ප්‍රොපගැන්ඩාව යනු බලපෑම් කිරීම සඳහා සහ න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාමට භාවිත කරන සන්නිවේදන උපක්‍රමයකි. එය යම් අදහසක් හෝ මතයක් දිරිමත් කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමක් හෝ තාර්කික ප්‍රතිචාරයක් වෙනුවට චිත්තවේගීය ප්‍රතිචාරයක් ඇති කිරීමට භාෂාව භාවිත කරමින් තොරතුරු ඉදිරිපත් කිරීමක් විය හැකි ය.
යම්කිසි සාධකයක්, පුද්ගලයකු, කණ්ඩායමක් සංවිධානයක් හෝ රටක් පිළිබඳ ව අසත්‍යයක් හෝ අර්ධ සත්‍යයක් මහජනයා හෝ ඉලක්කගත කණ්ඩායමක් නොමඟ යවන ලෙස සිදුකරන ප්‍රචාරයක් ලෙස ද ප්‍රොපගැන්ඩාව හැඳින්විය හැකි ය.
බුද්ධිමත් ලෙස හැසිර වූ ප්‍රොපගැන්ඩාව මඟින් ලබා ගත් සාර්ථක ප්‍රතිපල ඉතිහාසය පුරාවට ම දක්නට ලැබේ. අද බොහෝ විට එය යහපත් ක්‍රියාවන්ට වඩා අයහපත් ක්‍රියාවන්ට යොදා ගැනීම කනගාටුවට කරුණකි.
ප්‍රොපගැන්ඩාවේ ඉතිහාසය
ප්‍රොපගැන්ඩා” නම් වචනය 1622 දී ආරම්භ කළ රෝමානු කතෝලික කාදිනල්වරුන්ගේ සංවිධානයක් වන Congregatio de Propaganda Fide යන්නෙන් උපුටා ගන්නට ඇතැයි සැලකේ. එය ආරම්භ කළ පිරිස් , පිරිසුදු චේතනාවෙන් යුතුව මිෂනාරි කටයුතුවල නිරත වන තම සංවිධානය හැඳින්වීම උදෙසා භාවිත කළ ප්‍රොපගැන්ඩා නම් වචනය පසුකාලීන ව කුප්‍රකට බවක් ලබා ගන්නේ වෙනත් පුද්ගලන් තම අරමුණු මුදුන්පත් කර ගැනීමේ ප්‍රචාර හැඳින්වීමට ද එම වචනය ම භාවිත කිරීම නිසා ය.
දහ නමවන සියවසේ දී බ්‍රිතාන්‍යය යටත් විජිතකරණය සාධාරණීකරණය කිරීම උදෙසා ප්‍රොපගැන්ඩා ක්‍රම යොදාගෙන ඇත. විශේෂයෙන් ම යටත් විජිත තුළ ඇති වන කැරලි මඟින් ඉංග්‍රීසි ජාතික කන්තාවන්ට සහ දරුවන්ට හිරිහැර සිදු වන බවත්, වනචාරි ගති ඇති එවන් මිනිසුන් පුනරුත්ථාපනය කිරීම හෝ විනාශ කිරීමට අවශ්‍ය බවත් ඔවුන් පුවත්පත් මඟින් ප්‍රචාරය කර තිබේ. අමෙරිකාවේ ද නීග්‍රෝ ජාතිකයන් පහත් ජන කොටසක් ලෙස සැලකීමේ ප්‍රොපගැන්ඩා ක්‍රම නිසා භයානක කේ.කේ.කේ වැනි සංවිධාන පවා බිහි වී තිබේ. නීග්‍රෝ වහලුන් තුළ වහල් මානසිකත්වය ව්‍යාප්ත වන පරිදි කළ ප්‍රචාරණ කොතරම් සාර්ථක ව ඔවුන්ගේ සිත් තුළ මුල් බැසගත්තේ ද කිවහොත් පසු කාලීනව වහල් බවින් නිදහස ලැබීමට ද ඇතැම් නීග්‍රෝ ජාතිකයන් ප්‍රතිකේෂ්ප කර ඇති බව කියැවේ.
ප්‍රොපගැන්ඩා ව්‍යාප්තිය
පළමු හා දෙවැනි ලෝක යුද සමයේ දී ප්‍රොපගැන්ඩා ක්‍රමය විශාල ලෙස භාවිතයට ගැනිණි. මෙය සතුරු පාර්ශවයන්ගේ ධෛර්යය හීන කරමින් මිත්‍ර පාර්ශවයේ ආත්ම විශ්වාසය ඉහළ නැංවෙන ලෙස ද කදිමට යොදාගෙන ඇත. නාසි පක්ෂයේ ප්‍රචාරක ඇමති ලෙස කටයුතු කළ ජෝශෆ් ගොබෙල්ස් සැලකෙන්නේ ප්‍රොපගැන්ඩාව ප්‍රගුණ කළ පුද්ගලයකු ලෙසයි.
