Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාහිත්‍යය තුළින් ජයගත් හෙමිංවේගේ පරාජිත ප්‍රේමය

මහල්ලා සහ මුහුද නවකතාව කියවූ පාඨකයන්ට අර්නස්ට් හෙමිංවේ ලෙහෙසියෙන් අමතක නොවනු ඇත. මිනිස් සිතක පවතින අපරිමිත අධිෂ්ඨාන ශක්තිය, ධෛර්යය, ආත්ම ශක්තිය නිරූපණය වන මෙම කථාවෙහි සිටි එකම පුද්ගලයා වූ මහලු මිනිසාගේ මුවින් පැවසෙන “මිනිසකු විනාශ කරන්නට හැකි වුවත් පරාජය කරන්නට බැහැ” යන වැකියෙන් මුළු නවකතාවේම හරය පිළිබිඹු වේ. මෙම අපූරු නවකතාව රචනා කරන ලද්දේ විසිවන සියවසේ ඇමරිකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ලේඛකයා වශයෙන් සැලකෙන, සාහිත්‍ය සම්මානලාභී අර්නස්ට් හෙමිංවේ ය. මෙහි අන්තර්ගත මානව ජීවිතය පිළිබඳ සුන්දරත්වය නිසාම මහල්ලා සහ මුහුද නවකතාවට 1954 දී නොබෙල් සාහිත්‍ය සම්මානය හිමි විය.

පාසල් ජීවිතයෙන් පසුව පුවත්පත් වාර්තාකරුවකු වශයෙන් සේවය කළ ඔහුට පළමු ලෝක යුද්ධයේ දී රතුකුරුස හමුදාවේ ගිලන් රථයක් පැදවීමට ඉතාලියට යාමට සිදු වීම, ඔහුගේ දෛවය වෙනස් කළ පෙම් පුවතක ආරම්භය විය.

දෛවය වෙනස් කළ පෙම් පුවත

 

i.telegraph.co.uk – (හෙමිංවේ සහ ඇග්නස්ගේ ආදරය දළුලද්දී)

තරුණ වියේ එළිපත්තේ හුන් දහනම හැවිරිදි හෙමිංවේ ඉතාලියට පැමිනුණේ ගිලන් රථ රියැදුරකු ලෙස සේවය කිරීමට ය. නමුත් යුද පෙරමුණේ දී ඇති වූ තුවාල නිසා මිලාන්හි රතු කුරුස රෝහලකට ඇතුළත් වීමට ඔහුට සිදු වූ අතර එහිදී හමු වූ තරුණ හෙදියක් ඔහුගේ ජීවිතයේ නොමැකෙන මතකයක් ඉතිරි කළා ය. ඇමරිකානු හෙදියක වූ ඇග්නස් වොන් කුරොව්ස්කිගේ සුන්දරත්වය සහ සංග්‍රහශීලී සිනහව නිරායාසයෙන් ඇයට ආදරය කරන්නට හෙමිංවේව පෙළඹවීය. ඇග්නස්ගේ ආදරය ද නොමඳව ඔහුට ලැබුණු අතර එම ආදරය හසුන්පත් හරහා හුවමාරු වූයේ ය. නමුත් ඇතැම් ආදර බැඳියාවන් පවතින්නේ සුළු කාලයකි.

සම්බන්ධය ඇරඹීමෙන් මාස 9කට පමණ පසු උදාවූ එක් අඳුරු දිනයක ඇය ලියූ ලිපියකින් ඔහුගේ හදවත බිඳිණි. ඇය තවත් පුද්ගලයකු හා විවාහ වීමට තීරණය කර තිබුණි. ඒ වන විට ඈ හා හෙමිංවේ අතර හුවමාරු වී තිබූ පෙම් හසුන් ගණන 52 කි. එම සෑම ලිපියකින්ම ආදරබර වදන් වලින් තම හැඟීම් ප්‍රකාශ කර තිබුණි. නමුත් ඈ හෙමිංවේගේ හදවත බිඳ දමා, ඉතාලියේ වංශවත් තරුණයකු වූ ඩොමිනිකෝ කරසිලියෝ සමඟ පෙමින් බැඳී තිබුණි.

අවසන් වරට ඇය “ආදරණීය ජෝන්” යනුවෙන් හෙමිංවේ අමතා ලියන ලද ලිපියෙන් ඔවුන්ගේ අවුරුදු 7ක වයස් පරතරය පිළිබඳ ඔහුගේ අවධානය යොමු කරවමින්, ඔහුගෙන් ‘හොඳ හිතින්’ ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන් තිබුණා ය. ඇයගේ අනාගත බලාපොරොත්තුව ලෙස ඉතා ඉක්මණින් විවාහ වන බවත්, ඇගේ එකම පැතුම කරසිලියෝ බවත් එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණි.

