
තවමත් නොවිසඳුණු, අරුම පුදුම අතුරුදන්වීම් පිළිබඳ ව වූ ලිපි පෙළෙහි පසුගිය ලිපියෙන් අපි ඔබත් සමග බෙදා ගත්තේ අමෙරිකානු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූ මෝරා මරේ ගේ අතුරුදහන් වීම පිළිබඳව යි. හිම පතනය වූ දිනෙක, රාත්‍රියක සිය කාරය අනතුරකට ලක් කර ගැනීමෙන් අනතුරු ව ඇගේ අතුරුදහන් වීම සිදු ව තිබුණා. ඉන් අනතුරු ව අද වන තුරුත් කිසිවෙක් ඇය දුටුවේ නැහැ.
නිවාඩුවක් ගතකිරීම සඳහා, නෞකාවක නවාතැන් ගෙන සිටි ඇමී ලින් බ්‍රැඩ්ලිට ද බොහෝ විට අත් වී තිබෙන්නේ එවැනි ඉරණමක්.
1998 වසරේ මාර්තු මස 24 වැනි දා කැරිබියන් මුහුදේ ගමන් කළ යාත්‍රාවක දී ඇමී ලින් බ්රැඩ්ලිගේ අතුරුදහන් වීම සිදු වුණා. ඇගේ පියා එදින උදෑසන 5.30 ට පමණ ඇය එම යාත්‍රාවේ තම පවුලට ලැබී තිබූ කැබින් කාමරයෙහි සඳළුතලයෙහි ඉතා සාමකාමී ලෙස විවේක ගනිමින් සිටිනු දැක තිබෙන අතර, පෙර දින රාත්‍රියෙහි ඇය එම නෞකාවෙහි වූ රාත්‍රී සමාජ ශාලාවෙහි සාදයක් අවසන බොහෝ වෙහෙස වී පැමිණ තිබීම නිසා ඇයට කරදර කරන්නට ඔහු කැමති වී නැහැ. ඇයට විවේක ගන්නට ඉඩ හැර, මඳ වේලාවකට පසුව, එනම් උදෑසන 6 ට පමණ නැවත ගොස් බැලීමේ දී ඇය බැල්කනියේ සිට නැහැ. ඒ කිසිවෙක් ඇය සජීවී ව දුටු අවසන් අවස්ථාව යි.

දින ගණනක නැව් සවාරියක්
බ්රැඩ්ලි පවුල කැරිබියන් මුහුදේ දිවෙන ‘රැප්සෝඩි ඔෆ් ද සීස්’ නම් නෞකාවට නැග තිබුණේ ඇමීගේ අතුරුදහන් වීමට දින 4 කට පමණ පෙර යි. එය කැරිබියානු මුහුදෙහි පවතින ‘ඇන්ටලීස්’ දූපත වෙත ගමන් කරමින් තිබුණා. ඇන්ටලීස් හී කුරකාවෝ හි මෙය නැවැත්වීමට සැලසුම් කොට තිබූ අතර, ඒ වන තුරු සෑම දිනක ම රාත්‍රී කාලයේ එහි සමාජශාලාවේ විවිධාකාරයේ උත්සව පැවැත්වුණා.
ඇමී හා ඇගේ සොයුරු බ්‍රැඩ් මේවාට නොවැරදීම සම්බන්ධ වූ අතර සමහර විටෙක ඔවුන් තම කැබින් කාමරවලට ගියේ පාන්දර ජාමයේ යි. අදාළ දිනයේ ද බ්‍රැඩ් නැවත සිය කැබින් කාමරය වෙත පැමිණ තිබුණේ පාන්දර 1 ට පමණ යි. ඇමී හා බ්‍රැඩ් සමාන්‍යයෙන් එකට නැවත කාමරවලට පැමිණියත්, එදින යම් වෙනසක් සිදු වුණා. ඇය අසල වූ, සංගීත කණ්ඩායම වෙත ගොස්, ඔවුන් සමග කදයකට වැටුණු අතර, දැඩි නිදිමතක් දැනෙන්නට වූයෙන් බ්‍රැඩ් කාමරයට තනිව ම පැමිණ නින්දට වැටුණා. ඒ ඔහු තම සොයුරිය දුටු අවසන් වතාව යි.
විවිධාකාරයේ සැක සංකා
ඇමී ලින් බ්රැඩ්ලි පිළිබඳ ඔහුගේ පවුලේ අය වරුවක් පුරාවට සෝදිසි කිරීම් සිදු කළා. නැවෙහි අස්සක් මුල්ලක් නෑර ඇය සෙවූව ද, ඇය පිළිබඳ කිසිදු ආකාරයක හෝඩුවාවක් හමු වූයේ නැහැ. ඒ වන විටත් මේ පිළිබඳ ව නැවෙහි කපිතාන්වරයා හා නැව් සමාගම දැනුම්වත් කර තිබූ අතර, ඔවුන් ඒ පිළිබඳ ව එතරම් උනන්දුවකින් කටයුතු නොකිරීම විශේෂිත වුණා. අවසන නැව කුරකාවෝ වෙත පැමිණි අතර එහි දී පොලිසියේ සහය ලබා ගන්නට ඔවුනට හැකි වුණා. කෙසේ නමුත් නැව තුළ කොතැනකවත් ඇය නොමැති බැව් ඉක්මනින් ම ඔවුනට වැටහී ගියා.

