Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙනස් වෙන්න, වෙනස් විදියට හිතන්න

වෙනස් වන ලෝකයේ එක් එක් ක්ෂේත්‍රවලින් ලෝකය දිනූ පුද්ගලයන් දෙස මොහොතකට හැරී බලන්න. ඔවුන්ගෙ එක් පොදු ගුණාංගයක් ඔබට දකින්න ලැබේවි. ඔවුන් පවත්නා සමාජ රාමුවට ඔබ්බෙන් ලෝකය දෙස බැලු අය යි. ලෝකය දිනූ පුද්ගලයන් වගේ වෙන්න නම්, ඒ වගේ වෙනස්ව හිතන්න අවශ්‍ය වෙනවා. එක් ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා; “හැමොගෙන්ම ඉගෙන ගන්න, නමුත් කාගෙවත් අනුගාමිකයෙකු නොවන්න, ඔබ ඔබම වන්න” කියලා.

ලෝකය ජයගත් පුද්ගලයන් වගේ හිතන්න පුරුදු වෙන්න නම්, ඔවුන්ගෙන් යමක් ඉගෙන ගන්න උවමනා වෙනවා. ඔබ සමහර විට දන්නවා ඇති Tesla හා SpaceX සමාගම්වල අයිතිකරු වන එලන් මාස්ක්, Apple ආයතනයේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්, Alibaba Group එකෙ අධිපති ජැක්මා වැනි ලොව දිනූ පුද්ගලයන්ව. බොහොමයක් අය මෙවැන්නන් ගැන හිතන්නෙ ඒගොල්ලො සල්ලිකාරයො, වාසනාවකට එහෙම වෙලා, ඒගොල්ලො අපි වගෙ නෙමෙයි හොඳට ඉගෙන ගත්ත අය වගේ දේවල්. ඇත්තටම සාමාන්‍ය පුද්ගලයෙකුයි මේ විදිහට ලෝකය ජයගත් අයගෙයි අතර වෙනස මොකක් වෙන්න පුළුවන් ද?

මේ ගැන සරල කාරණා 3ක් ඔස්සේ අපට සාකච්ඡා කරන්න පුළුවන්. ඉන් ප්‍රමුඛතම කාරණාව තමයි, තමාගේ හැකියාව ඇත්තේ කුමන විෂයය පථයකින්දැ යි තෝරාගැනීම. දෙවැන්න; තමාව විශ්වාස කිරීම. තෙවැන්න; තමාගේ හැකියාව තුළින් ලෝකය දිහා අලුත් විදිහට දැකීම.

ලෝකය වෙනස්ව දකින කෙනෙක්ගෙ වෙනස මොකක්ද?

ඇත්තටම ලෝකය වෙනස් කරන කෙනෙක් වෙන්න රැකියාවක් කරන කෙනෙක්ට නම් අමාරුයි. මොකද, රැකියාවක් කරන කෙනා වැඩ කරන්නෙ තව කෙනෙක් යටතේ යි. තමන්ගෙ අදහසක් ක්‍රියාවට නැංවීමට හැකියාවක් ඉතාමත් සීමිත යි. බොහෝදුරට සිදුවන්නෙ අන් අයෙකුගෙ අදහසක් ඵලගැන්වීමට තමන් දායක වීම යි. තමන්ගේ දැනුම හා ශ්‍රමය ලබාදීම යි.

වෙනස් වෙන්න හිතන්න කිව්වට, හුඟක් අයට මඟ පෙන්වීමක් නැතුව වෙනස් විදිහට හිතන කෙනෙක් වෙන්න අමාරුයි. ඒ වගේම පවත්නා සමාජ චින්තන ක්‍රමයෙන් බැහැර වෙන්න මඟ පෙන්වීමක් නැතුව අපහසු යි. සමාජයේ උගත් බොහෝ දෙනා කියන්නෙ; තමන්ගෙ හැකියාව වෘත්තීය වෙළඳපලේ ගැළපෙන ඉල්ලුමට සැපයුමක් කරගන්න කියලා. සරලව කිව්වොත් ජොබ් එකක් හොයාගන්න හැකියාව දියුණු කරගන්න කියලා. එතකොට කවුද මේ වෘත්තීය වෙළඳපල නිර්මාණය කළේ? වෘත්තීය වෙළඳපලේ සැපයුමක් වෙන්නෙ නැතුව, අපිට බැරි ද මේ වෙළඳපලේ ඉල්ලුම නිර්මාණය කරන බලවේගය වෙන්? මේ බලවේගයන් වෙන්නෙ ව්‍යාපාර නිර්මාණය කරන්නන්. ඔවුන්ගේ ව්‍යාපාරයන්ට ගැළපෙන සේවකයන් සොයාගනු ලබන්නෙ මේ වෙළඳපල හරහා යි.

