා. තම ආරක්ෂාව පිළිබඳව සිතා පසු බැසීමේ හැකියාව තිබුණත් එසේ නොකර තම සහෝදර සෙබළුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නායකත්වය දෙමින් කළ මෙහෙවර උදෙසා ඔහු 2001 වසරේදී වීර විභූෂණයෙන් පිදුම් ලබනවා.
වීර විභූෂණයෙන් පිදුම් ලැබූ අභීත සොල්දාදුවන් දෙදෙනෙකු පිළිබඳව පමණයි ලිපියේ සටහන් වෙන්නේ. මෙයට අමතරව තවත් සොල්දාදුවන් 27 දෙනෙක් මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම උදෙසා මේ ආකාරයෙන්ම වීර ක්‍රියා සිදු කර දිවිපුදා තිබෙනවා.
කවරයේ ජායාරූපය – මිය ගිය සොල්දාදුවෙක්ගේ මව ජනපති අතින් පරම වීර විභූෂණ පදක්කම ලබා ගනිමින් (reporter.lk)
මුලාශ්‍ර – Army.lk, Wikipedia, sunday times