Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපට නින්ද අවශ්‍ය වන්නේ ඇයි?

බැලූ බැල්මට මෙය අතිශයින් සරල පැනයකි. එහෙත් ඊට පිළිතුරු සැපයීම තරමක් සංකීර්ණ වූවකි. මිනිසුන්ට සෑම රාත්‍රියකම නින්ද අවශ්‍ය වන්නේ ඇයිද යන පැනයට නිශ්චිත පිළිතුරක් ලබාදීමට විද්‍යාඥයන් අනේක වාරයක් උත්සාහ දරා ඇත. එහෙත් ඊට එක් නිශ්චිත පිළිතුරක් ලබාදීම විෂයෙහි තවමත් ඔවුන් අසමත්ව ඇත. නින්ද පිළිබඳව මේ වන විට පවතින විද්‍යාත්මක අනාවරණය කර ගැනීම්, යම් දිනෙක ඒ පිළිබඳව නිශ්චිත අර්ථකථනයකට එළඹීම සඳහා විද්‍යාවට යම් ආලෝකයක් සපයයි.

අපට නින්ද අවශ්‍ය ඇයි?

YouTube

ශරීරයට නින්ද අවශ්‍ය වීමට හේතූන් ගණනාවක් හඳුනාගෙන ඇත. දීර්ඝ නින්දක් හරහා ශරීරයේ මාංශ පේශීන් වර්ධනය, පටක අලුත්වැඩියාව, හෝර්මෝන සංශ්ලේෂණය ආදී ක්‍රියාදාමයන් සිදු වේ. බොහෝ දෙනා විශ්වාස කරන්නේ නින්දෙහිදී මනස සහ ශරීරය යන ද්විත්වයම ක්‍රියාත්මක වීම නතර වන බවය. නමුත් නින්දෙහිදී සිදුවන උක්ත ක්‍රියාවලීන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ නින්දෙහිදී ශරීරය ක්‍රියාකාරීව පවතින බවයි. තවද නින්දෙහිදී ශරීරය තුළ වැදගත් සැකසුම්, ප්‍රතිස්ථාපනයන් සහ ශක්තිමත් කිරීම් සිදුවන බවයි. කෙසේ නමුත් නින්දට එළඹීම සහ එහි ක්‍රියාකාරීත්වය සිදු වන්නේ කවරාකාරයෙන්ද, මිනිස් ශරීරය දීර්ඝ නින්දක් ලබා ගත යුතු ලෙස සැකසී තිබෙන්නේ මන්ද යන ප්‍රස්තුතයන් පිළිබඳව නිශ්චිතව විවරණයන් ඉදිරිපත් කිරීමට විද්‍යාව මෙතෙක් සමත් වී නොමැත.

නින්ද මගින් ශරීරයේ අවශ්‍යතා අලුත්වැඩියා කිරීම සිදු වේ.

Hypervibe

නින්දත් සමඟ හටගන්නා මොළයෙහි ක්‍රියාකාරීත්වයෙහි ස්වභාවය පිළිබඳව මෙන්ම නින්දෙහි විවිධ අවධීන් පිළිබඳව ද විද්‍යාව විසින් විවිරණයන් ඉදිරිපත් කොට ඇත. මේවා සමස්ත ප්‍රහේලිකාවේ විවිධ ස්ථානයන්ගෙන් කරගන්නා ලද හෙළිදරව් කරගැනීම් වන අතර, සමස්තය සම්පූර්ණ වීමට නම් තවත්  හිඩැස් ගණනාවක් පූරණය කරගත යුතුව ඇත. නමුත් ගැටලුව වන්නේ මිනිසුන්ගේ හා සෙසු ජීවීන්ගේ නින්දෙහි ස්වභාවයන් අතර දැඩි විෂමතාවන් පැවතීමයි. ඒ අනුව නින්ද පිළිබඳව සියල්ලන්ට සමාන ලෙස බලපවත්නා න්‍යායක් හඳුනා ගනිමින් ඉදිරිපත් කිරීමට විද්‍යාව මෙතෙක් සමත් වී නැත.

නින්ද මගින් ශරීරයේ අවයව අලුත්වැඩියා වන ආකාරය.

healthydirections.com

Jerry Siegel නමැති මනෝ විද්‍යාඥයා විසින්, නිද්‍රාවට පත්වීම පිළිබඳව සත්ත්වයන් සතුව පවත්නා පුරුදු අධ්‍යයනය කරමින් ඉන් මිනිස් නිද්‍රාව වෙනස් වන්නේ කෙසේදැයි හඳුනා ගැනීමට උත්සාහ දරා ඇත. ඔහු දක්වන්නේ, ජීවියෙකුට නින්ද අවශ්‍ය ශරීරයේ ශක්තිය රඳා පවත්වා ගැනීම සඳහා වන බවයි. ඔහු දක්වන්නේ අප්‍රිකානු අලින් දිනකට පැය දෙකක් පමණක් නිද්‍රාවට පත්වීමට හේතුව වන්නේ; එකී කාල පරාසය ඔවුන්ගේ ශක්තිය යළි උපදවා, රඳා පවත්වා ගැනීම සඳහා (energy saving theory ) ප්‍රමාණවත් වන නිසා බවයි.

