දරුවෙකු දරුකමට හදා ගැනීමේ අදහසක් ඔබටත් තිබෙනවා විය හැකිය. නමුත් ඒ හා සම්බන්ධ නීතිමය පසුබිම ගැන අවබෝධයක් බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නොපවතී. මේ නිසා එ් පිළිබඳව දැනුවත් වී සිටීම ඔබට ඉතා වැදගත් වනු නිසැකය.
අපි කවුරුත් දන්නා ආකාරයට දරුකමට හදා ගැනීම යන්නෙන් අදහස් වන්නේ එකිනෙකාට ජීව විද්‍යාත්මකව සම්බන්ධයක් නොතිබූ කෙනෙක් හා දරුවකු අතර නීතිමය වශයෙන් මාපිය දරු සම්බන්ධතාවයක් ඇති කරන ක්‍රමයකි. දරුවන් නොමැති දෙමවුපියන් දරුවන් දරුකමට හදා ගැනීම බොහෝ අවස්ථාවලදී අපේ සමාජයේ දක්නට ලැබේ.
දරුකමට හදා ගත හැක්කේ කවුරුන්ද?
මේ සම්බන්ධ නීති රීති ශ්‍රී ලංකාවේ 1941 අංක 24 දරන දරුවන් දරුකමට හදා ගැනීමේ ආඥාපනත තුළ සඳහන් වේ. ඊට අනුව දරුකමට හදා ගැනීමට අවසර ලබා ගැනීමට උසාවියට ඉල්ලීමක් කළ යුතු වේ. එමෙන්ම අවුරුදු 14 ට අඩු දරුවෙකු පමණක් දරුකමට හදා ගත හැකි අතර එම දරුවා ලංකාවේ පදිංචිකරුවෙකුද විය යුතුය. එසේම අවුරුදු 10 ට වැඩි දරුවකු දරුකමට හදා ගන්නා විට එම දරුවාගේ කැමැත්ත ලබා ගැනීමද අනිවාර්ය කරුණක් ලෙස දැක්වේ.
දරුවෙකු දරුකමට හදා ගත හැක්කේ කිනම් පුද්ගලයන් හටද?
වයස අවුරුදු 25ට වැඩි පුද්ගලයෙක්ට පමණක් දරුවෙකු දරුකමට හදා ගැනීමේ හැකියාව පවතී. එසේම අයදුම්කරු හා දරුකමට හදා ගන්නා දරුවා අතර වයස් පරතරය අවුරුදු 21 කට වඩා වැඩි විය යුතුය. මෙසේ වයස් පරතරයක් නියම කොට අැත්තේ දෙමාපිය දු දරු සම්බන්ධතාවය නිසි ලෙස පවත්වාගෙන යාම පහසු කරවීම සඳහාය. කෙසේ වෙතත් දරුකමට හදා ගැනීම සඳහා අයදුමක් ඉදිරිපත් කරන විට අදාළ දරුවා,
- අයදුම්කරුගෙන් ඍජුව පැවත එන්නෙක් නම්,
- අයදුම්කරුගේ පුර්ණ හෝ අර්ධ ලේ සහෝදරයෙක් හෝ සහෝදරියෙක් වේ නම් හෝ එවැනි අයෙකුගෙන් පැවත එන්නෙක් නම්,
- වෙනත් විවාහයක පියෙකුට හෝ මවකට දාව උපන් අයදුම්කරුගේ භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ දරුවෙකු නම්,
මෙම වයස් පරතරය අවුරුදු 21 ට වඩා අඩු වුවද උසාවිය යෝග්‍ය යයි සිතන්නේ නම් ඊට අවසර ලබා දිය හැකිය. තවත් අාකාරයකින් කිවහොත් සහෝදරයෙකු, සහෝදරියෙක, නැන්දණියක, මාමා කෙනෙකු හෝ සුළු මාපියෙකු විසින් තම ඥාතියකු දරුකමට හදා ගැනීමට අයැදුමක් ඉදිරිපත් කරන්නේ නම් ඉහත සදහන් කළ වයස් පරතරය නොසලකා හැරේ.
