මාවනැල්ල සුප්‍රකට ගඩොල් පාලම යටින් ගලා යන, කොච්චිකඩේ පාලම යටින් ගිහින් මුහුදට වැටෙන මා ඔය උපත ලබන්නේ සබරගමු හා මධ්‍යම පළාත් සීමාවේ පිහිටි මහනුවර දිස්ත්‍රික්කයට අයත් කඳුවල දියඋල්පත්වලින්. එය තම ගමන ආරම්භ කරන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කොනක අරණායකට නුදුරින් පිහිටි අසුපිනි ඇල්ල නිර්මාණය කරමින්.
එය ලංකාවේ විශාලත ම ඔය කිව්වත් වැරදි නැහැ. මාවනැල්ල නගරයටත් මේ ඇල්ලේ දසුන දැකගත හැකිවීම තවත් විශේෂත්වයක්. මාඔයේ ඉහළ නිම්නයේ විස්තර සොයායාමටයි අප මේ ගමන් කරන්නේ.
මා ඔය
චාර්ල්ස් ද සිල්වා සමරසිංහ සිරිවර්ධන ලියූ ‘ලංකා වර්ණනාව‘ නම් කෘතියේ (1915) මා ඔය ගැන විස්තර කර ඇත්තේ මේ විදිහටයි:
‘‘දිග හැතැම්ම 68කි. දොළොස්බාගේ රාක්ෂව නමැති කන්දේ කම්මල් දොරටුව නම් ස්ථානයෙන් පටන් ගෙන උතුරු දෙසට ගොස් තලගොල්ලේ ඔය සම්භවෙන හරියේදී බස්නාහිර දෙසට හැරී පොල්ගහවෙල සමීපයේ පටන් බස්නාහිර සහ වයඹ පළාත් දෙකට මායිම් ව ගලා ගොස් කම්මල ළඟින් මුහුදට වැටේ. මහනුවර යන දුම්රිය පාර මෙය හරහට යයි. රඹුක්කන් ඔය සහ රාගල ඔය මෙහි අතුය. ’’
රඹුක්කන ඔය, හිඟුල ඔය, කුඩා ඔය, ගොඩිගමුව ඔය, දලගල්ල ඔය ආදිය මා ඔයේ ප්‍රධාන අතු ගංගා ලෙස එයට එක් වෙනවා. දිගින් කිලෝ මීටර 130ක් වන මා ඔයේ පෝෂක කලාපය වර්ග කිලෝමීටර 1538ක්. වාර්ෂිකව මා ඔය ඔස්සේ ගලා බසින ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 1485ක් පමණ බවට ගණන් බලා තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන මෙම ඔය දිස්ත්‍රික්ක හතරක් ඔස්සේ ගලා බසිනවා. කෑගල්ල (දිස්ත්‍රික්කයෙන් 32%), කුරුණෑගල (දිස්ත්‍රික්කයෙන් 8%) ගම්පහ (දිස්ත්‍රික්කයෙන් 23%) සහ පුත්තලම (දිස්ත්‍රික්කයෙන් 2% ක කුඩා ප්‍රමාණයක්) ඒවා වෙනවා. මාඔය මුහුදට වැටෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුවට උතුරින් පිහිටි කොච්චිකඩෙන්. මා ඔයේ ජලය අරණායක අවට පිහිටි කුඩා ජලවිදුලි බලාගාරවලට යොදා ගන්නවා. එහි වැදගත්ම ප්‍රයෝජනය නම් පානීය ජලය සඳහා ජලය සපයා ගැනීමයි.
විසි ලක්ෂයක (200,000 ක) පමණ ග්‍රාමීය ජන ගහනයකට අවශ්‍ය පානීය ජලය සැපයීම සඳහා දැනට මා ඔය ආශ්‍රිත ව ජල සැපයුම් පවිත්‍රාගාර 14ක් තිබෙනවා.
