ලාංකීය ගෘහණියන්ට ආහාර පිසීමේ දී අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් මිරිස්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. අමු මිරිස්, වියළි මිරිස්, කෑලි මිරිස්, සහ මිරිස් කුඩු ලෙසින් මිරිස් විවිධ ආකාරයට ආහාරවලට එකතු කරනවා. අප රටේ ජීවත්වන ජනතාවගේ පරිභෝජනය සඳහා වාර්ෂිකව විශාල මිරිස් ප්‍රමාණයක් අවශ්‍ය වනවා. නමුත් දැනට ලංකාවේ වගා බිම්වලින් ලැබෙන මිරිස් අස්වැන්න එම අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා ප්‍රමාණවත් නොවන නිසා මහා පරිමාණයෙන් මෙරටට මිරිස් ආනයනය කරනු ලබනවා.
මිරිස් වගාවට හිතකර දේශගුණික සාධක
මිරිස් බෝගය සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන්නේ නැහැ. එයට වඩාත් හිතකර දේශගුණික තත්ත්වයන් තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 1600ක් තරම් උසකින් පිහිටා තිබෙන බිම් ප්‍රදේශ මිරිස් වගා කිරීම සඳහා වඩාත් සුදුසු යි. එසේම ඊට සෙල්සියස් අංශක 21-25 අතර උෂ්ණත්වය පරාසයක් වඩාත් යෝග්‍ය වනවා. නමුත් වියළි කලාපයේ උෂ්ණත්වය ඊට වඩා වැඩි වුණත් වර්ෂාව සහ ජල සම්පාදිත තත්ත්ව යටතේ දී එය මිරිස් වගාවට බාධාවක් නොවන ලෙස පවත්වා ගත හැකියි. වර්ෂා ජලයෙන් මිරිස් වගාව සිදුකිරීම සඳහා මි.මී. 600-1000 අතර වාර්ෂික වර්ෂාපතනයක් පැවතීම යෝග්‍ය වනවා. තෙත් කලාපය වඩාත් යෝග්‍ය වන්නේ අමු මිරිස් නිපදවීම සඳහා යි. එසේම වියළි කලාපය තුළ වියළි මිරිස් බහුලවම නිෂ්පාදනය කරනු ලබනවා. සාමාන්‍යයෙන් තෙත් කලාපය තුළ මිරිස් වගාව සිදුකරන්නේ යල කන්නයේ දී ලැබෙන වර්ෂාවත් සමග යි. නමුත් වියළි කලාපය තුළ මිරිස් වගාව මහ කන්නයේ දී ලැබෙන වර්ෂාවත් සමග සිදුවනවා. ඊට අමතරව රැස්කරගත් ජලය මඟින් යල කන්නය තුළ වියළි කලාපයේ මිරිස් වගාව සිදුකරනු ලබනවා.
මිරිස් වගාවට හිතකර පාංශු තත්ත්වය
හොඳින් ජලය බැස යන ලෝම පසක් මිරිස් වගාව සඳහා වඩාත් යෝග්‍ය යි. කුඹුරුවල මිරිස් වගා කිරීමේ දී මනා ජලවහනයකින් යුතු කුඹුරු පමණක් තෝරා ගත යුතු යි. ජලවහනය දුර්වල කුඹුරුවල මිරිස් ගස් හොඳින් නොවැඩෙන අතර, පහසුවෙන් රෝගවලට ද ගොදුරු වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එසේම මිරිස් ශාකයේ මූල පද්ධතිය සෙන්ටිමීටර 60ක පමණ ගැඹුරට ගමන් කරන බැවින් කාබනික ද්‍රව්‍ය අඩංගු ගැඹුරු සාරවත් පසක් තිබිම වගාවට වඩාත් හිතකර යි. ලෝම පසෙහි මෙන්ම කාබනික පොහොර එකතු කිරිමෙන් වැලි පසෙහි ද සාර්ථක ලෙස මිරිස් වැවිය හැකියි. කල්පිටිය ප්‍රදේශයේ කාබනික පොහොර යොදා වැලි සහිත පසෙහි සාර්ථක ලෙස මිරිස් වගා කිරීම එයට කදිම නිදසුනක් ලෙසින් දැක්විය හැකියි. තව ද නාගරික නිවෙස් සහ ගෙවතු ආශ්‍රීතව ද පෝච්චි හෝ බඳුන් තුළ සාර්ථකව මිරිස් වගාව සිදුකරනු ලබනවා.
