ලංකාව කෘෂිකාර්මික රටක් යැයි අප නිරන්තරයෙන් උදාන වාක්‍යය කියන්නෙමු. මඩ සෝදා ගත් විට රජකමටත් සුදුසුයැ යි කියමින් රවටා ඇති අසරණ ගොවි ප්‍රජාවට අද වන විට සංසාර චක්‍රය මෙන් ගැලවිය නොහැකි ණය චක්‍රයක් උරුම කර ඇත. ඔවුන් අද රජකම කෙසේ වෙතත් වහලුන්ගේ තත්ත්වයට ඇද දමා ඇත. අඳ ගොවියන්ගේ තත්ත්වය මීට වඩා ශෝචනීය වේ. මේ ලිපියෙන් සාකච්ඡා කරනු ලබන්නේ 1958 අඳ ගොවි පනතෙන් මේ ගොවියන් මුදාගැනිමට කරන ලද උත්සාහය යි.
1843 දී ඉංග්‍රීසි අධිරාජ්‍යයවාදීන් විසින් ගෙනෙන ලද මුඩුබිම් පනතින්, අයිතිය ඔප්පු කර නොහැකි වූ ඉඩම් පවරා ගත් අතර එම ඉඩම් නැවත ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාතීත්වය දැක්වූ දේශීය රදලයන්ට සුළු මුදලකට පවරන ලදී. ඉන්පසු ගොවීන්ට එම ඉඩම්වල කුලියට සිය ශ්‍රමය කැප කරන්නට සිදුවිය. ඇත්තටම එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය වහල් සේවයක් විය. ඉඩම් හිමියා විසින් කූඨ ලෙස නොයෙකුත් බදු මේ වහල් ගොවියන් මත පටවනු ලැබීය. ඉඩම් බද්ද, වතුර බද්ද, හරක් බද්ද, බිත්තර වී බද්ද, ට්‍රැක්ටර් බද්ද යනාදී වශයෙන් නොයෙකුත් නම් යොදා ගනිමින් සුරා කන ලදී. ඊටත් වඩා අඳේ නොදෙන බවට තර්ජනය කරමින් මේ ගොවියන්ගේ පවුල්වල කාන්තාවන් ලිංගික සූරාකෑමට ලක් කරන ලදී. තමන්ට අත්වන මේ සියළු අකටයුතුකම් අඳේ අහිමි වේ යන බිය මත ඉවසා සිටින්නට මේ අසරණ ගොවියන්ට සිදුවිය.
1956 බලයට පැමිණි බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ ඡන්ද ප්‍රචාරක සමයේ ජනප්‍රිය සටන් පාඨයක් වුයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච බලවේගවලින් සමන්විත ආණ්ඩුවක් බිහිවන බව යි. ඒ අනුව පංචමහා බලවේගයේ එක් කාරක බලවේගයක් වූ ගොවියන් වෙනුවෙන් දැවන්ත කාර්යයක් වනු ඇතැයි බහුතරයක් පිරිස විශ්වාස කළෝ ය. ඒ අනුව එවකට අවිස්සාවේල්ල මහජන මන්ත්‍රීවරයා වූ පිලිප් ගුණවර්ධන කෘෂිකර්ම, ආහාර හා සමූපකාර ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. උපතින් රදලයෙකු වූ පිලිප් සම සමාජ පක්ෂයත්, පසුව විප්ලවකාරී සම සමාජ පක්ෂයත් හරහා මාක්ස්වාදී මතවාදය දැරූ අයෙක් විය. ඒ අනුව අඳ ගොවියන් මේ වහල්භාවයෙන් මුදා ගනු පිණිස ඔහුගේ මූලිකතවයෙන් 1958 දී කුඹුරු පනත හෙවත් අඳ ගොවි පනත ඉදිරිපත් කෙරිනි. ඔහුට මේ සදහා එවකට ඔහුගේ ලේකම්වරයාව සිටි නාත්තන්ඩිය ස්වාධීන මන්ත්‍රි හියු ප්‍රනාන්දුගෙන් ලද සහාය මෙහි සටහන් කිරිම වටී. හියු ප්‍රනාන්දු 1993 දී පාද යාත්‍රාවට සහභාගී වෙමින් සිටිය දී හෘදයාබාධයකින් මිය ගියේ ය.