EH 2723P Milan, 1918
wikimedia.org – ( අර්නස්ට් ගිලන් රථ රියැදුරකු ලෙස)

ඇග්නස්ගේ ඉරණම

ඩොමිනිකෝ කරසිලියෝ සමඟ පෙමින් බැඳුන ද ඇග්නස් කිසිදා ඔහු හා විවාහ නොවුණාය. බාහිරෙන් එල්ල වූ බලපෑම් හමුවේ ඒ සම්බන්ධතාවය අවසන් විය. ඇය කපටි ගැහැණියක වශයෙන් නින්දා අපහාසවලට ලක් වූ අතර, එයට හේතු වූයේ කරසිලියෝ වංශවත් ධනවත් පුද්ගලයකු වීමය.

සියල්ල එසේ නිමා වූවත් තවත් දශකයකට පසු ඇග්නස් ඔහු පිළිබඳ මතකය අවදි කළේ ඉතා මෘදු, ආචාර සම්පන්න, හොඳ ආත්මයක් ඇති ඔහු, හෙමිංවේට වඩා තමා උද්යෝගයෙන් තැබූ පුද්ගලයෙකු ලෙසය. “මා හැම අතින්ම වැටී සිටින මේ අවස්ථාවේදී ඔහුගේ ආත්මය මා ආරක්ෂා කරනු ඇතැ”යි ඇය පවසා තිබුණි.

https://pbs.twimg.com – (රතු කුරුසියේ හෙදියක වූ ඇග්නස් කුරොව්ස්කි)

හෙමිංවේගේ නවකතාවලට පාදක වූ ඇග්නස්ගේ ලිපි

ඇග්නස් සහ හෙමිංවේ අතර පැවති ආදර සම්බන්ධයේ දී හුවමාරු වූ ලිපි වල ආලය, හෘදයාංගම ආචාරය, ගෞරවය පමණක් නොව, බොළඳ අදහස් ද ගලා ගියේ අපූරු එකතුවක් නිර්මාණය කරමින් ය. සමහර අවස්ථාවල ඇය ලිපි වල අත්සන් තබා තිබුණේ ‘ඇගී’, ‘කිඩ්සි මහත්මිය’ ලෙසය. කිඩ්සි යනු අර්නස්ට් හෙමිංවේ ඇයව අමතන ලද සුරතල් නාමය විය. කෙසේ වුවද මෙම සම්බන්ධය සේම, හෙමිංවේ ලියන ලද ලිපි ද ඇයට අහිමි වූයේ ඇය එම ලිපි කරසිලියෝ වෙත ලබා දීම නිසා ය. ඔහු ඒවා පුළුස්සා දමා තිබිණ. ඒ පිළිබඳව ඇය පසු කාලයක දී බෙහෙවින් දුක් වූවා ය.

architectsandartisans.com – (ඇග්නස් හෙමිංවේට යැවූ පෙම් හසුනක්)

එම ආදරබර හැඟීම්, වදන් හෙමිංවේ ලියූ නවකතාවකට පාදක වූ අතර, ‘A farewell to arms’ නම් එම නවකතාව උසස් ආදර කතාවක් බවට බොහෝ විචාරකයින්ගේ මතයයි. එම නවකතාවට අනුව කැතරීන් බාත්ලේ නම් හෙදිය ෆ්‍රෙඩ්රික් හෙන්රි නම් නම් ගිලන් රථ රියැදුරකු සමඟ පෙමින් වෙලෙන අතර, එම ප්‍රේමය විවාහයක් බවට පත්ව ඇය තම ප්‍රථම දරුවා බිහි කිරීමේදී මිය යයි. මෙය තම ජීවිතයට සමීප අත්දැකීමක් හා සම්බන්ධ කළා ද යන්න බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් විය. සැබෑ ජීවිතයේ ඇග්නස්ගේ ආදරය සම්පූර්ණ කර ගැනීමට ඔහුට නොහැකි විය.

සිව් වතාවක් විවාහ වූ හෙමිංවේ

හෙමිංවේ හතර වතාවක් විවාහ වූ අතර සුරාවට දැඩි සේ ඇලීගැලී ජීවත් වූ පුද්ගලයකු විය. නමුත් ඇග්නස් පිළිබඳ මතකය ඔහු තුළ සදා නිධන්ව පැවති අයුරක් පළ වූයේ තමාගේ විවාහක බිරින්දෑවරුන් හතර දෙනා ඇග්නස් තරම් තමාට නොවටිනා බව නිතර පැවසීම නිසාය.