මා ඔය නිර්මාණය වන්නේ අහුපිනි ඇල්ල මුල් කරගෙන යි. අරණායක ප්‍රදේශයේ නැඟෙනහිර සීමාව වූ දොලොස්බාගේ කඳුවැටින් ඔයේ උපත සටහන් කරනා අසුපිනි ඇල්ලේ ආරම්භක දියතු හට ගන්නවා. මුහුදු මට්ටමේ සිට මීටර් 570ක් පමණ උසින් පිහිටන මා ඔයේ මුල් අවස්ථාව සටහන් කරන අසුපිනි ඇල්ල, රාවණා ඇල්ල ලෙස ද ප්‍රදේශවාසීන් හඳුන්වනවා.
අසුපිනි ඇල්ල
වළගම්බා රජු සොළීන්ගෙන් බේරීමට රුහුණට පලා යන ගමනේ දී සබරගමුව හරහා ගමන් කිරීමට අශ්වයා පැන්නවූ ඇල්ල මෙය බවත් එය අසු පැනි ඇල්ල ලෙස හැඳින්වූ බවත් ජනප්‍රවාදවල කියවෙනවා. පසුව එය අසුපිනි ඇල්ල බවට වෙනස් වී තිබෙනවා. දියඇල්ල මුහුදු මට්ටමේ සිට අඩි 3200 ක් පමණ උසකින් පිහිටා ඇති අතර එය උසින් අඩි 370 ක් පමණ වෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සිට දෙයියන්වල දක්වා පාරේ කිලෝමීටර් තුනක පමණ දුරක් පැමිණ එතැන් සිට පා ගමනින් ඇල්ල වෙත පිවිසිය යුතුයි. ගම්පොල හරහා ඇල්ලේ ඉහළ පෙදෙසට පිවිසීමටත් පුළුවන්. දියඇල්ලට ඉහළින් ද ඉතා අලංකාර රටා මවමින් ජලය ගලා යනු දැක ගැනීමට ලැබෙනවා.
අසුපිනි ඇල්ල ගැන සඳහන් ජනකවියක් අහලා ම ඉතිරි ගමන යමු:
‘‘වයිකුන්ටය සදිසි අල්පිටි කන්ද
බලවත්ගමු කන්ද කරගල එහල ගල
රන් ආඳා ලගින මිණිකඳ කියන වළ
අහුපිණි ඇල්ල වැටුණිය ගම මැදින් බෙර විල‘‘
මාඔයේ මුල් අවස්ථාවේ ඇල්ලට පහළින් පිහිටි ජල තටාකයක් වැනි වළක් තමයි මිණි කඳ වළ කියන්නේ. එහි රන්තෝඩු දැමූ ආඳෙක් සිටි බව ජනප්‍රවාදවල කියවෙන අද්භූත කතාවක්. ආඳාගේ කතාව විශ්වාස කළ ගැමියන් වළේ කිමි දී ඌ සෙවූ බවට පුවත් අදත් වැඩිහිටි ගැමියන් පවසනවා. නමුත් කාවටත් එවැනි මනංකල්පිත ආඳෙක් හමුවෙලා නම් නැහැ.
රහලගල
ජන කවියේ කියවෙන රහලගල ද ඇල්ලට නුදුරින් පිහිටි අලංකාර කඳුගැටයක්. ගල් පර්වතයක් ද වනාන්තර ද සහිත රහලගල මුදුන අවට ජනාවාස ඇති වන්නේ මිට වසර 53කට පෙර යි. රහලගල පිහිටා ඇත්තේ ද අහුපිනි ඇල්ල කඩා හැළෙන නිම්නයේ එක් කඳු මුදුනක් ලෙසයි. එම කඳු මුදුනේ සිට ද අසුපිනි ඇල්ල නැරඹීමට හැකියි.
මුහුදු මට්ටමේ සිට අඩි 2900 ක උසකින් යුත් මෙම හුදකලා කන්ද මත අක්කර 800 ක භූමි ප්‍රමාණයක් විහිදී පවතිනවා. කඳු මුදුනේ තිබෙන හළුව නම් ගලෙහි දවුලක් හා කඩිප්පුවක් කොටා ඇති අතර ඒවායේ හඬ ඇසෙන තුරාවට ගම්බිම් පර්වත පාමුල පිහිටි සැලව රජමහා විහාරයට රජ දරුවන් පූජා කර තිබූ බව පැවසෙනවා. නිදන්ගල නම් ගල් කෙමක්ද කඳු මුදුනේ තිබෙනවා.