‘ඔබ අදක්‍ෂයෙක්’ කියලා හිතන්නෙ ඇයි?

අලුත් දෙයක් කරන්න හදද්දි අසාර්ථක වීම් සිදුවෙනවා ඇති. සමහර විට අන් අය තමන්ට වඩා හොඳින් එම කාර්‍ය කරන්න පුළුවන්. ඒ වෙලාවට අසාර්ථකත්වය කියන්නෙ අතහැර දැමිය යුතු අවස්ථාවක් නොව, අලුතින් පටන් ගන්න පුළුවන් අවස්ථාවක්. අසාර්ථක වුණාම ආයේ අලුතින් පටන් ගන්න. ඔබ සමහර විට ඔබ සිටින විෂයය ක්ෂේත්‍රයට අදක්ෂ නම්, ඊට හේතුව ඇතැම් විට ඒ ඔබ සත්‍ය වශයෙන්ම හැකියාව පවතින විෂයය ක්ෂේත්‍රය නොවිය හැකිය. පාසලේ විෂයයන්වලට දක්ෂ නොවන ශිෂ්‍යයා, ඇතැම් විට ක්‍රීඩාවට හෝ කලාවට දස්කම් දක්වනවා. සමාජ මතය පසෙක ලා, තමන් ගැන විශ්වාස කරලා තමන්ට ගැළපෙන විෂයය ක්ෂේත්‍රය හොයාගන්න. තමන් දස්කම් පාන විෂයය තුළින් ලෝකය දිහා සම්ප්‍රදායික රාමුවෙන් ඉවත ලා අලුත් විදිහකට බලන්න. එවිට ඔබට ඔබගේ විෂයය ක්ෂේත්‍රය මඟින් ලෝකයට අලුත් යමක් කරන්න අදහසක් ඒවි.

තමන්ට එන අදහස අන් අය ඉදිරියේ කියන්න හරි, අදහස ක්‍රියාත්මක කරලා බලන්න හරි බයක් හිතේ ඇති වේවි. සමාජය ඉදිරියේ තමන් අවතක්සේරු වෙයි, තමන්ට හිනාවෙයි කියලා හිතේවි. ඔබ, ඔබව විශ්වාස කරන්න. ලෝකය ජයගත් සියලු දෙනා වෙනස් විදිහට හිතපු අය. ඔයාටත් අලුත් අදහස් එනවා නම් බය වෙන්න එපා, ඔබ ගැන විශ්වාසය තබන්න. පළමු පියවර තබන්න. වෙනස් විදිහට හිතන සාර්ථකත්වය වෙත යන අයගෙ විශේෂත්වය තමයි හැමතිස්සෙම අලුත් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන එක.

තමන්ගෙ අලුත් අදහස ක්‍රියාවට නංවන්නෙ කොහොමද?

ව්‍යාපාරයක් කරගෙන යාමට අදහසක් පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. බොහෝ දෙනා ව්‍යාපාරයක් කරන්න ගිහින් අසාර්ථක වෙන්නෙ මේ නිසා යි. මේ හැමදේම යටින් ප්‍රසිද්ධ රහසක් තියෙනවා. ඒ තමයි වෙනස් විදිහට හිතන එක. ඉස්සෙල්ල බලන්න ඔනෙ තමන් කරන්න යන දේ ලෝකයේ අවශ්‍යතාවක් වෙලා තියෙනවද කියලා. ඒ වගේම ලෝකයේ ගැටළුවක් වෙලා තියෙන දෙයකට විසඳුමක් ලබාදෙන ව්‍යාපාරයක් ද කියලා බලන්න ඕනේ. ඒ වගේම ඕනෑම තත්ත්වයක දී අවදානමක් දරන්න හැකියාවක් තියෙන්න ඕනේ. සාර්ථක ව්‍යාපාරයක් වෙන්න මේ දේවල් වුවමනා වෙනවා.