එමෙන්ම දරුකමට හදා ගැනීම සදහා තනි ඉල්ලුම්කරුවෙකු (පුරුෂයෙකු) ඉල්ලුම් කරන අවස්ථාවක දරුවා ගැහැණු ළමයෙක් නම් අැයව දරුකමට හදා ගැනීමට අවසර ලබා නොදේ. නමුත් විවාහයකින් තොරව උපන් දියණියක් අැයගේ ස්වභාවික පියාට දරුකමට හදා ගැනීමට අවසර දීම සිදු කළ හැකිය.
තවද විවාහක පුද්ගලයෙක් තනි පාර්ශවයක් ලෙස දරුවෙකු දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරන්නේ නම් එම පුද්ගලයා එ් සඳහා තමන්ගේ සහකරු හෝ සහකාරියගේ කැමැත්තද ලබා ගත යුතු වේ.
විදේශිකයන් දරුවන්ව දරුකමට හදා ගැනීම.
විදේශිකයන්ට වුවද ශ්‍රී ලංකාවේ දරුවෙකු දරුකමට හදා ගැනීමට හැකි වන පරිදි නීතිය සංශෝධනය කර ඇත. නමුත් මෙමගින් අදහස් වන්නේ නිතිය අනිසි ලෙස යොදා ගනිමින් විදේශිකයන්ට ලාංකික දරුවන් හදා ගැනීමට ඉඩ ලබා දීම නොවේ. දරුකමට හදා ගැනීමට අපේක්ෂා කරන දරුවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන, පදිංචිව හෝ නේවාසිකව සිටින පුද්ගලයෙකු විසින් ඉල්ලීමක් කර නොමැති අවස්ථාවකදී පමණක් ශ්‍රී ලංකාවේ පදිංචිව හෝ නේවාසිකව නොසිටන පුද්ගලයෙක්ට දරුවෙකු දරුකමට හදා ගැනීම සඳහා ඉල්ලීමක් කළ හැකිය.
මෙහිදී සඳහන් කළ යුතු විශේෂිතම කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු විසින් දරුවෙකු දරුකමට හදා ගැනීමට කරනු ලබන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් උසාවියට හිමි බවයි. එනම් යම් කිසි වර්ෂයක දරුකමට හදා ගැනීම සඳහා එ් වන විට ලබා දී ඇති නියෝග සංඛ්‍යාව එක්තරා අගයක් ඉක්මවා ගොස් ඇති අවස්ථාවක එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමට ඉඩ තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන විවාහක යුවලක් රජය මගින් පවත්වාගෙන යනු ලබන අනාථ නිවාසයක, වෙනත් ආයතනයක හෝ අනාථ නිවාස පනත යටතේ ලියාපදිංචි වී ඇති අනාථ නිවාසයක ජීවත් වන, පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස්වරයා විසින් තෝරා ගනු ලැබූ දරුවකු දරුකමට හදා ගැනීමට ඒකාබද්ධ ඉල්ලීමක් කරන්නේ නම් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවක් හිමි වේ.
නමුත් ඊට ප්‍රථමයෙන් උසාවිය පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස්වරයාගෙන් කරුණු කිහිපයක් සම්බන්ධව වාර්තාවක් ලබා ගත යුතුය. අදාළ පුද්ගලයන්ගේ කැමත්ත ලබා ගෙන ඇත්ද, දරුවාගේ කැමැත්ත ලබා ගෙන ඇත්ද, ඉල්ලුම්කරුගේ වයස හා අවබෝධය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව දරුකමට හදා ගැනීම දරුවාගේ යහපතට හේතු වන්නේද යන කාරණා මෙන්ම මේ සම්බන්ධයෙන් අයදුම්කරු හෝ වෙනත් යම් පුද්ගලයෙකු ගෙවීමක් කර හෝ ලබා ගෙන නොතිබේද යනාදිය ඊට අැතුළත් වේ.
