Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෙස්ලින් ක්‍රීඩක ක්‍රිස් බෙන්වාගේ අභිරහස් මරණය​

2007 ජූනි මස 25 වැනි සඳුදා මධ්‍යහන 12 ට පමණ ලෝක ප්‍රකට WWE (World Wrestling Entertainment) ආයතනයෙන් ෆේයට් කවුන්ටි පොලීසියට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ එම ආයතනයෙහි සුපිරි තරුවක් වන ක්‍රිස් බෙන්වා ඊට පෙර දින පැවති “Vengeance: Night of Champions” ඉසව්වට සහභාගී නොවූ බැවින් සහ ඔහුගේ දුරකතනයෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති බැවින් ඒ පිළිබඳව සොයා බලන ලෙස දන්වමිනි. ඒ අනුව ෆේයට් කවුන්ටි පොලීසිය ඒ පිලිබඳ සොයා බැලූ අතර සවස 4 ට පමණ පොලීසියෙන් WWE ආයතනයට දුරකථන ඇමතුමක් ලැබුණේ ඛේදජනක පුවතක් දැන්වීමට ය​. එම දුරකථන ඇමතුමෙන් කියැවුනේ පොලීසිය විසින් බෙන්වාගේ නිවස පරීක්ෂා කළ බවත් එම නිවසෙහි තිබී නරක් වූ මළසිරුරු තුනක් හමුවූ බවත් එම මළසිරුරු තුන ක්‍රිස් බෙන්වා, ඔහුගේ බිරිඳ නැන්සි බෙන්වා සහ ඔවුන්ගේ පුත්‍රයා වන 7 හැවිරිදි ඩැනියෙල් බෙන්වාගේ බවත් දන්වමිනි.

එදිනම (සඳුදා) රාත්‍රියේ පැවති WWE RAW වැඩසටහන සම්පූර්ණයෙන්ම අවලංගු කර එම වැඩසටහන වෙනුවට ක්‍රිස් බෙන්වා පිළිබඳ මතක සටහනක් විකාශය කිරීමට WWE ආයතනය විසින් තීරණය කරන ලදී. නමුත් බෙන්වා විසින් ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා හුස්ම හිරකර ඝාතනය කර ඔහු ද බර ඉසිලීමේ යන්ත්‍රයක් ආධාරයෙන් ගෙල​ වැලළා ගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය විසින් ප්‍රකාශ කිරීමෙන් පසු සමස්ථ​ රෙස්ලින් ලොවම කැළඹුනි. විවිධ ස්ටිරොයිඩ භාවිතා කිරීම නිසා බෙන්වා ආවේගශීලී වී හෝ විවිධ රෙස්ලින් අංගචලන නිසා බෙන්වාගේ මොලයට හානිවී තිබීම නිසා මෙම මිනීමැරුම් බෙන්වා විසින් සිදුකර ඇති බවට විවිධ මත ප්‍රකාශ විය. ඉන්පසු කිසිම දිනෙක බෙන්වා පිළිබඳ කිසිඳු යමක් WWE ආයතනයෙහි ප්‍රකාශ නොකිරීමට WWE ආයතනය විසින් තීරණය කරන ලදී. ඒ අනුව ක්‍රිස් බෙන්වා විසින් ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඝාතනය කර සියදිවි හානිකරගත් බව ඉතිහාසයට එකතු විය.

ඉහත දැක්වූයේ ක්‍රිස් බෙන්වාගේ මරණය පිළිබඳ විවිධ මාධ්‍ය විසින් ලොවට පැවසූ ආකාරයයි. නමුත් ක්‍රිස් බෙන්වාගේ මරණය සම්බන්ධයෙන් සැක කටයුතු බොහෝ තැන් තිබෙන අතර ඒවා සියල්ල එකට එකතුකිරීමට ගත් උත්සාහයකි මෙය.

