ඉස්සර ගම්පළාත්වල කොල්ලො කෙල්ලෝ ප්‍රේමයෙන් පරාද වුණාම ‘කණේරු’ ඇට කාලා මිය යනවා. කොළඹ ගමෙත් ඇතැම් තැන්වල දී ‘කණේරු’ ඇට කාලා සියදිවි නසාගන්න ගිය උදවිය රෝහල්වල දී අපට මුණගැහිලා තියෙනවා. හැබැයි, ඔය කිසිකෙනෙක් ‘කණේරු’ මලේ සුන්දරත්වය දැකලා නෑ, අහුවෙලා නෑ. අන්න ඒ සුන්දරත්වය ගැන “කණේරු” කාව්‍ය සංග්‍රහය තුළින් හංසි පෙරේරා අපට කියන්න යනවා කියලා ආරංචි වුණා. වැඩේ සිද්ධ කරන්න නියමිත අගෝස්තු 24 වෙනි දා, හරියටම හවස 03.00ට, NADA එකේ දී. ඉතින්, අපි හංසි එක්ක ටිකක් කතාබහ කළා. ඒ සංවාදය මේ විදියට අකුරු කරලා ඔබ වෙනුවෙන් පළ කරන්න හිතුවා අපි. එහෙනම් අපි දැන් හංසිව කියවමු!
හංසි ෆොටෝග්‍රැෆි කර කර ඉන්න ගමන් කවිත් ලියන්න හිතුවේ?
ඇත්තටම මම කවි ලියන එක ෆොටෝග්‍රැෆි කරන ගමන් කළ දෙයක් නෙමෙයි. ෆොටෝග්‍රැෆි කියන්නෙ මගේ වෘත්තිය. කවිය කියන්නේ මගෙ ඇතුළාන්තය. කවි ලියන එක මම, මට, මාව දැනෙන කාලෙ ඉඳන් කරනවා.
ඡායාරූපකරණය එතකොට ඔබේ වෘත්තිය විතරම ද? එතන ඔය කියන ඇතුළාන්තය නැද්ද?
ඒ හැමදේම මම තමයි. ඡායාරූපකරණය මම තෝරගත්තෙත් එතනදි මාව නිදහස් වෙන නිසා. කලාවට මම ආදරේ නිසා. එතනදි මම කරන්නෙ මගේ ඇස්වලින්, මම දකින ලස්සන සහ ඇතුළාන්තයෙන් ඒ පේන දේ, මම විඳින කෝණය කැප්චර් කරගන්න එක. මම ඡායාරූපකරණය මගේ වෘත්තිය විදිහට තෝරාගත්තෙත් ඒ නිසයි. නමුත්, කවිය මට බොහෝ ළඟ යි. මොකද කවිය ඉපදෙන්නෙ මගෙ හැඟීම්වලින්. මට එතන විශාල සැනසීමක් තියෙනවා.
කවියෙන් ඔබට ඇත්තටම සැනසෙන්න පුළුවන් ද? මොකද්ද ඒ සැනසීම කියලා ඇහුවොත්?
ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් ජීවිතේ වැඩියෙන්ම ඕනෙ මොකක්ද කියලා, බොහෝ දෙනෙක් දෙන උත්තරයක් මේ සැනසීම. සමහරුන්ට අපැහැදිලි දේත් මේ සැනසීම. මිනිස්සු ද්‍රව්‍යමය දේවල් පස්සෙ ජීවිතේ හති වැටෙනකම් දුවලා දුවලා හොයන්නෙත් මේ සැනසීම. මට එතනට යන්න කෙටිම මඟක් තමයි කවිය. තමන් තමන්ට ඇහුම්කන් දෙද්දි මිනිසුන්ට තමන්ට ආවේනික දේවල් මුණගැහෙනවා. තමන් තමන් එක්ක හුදෙකලා වෙද්දි තමන්ගේම ඇතුළතින් අපූරු දේවල් මුණගැහෙනවා. මේක හරියට ගඟක් වගේ. අපිට අපි එක්ක තනිවෙන්න පුළුවන් එතනදි. ඒක නිරන්තරයෙන් ගලාගෙන යනවා. ගැටළුව තියෙන්නෙ වර්තමාන සමාජයේ බොහෝ මිනිසුන්ට මේ ගඟට යන පාර අපැහැදිලි එක. මොකද තමන්ගෙ ඇතුළාන්තයෙන් ඇහෙන හඬට මිනිස්සු සංවේදී නෑ.
