Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බත්තලංගුණ්ඩුවට බෝට්ටු සවාරියක්

ඒ බෝට්ටුව කල්පිටියෙන් බත්තලංගුණ්ඩුවට යන්නේ උදේ 8.30ට. මගී බෝට්ටුව ගැන බලාපොරොත්තු රැසක් දල්වාගෙන ආපු ඇස් වලට මිනිස්සු ටික දෙනෙක් නැගලා ඉන්න තවත් අය ඉඳහිට ඇවිත් නගින පැරණි ට්‍රෝලර් බෝට්ටුව දැක්ක ගමන් ඇති වෙන්නේ “අයියෝ මේකද? ඒ බෝට්ටුව? “ කියන අදහසකි. කල්පිටිය ධීවර වරාය නාවුක කඳවුර අසලම ඇති එකකි. බත්තලංගුණ්ඩුව දූපතක් වන අතර මේ මගී බෝට්ටුවේම එහි යා යුතු යැයි නියමයක් නැත. කැමති උදවියට වැඩිමනක් මිල ගෙවා බෝට්ටුවක් කුලියට ගෙන බත්තලංගුණ්ඩුවට යා හැකිය. එහෙත් අඩු ආදායම්ලාභී දූපත් වැසියනුත්, චාරිකාවක් වෙනුවෙන් පෑ දෙක තුනකට දාස් ගණන් වියදම් කළ නොහැකි දේශීය සංචාරකයිනුත් බත්තලංගුණ්ඩු යන්නට මගී බෝට්ටුවම තෝරා ගනී.

කල්පිටිය ධීවර වරාය

බෝට්ටුවේ ගමන

තරමක් මහත අම්මා කෙනෙක් බෝට්ටුවේ යට තට්ටුවේ කණුවක් ළඟ හරි බරි ගැහී වාඩි වී සිටී. ඇය සෙමෙන් සෙමෙන් බුලත් මඩිස්සලය ඇදගෙන බුලත් විඩක් හදාගෙන කන ගමන ඇගේ රේඩියෝව ඔන් කරයි. රේඩියොවෙන් දසත පැතිරෙන්නේ පැරණි දමිළ ගීතයකි. ඇය ඇතැම් ගීයක් යන විට ඒ සමග මුමුණනු ද පෙනේ. දමිළ ගී අසන හෙයින් සහ දමිළ බස වඩාත් හොඳින් කතා කරන නිසා ඇය දමිළ අම්මා කෙනෙකි. තරමක් විශාල රේඩියෝව බෝට්ටුවේ ආධාරක කණුවක එල්ලාගෙන රේඩියෝ ගීතවලට සවන්දෙන ඈ බෝට්ටුවේ නිතර යන එන අම්මා කෙනෙකු විය යුතුය. ටිකට් කඩන්නට පැමිණි බෝට්ටු බස් කොන්දොස්තර මහතාද ඇය සමඟ සතුටු සාමීචියේ යෙදුණේ ය.