ලංකාවේ බහුලවම මිරිස් වගා කරන ප්‍රදේශ
වියළි කාළගුණික තත්ත්වයන් යටතේ වැඩි අස්වැන්නක් ලබාදෙන මිරිස් බෝගය මෙරට වියළි කලාපයට හා අතරමැදි කලාපයන්ට අයත් අනුරාධපුර, හම්බන්තොට, යාපනය, වවුනියාව, මොනරාගල, පොළොන්නරුව, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ඉතාමත් හොඳින් වගා කළ හැකියි. එම ප්‍රදේශ ආශ්‍රිතව පවතින වියළි කාලගුණික තත්ත්වය වියළි මිරිස් නිෂ්පාදනයට බෙහෙවින් හිතකර වනවා.
මිරිස් ප්‍රභේද වර්ග
ශ්‍රී ලංකාව තුළ දෙමුහුම් මිරිස් ප්‍රභේද 10ක් පමණ වගා කරනවා. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වඩාත් හොඳ අස්වැන්නක් ලබාදෙන ප්‍රභේද 5ක් නිර්දේශ කර තිබෙනවා.පහත දක්වා ඇත්තේ එම මිරිස් ප්‍රභේදවල ලක්ෂණ පිළිබඳව යි.
MI-1 ප්‍රභේදය
1962 වර්ෂයේ දී නිර්දේශ කරන ලද මෙම ප්‍රභේදය Myliddy සහ Tuticorin යන මිරිස් වර්ග ද්විත්වය මුහුම් කිරීමෙන් නිපදවා තිබෙනවා. මෙම ප්‍රභේදයේ ශාක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 65-75ක් පමණ උසට වැඩෙන අතර, උසස් පාලන තත්ත්වයන් යටතේ දී ඊට වඩා වර්ධනය වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එතරම් අතු පතර විහිදී නොයන මෙම මිරිස් ප්‍රභේදයේ පත්‍ර සෙසු ප්‍රභේදවල පත්‍රවලට වඩා පුළුල් ස්වභාවයක් ගන්නවා.
මෙම ප්‍රභේදයේ කරල් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 9-13 අතර දිගකින් යුක්ත යි. එසේම ළපටි කරල් තද කොළ පැහැයෙන් යුක්ත යි. MI-1 ප්‍රභේදයේ කරල් පැසීමේ දී ක්‍රමයෙන් තද දම් පැහැය මිශ්‍ර වුණු කොළ පැහැයකට හැරී පසුව රත් පැහැයට හැරෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. උසස් පාලන තත්ත්ව යටතේ මෙම මිරිස් ප්‍රභේදයේ ආර්ථික ජීවිත කාලය මාස 6-7ක් පමණ වනවා. මෙම මිරිස් ප්‍රභේදය අමු මිරිස් නිෂ්පාදනය සඳහා ගොවීන් අතර වඩාත් ජනප්‍රිය ප්‍රභේදයක් බවට පත්ව තිබෙනවා.
MI-2 ප්‍රභේදය
1974 වර්ෂයේ දී නිර්දේශ කරන ලද මෙම ප්‍රභේදය MI-1 ප්‍රභේදය ආශ්‍රයෙන් නිපදවා තිබෙනවා. මෙම ප්‍රභේදයේ ශාක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 50-55ක් පමණ උසට වැඩෙන අතර, උසස් පාලන තත්ත්ව යටතේ දී එය සෙන්ටිමීටර් 75ක් පමණ උසකට වර්ධනය වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. ඉතා හොඳින් අතු විහිදී යන මෙම මිරිස් ප්‍රභේදයේ ගසක් කුඩා පඳුරක් ලෙසින් දිස්වනවා. එම නිසා අස්වැන්න නෙළීම වඩාත් පහසු යි.