නැවේ කාර්ය මණ්ඩලයට මුලින් ම චෝදනා
බ්රැඩ්ලි පවුල මේ පිළිබඳ ව මුලින් ම චෝදනා එල්ල කළේ නැවේ කාර්ය මණ්ඩලයට යි. ඇගේ අතුරුදහන්වීම දැනුම් දුන් විට ඔවුන් හැසිරුණු උදාසීන විලාසය ඊට හේතු වුණා. මේ නිසා ඇගේ අතුරුදහන් වීම පිටුපස චේතනාන්විත ව ම ඔවුන් සිටින බැව් බ්‍රැඩ් ප්‍රකාශ කළා. විශේෂයෙන් ඇය සොයා ගන්නා තුරු නැව ගොඩබිමට ගෙන ඒම සිදු නොකර, මුහුදෙහි තබා ගැනීම ඔවුන් මුල දී ම ප්‍රතික්ෂේප කර තිබුණු අතර, මෙය එවේලෙහි අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු ව තිබුණේ යම් කිසිවෙක් ඇය පැහැරගෙන සිටිනවානම් ඔහු හෝ ඔවුන් නැවෙන් පිටවීම වලක්වාලීම සඳහා යි. ඇගේ අතුරුදහන් වීම පිළිබඳ ව නැවෙහි අනතුරු හැඟවීමේ සන්නිවේදන පද්ධතිය ඔස්සේ, එහි මගීන් දැනුම්වත් වෙන පරිදි ප්‍රචාරය කිරීම ද කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබුණා.
විශේෂ ම කාරණාවක් වූයේ ඇමී හොඳින් ජීවිතාරක්ෂක පුහුණුව ප්‍රගුණ කළ අයකු වීමයි. මේ නිසා හදිසි අනතුරකින් ඇය මුහුදට වැටී, ගිලී ගියා යන්න කිසිසේත් ම සිදු විය නොහැකි බැව් කාගේත් මතය වුණා. නැවේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් රාත්‍රී සමාජ ශාලාවේ දී ඇය දෙස කෑදර බැලුම් හෙළමින් සිටිනු බ්‍රැඩ් දැක තිබුණා. මේ නිසා ඔහු බිය පළ කළේ තම සොයුරිය ඔවුන් පැහැරගෙන ගොස් ලිංගික ශ්‍රමික වෘත්තියේ බලහත්කාරයෙන් යොදවන්නට උත්සාහ ගනිමින් සිටින්නට ඇති බව යි.
ඇමී පිළිබඳ ලැබුණු දූෂමාන ආරංචි
දින කිහිපයක් නැව හා, එය ගොඩබට වරායෙහි සෝදිසි කිරීම් සිදු කළ ද ඇමී පිළිබඳ ව කිසිදු තොරතුරක් හමු වූයේ නැහැ. මේ නිසා කෙමෙන් කෙමෙන් පර්යේෂණවල තීව්‍රතාව අඩු වී ගියා. කෙසේ නමුත් පසුකාලීන ව කිහිපදෙනෙක් ඇය යැයි සැක කළ හැකි අයෙක් දුටු හෝ හමු වූ බවට වාර්තා කර තිබුණා. 1998 වසරේ අගෝස්තු මාසයේ යමෙක් පවසා සිටියේ ඇමීගේ ශරීරයේ තිබූ පච්චා සලකුණු එලෙස ම පවතින අයකු දුටු බව යි. ඊට පසු වසරේදී නාවුක හමුදාවේ අයකුට සමාජ ශාලාවක දී ඇමී ලින් බ්රැඩ්ලි යනුවෙන් තමන් හඳුන්වා ගත් අභිසරු ලියක හමු වී තිබෙනවා. ඇය ඔහුට පවසා තිබුණේ එහි හිමිකරුවන් තමන්ට ඉන් ඉවත් වී යාමට ඉඩ නොදෙන බව යි.

ඇමී ලින් බ්රැඩ්ලි පිළිබඳ ව වඩාත් කතාබහට ලක් වූ සිද්ධිය වාර්තා වූයේ 2005 වසරේදී යි. එම වසරේදී බ්රැඩ්ලි පවුලට ඡායාරූපයක් සහිත ඊමේල් පණිවිඩයක් ලැබුණා. එහි වූයේ ඇමීට සමාන පෙනුමක් තිබූ අයෙක්. ඇය සරාගී ඇඳුම් ආයිත්තම් වලින් සැරසී, අඳක් මත සිටිනු එහි වුණා. මේ පිළිබඳ ව වහාම බ්රැඩ්ලි පවුලේ අය පොලිසිය දැනුම්වත් කළ අතර, පොලිසිය පර්යේෂණ නැවත ආරම්භ කළා. නමුත් පුදුමයට මෙන් ඒ පිළිබඳ ව කිසිදු සාධනීය තොරතුරක් සොයාගන්නට කිසිවකුත් මේ වන විටත් සමත් වී නැහැ.
ඇමී ලින් බ්රැඩ්ලි කොහිද?
අද දින වන විටත් ඇමී ලින් බ්රැඩ්ලි පිළිබඳ ව නිශ්චිත තොරතුරක් සොයා ගන්නට කිසිවකුත් සමත් වී නැහැ. මේ වන විට ඇය ජීවත් ව සිටිනවානම් මැදි වියේ පසු විය යුතු අතර, බොහෝ විට ඇය අප්රසිද්ධියේ හෝ, කිසිවකුගේ අණකට යටත්ව ජීවත් වන බැව් වැඩි දෙනාගේ මතය යි.