Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේපල අයිතියට නඩු කියන හාමුදුරුවරුන්ට සහාය වන පනත

විහාර හා දේවාලගම් පනත ගැන අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී කෙරුණු ප්‍රකාශයට භික්ෂූන්වහන්සේ සිය විරෝධය පළ කරන අන්දම අප දුටුවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස යි එම ලිපිය මඟින් ඉල්ලා තිබෙන්නේ.

බෞද්ධ විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි, ඉකුත් පෙබරවාරි මස 12 වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇතැ යි අදාළ ලිපිය මඟින් පෙන්වා දෙනවා. බෞද්ධ විහාර හා දේවාලගම් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට අනුබද්ධව පවතින නීතියක් බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය බුද්ධ ශාසනයට එරෙහිව කළ බරපතළ ප්‍රකාශයක් ලෙස යි භික්ෂූන්වහන්සේ ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය මඟින් පවසා සිටින්නේ. හාමුදුරුවරුන් අවුලවන විහාර දේවාලගම් පනත කියන්නේ මොකක්ද කියලා වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඒ ගැන සොයා බලන්න යි මේ උත්සාහය.

පනත ගෙනාවේ සුද්දගේ කාලේ

දේපල රාශියක් ඇති කැලණි රජමහා විහාරය- lankapura.com 

අප රට පුරාම රජමහා විහාර, පුරාණ විහාර සහ ඓතිහාසික දේවාල පිහිටා තිබෙනවා. මෙම පූජනීය ස්ථානවලට රජ කාලේ පටන්ම අක්කර දහස් ගණන් ඉඩම්, කුඹුරු පවරා දී තිබුණේ ඒවායේ නඩත්තුව සඳහා යි. පසුකාලීනව මේ ඉඩම්වලට කෑදරකමින් විහාරවලින් පිටත භික්ෂූන් පවා ඒවා අයිතිකර ගැනීමට උත්සාහ කළා. සමහරු අයිතිකර ගෙනත් තිබෙනවා. ඒ වගේම පිටස්තර පුද්ගලයන් මේවා භුක්ති විඳීමත් සිදුවුණා. මේ නිසා පූජ්‍ය පක්ෂයට විශාල දේපලක් පාලනය කිරීමේ නීතිමය ගැටලු මතුවුණා. දැනට භාවිතා කෙරෙන විහාර දේවාලගම් පනත ඉංග්‍රීසි ආණ්ඩුව 1931 දී ගෙනාවේ එසේ මතුවන ගැටලු නිරාකරණය කිරීමට යි. එයට පෙරත් ඒ ගැන නීති කිහිපයක්ම ඉංග්‍රීසින් ගෙනවිත් තිබෙනවා.

එම විහාර දේවාලගම් පනතේ මුලින්ම සඳහන් වන්නේ මෙහෙම යි: 

වර්ෂ 1905 දී පමණ බෞද්ධ විහාර හා දේවාලගම්  පනතේ විධිවිධානයන්ගෙන් බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පමණ ආරක්ෂාවක් නොලැබී තිබෙන බැවින් ද, එබඳු බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පරිදි ආරක්ෂාවක් ලැබෙන ලෙස පිළිබඳ පාලන සංවිධාන ක්‍රමයක් සැලසීම යෝග්‍යයැ යි තීරණය කිරීමෙන් අනතුරුව  නීතිදායක මන්ත්‍රණ සභාවේ අනුශාසනයෙන් සහ අනු මතය පරිද්දෙන් 1931 අංක 19 දරන බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනත 1931ක් වූ ජුනි මස 26 වන දින දී ලංකා ආණ්ඩුකාරවරයා විසින් ගෙන එන ලදී.

දේවාල සහ විහාරවලට ඉඩකඩම් මොකට ද?

