Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ට්‍රැෆික් නැති කරන්න ස්ථිරසාර විසඳුම්

රටක ප්‍රධාන නගර මධ්‍යයන්ගේ වාහන තදබදය නිර්මාණය වන්නේ කොහොමද? එයට හේතු මොනවාද? ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පසුගිය ලිපියෙන් ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති.

මේ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ දියුණු රටවල් විසින් තම රටවල නගරයන්හි  වාහන තදබදය අඩු කිරීමට ගෙන ඇති විවිධ පියවර කිහිපයක් පිළිබඳව යි.

විය යුතු ප්‍රධානම දේ 

වාහන තදබදය අවම කිරීමට ප්‍රධාන වශයෙන් ක්‍රියාමාර්ග දෙකක් ගනු ලබනවා. ඒ, පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම හා පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කිරීම යි. මින් වඩා අවධානය යොමු කළ යුතු වන්නේ පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමට යි. පොදු ප්‍රවාහන සේවය දියුණු කරන ගමන්ම පෞද්ගලික වාහන භාවිතය අවම කිරීම සඳහා ද යම් යම් ක්‍රියාමාර්ග ගැනීම සිදුකළ යුතු යි. 

පළමුවෙන්ම පොදු ප්‍රවාහනය විවිධ රටවල දියුණු කිරීමට ගෙන ඇති උපක්‍රම මොනවාද යන්න විමසා බලමු. මීට පෙර ලිපියේ භෞතික යටිතල පහසුකම් දියුණු කිරීම හා පොදු ප්‍රවාහන සේවය දියුණු කළ හැකි විවිධ ප්‍රවාහන ව්‍යාපෘති (BRT,MRT,LRT) පිළිබඳව කතා කර ඇති බැවින්, ඊට අමතරව ගත හැකි ක්‍රියාමාර්ග මෙම ලිපියේ සඳහන් වෙනවා.

පාර්ක් ඇන්ඩ් රයිඩ් (Park and Ride)

පාර්ක් ඇන්ඩ් රයිඩ් (wiltshire)

පාර්ක් ඇන්ඩ් රයිඩ් නම් ක්‍රමය මඟින් පොදු ප්‍රවාහන සේවයට යම් අගයක් එකතු කිරීමට දියුණු රටවල් උත්සාහ කර තිබෙනවා. මෙහි දී දුම්රියපොළවල, අධිවේගී ප්‍රවාහන මධ්‍යස්ථාන තුළ ඇතුළු විවිධ පොදු ප්‍රවාහන සේවා ආරම්භ වන ස්ථානයන් හි තම පෞද්ගලික වාහනය ගාල් කර යාමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඉතා සුළු මුදලක් පමණක් අය කරන අතර, තම පෞද්ගලික වාහනයෙන් පොදු ප්‍රවාහන සේවය වෙත එළඹ තමන් කැමති ස්ථානයකට ගොස් නැවත පැමිණ තම වාහනය ලබාගැනීමේ හැකියාව මෙමඟින් ලැබෙනවා. 

පාර්ක් ඇන්ඩ් රයිඩ් ක්‍රමය මඟින් මහජනතාව පොදු ප්‍රවාහන සේවාව සඳහා ආකර්ෂණය කරගත හැකි වෙනවා. ශ්‍රී ලංකාව ද රත්මලානේ දුම්රිය පොළ සඳහා පාර්ක් ඇන්ඩ් රයිඩ් ක්‍රමය හඳුන්වා දීමට උත්සාහ කළ ද, වාහන ගාල් කර දුම්රියපොළ වෙත ගමන් කිරීම සඳහා වූ දුර ප්‍රමාණය වැඩි වීම මත එය එතරම් සාර්ථක වන්නේ නෑ.

වර්තමානය වන විට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පාර්ක් ඇන්ඩ් රයිඩ් ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.

බහුවිධ ප්‍රවහාන මධ්‍යස්ථාන (Multi-Modal Transport Hub)

සියලු ප්‍රවාහන අංගයන්ගෙන් සමන්විත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් (burohappold)

අධිවේගී මාර්ග, සාමාන්‍ය මාර්ග, ගුවන් තොටුපොළ හා වරාය යන විවිධ වර්ගයේ ප්‍රවාහන මධ්‍යස්ථාන එකිනෙකට සම්බන්ධ කර ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම බහුවිධ ප්‍රවාහන සේවාවක් ලෙස අර්ථ දක්වනු ලබනවා. මෙහි දී එක් ප්‍රවාහන සේවාවකින් තවත් ප්‍රවාහන සේවාවකට මාරු වීම ඉතා පහසු වීම තුළින් පොදු ප්‍රවාහනයේ වේගය හා කාර්යක්ෂමතාවය ඉතා ඉහළ යනවා. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන නගර ආසන්නයේ ඉදිකිරිම, පොදු ප්‍රවාහන සේවය සඳහා මහජනතාව ආකර්ෂණය කර ගැනීමේ ඉතා ඵලදායි උපක්‍රමයක් ලෙස මේ වන විට භාවිතා වෙනවා.