නින්දෙහිදී සිදුවන මොළයෙහි ක්‍රියාකාරීත්වය නව උපාංග මගින් අධීක්ෂණයට ලක් කරන ලද විද්‍යාඥයන් දක්වන්නේ, මොළයෙහි පවත්නා අනවශ්‍ය තොරතුරු මකා පිරිසිදු කිරීමක් නින්දෙහිදී සිදු වන බවයි. ඒ අනුව, අවදියෙන් සිටින අවස්ථාවන්හිදී නව තොරතුරු අවශෝෂණය කර ගැනීම සඳහා මොළයට පහසුකම් සැපයීමත්, අනවශ්‍ය තොරතුරු මකා දමා ඊට මොළයෙහි ඉඩකඩ සකසා දීමත් නින්ද මගින් සිදු කරන බව පැහැදිලිය. නින්ද මගින් අනවශ්‍ය තොරතුරු මනසින් මකා දමා, කෙටි කාලීන මතකයන් දීර්ඝ කාලීන මතකයන් අතරට ඒකාබද්ධ කිරීම ද සිදු වේ.

වෙහෙසට පත්ව සංකීර්ණ මනසකින් යුතුව සිටින විට නින්ද වැදගත් වීම.

Quartz

කුඩා ළමුන්ට වැඩිහිටියන්ට සාපේක්ෂව දීර්ඝ නින්දක් අවශ්‍ය වීමට හේතු වන්නේද නින්ද මගින් ඔවුන්ගේ ශරීරය වර්ධනය කිරීමත්, ඔවුන් ග්‍රහණය කරගන්නා දැනුම විධිමත්ව සකසා ගබඩා කරගැනීමත් සිදු වන නිසාවෙනි.  වැඩිහිටියෙකුට සාමාන්‍යයෙන් රාත්‍රියෙහිදී පැය 7 – 9 අතර නින්දක් අවශ්‍ය වන අතර වයස අවුරුද්දක ළමයෙකුට සාමාන්‍යයෙන් පැය 11 – 14ත් අතර නින්දක් ද, පාසල් වියේ ළමයෙකුට සාමාන්‍යයෙන් පැය 9 – 11ත් අතර නින්දක් ද, නව යොවුන් වියේ ළමයෙකුට නම් පැය 8 – 10ත් අතර නින්දක් ද අවශ්‍ය බව විද්‍යාඥයන් විසින් සිය පර්යේෂණයන් මගින් දළ වශයෙන් හඳුනාගෙන ඇත.

කුඩා ළමුන්ට වැඩි නින්දක් අවශ්‍යය.

wallpapersfind.com

නින්ද අවශ්‍ය ප්‍රමාණයන් දළ වශයෙන්

Total Form Fitness

ඇතැම් පුද්ගලයන්ට අතිශය ඝෝෂාකාරී පරිසර තත්වයක් තුළ වුවද සුවසේ නින්ද යයි. එය විවිධ පුද්ගලයන්ගේ ශාරීරික ක්‍රියාකාරීත්වය, ඔවුන් යෙදෙන ලද කාර්යයන්ගේ ස්වභාවය හා තදානුබද්ධ ස්නායු ක්‍රියාකාරීත්වය මත තීරණය වේ. නින්ද, ශරීරයේ හෝර්මෝන මට්ටමට මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියට ද බලපායි. Siegelට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබීම ඔබේ අවධානය හා මානසික ඒකාග්‍රතාව බිඳ දමයි. ඔබ රිය පදවන්නෙක් නම්, තත්පර දෙකක අවධානය ගිලිහීමක් වුවත් මාරාන්තික ප්‍රතිඵල ළඟා කරවන්නක් විය හැක. ප්‍රමාණවත් නින්දක් නොලැබුණු දිනයන්හිදී ඔබේ හැසිරීම මඳක් සිහි කර බලන්න. Siegel පැවසූ කරුණෙහි සත්‍යතාව එවිට ඔබගේ අත්දැකීමක් බවට පත්වනු නොඅනුමානය.

විවිධ පරිසර තත්ත්වයන් යටතේ, විවිධ ඉරියව්වලින් වුව නිද්‍රාවට පත් විය හැක.