විශාල ආදායමක් ලැබෙන දළදා මාලිගය -akpool.co.uk

ඉඩම් ප්‍රදානයන්ගෙන් වැඩිම සංඛ්‍යාව ප්‍රදානය කරන ලද්දේ දේවාල සඳහා බව පෙනෙනවා. රාජකාරි කරන දේවාල ගම් අදත් විශාල දේවාලවලට තිබෙනවා. ඒවායේ පදිංචි අයට ඉඩම්වල සින්නක්කර අයිතියක් නෑ.  ඔවුන් තමන් පදිංචිව ඉඩම භුක්ති විඳීම වෙනුවෙන් දේවාලයට හෝ විහාරයට රාජකාරි කළ යුතු යි. මේ ඉඩම් පරිත්‍යාග කරන ලද්දේ එම දේවාල හා විහාරවල නඩත්තුව සඳහා යි. ඒ ඉඩම්වල ආදායමින් තමයි දේවාලවල පෙරහැර පැවැත්වීම, අලුත්වැඩියා කිරීම, සේවකයන්ට වැටුප් ගෙවීම කරන්නේ. ඉඩම් වැඩි හරියක්‌  පුරාණයේ විෂ්ණු, පත්තිනි, නාථ, කතරගම හා සමන් දේවාලවලට ප්‍රදානය කර තිබෙනවා. දේවාලවලට අයිති ගම්වල පදිංචිකරුවන් සේවා රාජකාරි වන දවුල් බෙර ගැසීම, නලා පිඹීම, පෙරහැර අවස්‌ථාවල දී හා සාම්ප්‍රදායික උත්සව අවස්‌ථාවල දී පැවරෙන රාජකාරි ඉටුකිරීම ආදියට පැමිණිය යුතු යි. 

රත්නපුර මහ සමන් දේවාලය- amazing lanka.com –Nishan

 

සබරගමු පළාතේ ඒජන්ත විසින් බ්‍රිතාන්‍ය යුගයේ දී පිළියෙල කරන ලද විහාර හා දේවාලගම් ලැයිස්‌තුවේ ගම් 75න් 33ක්‌ අයත් වන්නේ සබරගමු මහ සමන් දේවාලයට බව සඳහන් කර තිබෙනවා. බොල්තුඹේ සමන් දේවාලයට ගම් තුනක්‌ ද, අලුත්නුවර කතරගම දේවාලයට ගම් පහක්‌ ද වශයෙන් දක්වා තිබෙනවා. ශ්‍රී පාද විහාරස්‌ථානයට ගම් එකක්‌ ද, රත්නපුර පොත්ගුල් විහාරයට ගම් තුනක්‌ ද වශයෙන් සටහන් කර තිබෙනවා.

විහාර දේපල ගසා කෑ ව්‍යාජ භික්ෂූන්

ඇමැති සබ්‍රිට එරෙහිව ජනාධිපතිවරයාය භික්ෂූන්වහස්සේ යැවූ ලිපියේ අත්සන්- kumbiyonews.com

පරණාතල රතනපාල හිමි මහනුවර දෙගල්දොරු විහාරයේ විහාරාධිපතිකම දරන කාලයේ, විහාරය සතුව තිබුණු ඉඩම් කෝපි වගාව සඳහා 99 අවුරුදු බද්දකට ලබා දී තිබෙනවා. පසුව 1849 දී උපැවිදි වී කෙළින්ම වතු වගා ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. යළිත් 1858 සිට 1875 දක්වා යටිනුවර රටේ මහත්මයා තනතුර දරා තිබෙනවා.  පැවිදි වී, පසුව උපැවිදි වී කූට උපක්‍රම යොදා මෙයාකාරයෙන් විහාර සතු ඉඩම් වංචනිකව ලබාගෙන වතු වගා ව්‍යාපාරයට සම්බන්ධ වූවන් ගණනාවක්‌ම ගැන 1800 ගණන්වල සිට  වාර්තා වී තිබෙනවා.