බෝට්ටුවේ මැද තට්ටුවේ ගමන

එකම කොන්දොස්තර දිය ගොඩ සැම තැන

බත්තලංගුණ්ඩුවට යන බෝට්ටුවත්, මීගමුවේ සිට කල්පිටියට පාන්දර 4.30ට මීගමුවෙන් යන බස් රියත් එකම හිමිකරුවෙකුගේ ය. එම බස්රිය උදෑසන කල්පිටියේ ධීවර වරාය ජැටිය අසලටම ගෙන ගොස් නවත්වා මගීන් බස්වනු ලැබේ. ඉන් අනතුරුව පැය භාගයකින් පමණ බෝට්ටුවට මිනිසුන් ගොඩ වූ පසු නැවතත් බෝට්ටුව ගමන අරඹයි. වෙනත් පැහැති කමිසයකින් සැරසී සිටිය බැවින් මදක් අඳුනා ගන්නට නොහැකි වුවත් ඒ බෝට්ටුවේද ගියේ බස් රියේම පැමිණි කොන්දොස්තර මහතාය. පාන්දර 4.30ට මීගමුවේ පෙරියමුල්ල හංදියේ අන්සාර් ආදී රෑ කඩ ටික අසලට එන්නට හැකිනම් කල්පිටි බසය ටික වේලාවකින් එතැන වේ. කෙසේ වුවත් 4.50ට බසය එතැනින් නික් මේ. බෝට්ටුව දූවට 12 වනවිට ළඟා වන අතර නැවත 1.30ට ගමන් අරඹයි. විශාල ට්‍රොලර් බෝට්ටුවක් බැවින් ගමන සෙමෙනි. වේගෙන් යෑමට ම සැදූ නාවික හමුදා බෝට්ටු නම් අපි පෑ 3න් ගිය බත්තලංගුණ්ඩු ගමන පෑ බාගෙකින් ආවරණය කරන්නට සමත් ය.

බෝට්ටුව දූපතේ නැංගුරන් ලෑම

බත්තලංගුණ්ඩුව දූපත

බත්තලංගුණ්ඩුව යනු කුඩා දූවකි. දිගින් වැඩි පළලින් අඩු දූවේ දෙකෙළවර අතර දුර මීටර 500ත් කිලෝමීටරයක්  අතර වේ. ලංකා සිතියමේ අතක් මෙන් දිස්වෙන කල්පිටි අර්ධද්වීපයේ ඉහළම කෙළවරේ පිහිටා ඇති බත්තලංගුණ්ඩුවට ආසන්නතම ගොඩබිම පිහිටියේ විල්පත්තු මහා වනෝද්‍යානයයි. කිලෝමීටර දෙක තුනක පෙනෙන දුර ගොඩබිම පිහිටියත් ඒ ගොඩබිමට නොයා කල්පිටියටම එන්නේ කල්පිටිය නගරය හා සම්බන්ධ වීම ධීවර ප්‍රජාවටත් යන එන අයටත් වාසියක් නිසා විය යුතුය. දූපතේ නාවික හමුදා කඳවුරකි. මදක් මිල වැඩියට බඩු අලෙවි වන කඩ ද කිහිපයකි. එහි මිල වැඩිවීම බොහෝවිට බෝට්ටුවලින් බඩු ගෙන ඒමට සිදුවන අපහසුව නිසාම ඇති වූ දෙයක් වන්නට ද හැකිය. දූපතට යන්නේ නම් කෑම බිම රැගෙන යා හැකිනම් පහසුය. දිවා ආහාර අවැසිනම් කල්පිටිය ධීවර වරාය කැන්ටිමෙන් පාර්සල් කරගෙන වුවද යා හැකිය.

ගවයින් විසින් දක්කනු ලබන අත් කරත්ත, වන් කරත්ත හැර වෙන කිසිදු රථයක් දූව තුළ නැත. මාළු, වාඩි කරවල වාඩි වලින් පැක් වී ඇති දූපත වටේ නිල් සහ කොළ පාට මූද ඇසට ප්‍රියය. පැහැදිලි වතුරේ ඇතැම් තැනක පතුල පවා කදිමට පෙනේ.

දූපතේ වූ කුඩා පැළෑටි වශේෂයක්

ගමනේ විනෝදය

ටික වේලාවකින් අප කිහිප දෙනෙක් බෝට්ටුවේ වහලට නැංගෙමු. එදින සැඩ රළ වදින හුළං හමන දිනක් වූයෙන් බෝට්ටුවේ මැද ගමන් කළ බොහෝ දෙනෙකු හොඳින්ම තෙමී යන පරිද්දෙන් රළ ගෙඩි ඇතුළට වැදී තිබුණි . එනම් රළ කපාගෙන බෝට්ටුව ගියත් ඇතැම් රළ ඉහළින් විත් කොටසක් බෝට්ටු තට්ටුවටද කඩා වදී. ඉහළම තට්ටුවට වදින රළ අඩු වුවත් තුන් හතර වතාවක්, ඉහළ සිටි අපටද තෙමෙන්නට සිදු විය.

