පළමු ලෝක සංග්‍රාම සමයේ දී දරුණු වශයෙන් යුද ගිනි ඇවිළුණේ බටහිර යුරෝපයේ යි. කලකට පෙර සොඳුරු ගම්බද පෙදෙසක් ව පැවති එය, දිගින් දිගට ම බෝම්බ ප්‍රහාරයන්ට ලක් ව ක්‍රමයෙන් මඩ ගොහොරුවක් බවට වුණේ බටහිර යුරෝපය සතු ව පැවති සාරවත් භූමි ප්‍රදේශ, කිසිවක් නොවැවෙන නිසරු බිම්කඩක් බවට පත් කරමින්. නමුත් කලබලකාරී යුද බිම මැද පවා දීප්තිමත් රතු පැහැ මල් පිරි ෆ්ලාන්ඩර්ස් පොපි පැළෑටි දහස් ගණනින් වැඩුණේ පළමු ලෝක සංග්‍රාමයෙන් විනාශ වූ බටහිර යුරෝපයට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින් බව පැවසීමේ වරදක් නැහැ. 1915 මැයි මාසයේ දී කැනේඩියානු වෛද්‍යවරයෙකු වූ ලුතිනන් කර්නල් ජෝන් මැක්‍රේ ව ‘ෆ්ලාන්ඩර්ස් යායේ දී’ නම් කවි පෙළ ගෙත්තම් කිරීම සඳහා පොළඹවන ලද්දේ එ් සොඳුරු දසුන යි.
‘ෆ්ලාන්ඩර්ස් යායේ දී’ කවි පෙළ රස විඳි ඇමෙරිකානු මහාචාර්යවරියක් වූ මොයිනා මයිකල්, යුද විරුවන් සිහි කිරීමේ සංකේතයක් ලෙස සෑම විට ම රතු පොපි මල් පැළඳීමට තීරණය කර තිබෙනවා. 1918 නොවැම්බර් මාසයේ දී පවත්වන ලද තරුණ ක්‍රිස්තියානු සංගමයේ විදේශීය යුද ලේකම්වරුන්ගේ සම්මේලනය සඳහා ඇය සහභාගී වී ඇත්තේ රතු පැහැ සේද පොපි මලක් ඇගේ කබායේ රඳවාගෙන යි. පසු ව අදාළ සම්මේලනය සඳහා සහභාගී වූ ප්‍රංශ ජාතික ඇනා ගුවරින් විසින් වර්තමානයේ දී දැක ගැනීමට ලැබෙන කෘත්‍රීම පොපි මල් හඳුන්වා දී ඇති අතර, ෆීල්ඩ් මාර්ෂල් ඩග්ලස් හේග් විසින් බ්‍රිතාන්‍ය හමුදා භටයින්ගේ උන්නතිය සඳහා පිහිටු වන ලද ‘රාජකීය බ්‍රිතාන්‍ය හමුදාව’ නම් පුණ්‍ය ආයතනය විසින් ‘යුද විරුවන් සිහි කිරීමේ සංකේතය’ ලෙස රතු පොපි මල් පිළිගෙන තිබෙනවා.
1921 නොවැම්බර් මාසයේ දී ‘රාජකීය බ්‍රිතාන්‍ය හමුදාව’ විසින් ඇනා ගුවරින්ගෙන් මිල දී ගෙන බ්‍රිතාන්‍ය වැසියන් අතර අලෙවි කරන ලද කෘත්‍රීම පොපි මල් සංඛ්‍යාව මිලියන 9ක්. එයින් ලද පවුම් 106,000ක පමණ වූ සමස්ත ආදායම පළමු ලෝක සංග්‍රාමයට සහභාගී වූ හමුදා භටයින්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සහ නිවෙස් තනා දීම සඳහා වැය කරන ලද බව යි වාර්තා වන්නේ.
විනාශය තුළින් උපන් ෆ්ලාන්ඩර්ස් පොපි මල්
කෘෂිකාර්මික වල් පැළෑටියක් ලෙස සැලකෙන ෆ්ලාන්ඩර්ස් පොපි පැළෑටිය විද්‍යාත්මක ව හඳුන්වන්නේ Papaver rhoeas ලෙස යි. සාමාන්‍යයෙන් ෆ්ලාන්ඩර්ස් පොපි පැළෑටියක් සම්පූර්ණයෙන් වැඩීම සඳහා වසරක පමණ කාලයක් ගත වන අතර, වසන්ත ඍතුවේ අවසන් කාලයේ දී මල් පිපීම ආරම්භ වෙනවා. සෙ. මී. 70ක් පමණ උසින් යුතු වන ෆ්ලාන්ඩර්ස් පොපි පැළෑටියේ ඉහළ කෙළවර හට ගන්නේ තනි මලක් පමණ යි. සෙන්ටිමීටර් 7 – 10 අතර ප්‍රමාණයකින් යුතු දීප්තිමත් රතු පැහැ සිව්පෙති මලක් වන එහි මැද කළු පැහැ කලංකයක් දැක ගැනීමට ලැබෙනවා. එක් ෆ්ලාන්ඩර්ස් පොපි පැළෑටියක් වියළි සමය තුළ දී මල් 400ක් පමණ නිපදවන අතර, මලක ජීව කාලය එක් දිනකට පමණක් සීමා වෙනවා.
දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ව කෘෂිකර්මාන්තය බලවත් වීම සහ වල්නාශක භාවිතය ඉහළ යාම හේතුවෙන් ෆ්ලාන්ඩර්ස් පොපි පැළෑටි වර්ධනයේ පසුබැස්මක් ඇති වුව ද, 1980 දශකයේ දී බ්‍රිතාන්‍ය දූපත් තුළ මහා පරිමාණයෙන් ෆ්ලාන්ඩර්ස් පොපි වගා කිරීම අරඹා තිබෙනවා. එයට අමතර ව වර්තමානයේ දී අප්‍රිකාව, සෞම්‍ය දේශගුණයක් සහිත යුරෝපයේ සහ නිවර්තන ආසියාවේ සාර්ථක ෆ්ලාන්ඩර්ස් පොපි වගාවන් දැක ගත හැකි යි. විවිධ වර්ගයේ ඇල්කලොයිඩ් අන්තර්ගත වන ෆ්ලාන්ඩර්ස් පොපි පැළෑටි සාමාන්‍යයෙන් මිනිසුන්ට විෂ සහිත නොවන අතර, විශාල වශයෙන් ආහාරයට ගතහොත් අශ්වයින්, බැටළුවන්, සහ ගවයින්ට විෂ සහිත වන බව යි වාර්තා වන්නේ.
මියගිය යුද විරුවන් වෙනුවෙන් ‘අනුස්මරණ පොපි’
1921 නොවැම්බර් මාසයේ දී ‘රාජකීය බ්‍රිතාන්‍ය හමුදාව’ විසින් යුද විරුවන්ට ආධාර රැස් කිරීම වෙනුවෙන් අලෙවි කිරීම අරඹන ලද කෘත්‍රීම පොපි මල් වර්තාමනයේ දී කැනඩාව, ඕස්ට්‍රේලියාව, සහ නවසීලන්තය වැනි කලකට පෙර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයන් ව පැවති රාජයන් හි අතිශය ජනප්‍රිය බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. එසේ ම ඇමෙරිකා එක්පත් ජනපදය පවා යුද විරුවන් සැමරීම සඳහා රතු පැහැ කෘත්‍රීම පොපි මල් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් කෘත්‍රීම පොපි මල් අලෙවි කිරීම සහ පැලඳීම සිදු කරන්නේ අප්‍රේල් 25 වැනි දිනට යෙදෙන ‘ඇන්සැක් දිනය’ හෝ නොවැම්බර් 11 වැනි දිනට යෙදෙන ‘අනුස්මරණ දිනය’ ඉලක්ක කරගෙන යි.
රතු පැහැ පොපි මල්වලට අමතර ව වෙනත් වර්ණැති පොපි මල් භාවිතා කරන අවස්ථා ද නැතුවා ම නොවෙයි. සාමය සංකේතවත් කිරීම සඳහා සුදු පැහැ පොපි මල් යොදා ගැනීම එවැනි අවස්ථාවක්. 1933 දී සුදු පැහැ පොපි මල් හඳුන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍යයේ සමූපකාර කාන්තා සංසදය විසින්. වර්තමානයේ දී සාම ප්‍රතිඥා සංගමය (Peace Pledge Union) විසින් සුදු පැහැ පොපි නිර්මාණය කිරීම සහ අලෙවි කිරීම සිදු කරනවා. සාමාන්‍යයෙන් සුදු පැහැ පොපි මල් පැළඳීම සිදු කරන්නේ රතු පැහැ පොපි මල් සමග යි. එයින් යුද්ධයේ මියගිය හමුදා භටයින් සහ සාමාන්‍ය වැසියන් ද යුද්ධය ප්‍රවර්ධනය නොකිරීම ද නිරූපණය කරනවා.
දම් පැහැ පොපි මල් භාවිතා කරන්නේ යුද්ධය හේතුවෙන් මියගිය සතුන් සිහි කිරීම සඳහා යි. රතු පැහැ පොපි මල් සමග පළඳින දම් පැහැ පොපි මල් මුල් වරට හඳුන්වා දී ඇත්තේ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ‘Animal Aid’ නම් බ්‍රිතාන්‍ය සංගමය විසින්. සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ පළමු ලෝක සංග්‍රාමයේ දී පමණක් අශ්වයින් සහ බූරුවන් මිලියන 8ක් පමණ මියගොස් ඇති බව යි. 2015 දී දම් පැහැ පොපි මල මැද ඇති කළු පැහැ කලංකය වෙනුවෙන් සත්ත්ව පා සලකුණක් භාවිතා කිරීම අරඹා තිබෙනවා.
යුද්ධයේ දී මියගිය කළු ජාතික සේවකයින්, අප්‍රිකානුවන්, සහ කැරිබියානු වැසියන් සංකේතවත් කිරීම සඳහා කළු පැහැ පොපි මල් භාවිතා කරනවා. එයට අමතර ව 2014 දී ‘Stop the War Coalition’ නම් සංගමයේ සාමාජිකයන් විසින් ග්ලාස්ගෝ නුවර දී කළු පැහැ පොපි මල් 16,000ක් සාමාන්‍ය වැසියන් අතර බෙදා දී ඇත්තේ යුද්ධයට විරෝධය පෑම සඳහා යි. එසේ ම මෑත ඉතිහාසයේ දී ඇෆ්ඝන් යුද්ධය සහ ඉරාක යුද්ධයට එරෙහි ව කළු පැහැ පොපි මල් පැළඳීම සිදුකළ අවස්ථා පිළිබඳ ව වාර්තා පවතිනවා.