කවිය ඉපදෙන්නෙ මම සංවේදීම තැනදි. මම ඉතාම සංවේදියි බොහෝ දේවල්වලට. විශේෂයෙන්ම අනෙකාගේ වේදනාවේ දී මට රිදෙනවා වැඩියි. පොඩි කාලෙ ඉඳන් මගෙ ඇතුළත වැඩුණු ඒ දේවල් නිසා මට දරාගන්න අපහසු ඇතැම් හැඟීම් වචනවලට පෙරළෙනවා. එතනදි මාව නිදහස් වෙනවා. සැනසෙනවා.
ඒ සැනසීම ගැන ද ‘කණේරු’ තුළින් 24 වෙනිදා අපටත් කියන්නෙ?
ඒ පොත ඇතුළේ අනිවාර්‍යෙන්ම මගේ සැනසීම හැංගිලා ඇති. කණේරු පොත ඇතුළේ තියෙන්නෙ මම කාලයක ඉඳන් ලියපු කවි එකතුවක්. ඒ හැම කවියකටම හේතුවක් තියෙනවා. ඒවා කාටමහරි අයිතියි. ඒ මම පාරක යද්දි මගේ ඇස්වලට හසුවුණු දෙයක් වෙන්න පුළුවන්. කෙනෙක් වෙන්න පුළුවන්. මම අඳුනන්නෙ නැති වුණත් මාව සංවේදී කරවන මුහුණුවලට, ඇස්වලට, සිදුවීම්වලට මගේ හෘදසාක්ෂියෙන් වචන එළියට එනවා. ඇත්තටම මාව කම්පනය කරන දෙවල් මම වචනවලට පෙරළනවා. මම මිනිස්සුන්ට වඩා ළඟම ස්වභාවධර්මයට. මගේ කවිවල සමාජය අජීවී කියලා නම් කරන ගහ වැලට, වැස්සට, හුළඟට, අහසට තණකොළ ගහට පවා පණ ලැබිලා ඇති. ඒ කවි අස්සෙ ඒවා දැනුත් හුස්ම ගන්නවා ඇති.
මේ මොහොතේ අපේ මිනිස්සු බොහෝ තීරණ ගන්නෙ, ක්‍රියා කරන්නෙ, හිතන්නෙ පතන්නෙ හෘදසාක්ෂියට එකඟව කියලා හිතනවද?
මම එහෙම හිතන්නෙ නෑ. අඩු ගාණේ වර්තමාන සමාජයේ මිනිස්සු අඳුනන්නෙවත් නෑ, තමන් ළඟ තියෙන වටිනාම දේ ඒක කියලා. මිනිස්සු හෘදසාක්ෂියට එකඟ නම් මේ සමාජය මේ හැටි අසුන්දර, දූෂිත, රිදෙන තැනක් වෙනවද?
හෘදසාක්ෂිය ගැන දන්නෙ අවදි වුණ මිනිස්සු විතරයි. මිනිස්සු ඉන්නෙ නින්දක. එයාලා ආස එයාලගෙ නින්දට බාධා නොකරනවට සහ ඒ නින්ද අගය කරනවට. ඇස් ඇරිලා තිබුණට ඇතුළත නිද්‍රාවක. ඒ අඳුර නිසයි ආදරේ කරද්දි තදින් වැළඳගන්න තමන්ගෙ සහකරුවා හෝ සහකාරියව, මොනයම් දෙයක් නිසා හෝ වෙන් වුණොත් මරලා දාන්න තරම්, ඒ කෙනාගේ ආත්මයට පාරෙ බැහැලා යන්න බැරි තරම් ලේබල් අලවන්න තරම් දුෂ්ට වෙන්නේ මිනිස්සු. මේ නින්ද එක්ක කිසිකෙනෙක් පැහැදිලිව දෙයක් දකින්නෙ නෑ. පැහැදිලි තැනක නවතින්නෙ නෑ. මේ දිවිල්ල නවත්තලා තමන් ළඟ නැවතුණොත් හොඳටම ඇති. පිළිම ළඟ වැඳ වැටිලා සැනසීම ඉල්ලන්න ඔනෙ නෑ. තමන්ගෙ හෘදසාක්ෂිය ඉස්සරහ දණගහන කෙනා අවදි වෙනවා! අවදි වීම ළඟ අඳුර නෑ. සියල්ල පැහැදිලියි. එතකොට මිනිස්සු සුන්දරයි. ජීවිතේ රහයි.