MI-2 ප්‍රභේදයේ කරල් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 5-8 අතර දිගකින් යුක්ත වනවා. එසේම හොඳින් පැසුණු කරල් තද කොළ පැහැයෙන් යුක්ත යි. ආර්ථික ජීවිත කාලය මාස 5-6ක් පමණ වන මෙම මිරිස් ප්‍රභේදය සිටුවා දින 80-90ක් පමණ කාලයකින් අස්වනු නෙළීම සිදුකළ හැකියි. මෙම වර්ගයේ කරලක අඩංගු බීජ ප්‍රමාණය අනිකුත් වර්ගවලට සාපේක්ෂව වැඩියි. එම නිසා මෙම ප්‍රභේදය වියළි මිරිස් නිෂ්පාදනය සඳහා බහුලවම යොදා ගනු ලබනවා. එසේම MI-2 වර්ගයේ මිරිස් කරලක් වැඩි සැර ගතියකින් යුක්ත යි.
KA-2 ප්‍රභේදය
1991 වර්ෂයේ දී නිර්දේශ කරන ලද මෙම ප්‍රභේදය MI-2 සහ PC-1 යන මිරිස් වර්ග ද්විත්වය මුහුම් කිරීමෙන් නිපදවා තිබෙනවා. මෙම ප්‍රභේදයේ ශාක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 50-60ක් පමණ උසට වැඩෙන අතර, කරල් සෙන්ටිමීටර් 8-11 අතර දිගකින් යුක්ත යි. මෙම වර්ගයේ ශාකවල අතු පසු අවධියේ දී මැනවින් වර්ධනය වන ආකාරය දැකිය හැකියි. එසේම KA-2 ප්‍රභේදයේ කරල් මහතින් වැඩි නිසා ඒවාට වෙළඳපොල තුළ හොඳ ඉල්ලුමක් තිබෙනවා. ආර්ථික ජීවිත කාලය මාස 6ක් පමණ වන මෙම මිරිස් ප්‍රභේදය වියළීම සඳහා වැඩි උත්සාහයක් ගත යුතු යි. එම නිසා මෙම ප්‍රභේදය අමු මිරිස් නිෂ්පාදනය සඳහා වඩාත් යෝග්‍ය වනවා.
අරුණළු ප්‍රභේදය
1996 වර්ෂයේ දී නිර්දේශ කරන ලද මෙම ප්‍රභේදය MI-2 සහ Santaka යන මිරිස් වර්ග ද්විත්වය මුහුම් කිරීමෙන් නිපදවා තිබෙනවා. මෙම ප්‍රභේදයේ ශාක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 50-60ක් පමණ උසට වැඩෙන අතර, කරල් සෙන්ටිමීටර් 8-11 අතර දිගකින් යුක්ත යි. අරුණළු මිරිස් ප්‍රභේදයේ ඵලාවරණය වඩාත් තුනී නිසා වියළි මිරිස් නිෂ්පාදනය සඳහා වඩාත් යෝග්‍ය වනවා.
MI-හොට් ප්‍රභේදය
2002 වර්ෂයේ දී නිර්දේශ කරන ලද මෙම ප්‍රභේදය BL-39, IR, සහ KA-2 යන මිරිස් වර්ග මුහුම් කිරීමෙන් නිපදවා තිබෙනවා. මෙම ප්‍රභේදයේ ශාක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 60ක් පමණ උසට වැඩෙන අතර, කරල් සෙන්ටිමීටර් 8-9 අතර දිගකින් යුක්ත යි. සමාන්‍යයෙන් මෙම මිරිස් ප්‍රභේදය අමු මිරිස් නිෂ්පාදනයට සහ වියළි මිරිස් නිෂ්පාදනයට එක සේ යෝග්‍ය වනවා.