“එකම බොරුව නැවත නැවතත් කීමෙන් බොරුව සත්‍යයක් වේ ” යන වැකිය සිය මුඛ්‍ය පාඨය කර ගත් ගොබෙල්ස් නාසි වාදය සමාජ ගතකිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නේ ය. ඔහු කූට ලෙස භාවිත කළ ප්‍රොපගැන්ඩා මැෂිම මඟින් සමස්ත ජර්මානු සමාජය ම පාහේ නාසිවාදී, යුදෙව් විරෝධී මානසිකත්වයකට පත්කර ඔවුන් වෙනත් රටවල් ආක්‍රමණය කිරීම දක්වා ගෙන ඒමට සමත් විය. ව්‍යාජ බුද්ධි තොරතුරු සමාජගත කිරීමෙන් ද ඇතැම් යුදමය තත්වයන්ගේ තීරණාත්මක වාසිය තම පාර්ශවය වෙත ලබා ගැනීමට ද ඔවුන් ක්‍රියා කර තිබේ.
ජර්මනිය 1936 මාර්තු මස දී රයින්ලන්තය (රයින්ලන්තය යනු ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තයට මායිම් වූ ජර්මානු බිම් තීරුවකි) ආක්‍රමණය කිරීමේ යෙදෙන බව සැල වූ ප්‍රංශය අදාළ ජර්මන් සේනාංක වෙත ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වුව ද ඔවුනට ලැබුණු බුද්ධි තොරතුරු අනුව කියවුණේ අදාළ ආක්‍රමණය සඳහා තුන්ලක්ෂයක ජර්මනු සේනාංක සහභාගී වී ඇති බව යි.
ගොබෙල්ස්ගේ බුද්ධි තොරතුරු ප්‍රොපගැන්ඩාව
මේ නිසා ප්‍රංශ හමුදාව වහා ම ක්‍රියාත්මක වන පරිදි තම ක්‍රියාන්විතය නතර කළ ද පසුව ලැබුණු වාර්තාවලින් කියැවුණේ ආක්‍රමණයට සැබවින් ම යොදා ගෙන ඇත්තේ තිස්දහසක ජර්මානු හමුදාවක් පමණක් බව යි. ගොබෙල්ස් සූක්ෂම ව අදාළ නොමඟ යවනසුලු බුද්ධි තොරතුරු ප්‍රොපගැන්ඩාව ප්‍රංශ හමුදාව අතට පත් වීමට කටයුතු කර තිබිණි. එදා ප්‍රංශ හමුදා ජර්මන් හමුදාවට පහරදුන්නේ නම් ජර්මානුවන්ට පසු පස නොබලා පලා යාමට සිදුවන බව හිට්ලර් ද පසුව ප්‍රකාශ කර තිබේ.
දෙවැනි ලෝක සංග්‍රාමයට සම්බන්ධ වුණු සියලු ම පාර්ශව අඩු වැඩි වශයෙන් ප්‍රොපගැන්ඩාව භාවිත කර ඇත. සතුරු පාර්ශවයට සිදු වූ හානි දෙගුණ තෙගුණ කර ගෙනහැර දැක්වීම් ද, ඔවුන් කිසිදු මානුශිය ගුණාංගයකින් සමන්විත නොවීම හා දුටු තැන මරා දැමිය යුතුය යන කරුණු ඉස්මතු වන ලෙස මෙම ප්‍රචාරණය සිදු කරන්නට ද ඔවුහු වග බලා ගත්හ.
අසවල් සෙබළා මේ වීර ක්‍රියාව සිදු කළා, මෙපමණ සතුරන් ප්‍රමාණයක් ඝාතනය කළා වැනි කරුණු අතිශෝක්තියෙන් ප්‍රචාරණය කිරීම මඟින් මිත්‍ර පාර්ශවයේ සෙබළුන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. සෝවියට් හමුදාව මඟින් ආත්ම ශක්තිය වර්ධනය කිරීමට කත්යූශා වැනි ගීත ද භාවිත කර ඇත. ඉදිරි සටන් පෙරමුණේ අභීත ව සටන් වදින සෙබළ සෙබළියන්ගේ පෝස්ටර් සහ පත්‍රිකා රට පුරා බෙදා හැරීමෙන් බොහෝ පිරිස් යුද්ධයට බඳවා ගැනීමට ද ඔවුන් ක්‍රියා කර තිබේ. එක්සත් ජනපදය ද මේ හා සමාන ව කටයුතු කොට තිබේ.