ඔහුගේ වයස් පරතරය පිළිබඳ ඇග්නස් සැලකිල්ලට ගත්ත ද, හෙමිංවේගේ පළමු බිරිඳ වූ හැඩ්ලි රිචර්ඩ්සන් ඇග්නස්ට වඩා බෙහෙවින් වැඩිමහලු කාන්තාවක වූවාය. සැබැවින්ම ඔහු තම පළමු බිරිඳට විවාහය දින රාත්‍රියේ පැවසුවේ ඇග්නස් සිය විවාහ උත්සවයට සහභාගී වනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වූ බවය.

stmedia.startribune.com – ( හෙමිංවේ සිය පළමු බිරිඳ වන හාඩ්ලි රිචර්ඩ්සන් සමඟ විවාහ වෙද්දී)

ඇග්නස්ගේ විවාහය

හෙමිංවේ විවාහ වෙද්දී ඇග්නස් යුද්ධයෙන් පසු රුමේනියාවෙ රතුකුරුස හමුදාවේ ද පසුව හයිටි රාජ්‍යයේ ද සේවය කළා ය. ඒ අතර 1928 දී රාජ්‍ය සේවකයකු වූ හොවාර්ඩ් ප්‍රෙස්ටන් ගානර් සමඟ විවාහ වූ අතර එම විවාහය අසාර්ථක විය. 1934 දී ඈ හෝටල් කළමනාකරුවකු වූ විලියම්ස් ටැකල් සමග විවාහ වූවාය. එම විවාහය ඇයගේ මරණය දක්වා පැවැති අතර එහිදී ඇයට ටැකල්ගේ පෙර විවාහයේ දරුවන් තිදෙනා ගේ රැකවරණය ලැබිණි.

ඇග්නස් නොපිළිගත් හෙමිංවේගේ නවකතාවල චරිත

කෙසේ වෙතත් නවකතාවේ සඳහන් හෙදියගේ චරිතය පිළිබඳ ඇය පවසා තිබුණේ හෙමිංවේගේ නවකතාවේ සිටින තරුණිය ඇය නොවන බවය. එසේම කැතරින් චරිතය ‘කෲර මනඃකල්පිතයක්’ බවත්, හෙමිංවේ ඔහු ගැන සිතමින් නිර්මාණය කළේ යැයි කියන ෆ්‍රෙඩ්රික් චරිතයත් ඔහුගේ චරිතයට නොගැලපෙන බවත් ඇගේ අදහස විය. ඇය එම චරිතය ප්‍රතික්ෂේප කළත්, හෙමිංවේ එම චරිත නවකතාවට ඇතුළත් කරන්නට ඇත්තේ තමාට අහිමි වූ ඇග්නස් ගැන සිතමින් බව පාඨකයින්ගේ අදහසයි.

හෙමිංවේ ඇග්නස් ජිවන ගමනට සමු දීම

ඇග්නස් – හෙමිංවේ ආදර අන්දරය නිමාවට පත් වූවත්, හෙමිංවේගේ වීරවරිය වසර 92ක් ජීවත් වූවාය. 1984 වසරේ වොෂින්ටනයේ දී ඇමරිකන් මැරයින් භටයන්ගේ ආචාර ද සමඟින් ඈ සදාකාලයටම සැතපුණේ ඇමෙරිකානු රතු කුරුසිය වෙනුවෙන් ඉතාලියේ දී කරන ලද මෙහෙය සිහි කරමින්. නමුත් ඊට වසර 23කට පෙර, දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් පීඩා විඳි හෙමිංවේ තම තුවක්කුවෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගත්තේ ය. එවිට ඔහුගේ වයස අවුරුදු 61ක් වූ අතර, මියයන විට ද පැරණි ආදර හසුන් ඔහු අසල විසිරී පැතිරී තිබීමෙන්, ඔහුගේ සදාකාලික පෙම්වතිය වූයේ ඇග්නස් බව තහවුරු වේ.

චිත්‍රපට

img.bg.sof.cmestatic.com – (‘In love and War’ චිත්රපටයේ රූප රාමුවක්)

හෙමිංවේ ආදරය සහ යුද්ධය මැයෙන් හෙමිංවේගේ ජීවිත කතාව ඇතුළත් චිත්රපටයක් 1996 දී නිර්මාණය විය. රිචර්ඩ් ඇටෙන්බරෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයට පාදක වූයේ හෙන්රි එස්.විලාඩ් සහ ජේම්ස් නගෙල් විසින් හෙමින්වෙගේ ජීවිත කතාව ඇසුරින් ලියන ලද hemingway in Love and War  නමැති කෘතියයි.

Cover Image – cf.ppt-online.org

මූලාශ්‍ර

http://www.rjgeib.com

http://www.vqronline.org/essay/jilting-ernest-hemingway

http://www.telegraph.co.uk/history/world-war-one/10561536/Ernest-Hemingway-and-the-Dear-John-letter-from-his-First-World-War-love.html

Related Articles