National Geographic Channel

ප්‍රමාණවත් නින්දක් ලබාගත් විට මනසට, වඩා ප්‍රබෝධජනක හැඟීමක් මතු වන අතර, ජීවයෙන් යුතුව, ශක්තිමත්ව, එදිනෙදා ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකියාව ලැබේ. සුවබර නින්දකින් අනතුරුව ඕනෑම පුද්ගලයෙකු අත්විඳින්නේ ප්‍රීතිමත් මනෝභාවයකි. යම් මානසික විපිළිසර බවකින් පසුවන අවස්ථාවක පැය කිහිපයක නින්දක් ලබා ගැනීමෙන් මනසෙහි පැවති ව්‍යාකූල ස්වභාවය මඳක් හෝ පහ වී යයි. එවිට, එතෙක් මනසේ පැවති ගැටලුවට පහසුවෙන් පිළිතුරු සෙවීමට හැකියාව ලැබේ.

ප්‍රමාණවත් නින්දක් මගින් ශරීරය ප්‍රබෝධමත් වේ.

dental-implants-online.com

මිනිසුන් විවිධ ඉරියව්වලින් නිද්‍රාවට පත් වන්නේ ඇයි? නින්ද මගින් සිදු කෙරෙන ප්‍රධානතම කාර්යය කුමක්ද? නින්ද නොලැබූ විට මිනිසුන්ට සහ සත්ත්වයන්ට සිදුවන්නේ කුමක්ද? යනාදී වශයෙන් ගැටලු විශාල ගණනාවක් විද්‍යාඥයන්ගේ පරීක්ෂණවලට පදනම් වී ඇත. නමුත් මේ කිසිවකට මෙතෙක් සෘජු සහ පැහැදිලි පිළිතුරක් ලබා දීමට විද්‍යාව සමත් වී නොමැත. එහෙත් සොයාගන්නා ලද කරුණු ආශ්‍රයෙන් විද්‍යාඥයන් විසින් විවිධ න්‍යායන් ගණනාවක් ඉදිරිපත් කර ඇත.

  1. Inactivity Theory – අකර්මණ්‍යතාවය පිළිබඳ න්‍යාය
  2. Energy Conservation Theory – ශක්ති සංරක්ෂණ න්‍යාය
  3. Restorative Theories – පුනර්ජනනවාදී න්‍යායන්
  4. Brain Plasticity Theory – මොළයේ සුවකාර්යතාව / කර්මණ්‍යභාවය පිළිබඳ න්‍යාය

උක්ත සාකච්ඡාවට බඳුන් කරන ලද කරුණු මෙකී න්‍යායන් යටතේ වර්ගීකරණය කළ හැක.

විවිධ ඉරියව්වලින් නිද්‍රාවට පත්වීම.

mamyciuklubas.lt

නින්ද, non-rapid eye movement – ශීඝ්‍ර නොවන අක්ෂි චලන අවධිය (non-REM) සහ rapid-eye-movement (REM) sleep – ශීඝ්‍ර අක්ෂි චලන අවධිය, යනුවෙන් අවධි දෙකකින් යුක්තය. NREM (non-rapid eye movement) sleep අවස්ථාව සිහින විරහිත නින්දකි. එහිදී මොළයෙහි තරංග මන්දගාමී වන අතර අධි වෝල්ටීයතාවයෙන් යුක්තය. හුස්ම ගැනීම, හෘද ස්පන්දන වේගය මෙන්ම රුධිර පීඩනය ද අඩුය. මෙම නින්ද සන්සුන් වූවකි. REM  (rapid-eye-movement sleep) යනු සිහින දකිමින්, ශරීරයේ චලන සහිතව, වේගවත් හුස්ම ගැනීම් සහ ස්පන්දන සහිතව සිදුවන නින්දකි.

නින්දෙහි විවිධ අවධීන් ඇත.

schmidtmechanical.com

නින්ද කෙතෙක් වැදගත් ද සහ අත්‍යවශ්‍ය ද යන කරුණ ඕනෑම පුද්ගලයෙකු සිය අත්දැකීමෙන් දනී. චිකාගේ සරසවියෙහි විද්‍යාඥ Allan Rechtschaffen  විසින් කරන ලද පර්යේෂණයකදී, සම්පූර්ණයෙන්ම නින්ද අහිමි කරන ලද මීයන්, සති දෙකක් හෝ තුනක් තුළදී මරණයට පත් වී ඇත. එසේම පර්යේෂකයන් දක්වන්නේ පැය 24කට අධික කාලයක් නිදි නොලැබූ පුද්ගලයන් මායා දර්ශන දැකීමත්, භින්නෝන්මාදයට (සිතුවිලි, හැඟීම් හා ක්‍රියාවන් අතර සබඳතාව බිඳ වැටීම) පත්වීමත් සිදු වන බවයි.

ප්‍රමාණවත් නින්දක් නොමැති වීම ශරීරය දුර්වල කරයි.

skinewgen.com

කවරයේ පින්තූරය (New Scientist)

මූලාශ්‍ර

  • futurism.com
  • Why Do We Need Sleep? , sleepfoundation.org
  • Why Do We Need Sleep? , theatlantic.com
  • Why Do We Sleep, Anyway? , healthysleep.med.harvard.edu
  • Why Do We Sleep? , livescience.com

Related Articles