විහාරවලට ඉඩම් නීති

කතරගම දෙවොල් බිම – katharagama devalaya fb page

1818 නොවැම්බර් 21 වන දින දරන ප්‍රකාශනයෙන්, විහාර හා දේවාල ඉඩම් බද්දෙන් නිදහස්‌ කරන ලද බව ඉංග්‍රීසි ආණ්ඩව සඳහන් කළා. ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් එය සටහන් කර ඇත්තේ, ‘සිංහල ආණ්‌ඩුව විසින් උඩරට ප්‍රදේශයේ බොහෝ වෙහෙර විහාර හා ආගමික ස්‌ථාන වැඩි දියුණු කිරීමට සලස්‌වන ලද ආදායම් මාර්ග එපරිදිම ආරක්‌ෂා කර දෙනු ලැබේ. කිසිම ගොඩනැඟිල්ලක්‌ මේ නිසා විනාශයට පත්වීමට ඉඩ දෙනු නොලැබේ’ යනුවෙන්.

1822 මැයි 21 වන දින දරන ප්‍රකාශනයෙන් ලියාපදිංචි නොකරන ලද විහාර හා දේවාල ඉඩම් ලියාපදිංචි කිරීමට අවශ්‍ය කටයුතු නැවතත් සලසා තිබෙනවා. 1840 අංක 07 දරන ආඥාපනත මඟින් ද විහාර ගම්වල මායිම් හා ප්‍රමාණයන් නිශ්චිතව ලියාපදිංචි කිරීමට නියම කරනු ලැබුවත් මෙම පනත ක්‍රියාත්මක වුණේ නැහැ. ඉන්පසු 1856  රැගෙන ආ අංක 10 දරන විහාර හා දේවාලගම් ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ මූලික අරමුණු හැටියට  සඳහන් වන්නේ  උඩරට පළාතේ විහාර හා දේවාල බදුවලින් නිදහස්‌ කිරීම සඳහා කෙරෙන ඉල්ලීම් සහ එකී විහාර හා දේවාලවලට අයත් බව ප්‍රකාශ කෙරෙන සියලු ඉඩම් ලියාපදිංචි කිරීම සඳහා පැනවූ පනතක් ලෙස යි.

1931 පනතට අනුව විහාර දේපල

රත්නපුර සමන් දේවාල පෙරහරට සැරසෙමින්- sundayobserver.com

අප රටේ පවතින 12000කට අධික විහාර සහ දේවාලවලට අයත් ගම් කොටස් දෙකකට බෙදෙනවා. පනතේ 4 වැනි වගන්තිය යටතේ පන්සල් සහ විහාර 254ක දේපල පාලනය වන්නේ භාරකරුවන් යටතේ. ඒවා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පාලනය කෙරෙනවා. ඉතිරි සියලුම විහාර සහ දේවාල ගම්වල පාලනය  විහාරාධිපති භික්ෂූන් වෙත පැවරෙනවා. දේපල පාලනය කරන භාරකාර තනතුර යෝජනා කරන්නේ විහාරාධිපති හිමි විසින්. පසුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ බලතලවලට යටත්ව තමයි භාරකාරයා පත්වන්නේ. භාරකරු දේපලේ ආදායම් සහ වියදම් නිසි ලෙස කළමනාකරණය කළ යුතු යි. පිංකම්, පෙරහර සංවිධානය කළ යුතු යි. ඒවා නිසි ලෙස නොකර හොර වංචා කරන්නේ නම් ගතයුතු පියවර ගැනත් පනතේ සඳහන් වෙනවා. 

මේ සම්බන්ධව වර්තමානයේ කටයුතු කරන නිසි බලධාරියා වන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා යි. ඔහු යටතේ 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් ආඥාපනත ක්‍රියාත්මක වෙනවා. මෙම ආඥාපනත 2013 දක්‌වා 7 වතාවක්‌ සංශෝධනය වී තිබෙනවා. ඊට පසුවත් මෑතක දී නැවත සංශෝධනයක් ගෙන ඒමට සැලසුම් කළත් භික්ෂූන්ගේ විරෝධය නිසා එය ක්‍රියාත්මක වුණේ නැහැ.  