මාඔය ඉවුරේ ගම්මාන
මේ ජල ප්‍රවාහයේ ඉහළ නිම්නයේ රස්සාව, බරණගල, පරගල, තිබ්බුටුපළ, කුරුපැලැල්ල, උඩහෙන්තැන්න, මොස්සින් කොළනිය, උඩුවැල්ල, ගෝනාවත්ත, ඇපලවත්ත ආදී ගම්මාන තිබෙනවා. අසුපිනි ඇල්ල ලෙසින් කඩා හැළෙන්නට මත්තෙන් උඩහෙන්තැන්න ප්‍රදේශයේදී මෙම දිය පහරේ තවත් කොටසක් කුඩා ඔය ලෙසින් වෙන ම ගලා යාම අරඹනවා.
එම දිය පහර රහලගල වටේට ගලා ගෙන ගොස් මංකඩ ඇල්ල නමැති ස්ථානයට නුදුරින් මා ඔයට යළිත් එක්වෙනවා. රහලගලට නුදුරින් තැනිතලාවේ පිහිටි මැදිලිය රජ මහ විහාරයේ සහ දේවාලයේ පෙරහර අවසන් කිරීමෙන් පසුව දිය කැපීමේ චාරිත්‍ර කටයුතු අදටත් සිදු කරන්නේ මේ ඔය දෙක එක්වන තැනදි යි. මේ විහාරය උඩරට සම්ප්‍රදායට අයත් සිතුවම් සහිත ටැම්පිට විහාරයක් තිබෙනවා.
නාත්තාකන්ද, දෙයියන්වල, අරම, සැලව, රහල වැනි ගම් කිහිපයක් දියඇල්ලට පහළ නිම්නයේ පිහිටා තිබෙනවා. සැලව ගමේ කඳු බෑවුමක පිහිටි ලෙන් විහාරයේ අගනා උඩරට බිතුසිතුවම් සහ ශ්‍රී වික්‍රම රාජසිංහ සමයට අයත් සෙල්ලිපියක් ද තිබෙනවා. සැලව වෙල් යායේ පර්වතයක කෙටා ඇති සෙල්ලිපිය ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසට අයත්. එම සෙල්ලිපිය දෙවන සේන රජ සමයට අයත් බවයි සැලකෙන්නේ.
අරම
මාඔය අද්දර අරණායකට නුදුරුව පිහිටි අරම අරහත්ත විහාරය පිහිටා තිබෙන අරම කියන තැන පුරාණයේ ආරණ්‍යයක් පැවතුණු බව පැවසෙනවා. අරම විහාරයේ පැරණි සෙල්ලිපියක් ද අනුරාධපුර යුගයට අයත් ගල්කැටයම් ද තිබෙනවා.
අරම විහාරෙ මාඔයේ එගොඩ සහ මෙගොඩ වශයෙන් දෙපැත්තේ ම පැතිර තිබුණු බව පුරාණ ශෛලමය නටබුන්වලින් අපට පැහැදිලි යි. අරම විහාර බිමටත් මාඔය ඈතින් කඩා හැලෙන ආකාරය රමණීය ව දිස් වෙනවා.
බෝඇල්ල
මෙය උසින් අඩු කුඩා දියඇල්ලක්. නමුත් එය ඉතා අලංකාර තැනකයි පිහිටා තිබෙන්නේ. මාවනැල්ල නගරයට නුදුරින් මාඔයේ එය පිහිටා තිබෙනවා. ගල් පර්වත බහුල වටපිටාවක් සහිත මාඔය ඉතා පටු තැනකින් කඩා හැලෙමින් බෝඇල්ල නිර්මාණය වෙනවා.