තවද අයදුම්කරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔවුන් පදිංචි පොලිස් බල ප්‍රදේශයේ පොලිස් අධිකාරීවරයාගෙන් ලබා ගත්, ඔවුන්ගේ රටේ ජනරජයේ බලය ලත් නියෝජිතයා විසින් සහතික කරන ලද පොලිස් වාර්තාවක්ද අවශ්‍ය වේ.
එමෙන්ම අයදුම්කරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය, ඔවුන්ගේ සමාජීය, ආගමික හා මූල්‍ය වටපිටාව සහ දරුවා දරුකමට හදා ගැනීමට ඔවුන් සතු හැකියාව පිළිබඳව අයදුම්කරුවන් වාසය කරන රටේ පිළිගත් ආයතනයකින් සකසනු ලබන හා එම රටේ ශ්‍රී ලංකා ජනරජයේ බලයලත් නියෝජිතයෙකු විසින් සහතික කරන ලද දේශීය අධ්‍යයන වාර්තාවක් ද කොමසාරිස්වරයා වෙත ලබා දිය යුතු වේ.
ඉහත කරුණු සලකා බැලූ විට හැඟී යන කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ දරුවන් දරුකමට හදාගැනීම සම්බන්ධයෙන් විදේශිකයන්ට බලපාන නීති රීති හා රෙගුලාසි තර කර ඇති බවයි.
එමෙන්ම මේ කරුණු සලකා බලන අධිකරණය එ් පිළිබඳව සෑහීමකට පත් වී නියෝගය ලබා දීමෙන් අනතුරුව ඔවුන් පදිංචි රටේ දරුවා දරුකමට හදා ගැනීම නීතිමය වශයෙන් තහවුරු කරන තෙක් හෝ දරුවාගේ වයස අවුරුදු දහයක් වන තෙක් දරුවාගේ ඡායාරූපයක් සමග පළමු වසර ඇතුළතදී මාස 3කට වරක්ද, ඉන් පසු සෑම මාස 6කට වරක්ද අයදුම්කරුවන් පදිංචි රටේ පිළිගත් ආයතනයක් මගින් දරුකමට හදා ගත් දරුවා සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් ලබා ගෙන එය ශ්‍රී ලංකාවේ පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස්වරයා වෙත එවීමද අනිවාර්ය වේ.
මේ සම්බන්ධයෙන් අධිකරණ බලය ඇත්තේ කුමන උසාවියටද?
ශ්‍රී ලංකාවේ දරුවෙකු සම්බන්ධ ඉහළ භාරකරු ලෙස සලකනු ලබන්නේ දිසා අධිකරණයයි. එසේ හෙයින් දරුකමට හදා ගැනීම සම්බන්ධයෙන් නියෝග කිරීමේ බලය ඇත්තේද දිසා අධිකරණයට වේ. එමෙන්ම මෙහිදී පරිවාස හා ළමා ආරක්ෂණ අධිකාරියේ පරිවාස නිලධාරියෙකු නඩු භාරකරු ලෙස පත් කරනු ලබයි.පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දේශීය වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය කරුණක් ලෙස සඳහන් කළ හැකිය.
මෙම නඩු වාර සෑම විටම රහසිගතව පවත්වනු ලැබේ.තීන්දුව ලබා දුන් පසු ඉල්ලීම කළ පුද්ගලයන් හට එම දරුවාගේ ස්වභාවික දෙමව්පියන් ලෙස නීතිමය පිළිගැනීම හිමි වේ.
ඉතින් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වුවත්, විදේශ රටක පදිංචි අයෙක් වුවත්, ඔබට දරුවකු දරුකමට හදා ගැනීම තවදුරටත් හීනයක් නොවේ නේද?
කවරයේ පින්තුරය (huffingtonpost.in)
මුලාශ්‍ර :
- Family Law, Level 4, Open University.
- sljch.sljol.info/articles/10.4038/sljch.v44i3.8007/galley/5935/download/
- www.gic.gov.lk/gic/index.php?option=com_info&id= 1604&task=info&lang=en
- www.srilankalaw.lk/Volume-I/adoption-of-children-ordinance.html