පඬුරු පෙට්ටි

විහාර ආදායම එකතු වන පිංපෙට්ටි- deshaya.lk 

පසුගිය කාලයේ සමහර විශාල විහාරවල පඬුරු පෙට්ටි සීල් තැබුවායැ යි විරෝධයක් නැගුණා මතක ද? ඒක හැම අවුරුද්දකම වගේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් කරන දෙයක්. විහාර දේවාලවල ආදායමක් තමයි පඬුරු පෙට්ටිය කියන්නේ. එහි භාරකාර තැන එයින් ලැබෙන ආදායම ගැන ලේඛනයක් පවත්වාගෙන යා යුතු යි. එම වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත එවිය යුතු වෙනවා. මෙම ආදායම් ගණනය කිරීමට භාරකරුගේ ලිඛිත ඉල්ලීමක් මත දෙපාර්තමේන්තු නිලධාරින් සහභාගි වන අතර ගණනය කර එම මුදල් විහාරයේ බැංකු ගිණුමකට බැර කෙරෙනවා. පනතේ 24 වන වගන්තියේ ඒ ගැන දක්වා තිබනවා. මේ අයුරින් තැන්පත් කරන මුදල් දෙපාර්තමේන්තුවේ විගණනයට යටත්ව තමයි වියදම් කරන්නේ.

පනතට යටත් පූජනීය ස්ථාන

මහනුවර නාථ දේවාලය- lankapura.com

ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රීපාදස්ථානය, ඛෙත්තාරාම කන්දේ විහාරය, රුහුණු මහා කතරගම දේවාලය, රත්නපුර සමන් දේවාලය, දෙවුන්දර විෂ්ණු දේවාලය, සීනිගම දේවාලය ආදී වශයෙන් ලොකු ආදායමක් ලැබෙන විහාර දේවාල 254ක පඩුරු පෙට්ටි මේ පාලනයට යටත් වෙනවා. එසේ විශාල වශයෙන් මුදල් එකතු වන විට සිදුවන වංචා වැළැක්වීමට තමයි මේ විදිහට පනතක් මඟින් පාලනය කරන්නේ. මේ නිසා විහාරාධිපති භික්ෂූන්ට එල්ලවන මුදල් වංචා චෝදනාවලින් නිදහස්ව සිටීමටත්  හැකියි. ඒ වගේම පනතට අනුව භික්ෂුවක් සතුවූ පෞද්ගලික දේපලක් තිබේ නම්, ඒවා ජීවත්ව සිටිය දී කාට හෝ පවරා නොතිබුණේ නම්, එම දේපල සඟසතු වෙනවා. කිසි හේතුවක් මත ඒවා ඒ හිමියන්ගේ පවුලේ අයට හෝ ගෝල හාමුදුරුවරුන්ට හිමිවන්නේ නැහැ.

විහාර හා දේවාලගම් ඉඩම් හිමිකම නීතියෙන් පිළිගෙන තිබෙන කරුණක්. මේවාට අදාළ පිඹුරු හා හිමිකම් පත්වල සහතික පිටපත් ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන අදාළ අධිකරණ බල ප්‍රදේශයේ දිසා අධිකරණයක නඩුවක්‌ පැවරීමෙන් අයිතිවාසිකම් ඉල්ලා සිටීමටත් පුළුවන්. භික්ෂූන් විහාර දේපලවල අයිතිය ඉල්ලා පැවරූ එවැනි නඩු රැසක් දැනටත් අප රටේ අධිකරණවල විභාග වෙනවා. 

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

 divaina.com

 sinhala.dgi.gov.lk

Cover- දළදා මාලිගයේ භික්ෂු පිරිසක් දැක්වෙන පැරණි සේයාරුවක්- lankapura.com

Related Articles