පෞද්ගලික වාහන භාවිතා කිරීම අධෛර්යමත් කිරීමේ උපක්‍රම 

යම් රටක් විසින් පොදු ප්‍රවාහන සේවය දියුණු නොකරමින් වාහන තදබදය අවම කිරීම සඳහා පෞද්ගලික වාහන භාවිතය අධෛරමත් කිරීමට පමණක් උත්සාහ කරයි නම්, එම ක්‍රියාමාර්ග එතරම් සාර්ථක වන්නේ නෑ. විය යුත්තේ පොදු ප්‍රවාහනය දියුණු කරන අතරතුරම පෞද්ගලික වාහන භාවිතය අවම කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීම යි.

වාහන ආනයනයේ දී අධික තීරු බද්දක් අය කිරීම 

ආනයනය කරන මෝටර් රථ සඳහා අධික බදු මුදලක් ශ්‍රී ලංකා රජය විසින් අය කරනවා. (menafn.com)

මෙය ශ්‍රී ලංකාව ද ඇතුළුව වාහන ආනයනය කරන රටවල් විසින් ගන්නා ක්‍රියාමාර්ගයක්. වාහන ආනයනයේ දී අධික තීරු බද්දක් අය කිරීම මඟින් ජනතාව වාහන ආනයනය සඳහා අධෛර්යමත් වෙනවා. නමුත්, මේ ක්‍රමය එතරම් තිරසර වන්නේ නෑ. එයට හේතුව වන්නේ, අධික තීරුබදු මුදලට ජනතාව හුරුවීමත් සමග එය සාමාන්‍යකරණය වීම යි.

කාර්පූලින්ග් (carpooling)

කාර්පූලින්ග් (wikimedia)

සාමාන්‍යයෙන් ඕනෑම නගරයක වාහන තදබදය නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව වන්නේ දරාගැනීමට නොහැකි තරම් පෞද්ගලික වාහන සංඛ්‍යාවක් නගරයට ඇතුළත් වී තිබීම යි. මේ බොහෝ වාහන ප්‍රමාණයක සිටින්නේ අසුන් ගණනටත් වඩා ඉතා අඩු මගීන් ගණනක් වීම ද දකින්න ලැබෙනවා.

නගර මධ්‍යයට පෞද්ගලික වාහන ඇතුළු කිරීමේ දී සියලු ආසන පිරී තිබීම කාර්පූලින් යටතේ කතා කෙරෙන අතර, එය අනිවාර්ය කිරීමේ දී පෞද්ගලික වාහනයේ සියලු ආසන පිරී නොතිබුණොත් ඒ සඳහා දඩ මුදලක් අය කිරීමක් සිදුකෙරෙනවා. මේ හේතුවෙන් අනවශ්‍ය වාහන බොහෝ ප්‍රමාණයක් නගර මධ්‍යයට ඇතුළත් වීම වැළකී යනවා.

තෝරා ගත් දිනවල අහඹු ලෙස වාහන ඇතුළු කිරීම තහනම් කිරීම 

සතියේ තෝරා ගත් දිනවල යම් යම් කොන්දේසි මත වාහන නගර මධ්‍යයට ඇතුළු කිරීම මේ ඔස්සේ තහනම් කෙරෙනවා. “සෑම බදාදා හා සිකුරාදා දිනෙකම ඔත්තේ සංඛ්‍යාවකින් අවසන් වන අංක තහඩු ඇති සියලුම මෝටර් රථ නගර මධ්‍යයට ඇතුල් කිරීම තහනම්” වැනි ක්‍රියාමාර්ගයක් මීට උදාහරණයක් ලෙස සඳහන් කළ හැකි යි. මේ ක්‍රමය ඉන්දියාවේ නව දිල්ලි නගරයේ වායු දූෂණය අඩු කිරීම සඳහා ද යොදා ගනු ලබනවා.

මීට අමතරව වර්තමානය වන විට දියුණු රටවල් විසින් කෘතීම බුද්ධිය (Artificial intelligence) හා උපාංග ජාලකරණය ද (Internet of things) වාහන තදබදය අඩු කිරීමේ මැජික් ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි තවත් ලිපියකින් හමුවෙමු!

කවරයේ පින්තූරය- wrirosscities

Related Articles