ඇත්තටම හුඟක් අයට රැකියාව අතහැර අලුත් දෙයක් කරන්න, ඒ වෙනුවෙන් අවදානමක් ගන්න බෑ. හේතුව තමයි, අවශ්‍ය කරන මඟ පෙන්වීම නොලැබිම හා ජිවිතය ජයගන්න පුළුවන් එකම අවස්ථාව විදිහට රැකියාව දැකීම. හැමෝම දන්න Alibaba group එකේ හිමිකරු ජැක්මා, මුල් කාලයේ දී වෘත්තියක් තෝරාගැනීමේ දී අසාර්ථක වූ කෙනෙක්. වෘත්තියකට අයදුම් කිරීමේ දී 30 වතාවක් අසමත් වුණා. Harvard University සඳහා අයදුම් කිරීමේ දී 10 වතාවක් ඔහු ඉන් අසමත් වුණා. නමුත් ඔහුගේ හිත බිඳවැටුණේ නෑ. ඔහු තවත් ශක්තිමත්ව නැඟී හිටියා. ජැක්මා තමන්ගෙම ව්‍යාපාරයකට හිත යොමු කළා. මේ විදිහට ජැක්මාගෙ හිතට ආපු වෙනස්ම අකාරයේ අදහසකට අනුව තමයි Alibaba Group එක පටන් ගත්තෙ.

අවදානමක් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම්, තමන් ව්‍යාපාරයට එකතු කරගන්න අය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. එකතු කරගන්න අය තමන්ගෙ අදහස විශ්වාස කරන්න ඕනේ වගේම, ව්‍යාපාරයට උපකාරි වෙන අකාරයේ හැකියාවකින් යුක්ත වෙන්නත් ඕනේ. ව්‍යාපාරය කරගෙන යද්දි අවදානමක් අරගෙන පාඩු ලබද්දි දරාගෙන ඉන්න වගේම, සාර්ථක වෙද්දි ලැබෙන අදායම හසුරුවා ගන්නත් හැකියාවක් තියෙන්න ඕනේ. ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න නම් ලැබෙන ආදායම හසුරුවන අකාරය වැදගත්. ව්‍යවසායකයෙකු බවට පත්වෙන්න නම්, මුදල් ප්‍රසාරණය කරන ආකාර දැනගන්න ඕනේ. සාමාන්‍යෙන් බොහෝදෙනා ජිවිතයේ දී අසාර්ථක වෙන්නෙ, තමන්ගෙ ආදායම් හසුරුවාගන්නා අකාරය නොදන්නාකම නිසා යි. බොහෝදෙනා සිදුකරන්නෙ අදායම අනෙක් අතට වියදම් කර දැමීම යි.

ව්‍යවසායකයෙක් වශයෙන් ඔබ මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. මේ ප්‍රශ්නවලට පිලිතුරු බලාපොරොත්තුවෙන් ලෝකයේ සාර්ථක ව්‍යාපාරිකයන්ගෙ ජිවිත අධ්‍යයනය කරන්න ඕනේ. ව්‍යවසායකත්වය තුළ අන් අය හසුරුවාගන්න නායකත්ව ගුණය ද අවශ්‍ය වෙනවා. බොහො විට තමන්ගෙ අදහස එළිදක්වන්න විවිධ අංශවල දක්ෂයන් එකතු කරගන්න වෙනවා. ඒ දක්ෂයන්ට නායකත්වයක් ලබාදෙමින් තමන්ගෙ අදහස එළිදක්වන්න හැකියාව තිබිය යුතු යි. විශාල ආයතනවල දක්ෂයන් රැකියාවල නිරත වනවා අපි දැක තිබෙනවා. ව්‍යවසායකයෙකු වෙනස් වෙන්නෙ, දක්ෂයන් එකතු කරගෙන තමන්ගෙ අදහස එළිලිදැක්වීමට නායකත්වය ලබාදෙමින් අවදානමක් ලබා ගැනීම තුළ දී යි. ඔබ තුළත් අලුත් අදහස් ඇති. නමුත් අදහස්වලින් නැගීසිටින්න ගැටළුව වෙන්නෙ මේ කියන විදිහේ අවදානමක් අරගෙන, අන් අය එකතු කරගෙන තමන්ගෙ අදහස ඵල නෙලා ගැනීමට නොහැකි වීම යි. බොහෝ දෙනා තමන්ගෙ අදහස් විකුණා දමන්නේ ද, තමන්ට අවදානම ගැනිමට අපොහොසත් මෙන්ම නායකත්වය ගැනීමට නොහැකි බව හේතුවෙනුයි. ඉතින්, මුලින්ම තමන්ගෙ නව අදහස එල නෙලා ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනගාගන්න. තමන්ගෙ අදහස එළිදැක්වීමට අවශ්‍ය මොනවාදැ යි සොයා බලන්න. තම අදහස විශ්වාස කරන දැක්මකින් යුතුව තමන්ට උපකාරි වන අය තෝරාගන්න. පසුව ඔවුන්ට නායකත්වය ලබාදෙන්න.

කවරය: Everyday Power

Related Articles