ඉංග්‍රීසි පාලන කාලේ 19 වැනි සියවසේ සිටි සරදියෙල් අල්ලා ගැනීමට පොලීසියෙන් ලුහුබඳින විට ඔහු උතුවන්කන්දෙන් බැස වෑගන්තලේ නමැති ගම හරහා දිව ගොස් මහඔයෙන් එගොඩට දිව ගිය බව කියවෙනවා. එසේ ඔහු පැන යන්නේ “බෝ ඇල්ල” නමැති දියඇල්ල උඩින් එගොඩට පැනීමෙන්. බෝ ඇල්ල යනු අඩි 13 ක් පමණ පළල් ගල් මුවදොරක් තුළින් මහඔයේ සමස්ත ජල කඳක් ගලා යන සම්පූර්ණ ගලෙන් ස්වාභාවික ව නිමවුණු ගල් මංකඩක්. සරදියෙල් ඉන් එගොඩට පනින නමුත් පොලිස් නිලධාරීන්ට එසේ පැනීමට නොහැකි වූ නිසා ඔහුට පලා යාමට ඉඩ ලැබී තිබෙනවා.
මෙවැනි සුන්දර තැන් නිර්මාණය කරමින් පින්නවල අලි අනාථාගාරය අසලින් ගලා ගොස් අලව්ව පසු කරන මා ඔය ඉන් පසු ගිරිඋල්ල, බඩල්ගම හරහා ගොස් මීගමුවට උතුරින් මුහුදට එක් වෙනවා.
ජල දූෂණය
ඉතා සුන්දර වටපිටාවකට උරුම කියන මා ඔයට අත්වෙමින් තිබෙනුයේ කනගාටුදායක ඉරණමක්. මා ඔයට කෙළින් ම ජලය එකතු වන ඇතැම් ජල මාර්ගවලට ද මහා පරිමාණයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම සිදුකරනවා. එහි ශාඛාවක් වන ගැරඬියා ඔය ගලා බසින්නේ කඩුගන්නාව කිරිමැටිය හරහා යි. ගැරඬියා ඔය ඉවුරේ පිහිටි යටිනුවර ප්‍රාදේශීය සභාවේ අපද්‍රව්‍ය කළමනාකරණ හා කාබනික පොහොර නිෂ්පාදන ඒකකය නිසා පසුගිය කාලයේ ඔයට විශාල ලෙස අපද්‍රව්‍ය එකතු වෙමින් තිබුණා. මා ඔය ආසන්නයේ නිත්‍යනුකූල සහ නීති විරෝධී ව ඉදි කළ ඉදි කිරීමේ රැසක් දැකගත හැකි යි. ගංගා රක්ෂිතයේ ඉදි කිරීම් කළ නොහැකි වුණත් මාවනැල්ල අවට දී එම නීතිය ක්‍රියාත්මක වූ බවක් පේන්නේ නැහැ. මා ඔය ආරම්භයේ සිට මුහුදට වැටෙන ස්ථානය දක්වා මෙවැනි නීති විරෝධී ඉදි කිරීම් ඕනෑ තරම් සොයා ගත හැකියි.
මා ඔය ආශ්‍රිත ඇතැම් වෙළෙඳ සල්, නිවාස ආදියෙන් පිටකරන අපද්‍රව්‍ය කෙළින් ම හරවා ඇත්තේ මා ඔයට යි. මාවනැල්ල සහ අරණායක ප්‍රදේශවල මෙය අපට දැක ගත හැකි යි. ඇතැම් කඩ සහ හෝටලවල වැසිකිළි පද්ධතිය පවා හරවා ඇත්තේත් මා ඔයට යි. මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවක සඳහන් ව තිබුණේ ජල නියැදි සමීක්ෂණයක දී මාවනැල්ල පාලම දක්වා වන ඉහළ ගංගා කලාපයේ මළ මිශ්‍රවීම සියට 16.7ක් තිබූ බව යි. 2013 අලව්ව ප්‍රදේශයේ කළ ජල සාම්පල පරීක්ෂාවේ දී මළ මිශ්‍ර වීම සියයට 50ක් තරම් ඉහළ අගයක් ගත්තා. මා ඔයේ පහළ පෙදෙස්වල දී වැලි ගොඩ දැමීමෙන් ද එයට විශාල හානියක් සිදු වනවා.