චාවෝ ගුරේරෝ

ක්‍රිස් බෙන්වා සහ චාවෝ රෙස්ලින් වළල්ල තුළ. බෙන්වා බිම වැටී සිටී. (dailymotion.com/krazyeman)

එඩී ගුරේරෝගේ පවුලේ සාමාජිකයෙකු වූ චාවෝ ගුරේරෝ ද වෘත්තීය රෙස්ලින් ක්‍රීඩකයෙකු වූ අතර චාවෝ සහ බෙන්වා සමීප මිතුරන් විය. 2007 ජූනි මස 23 වැනි සෙනසුරාදා අලුයම කාලයේ දී බෙන්වා විසින් චාවෝට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබේ. එහිදී අවසානයේ දී බෙන්වා විසින් චාවෝට ප්‍රකාශ කර ඇත්තේ “I love you Chavo” ලෙසයි. සාමාන්‍යයෙන් නිෂ්ශබ්ධ පුද්ගලයෙක් වන බෙන්වා විසින් එසේ පැවසීම තරමක් පුදුම සහගත කාරණයක් බව කී චාවෝ, බෙන්වා එසේ පැවසුවේ අසාමාන්‍ය ස්වරයකින් බවද පසුකලකදී පැවසීය.

විකිපීඩියා අභිරහස

WWE ප්‍රධාන මූලස්ථානය (Stamfordadvocate)

කෙනෙකුගේ මළසිරුර කිසිවෙකු විසින් සොයාගැනීමට පෙර එම පුද්ගලයා මියගිය පුද්ගලයෙකු ලෙස විකිපීඩියා වෙබ් අඩවියෙහි යම් කෙනෙකු විසින් සඳහන් කර තිබෙන්නේ නම් ඒ පිළිබඳ ඔබගේ ප්‍රතිචාරය කෙබඳු එකක්ද? මෙම ඝාතන​ සිදුවීමේ දී එය සිදුවිය. පොලීසිය විසින් මෙම මළසිරුරු තුන සොයාගැනීමට පැය 14 කට පෙර කිසිවෙකු විසින් විකිපීඩියා වෙබ් අඩවියෙහි සඳහන් කර තිබෙන්නේ

“බෙන්වා “Vengeance: Night of Champions” ඉසව්වට (25 වැනි ඉරිදා රාත්‍රියේ) සහභාගී නොවේ. ඒ ඔහුගේ බිරිඳ නැන්සි බෙන්වාගේ මරණය නිසාය. ක්‍රිස් බෙන්වා වෙනුවට එම ඉසව්ව සඳහා ජොනී නයිට්‍රෝව යොදාගනු ඇත.” යන්නයි.

මෙය ඉතාමත් අසාමාන්‍ය සිදුවීමකි. පොලීසිය විසින් එම තොරතුර විකිපීඩියා වෙබ් අඩවියෙහි පළකළ පුද්ගලයා සොයාගත් අතර ඔහු එවකට 19 හැවිරිදි රෙස්ලින් වලට ප්‍රිය තරුණයෙක් විය. විශේෂත්වය වන්නේ එම පුද්ගලයා පදිංචිව සිටින්නේ WWE ආයතනයෙහි ප්‍රධාන මූලස්ථානය පිහිටි  ස්ටැම්ෆර්ඩ් ප්‍රදේශයේම වීමයි. කෙසේවෙතත් පරීක්ෂණ වලින් අනතුරුව එම තරුණයා මෙම මරණ වලට කිසිඳු සම්බන්ධයක් නොමැති බව පොලීසිය විසින් සොයාගත් නමුත් මෙය ඉතාමත් අසාමාන්‍ය කාරණයකි.