කුඹුරු පනතේ මූලික අරමුණ වුයේ අඳ ගොවියන් වහල්භාවයෙන් මුදා ගැනීම යි. ඒ අනුව ඉඩම් හිමියා හා අඳ ගොවියා අතර බැදීම නිතිමය බැදීමක් බවට පෙරලිනි. ඉඩම් හිමියාගේ අභිමතය පරිදි අඳ ගොවියා සිය ඉඩමෙන් ඉවත් කිරීමට වැට බැඳිනි. අඳ ගොවියා විසින් වගාකරන ලද ඉඩම ඔහුගේ බුක්තියට සවිකරන ලදී. ඒ අනුව ඉඩම් හිමියා විසින් ඉඩම විකුනුව ද අඳ ගොවියා වෙනස් නොවුනු අතර අඳ ගොවියා මියගිය විට එය ඔහුගේ අනුප්‍රාප්තිකයකුට පැවරීමේ අයිතිය අඳ ගොවියාට හිමිවිය. එමෙන්ම ඉඩම් හිමියාට ලැබිය යුතු බදු කුලිය බුසල් 15ක් හෝ අස්වැන්නෙන් 25% යන දෙකෙන් අඩු අගය ලෙස කුඹුරු පනතේ ලිඛිතව දක්වා තිබිණි. එමෙන්ම ස්වභාවික ආපදාවක් යටතේ අස්වැන්න හානි වූ විට ඉඩම් හිමියාට බදු කුලිය ගෙවීමට අවශ්‍ය නොවී ය.
ඇතිවන ආරවුල් සමථයකට පත් කිරීම සදහා ගොවි කාරක සභා නමින් ආයතන ස්ථාපිත වූ අතර එයට ඉඩම් හිමියන්ගෙන් හා අඳ ගොවියන්ගෙන් සමන්විත නියෝජිතයන් පත් කරන ලදී.
ප්‍රගතිශීලී අරමුණකින් ගෙනා මේ පනතේ ඇති හිල් හරහා සමාජ බලයක් හිමිව තිබූ ඉඩම් හිමියන්ට රිංගා යාමේ අවස්ථාව ලැබුනි. මුලින්ම මේ නිතිය ගැන කන වැකුනු මොහොතේම ඉඩම් හිමියන් තම ඉඩම්වල ගොවිතැන් කළ අඳ ගොවියන්ට එක දිගට කුඹුරු නොපවරන ලදී. කුඹුරු පනත සම්මත වූ මුල් අවදියේ පමණක් ගොවිජන කොමසාරිස්වරයාට මේ සම්බන්දයෙන් ලැබුනු පැමිනිලි ගණන 15,000ක් පමණ විය. ඊට අමතරව වාර්තා නොවූ සිද්ධීන් අති මහත් ය.
ගොවිකාරක සභාවල පාලනය ඉඩම් හිමියන් සිය අන්තේවාසිකයන් හරහා හිමි කරගන්නා ලදී. පනතේ මූලික අඩුවක් වූයේ අඳ ගොවියන් වෙනුවෙන් විධානයන් හා ඊට සරිලන ක්‍රියා මාර්ගයන් තිබුනත් ඒවා බිඳ දැමූ විට ගන්නා නීතිමය ක්‍රියාමාර්ග වෙනුවෙන් කුඹුරු පනත හරහා නිසි නීතිමය ප්‍රතිපාදනයන් නොමැතිවීම යි. අවසානයේ දී අඳ ගොවියන් තවත් අසරණ කරන ලදී. එමෙන්ම මේ පනතට දැවැන්ත විරෝධයක් රට පුරා එල්ල විය. වෙනකක් තබා ලංකාවේ පළමු වරට කැබනට් මණ්ඩලයේ සාකච්ඡාව පවා සමහර ඇමතිවරු වර්ජනය කළහ. එමෙන්ම පන්සල් හරහා ද දැවැන්ත විරෝධයක් එල්ල විය.
කුඹුරු පනත හරහා අවධානය යොමුකරන ලද්දේ 25% පමණ වන අඳ ගොවියන් පිළිබඳව ය. වගා රක්ෂණ ක්‍රම, හානි පූර්ණ, ගොවි ණය වැනි දේ සමස්ත ගොවියන් උදෙසා හඳුන්වා දුන්න ද ඉන් අපේක්ශිත අරමුණු කරා ළඟාවිය නොහැකි විය. එමෙන්ම මෙම පනත මඟින් සෝවියට් දේශයේ මෙන් කුඩා කුඹුරු ඉඩම් එකතු කර ගොවිපලවල් හැදීමට යෝජනා කර තිබුන ද එය ලංකාවෙ ප්‍රායෝගික නොවුනි.
ඒ අනුව අඳ ගොවියන් රැක ගැනීමේ අරමුනෙන් ගෙනෙන ලද අඳ ගොවි පනත 1973 දී අහෝසි කොට කෘෂිකාර්මික ඉඩම් පනත ගෙන එන ලදී.