Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තාවන් විසින් පාලනය කරන ඉන්දියාවේ පළමු දුම්රිය ස්ථානය

අපි හැම දෙනාම ගමන් බිමන් යන්න පොදු ප්‍රවාහන සේවය භාවිතා කරනවා. බස් රථයේ හෝ දුම්රියේ රැකියාවට, අධ්‍යාපන ස්ථානයට වගේම වෙනත් අවශ්‍යතා සඳහාත් යන පිරිස් බොහෝමයි. ඔබ දැකලා තියෙනවද ලංකාවේ, සේවක මණ්ඩලය කාන්තාවන් පමණක් වුණු දුම්රිය ස්ථානයක් හෝ බස් නැවතුම්පළක්? ලංකාවේ එහෙම දෙයක් අහන්න දකින්න නැති වුණාට අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන් නම් එහෙම ආරංචියක් අහන්න ලැබෙනවා. ඒ ගැන දැන ගන්න කැමති ඔබට මේ ලිපිය බොහෝ ප්‍රයෝජනවත් වේවි.

i.ytimg.com

කාන්තාවන් විසින් පමණක් පාලනය වන මටුංගා දුම්රිය ස්ථානය

මටුංගා (Matunga) දුම්රිය ස්ථානය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ යි. 2017 ජූනි 5 වෙනිදා සිට මෙම දුම්රිය ස්ථානයේ පාලනය සම්පූර්ණයෙන්ම කාන්තාවන්ට ලබා දී තිබෙනවා. මේ සිදු වීමත් සමඟම මටුංගා, කාන්තාවන් විසින් පාලනය කරන, ඉන්දියාවේ පළමු දුම්රිය ස්ථානය බවට පත් වෙනවා.

cdn3.mycity4kids.com

කාර්යය මණ්ඩලය

දුම්රිය ස්ථානාධිපතිගේ සිට පිරිසිදු කරන්නා දක්වා සියළුම දෙනා කාන්තාවන් වූ මෙම දුම්රිය ස්ථානයේ 41 දෙනෙකුගෙන් යුත් කාන්තාවන් පිරිසක් සේවය කරනවා. ඔවුන් 41 දෙනා වන්නේ දුම්රිය ස්ථානාධිපතිනිය, ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නියන් 17 දෙනෙක්, දුම්රිය සේවයේ නියුතු කාන්තා පොලිස් නිලධාරිනියන් හය දෙනෙක්, නිවේදිකාවන් දෙදෙනෙක්, දුම්රිය එක් දුම්රිය මාර්ගයකින් අනෙක් දුම්රිය මාර්ගයට මාරුවෙන අවස්ථා පරීක්ෂා කරන්නියන් පස් දෙනෙක්, ප්‍රවේශපත් පරීක්ෂා කරන්නියන් අට දෙනෙක් සහ පිරිසිදු කරන්නියන් දෙදෙනෙක් යන අයයි.

www.examlover.com (ස්ථානාධිපතිනිය සහ සේවකයින්)

ගැටළු

කාන්තා දුම්රිය ආරක්ෂක බලකායේ (RPF – Railway Protection Force) නිලධාරිනියන් සිටීම නිසා මෙහි සේවය කරන අනෙක් කාන්තාවන්ට සේවය කරන්නට සුදුසු ආරක්ෂාකාරී වටපිටාවක් නිර්මාණය වී තිබෙන බව සේවක මණ්ඩලය පවසනවා. කෙසේ නමුත් ආරක්ෂාව පිළිබඳ ගැටළු මතුවන යම් යම් අවස්ථාද නැතුවා නොවෙයි. ඒ පිළිබඳව එක් ආරක්ෂක නිලධාරිනියක් මෙසේ අදහස් ප්‍රකාශ කර තිබුණා.