සැකයට තුඩුදෙන කෙටි පණිවුඩ

බෙන්වාගේ නිවසෙහි පිටුපස (Deadwrestlers.net)

ජූනි 24 වැනි ඉරිදා අලුයම 3.53 සිට 3.58 දක්වා ක්‍රිස් බෙන්වාගේ සහ නැන්සි බෙන්වාගේ ජංගම දුරකථන වලින් කෙටි පණිවුඩ කිහිපයක් චාවෝ ගුරේරෝට සහ WWE හි විනිසුරුවෙකු වන ස්කොට් ආර්ම්ස්ට්‍රෝන්ට යවා තිබේ. ඔවුන් දෙදෙනාට කෙටි පණිවුඩ 9 ක් යවා තිබෙන අතර ඉන් කෙටි පණිවුඩ 8 කම දක්වා තිබෙන්නේ ක්‍රිස් බෙන්වාගේ නිවසෙහි ලිපිනයයි. අනෙක් කෙටි පණිවුඩයෙහි සඳහන් කර තිබෙන්නේ

“වහලා තියෙන පිහිනුම් තටාකය අවට බල්ලෝ ටික ඉන්නවා. ගරාජය පැත්තෙහි දොර විවෘතව තියෙනවා.” යන්නයි.

මෙය ද ඉතාමත් අසාමාන්‍ය කාරණයකි. බෙන්වාගේ නිවසෙහි ලිපිනය චාවෝ ට පැවසීම අවශ්‍ය නොවේ. ඔවුන් හොඳම මිතුරන්ය. බල්ලන් පිළිබඳව සඳහන් කිරීම ද අනවශ්‍යය. අනෙක් අතින් සඳුදා දහවල් පොලීසිය විසින් මෙම මළසිරුරු 3 සොයාගන්නා විට එම මළසිරුරු දැඩි ලෙස නරක් වී තිබුන බව දක්වා සිටි අතර බෙන්වා ඉරිදා අලුයම 3.58 වන තෙක්ම ජීවතුන් අතර සිටියා නම් සඳුදා දහවල් වනවිට මළසිරුර ඒ ආකාරයට නරක් වන්නේ කෙසේදැයි බොහෝ දෙනා අසන පැනයකි.

බෙන්වා ඇතුළු තිදෙනාම යම් කිසිවෙකු හෝ පුද්ගලයින් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට ප්‍රධානම සැකයක් මතුවන්නේ මෙතැනදීය. කිසිඳු පුද්ගලයෙකු දුරකතනයෙන් බෙන්වා සමඟ 24 වැනි ඉරිදා දිනයෙහි කතා කර නොමැත. බෙන්වා මියගොස් තිබෙන්නේ 23 වැනි සෙනසුරාදා දිනයෙහි බව වෛද්‍ය පරීක්ෂක විසින් පැවසීම වැදගත්ම කාරණයයි.

කෙවින් සලිවන්

කෙවින් සලිවන් (Sportskeeda)

ක්‍රිස් බෙන්වාගේ බිරිඳ වන නැන්සි බෙන්වාගේ පෙර ස්වාමිපුරුෂයා වන්නේ කෙවින් සලිවන් ය. නැන්සි, කෙවින් සලිවන්ගෙන් වෙන් වී ක්‍රිස් සමඟ විවාහ විය. බොහෝ දෙනෙකු මෙම මරණ සම්බන්ධයෙන් සලිවන්ට චෝදනා කරයි. එවකට WWE ආයතනයෙහි අධ්‍යක්ෂ කෙනෙක් වූ කෙවින් සලිවන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. නමුත් චෝදනා එල්ලවන බැවින් හෝ මෙම මරණ සිදුවූ දින කිහිපයේ දී සලිවන් සිටියේ කොහෙද? ඔහුගේ ජංගම දුරකථනයෙහි වාර්තා කවරේද? යනාදිය පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වීමටවත් පොලීසිය කරදර නොවීය.