වැඩන් නෑ මේ ගමන, මං කිව්වනේ, ගැස්සීමයි මහන්සියයි විතරයි. යාබද පළාතක රජයේ ආයතනයක තරුණ පිරිසක් අතර සිටි අයෙක් ගමන ගැන අශුභවාදී අදහස් පතල කරන්නට පටන් ගත්තේ ගමනේ පළමු පැය නික්මීමටද මත්තෙනි. මට ඔහුගේ සාර්ව අශුභවාදී අදහස්, බෝට්ටු ගමන, ඔහුගේ පෙනුම දැක මතක් වූයේ දොස්තර හොඳ හිත කතාවේ එන සතුරු පාර්ශවයේ චව් චව් ය. චව් චව්ද සෑම විටම අශුභවාදී අදහස් ඇතියෙක් විය. බෝට්ටුවේ ගියා දූව බැලුවා ආවා. මොකද්ද ඒකේ තියෙන්නේ යැයිද එවන් අයට සිතෙන්නට හැකිය. එහෙත් අලුත් අත්දැකීම් සොයා යන අයට නම් බත්තලංගුණ්ඩු සවාරිය අමතක නොවන අත්දැකීමකි.

බෝට්ටුවේ ඉහළ කොටස් අල්ලාගන්නට කිසිවක් නොමැත. එහි තනිකර තට්ටුවම පමණි. බෝට්ටුවට හුළං පාරක් වැදි බෝට්ටුව අනවශ්‍ය පරිදි ඇලවුණේ ය. ඉහළ තට්ටුවේ සිටි අප සැවොම එක දිශාවකට ඇදී යන්නට මෙන් ඇලවී ගියේ නිමේෂයකිනි. එහෙත් ඉන් ස්වල්ප වෙලාවකට පසු නැවත සාමාන්‍ය තත්වයට පැමිණියත් ඒ  ගැස්සීම් කිහිපයක්ම බෝට්ටුවේ ඉහළ සිටි අපිට විඳගන්නට ලැබුණි. ඒවා නම් ඇඩ්වෙන්චර යැයි කියන්නට හැකි වුවද ඒ අදිසි මොහොතක සිදු වූ ඇලවීම උඩ තට්ටුවේ සිටි අප කිහිප දෙනාම භීතියෙන් අළලන්නට සමත් විය. හැමදාම බෝට්ටුවේ යන අයද එදින මුහුද හදිසියේ සැර වෙන හුළං වැඩිවන දවසක් යැයි ද කීවෝය.

යාබද ධීවර බෝට්ටුවක්

කල්පිටි දූපත් කුරුල්ලන් මාළු

දූපතේ ජනයා ගේ ජීවිතය එහි කටුක බව ද අපට ගමනේදී යම්තාක් දුරට දැක ගන්නට ලැබුණි. මීගමුවේ පල්ලියේ මංගල්‍යය යෙදෙන බැවින් බොහෝ දෙනා දූවේ නොසිට එයට සහභාගි වීමට ගොස් තිබුණේ ය. ගවයින්ට බොන්නට දෙන්නට අයෙක් දූපත මැද වළක් සාරා වතුර පොල් කට්ටකට ගෙන ගැලුං කැබැල්ලකට එකතු කළේය. එතැනට ගිය අපේ බෝට්ටුවේ දූව බලන්නට ආ  මුස්ලිම් අම්මා කෙනෙකු වතුර හොඳදැයි බලන්නට කටට ඒ කිවුල් වතුර ටිකක් ගත්තේය. ක්‍රාක්, තුහ් තුහ් යැයි කිවුල් වතුර මුවින් ඉවත්කළ ඈ තවත් කිහිප විටක්ම කෙළ ගසන හඬ ඇසුණි. වතුර දැඩි කිවුලකින් යුක්ත විය යුතුය. හරකුන්ට කෙසේ වුවත් මිනිසුන්ට නම් එය හොඳ වතුරක් විය නොහැක.