ප්‍රොපගැන්ඩාව සතුරු බල පෙදෙස් තුළ සූක්ෂම ව පැතිරවීමෙන් සතුරන්ගේ ආත්ම විශ්වාසය දුර්වල කිරීමට ද කටයුතු කර ඇති අවස්ථා ද ඉතිහාසයේ දක්නට ලැබේ. ස්ටාලින්ග්‍රාඩය වැටලූ ජර්මන් හමුදා ප්‍රචාරය කළේ යටත්වන සෝවියට් සෙබළුන්ට උණුසුම් ආහාර, නවාතැන් සහ මත්පැන් ලබා දෙන බව ය. මෙමඟින් නගරය රැකීමට සටන් වදින හමුදා භටයන් ගේ යුද මානසිකත්වය දුර්වල කිරීමට ඔවුන් උත්සහ ගත්තත් එය එතරම් සාර්ථක නොවූයේ යටත් වීමට උත්සහ දරන හෝ පසු බසින රතු හමුදා සාමාජිකයන්ට වෙඩි තැබිමට ස්ටාලින් නියෝග කර තිබූ නිසා ය.
ගුවනින් නිරුවත් දර්ශන සහිත පත්‍රිකා හෙළීම මඟින් සතුරු සෙබළුන්ගේ යුද මානසිකත්වය වෙනස් කිරීමට ද ජර්මානුවන් උත්සහ දරා ඇත. නෝමැන්ඩි වෙරළට ගොඩ බසින මිත්‍ර පාර්ෂික හමුදා මුළා කිරීම උදෙසා ජර්මානුවන් ව්‍යාජ ලෙස නිර්මාණය කළ යුද ටැංකි සහ වාහන ද යොදා ගෙන ඇත්තේ මිත්‍ර පාර්ෂික හමුදාවල බුද්ධි තොරතුරු වියවුල් කොට සතුරු උණ්ඩ සහ බෝම්බ නාස්ති කරවීම උදෙසා ය.
සිසිර සංග්‍රාමයේ ප්‍රොපගැන්ඩාව
දෙවන ලෝක යුද්දයෙන් පසු සෝවියට් දේශය සහ එක්සත් ජනපදය ලෝක බලවතුන් ලෙස දෙපිලකට බෙදුණු අතර තම කඳවුරේ ප්‍රචාරණය උදෙසා මෙම දෙපාර්ශවය ම ප්‍රොපගැන්ඩාව භාවිත කරන අයුරු සීත යුද සමය පුරාවට ම දක්නට ලැබිණි. මෙහි දී සෝවියට් දේශය පෝස්ටර්, පොත්, සඟරා නාට්‍ය හරහා තම ප්‍රොපගැන්ඩා අරමුණු ලොව පුරා පිහිටි සෝවියට් හිතවාදී රටවල් අතර ප්‍රචාරය කිරීමට කටයුතු කළහ. ඒ සඳහා විශාල ධනස්කන්යධක් ද වැය කළහ. එහිදී අමෙරිකා එක්සත් ජනපදය පෝස්ටර් සහ සඟරා භවිතයෙන් ඔබ්බට ගොස් සිනමා මාධ්‍ය භාවිතයට ද යොමු ව තිබිණි.
එහිදී ධනවාදී කඳවුරේ නියෝජිතයන් හෝ හමුදා සෙබළුන් වීරයන් ලෙස ද, අනෙක් පාර්ශවයේ අය වැරදිකරුවන් ලෙස ද ගම්‍ය වන පරිදි අදාළ නිමාණ සූක්ෂම ලෙස සකස් කෙරිණි. උතුරු කොරියාව සහ චීනය ද තම වැසියන්ගේ මතය පාලනය කිරීමට ඔවුනට ම ආවේනික ප්‍රොපගැන්ඩා ක්‍රම භාවිත කොට තිබේ. ශ්‍රම බළකාය වැඩි කරවනු වස් වැඩි වැඩියෙන් දරු උපත් සිදු කරන කාන්තාවන්ට වීර මාතා නම් පදක්කමක් පිළිගැන්වීමට එකල චීනය කටයුතු කර තිබිණි. එහි ප්‍රතිපලයක් ලෙස චීනයේ ජනගහනය දැරිය නොහැකි මට්ටමකට වර්ධනය වූ අතර පසුව ඔවුනට සිදුවන්නේ විවිධ උපත් පාලන නීති චීනයට හඳුනන්වා දීමට ය. උතුරු කොරියාව තුළ නායක වන්දමාන ක්‍රමයක් පවතින අතර නිතිපතා සිදු කරන එවන් ක්‍රියා කාරකම් මඟින් තම නායකයාගෙන් තොර ව උතුරු කොරියානුවන්ට පැවැත්මක් නොමැති ය යන මතය උතුරු කොරියානුවන්ගේ මනස තුළ රෝපණය කෙරිණි.