පොලීසිය ක්‍රියා කළ ආකාරය

බෙන්වාගේ නිවසෙහි ඉදිරිපස (youtube /TWOLDRTURD1)

WWE ආයතනය විසින් බෙන්වා පිලිබඳ පොලීසියට දැනුම් දුන් පසු පොලීසිය බෙන්වාගේ නිවස වෙත ගොස් ඇති අතර පොලීසිය නිවසට ඇතුළුවීමට ප්‍රථම පොලීසිය විසින් බෙන්වාගේ අසල්වැසි කාන්තාවක් වන “හොලී” ව බෙන්වාගේ ගෙවත්ත සහ නිවස තුළට යවා තිබේ (බල්ලන් නිදැල්ලේ ඇතිදැයි වැනි කාරණා බැලීමට). මෙම මළසිරුරු ප්‍රථමයෙන්ම දැක තිබෙන්නේ හොලී විසින් වන අතර ඇය කෑ ගසමින් නිවසින් එළියට දිවවිත් තිබේ. වෘත්තීය පොලීසියක් මේ ආකාරයට ක්‍රියා කරනු ඔබ කවරදිනෙක හෝ දැක තිබේද?

ඒ වනවිට නිවසෙහි තත්වය පිළිබඳ කිසිවකු දැනගෙන සිටියේ නැත. යම්හෙයකින් නිවස තුළ මිනීමරුවෙකු සිටියේ නම්? යම් හෙයකින් මෙම අසල්වැසි කාන්තාව මෙයට සම්බන්ධ නම්? ඇයට යමක් අමතක වී තිබුනේ නම්? පොලීසිය විසින් මෙහිදී ක්‍රියාකර තිබෙන ආකාරය ඉතාමත් ගැටළු සහගත වන අතර එම අපරාධය සිදුවූ ස්ථානය වෘත්තීමය මට්ටමේ නිලධාරීන්ට ප්‍රථමයෙන් දැකබලාගැනීමට තිබූ වටිනා අවස්ථාව ද​ අහිමිවිය.

පරීක්ෂණ සිදු නොකළ ප්‍රධාන කාරණයක්

පොලීසිය විසින් බෙන්වාගේ නිවාස වෙත ලඟා වීමට මත්තෙන් එවකට WWE ආයතනයෙහි ක්‍රීඩකයෙකු වූ ඩේව් ටේලර් සහ ඔහුගේ බිරිඳ ආහාර ද සමඟින් බෙන්වාගේ නිවස ආසන්නයේ සිටි ඇති බවට සාධක ලැබී තිබේ. නමුත් ටේලර් විසින් මෙය ප්‍රතික්ෂේප කර තිබේ. ආහාර විෂවීමක් නිසා නැන්සි සහ ඩැනියෙල් රෝහල් ගත කර තිබෙන බවට (ඔවුන් රෝහල් ගත කර නොතිබුණි) ක්‍රිස් විසින් පවසා තිබූ නිසා ටේලර් සහ ඔහුගේ බිරිඳ සිය මිතුරාව බැලීම සඳහා පැමිණියේ යැයි සිතිය හැක. ටේලර් කිසිසේත්ම මේ සඳහා සම්බන්ධ යැයි අනුමාන කළ නොහැක. නමුත් මෙය නිසැක වශයෙන්ම පරීක්ෂණයට බඳුන් කළයුතු කාරණයක් වූවත් එය එසේ සිදුනොවීය.

බෙන්වාට එරෙහිව සාක්ෂි තිබේද ?

“Diving Headbutt අංගචලනය” (Sports Retriever)

සිය බිරිඳ සහ පුතු බෙන්වා විසින් ඝාතනය කර තිබෙන බවට සාක්ෂි මොනවාද? මෙතරම් අපරාධයක් සිදු වූ ස්ථානයක බෙන්වාට එරෙහිව එකඳු සාක්ෂියක් හෝ මේ වනවිටත් ඉදිරිපත් වී නොමැත. විවිධ ස්ටිරොයිඩ භාවිතය නිසා ඔහු ආවේගශීලීව මෙය සිදුකළේ හෝ බෙන්වාගේ රෙස්ලින් අංගචලනයක් වන “Diving Headbutt” (මෙය යම්කිසි උසක සිට බිමට පැන ප්‍රතිවාදියාට ඔලුවෙන් පහරදෙන අංගචලනයකි.) නිසා බෙන්වාගේ මොලයට හානි වී තිබීම හේතුවෙන් බෙන්වා විසින් මෙම ඝාතන සිදුකළේ යැයි විවිධ මත පමණක් ඉදිරිපත් වී තිබේ. මෙය සැබවින්ම විහිළුවකි.