“රෑ 11ට ඇරඹෙන අපේ රාත්‍රී වැඩමුරය අවසන් වෙන්නේ උදෑසන 8ට. මේ කාලය තුළ තමයි මත්කුඩු වලට ඇබ්බැහි වූවන් සහ මත්පැන් පානය කළ පිරිස් වැඩිම ප්‍රමාණයකින් මේ අවට සැරිසරන්නේ. ඒ වගේම මුඩුක්කු වල ජීවත් වන පසුම්බි සොරා ගන්නන්ද මෙහි බහුලයි. හදිසියේ මඟියෙක් අසනීප වූ විට අපට ඔහුව ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු කරන්නට තවත් මඟීන් කිහිප දෙනෙකුගේ උදව් අවශ්‍ය වෙනවා.”

මෙහි යටිතල පහසුකම් වලද යම් යම් ගැටළු පවතින බව සේවිකාවන් පවසා සිටිනවා. වැසිකිළි පිටත පැවතීම එවන් ගැටළුවක්. කාන්තා දුම්රිය ආරක්ෂක බලකායේ ඉල්ලීමකට අනුව පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රාත්‍රී කාලයේදී මටුංගා දුම්රිය ස්ථානයේ සේවය කරන්නේ ආරක්ෂාව පිළිබඳ ගැටළු පැවතීම නිසයි.

www.indian7.in

දුම්රිය ස්ථානාධිපතිනිය වන මම්ටා කල්කානි

ඕනෑම අළුත් ව්‍යාපෘතියක් ආරම්භයේදී ගැටළු මතු වීම සාමාන්‍ය දෙයක්. කාන්තාවන් පමණක් සේවය කරන මටුංගා දුම්රිය ස්ථානය සම්බන්ධවත් එය එසේමයි. නමුත් මෙහි දුම්රිය ස්ථානාධිපතිනිය වන මම්ටා කල්කානි (Mamta Kulkarni) තම සේවක පිරිස නිරතුරුව ධෛර්යයමත් කරමින් මෙය සාර්ථක කර ගැනීම වෙනුවෙන් කැප වී ක්‍රියා කරනවා. කල්කානි මහත්මිය දුම්රිය සේවයට එකතු වන්නේ 1992 වර්ෂයේදී වන අතර මුම්බායේ පළමු දුම්රිය ස්ථානාධිපතිනිය වීමේ ගෞරවය හිමි වන්නේත් ඇයටයි.

“දුම්රිය ස්ථාන ආශ්‍රිත, මගේ වසර 25ක වෘත්තීය ජීවිතයේ කිසි දිනෙක කාන්තාවන් පමණක් සේවයේ නියුතු දුම්රිය ස්ථානයක රැකියාව කිරීම ගැන මම සිතා තිබුණේ නැහැ. අපි මෙහි එකම පවුලක් ලෙස වගකීමෙන් සහ සහයෝගයෙන් වැඩ කරගෙන යනවා. අපට යම් යම් ගැටළු කිහිපයකට මුහුණ දෙන්නට සිදු වුණත් දැන් අපි ඒවා අපේ වෘත්තීය ජීවිතයේ වගකීමක් ලෙස සලකා ඊට සුදුසු ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා.”

මටුංගා දුම්රිය ස්ථානාධිපතිනිය වරක් එසේ පවසා තිබුණා.

මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ වුයේ ඇයි?

කාන්තාවන්ට, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සහ වෘත්තීයමය ජීවිතය ගැන තමන්ටම තීරණ ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ සංකල්පය මූලික කරගෙන මෙම ව්‍යාපෘතිය අරඹා තිබෙනවා. මේ වන විට කල්කානි මහත්මියගේ මඟ පෙන්වීමත් සමඟ මටුංගා දුම්රිය ස්ථානයේ කාර්යය මණ්ඩලය සාර්ථකව මාස 6කට වැඩි කාලයක් තිස්සේ සේවය කරගෙන යනවා.

පිහිටීම (Wikimedia.org)

මතුව ඇති අභියෝග

මටුංගා දුම්රිය ස්ථානයේ සේවිකාවන්ට කාන්තා පාර්ශවය සමඟ පමණක් නොවෙයි පිරිමි පාර්ශවය සමඟත් කටයුතු කරන්නට සිදු වනවා. බොහෝ අවස්ථාවල ගැටළු ඇති වන්නේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී සහ පරීක්ෂා කිරීමේදීයි. එහිදී ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට පසුබට නොවන නිසා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටළුද යම්තාක් දුරට විසඳී තිබෙනවා.