දේශපාලනික සහ ආගමික ප්‍රොපගැන්ඩාව
දේශපාලන ප්‍රොපගැන්ඩාව යටතේ අතීතයේ සිට ම ව්‍යාජ තොරතුරු සහ පොරොන්දු සමාජ ගත කළ බවට සාධක එමට ය. ඉටු කළ නොහැකි හෝ ලබාදිය නොහැකි පොරොන්දු ලබා දීම, ප්‍රතිවාදීන්ට මඩ ගැසීම්, කටකතා පැතිරවීම්, චරිත ඝාතනය කිරීම්, අල්ලස් ලබා දීම් වැනි ප්‍රොපගැන්ඩා බොහෝ විට වර්තමානයේදී තුන්වන ලෝකයේ රටවල් වල අඩු වැඩි වශයෙන් දැකගත හැකි ය. මෙහි දී අව්‍යාජ අරමුණු ඇති ව පැමිණෙන දේශපාලන මත හා පක්ෂ ඉහත කී ප්‍රොපගැන්ඩාවන්ට හසුව සැඟවී යන අයුරු ද සුලබ දසුනකි.
ආගමික ප්‍රොපගැන්ඩාව යනු බොහෝ විට දෙශපාලනික ප්‍රොපගැන්ඩාවත් සමඟ එකට පෑහන අංශයක් ලෙස හැඳින්විය හැකි ය. යම් ආගමික හෝ ජන කොටසක් පිළිබඳ ව්‍යාජ හෝ පදනම් විරහිත කරුණු ඉස්මතු කිරීමෙන් තවත් ආගමික කොටසක් තුළ මුලින් කී ආගමිකයන් පිළිබඳ ක්‍රෝධය, වෛරය ඉස්මතු කරවීමට සලස්වා පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීමට එම මනෝභාව භාවිත කරන ආගමික ප්‍රොපගැන්ඩාව මඟින් සිදුවන හානිය ද සුළුකොට තැකිය නොහැකි ය.
ප්‍රොපගැන්ඩාවේ නූතන හැසිරීම
වර්තමානයේ ලොව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවලට සිය මාධ්‍ය යෙදවුම් සූක්ෂම ලෙස භාවිත කර ඇතැම්විට ශක්තිමත් ආණ්ඩු පවා පෙරළා දැමීමේ හැකියාවක් ලැබී තිබෙන බවට සාධක බොහෝ ය. සිනමා නිර්මාණ, ගීත පමණක් නොව වීඩියෝ ක්‍රීඩා පවා පුද්ගල මත හැසිරවීමට ඔවුන් යොදාගන්න අයුරු දැකගත හැකි ය.
ප්‍රොපගැන්ඩාව සඳහා නවීන ලෝකයේ බිලියන ගණනක පරිශීලකයන් ගෙන් සමන්විත සමාජ ජාලා මනා වේදිකාවකි. මෙහිදී අදාළ සමාජ ජාලා මෙහෙයවන රාජ්‍ය හෝ පුද්ගල කණ්ඩායම්වල අභිමතය පරිදි එහි අන්තර්ගතය හැසිරවීම සිදු කළ හැකි ය. අරාබි වසන්තය මඟින් ලිබියාව,සිරියාව වැනි රටවල ඇති කළ වෙනසට සමාජ ජාලා ප්‍රොපගැන්ඩාව විශාල දායක්ත්වයක් ලබා දී තිබිණි. එහි ප්‍රතිපලයක් ලෙස ලිබියාවෙ හිටපු නායක මුහමද් ගඩාෆි තම රට වැසියන් අතින්ම කුරිරු ලෙස ඝාතනයට ලක් විය. ලිබියාවේ සහ සිරියාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දිවි අහිමි කරමින් ඩොලර් බිලියන ගණනක දේපල හානියක් ද එම රටවලට සිදු වූයේ මෙම ප්‍රොපගැන්ඩා අනිසි භාවිතය නිසා ය.