මොලයට හානි වී තිබීම නිසා මේ ආකාරයට මිනීමැරුම් සිදුකර සියදිවි හානිකරගැනීමට තිබෙන සම්භාවිතාව බොහෝ අඩු එකක් බව වෛද්‍යවරුන්ගේ මතයයි. අනෙක් අතින් ස්ටිරොයිඩ වැඩි වශයෙන් භාවිතා කිරීම නිසා බෙන්වා ආවේගශීලී වී මෙය සිදුකළේ නම් ඊට පෙර බෙන්වා සාමාන්‍ය කෙනෙකු ලෙස හැසිරුනේ කෙලෙසද? එය ක්ෂණයකින් ඇතිවන තත්වයක් නොවේ. මෙතරම් දෙයක් සිදුවී තිබුනත් බෙන්වාට එරෙහිව DNA සාක්ෂියක් හෝ මේ වනවිට ඉදිරිපත් වී නොමැත.

සියදිවි හානිකරගැනීම පිළිබඳ කිසිඳු සටහනක් නොමැතිවීම

සාමාන්‍යයෙන් මෙවැනි ආකාරයක සියදිවි හානි කරගැනීමකදී ඒ පිළිබඳ සටහනක් තබන අතර මෙහිදී ඒ ආකාරයේ කිසිඳු සටහනක් හමුවී නොමැත. බෙන්වා විසින් මෙම ඝාතන සිදුකළේ නම් කෙටි පණිවුඩ ද යැව්වේ නම් සියදිවිහානි කරගැනීම සහ ඝාතන සම්බන්ධයෙන් පැවසීම ද බොහෝදුරට සිදුකලයුතු බවට බොහෝ දෙනාගේ මතයයි.

ක්‍රිස් බෙන්වා ආදරණීය පුතෙකි. පියෙකි. සැමියෙකි.

ක්‍රිස් බෙන්වා සිය දරු පවුලට බොහෝ සෙයින් ආදරය කළ කෙනෙකු බව ඔහුගේ ළඟම හිතවතුන් පවසයි. ක්‍රිස් සහ නැන්සි සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ බවත් වෙන්වීම සඳහා ඔවුන්ට කිසිඳු හේතුවක් නොතිබූ බවත් ඔවුනගේ හිතමිතුරෝ පවසති. මෙම ඛේදවාචකය සිදුවීමට සතියකට පමණ පෙර එනම් ජූනි මස 17 වැනි දින ලෝක පියවරුන්ගේ දිනයේ දී බෙන්වා විසින් ඔහුගේ පියාට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ පවුලේ අය සමඟින් වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය වූවත් වැඩ කළ යුතු බැවින් ඔහුට ඒ සඳහා කාලය අඩු බවයි. ජූනි 24 වැනි ඉරිදා පැවති “Vengeance: Night of Champions”  ඉසව්වේ දී බෙන්වා ECW ශූරතාවය දිනාගැනීමට (CM Punk ට එරෙහිව) සිටි අතර බෙන්වාගේ ජීවිතය වූයේ රෙස්ලින් සහ සිය දරු පවුලයි. ඉතින් ඔහු මේ ද්විත්වයම නැති කරගන්නේ ඇයි?

ක්‍රිස් බෙන්වා සහ නැන්සි බෙන්වා (Nydailynews)

අස්වාභාවික කරුණු රැසක්

මෙම මරණ හා සම්බන්ධ අස්වාභාවික කරුණු රැසක් තිබේ. ඉන් ප්‍රධානම එකක් වන්නේ ක්‍රිස් බෙන්වා ගෙල වැළලාගෙන සිටින විට ඔහුගේ ගෙළෙහි සුදු පැහැති රෙද්දක් ඔතා තිබීමයි. යම් කෙනෙකු ගෙල වැළලා මියයන්නේ නම් ඔහු සිය ගෙල පිළිබඳව සැලකිලිමත් වේද? එබැවින් සිදුකළ හැකි හොඳම උපකල්පනය නම් ගෙලෙහි ඇතිවන සලකුණු වැලක්වීමට සුදු පැහැති රෙද්ද භාවිතා කරා යන්නයි. එවිට මෙය මිනීමැරුමක් යන සාධාරණ සැකය ඉස්මතු වේ.