වියළි මිරිස් නිෂ්පාදනය කරන හැටි
වියළි මිරිස් නිෂ්පාදනය කිරීම සඳහා රත් පැහැවුණු කරල් සහ කරලෙන් 3/4ක් පමණ රත් පැහැවුණු කරල් නෙළා ගැනීම වඩාත් යෝග්‍ය යි. වියළි කාලගුණයක් ඇති දිනයක අස්වනු නෙළීම වඩාත් සුදුසු වනවා. මුලින්ම රෝග සහ පළිබෝධ හානිවලින් යුත් කරල් ඉවත් කිරීමෙන් පසුව ඉතිරි කරල් සියල්ල ඒකාකාරීව රත් පැහැවන තුරු මැනවින් වාතාශ්‍රය ලැබෙන කාමරයක් තුළ දිනක් හෝ දෙකක් ගොඩ ගසා තැබිය යුතු යි. ඉන් පසුව මිරිස් ගෝනි හෝ ටාපොලීන් ෂීට් මත තුනීකර වියළාගත යුතු යි. සාමාන්‍යයෙන් ඉදුණු මිරිස් කරල් කිලෝ ග්‍රෑම් 4-5 අතර ප්‍රමාණයකින් වියළි මිරිස් කිලෝ ග්‍රෑම් 1ක් පමණ නිෂ්පාදනය කරගත හැකියි. වර්ෂා කාලයේ දී මිරිස් වියළීම සඳහා උඳුන් භාවිතා කරනු ලබනවා. උඳුන් භාවිතයේ දී මිරිස්වලට දුම් නොවදින ලෙසින් ගින්දර දමන කොටස යකඩ තහඩුවකින් වෙන් කළ යුතු සේම, යකඩ තහඩුව මත මිරිස් වියළීම සුදුසු නැහැ. එම උඳුනේ යටින්ම තිබෙන තට්ටුවේ මිරිස් මුලින්ම වියළෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එලෙස වියළෙන මිරිස් එළියට ගැනීමට සහ මිරිස් ඇතුළු කිරීමට කවුළුවක් සාදා ගත යුතු යි. එසේම මිරිස් වියළීමට රාක්ක කිහිපයක් ද සාදා ගැනීම කළ යුතු යි. තව ද කුටිය තුළ සෙල්සියස් 550ක පමණ උෂ්ණත්වයක් තිබීම සුදුසු යි.
වැළඳෙන විවිධ රෝග
මිරිස් වගාවට දිලීර, බැක්ටීරියා, සහ වෛරස් රෝග වැළඳෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එලෙස වැළඳෙන රෝග කිහිපයක නම් පහත දක්වා තිබෙනවා.
වෛරස් රෝග
1) නාරටි පෑදීමේ වෛරස් රෝගය
2) කූඩිත්තන් මඟින් බෝවන වෛරස් රෝග
3) පැළ මැක්කන් නිසා බෝවන වෛරස් රෝග
4) පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගය
දිලීර රෝග
1) ඇන්ත්‍රැක්නෝස් රෝගය
2) දියමලන්කෑම රෝගය
3) පාමුල කුණුවීමේ රෝගය
4) කොළ පුල්ලි රෝගය
5) රිකිලි කුණුවීමේ රෝගය
6) පිටිපුස් රෝගය
බැක්ටීරියා රෝග
1) බැක්ටීරියා හිටුමැරීමේ රෝගය
මිරිස් බෝගය වගා කිරීමට සුදුසු දේශගුණික ලක්ෂණ අප රට තුළ දක්නට ලැබෙනවා. එම නිසා ලංකාව තුළ සාර්ථකව මිරිස් වගාව සිදුකළ හැකියි. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ මිරිස් වගාව සාර්ථකව මෙරට තුළ සාර්ථකව ක්‍රියාත්මක වුණොත් දේශීය පරිභෝජනයට අවශ්‍ය මිරිස් ප්‍රමාණය රට තුළම නිපදවා ගැනීමට හැකිවනු ඇති.