දූපතේ කරත්තය පිණිස සිටින ගවයෙක් සහ ගොපල්ලා

අවලස්සන කැළිකසළ  

දූපත අවට මූද ලස්සනය, එහි පැහැය අපි චිත්‍රයක දකිනවාක් මෙන් සෞම්‍යය. මුහුදු වෙරළේ වැල්ලද ඒ මුහුද හා සමානවම සුසුදු පැහැයෙන් තිබේ. එහෙත් කනගාටුවට කරුණ නම් තිබෙන කැළිකසළ තොගය අධිකය. මුහුදු වෙරලේද දූවේද කැළිකසල තොගයකි. ප්ලාස්ටික් බෝතල්ය. වීදුරු බෝතල්ය. බියර් කෑන්ය, පොලිතීන්ය, පැරණි දැල්ය, රිජිෆෝම්ය ආදී වශයෙන් නොදිරන සහ දිරන කසළ  රැසකින් දූපත අපවිත්‍ර වී තිබේ. දූපතේ කැළිකසළ නැවත ගෙනයන සිරිතක් නැති නිසාදෝ හෝයි කැළිකසළ ගිනි තබන තැනක්ද පෙනුණි. කැළිකසළ වරක් දෙකක් හෝ මහා පරිමාණයෙන් එකතු කොට ගෙන නැවත විශාල ගොඩබිමකට ගෙන ගොස් දමා ප්‍රතිචක්‍රීයකරනය කළ හැකිනම් මනාය. එහෙත් එහි වියදම කවුද දරන්නේ එහි වගකීම කවුරුද ගන්නේ යන්න ගැටලුවකි.

මනරම් දූපතේ අවලස්සන කැළිකසළ

දූපත් සිරි

මුහුදු ලිහිණියෝ, පෙලිකන් ආදී සතුන් කලපු සීමාවේ මසුන් සොයා යති. කල්පිටියේ සිට බත්තලංගුණ්ඩුවට යන තෙක්ම මදක් ඈතින් දිස්වෙන අලංකාර දූපත්ය. ඒ ඇතමක ඈතින් සරුංගල් සර්ෆින් යනු පෙනේ. බත්තලංගුණ්ඩුවට සහ කල්පිටිය අතර තවත් දූපත් රැසකි. ඒ ඇතැමෙක් ධීවරයන් වාඩි තනාගෙන නැවතී කර්මාන්තයේ නියැලේ. විශාල බෝට්ටුව කෙළින්ම බත්තලංගුණ්ඩුවට යන හෙයින් ඒවායේ නැවතීමක් නැත. ඒ දූපත් පද්ධතියේ අලංකාර කුරුල්ලන් රැසක් සිටින බැව් බෝට්ටුවේ ගිය වැඩිමහලු අයෙක් අපිට කීවේය.

බත්තලංගුණ්ඩුව එක් දිනකින් ගොස් ආ හැකි අවැසි නම් කූඩාරමක් ගසාගෙන හෝ මාළු වාඩියක රැය පහන් කළ හැකි කදිම තැනකි. එහි ගමන අමුතුම අත්දැකීමකි. රියෙකින් ගොස් දැක බලාගෙන එන තැනකට වඩා මහජන බෝට්ටුවක ගමන වෙනස්ය. එහි මිහිර ලබා ගැනීම මෙන්ම සමුද්‍ර පද්ධතීන් වල අලංකාරය දැක බලා ගැනීමේ අවස්ථාවද බත්තලංගුණ්ඩුවට යන අයට ලැබේ.

(සියලු ඡායාරූප රචකයාගෙනි)

Related Articles