අනෙක් ප්‍රධානම කාරණය වන්නේ නැන්සි බෙන්වා ඝාතනය කර තිබෙන්නේ ඇයගේ අත් සහ පාද ගැට ගසාය. ක්‍රිස් විසින් මෙය සිදුකළා නම් ඔහුට ඇයගේ අත් පා ගැටගැසීමට අවශ්‍ය නොවේ. ඔහු අඩි 6 ක් පමණ උස ශක්තිමත් පුද්ගලයෙකි. ඔහුගේ එක පහරකින් නැන්සි බිම ඇදගෙන වැටෙනු ඇත.

මෙම සිද්ධියට අදාලව කිසිඳු ඇඟිලි සලකුණු පරීක්ෂාවක් හෝ DNA පරීක්ෂාවක් පිළිබඳ අසන්නට නොලැබේ. පොලීසිය විසින් එලෙස පරීක්ෂණ සිදුකළාද? සිදුකළා නම් එහි වාර්තා කොහේද? සිදු නොකලා නම් එලෙස පරීක්ෂණ සිදු නොකළේ මන්ද? යන විශාල ප්‍රශ්නාර්ථය ඉතිරි වේ.

නැන්සි බෙන්වාගේ හිස යට පමණක් ලේ සලකුණු තිබී ඇති අතර නිවසෙහි අන් කිසිඳු ස්ථානයක එසේ ලේ සලකුණු තිබී නොමැත. නිවසෙහි කිසිඳු ස්ථානයක පොරබැදීමක සලකුණු ද හමුවී නොමැත. එය තරමක් පැටලිලි සහගත කරුණකි.

ක්‍රිස් බෙන්වා මියගිය ස්ථානයෙහි තිබී හිස් බීර කෑන් 10 ක් සහ භාගයක් හිස් වූ වයින් බෝතලයක් හමුවී තිබේ. නමුත් මරණ පරීක්ෂාවේ දී බෙන්වාගේ සිරුරෙහි ඇල්කොහොල් තිබී නොමැති බව අනාවරණය විය. එසේනම් එම බීර සහ වයින් කවරෙකු විසින් පානය කරන ලද්දක් ද?

නිවසෙහි ස්ටිරොරොයිඩ හමුවී තිබුනත් එම ස්ටිරොයිඩ බෙන්වාගේ ශරීරයෙහි තිබූ ස්ටිරොයිඩ වලට වඩා වෙනස් විය.

බෙන්වා පවුල​ (Historic Mysteries)

සැකයට තුඩුදෙන අනෙක් කාරණා

මෙම මරණ සම්බන්ධයෙන් සැකයට තුඩුදෙන තවත් කාරණා රාශියක් තිබේ.