ආගම, ජාතිය කියන සංකල්ප ගැන හංසි අවංකවම මොකද හිතන්නෙ?
අවංකවම ඔය හැම එකම හිරකූඩූ. මිනිස්සු නොදැනුවත්ම හිරවෙලා ඉන්න හිරකූඩු. ආගම, ජාතිය ඇතුළේ හිරවෙන මිනිස්සු අන්ධයි. එයාල දකින්නෙ හිරකූඩූවේ ප්‍රමාණය විතරයි. එතනින් එපිට ලෝකෙට එයාලා ගරහනවා. අනෙකාට ගිනි තියන්න තරම් ඇවිළෙන සුළු යි. කිසිම සාමයක් නෑ, ආගමට-ජාතියට හිරවුණ මිනිස්සුන්ට. මිනිස්සු විවිධ යි. එක එක්කෙනා තමන්ට ආවේණික ස්වභාවයක් දරනවා. එකිනෙකට වෙනස් සුන්දරත්වයක් දරනවා. අනෙකා තමන් වගේ නෙමෙයි කියලා පහත් කරන්න, පාගන්න, කොන් කරන්න මිනිස්සු ක්‍රියා කරනවා කියන්නෙම එයාලගෙ ඇතුළේ ජීවත් වෙන්නෙ සත්තු කියන එක යි. දෙමළ ගැහැණියකගෙ නළලෙ තිලකයට අපි වෛර කරනව නම්, සිංහල ගැහැණියගෙ නළල හිස්ව තියෙද්දි ආදරේ කරනවා නම් අපි මිනිස්සු වුණේ ඇයි කියලා මුල ඉඳන් හිතන්න වෙනවා. ඇත්තටම අපි ආගම, ජාතිය නිසා අතීතයේ ඉඳන් විඳවනවා. මේ කටු අකුළේ පැටලි පැටලි වේදනා විදිනවා. මිනිස් සුවඳ අහිමි කරගෙන තියෙනවා. සමහර ප්‍රාථමික ඔළුවලට මේ පැටලිල්ල ආතල්. මේක ලිහාගන්න ඕනේ තමන් තනිවම. ගලවගන්න අමාරුම දේත් මේක. නමුත් අපිට යමක් තේරුම් ගන්න පුළුවන් වයස ආවමත් අපිව බැඳල දාලා තියෙන යදම් ගලවන්න අපි උත්සහ කරන්නෙ නැත්තම්, එතන තමන් ගැනම ප්‍රශ්නයක් ඉතිරි වෙනවා.
හංසි අපිට කණේරු ඇට නොකා මලේ සුන්දරත්වය විඳගන්න කරන මේ යෝජනාව මොකද්ද? ඒක කියලම අපි කතා බහ අවසන් කරමු!
රාමුවෙන් එළියට ඇවිත් බලන්න. කණේරු ගහට විෂ ලේබලය ඇලවිලා තියෙන සමාජය, ඒ ගහේ දකින එකම දේ විෂ විතරයි. ඒ නිසා ලස්සනට පිපිලා තියෙන මල එයාලට මඟ හැරෙනවා. ඉතින් මම කියන්නෙ, තමන් දිහාම ආයේ හැරිලා බලන්න. එතකොට ඇස්වලින් පේනවට වඩා මිනිස්සු, හදවතින් දකිනවා. ඒ වගේම මේ වගේ කතාබහකට ඉඩක් දුන්නට Roar සිංහල කණ්ඩායමට ස්තූතියි!