  • බෙන්වා මියයෑමට සතියකට පමණ පෙර (2007 ජූනි 17) ෂෙරී මාටෙල් නම් කාන්තා රෙස්ලින් ක්‍රීඩිකාව මියගොස් තිබේ. බෙන්වා මියගියේ යැයි සැලකෙන 2007 ජූනි මස 24 වැනි දින තවත් රෙස්ලින් ක්‍රීඩකයෙකු මියගොස් සිටි අතර ඔහු බිෆ් වෙලිංටන් ය. බිෆ් වෙලිංටන්ගේ පිළිබඳ මාධ්‍යට අදහස් දක්වන ලද්දේ තවත් රෙස්ලින් ක්‍රීඩකයෙකු වන රෙනේ ඩු ප්‍රී ය. මාටෙල් සහ වෙලිංටන් දෙදෙනාම බෙන්වාගේ සමකාලීන වෘත්තීය සඟයින් වේ.
  • බෙන්වාගේ සිරුරෙහි විවිධ බෙහෙත් සහ මත්ද්‍රව්‍ය අඩංගුව තිබූ අතර ඒවා නිසා එම අවස්තාවේදී යම් නිදිමත ගතියක් ඔහුට දැනෙන්නට ඉඩ ඇත. එම බෙහෙත් සහ මත්ද්‍රව්‍ය බෙන්වා විසින් ලබාගත්තාද වෙනත් කිසිවෙකු විසින් බෙන්වාට ලබාදුන්නාද යන්න කිසිවෙකුට කිව නොහැක.
  • නිවසෙහි තිබූ යම් දෙයක් නැතිවී හෝ සොරාගෙන හෝ ඇතිදැයි නිශ්චිත වශයෙන් සොයාගැනීමට නොහැකි වී තිබේ.
  • මෙම මිනීමැරුම් අතර කාල පරතරය ඉතාමත් අවුල් සහගතය. පොලීසිය පැවසූ තොරතුරු අනුව සිකුරාදා රාත්‍රියේ නැන්සි බෙන්වා, සෙනසුරාදා ඩැනියෙල් බෙන්වා සහ ඉරිදා ක්‍රිස් බෙන්වා. මෙම මරණ අතර කාල පරතරය වැඩිය. බොහෝ දෙනාගේ මතය වන්නේ ඔවුන් තිදෙනා (මරණ පරීක්ෂක ද ඇතුළුව) සිකුරාදා රාත්‍රියේ සහ සෙනසුරාදා මිය යන්නට ඇති බවයි.
  • අනෙක් වැදගත්ම කාරණය වන්නේ ඉරිදා (24) දිනයෙහි කිසිදු කෙනෙකු ක්‍රිස් බෙන්වා සමඟ කතා කර හෝ ඔහුව දැක නොතිබීමයි. කෙටි පණිවුඩයකින් ඉරිදා වනවිට බෙන්වා ජීවත්ව සිටියා යැයි කිව නොහැක.
  • සිද්ධිය සිදුවී සති දෙකක් යන්නටත් මත්තෙන් මෙම මරණ සැක කටයුතු ලෙස සිදුවී ඇති බව විවිධ පාර්ශව විසින් ප්‍රකාශ කරන ලදී.

මේ සියලුම කාරණා සලකා බැලූ විට, බැලූ බැල්මටම පෙනී යන්නේ මෙම මරණ ඉතාමත් සැක කටයතු ලෙස සිදුවී ඇති බවය. එක් දිනයක පරීක්ෂණයකින් අනතුරුව බෙන්වා විසින් සිය දරු පවුල ඝාතනය කර ඔහු ද සියදිවි නසාගත් බව තීරණය කිරීම සැබවින්ම කණගාටුදායකය. මෙම සිද්ධියේ දී පොලීසිය ක්‍රියාකළ ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැක. මිය යන විට ක්‍රිස් බෙන්වා 40 වැනි වියෙහි සිටි අතර ඔහුගේ බිරිඳ (ඇයද පෙර රෙස්ලින් ක්‍රීඩිකාවකි) 43 වැනි වියෙහි පසුවිය. ක්‍රිස් බෙන්වා යනු ඉතාමත් ආදරණීය මිනිසෙකු වන අතර මෙම සිද්ධිය පිළිබඳ නැවත පරීක්ෂණයක් පවත්වන ලෙස වසර 11 ක් පුරා සමාජයේ බොහෝ පිරිස් ප්‍රකාශ කළද අද වනතුරු එය සිදු නොවීය.

Cover Image: Sickchirpse.com

මූලාශ්‍ර

  1. Chris Benoit Conspiracy
  1. youtube/top10 wrestling
  1. 24 Reasons that will Prove that Chris Benoit was Innocent
  1. youtube/reasonabledoubthere
  1. The Chris Benoit Files

Related Articles