ආසියාවේම ප්‍රථම දුම්රිය රියැදුරුවරිය වූ සුරේඛා ශංකර් යාදෙව්

www.thebetterindia.com

ඉන්දියාවේ  දුම්රිය ඉතිහාසයේ පමණක් නොව ආසියාවේත් ප්‍රථම කාන්තා දුම්රිය රියැදුරුවරිය වන්නේ සුරේඛා ශංකර් යාදෙව්ය. 1988 දී ඇය ඉන්දියාවේ ප්‍රථම කාන්තා දුම්රිය රියැදුරුවරිය බවට පත් වූවා. ආරම්භයේදී ඇය පදවන ලද්දේ මධ්‍යම දුම්රිය මාර්ගයේ ධාවනය වූ කාන්තාවන්ට විශේෂ වූ දුම්රියයි. සුරේඛා යදෙව්ගේ අඩි පාරේ යමින් අද වන විට ඉන්දියානු කාන්තාවන් 50 කට අධික පිරිසක් එරට නගරාසන්න සහ ප්‍රධාන දුම්රිය පදවනු ලබනවා.

Limca Book of Records හෙවත් ඉන්දියානුවන් සාර්ථකත්වය

Limca Book of Records  ලෙස හැඳින්වෙන්නේ මව් රටේදී සහ ඉන් එපිටදී ඉන්දියානුවන් සාර්ථක වූ අවස්ථා සඳහන් වන කෘතියක්. මෙය යහපත් වෙනසක් කරමින් සාර්ථකත්වයට පත් වීමටත්, මතකයේ රැඳෙන්නටත් කැමැති බොහෝ ඉන්දියානුවන්ට හොඳ අවස්ථාවක්. මෙහි සඳහන් වෙන සිදුවීම් විශාල විෂය පරාසයක විහිදෙනවා. ජනප්‍රිය, සාර්ථක චරිත වල ජීවිත තොරතුරු, අධ්‍යාපනය, කෘෂි කර්මය, වෛද්‍ය විද්‍යාව, ව්‍යාපාර, ක්‍රීඩා, සොබා දහම, සිනමාව සහ ගුවන් විදුලිය ආදී පරිච්ඡේද වශයෙන් බෙදා විස්තර කෙරෙන තොරතුරු රාශියක් මෙහි අඩංගුයි.

කාන්තාවන්ගේ පාලනය යටතේ ඉතා සාර්ථකව මාස 6කට වැඩි කාලයක් තිස්සේ මටුංගා දුම්රිය ස්ථානය පැවතීම සම්බන්ධව 2018 දී නිකුත් කරන Limca Book of Records හි ඇතුළත් කිරීමට යන බව පැවසෙනවා. එය මෙම කටයුත්ත ආරම්භ කිරීමට මුල් වූ මුම්බායිහි ප්‍රධාන දුම්රිය පාලක ඩී.කේ. ෂර්මා මහතාටත්, මටුංගා දුම්රිය ස්ථානාධිපතිනිය සහ කාර්යය මණ්ඩලයටත් ගෞරවයක් වනු ඇති.

කවරයේ පින්තූරය – https://i.ytimg.com

මූලාශ්‍ර – http://topyaps.com/matunga-indias-first-all-women-staffers-station

https://www.thefreedictionary.com/pointsman

https://economictimes.indiatimes.com/magazines/panache/indias-first-all-women-railway-station-in-mumbai-enters-limca-records/articleshow/62429380.cms

https://timesofindia.indiatimes.com/indias-first-all-women-railway-station-in-mumbai-enters-limca-records/articleshow/62429408.cms

https://www.indiatoday.in/pti-feed/story/cr-hands-over-matunga-railway-station-to-all-women-staffers-997067-2017-07-12

https://www.ndtv.com/mumbai-news/in-a-first-all-women-crew-to-operate-matunga-station-in-mumbai-1724528

https://www.thebetterindia.com/108499/mumbais-matunga-railway-station-gets-an-all-women-staff/

http://www.thehindubusinessline.com/economy/logistics/matunga-station-enters-limca-book-for-allwoman-staff/article10021951.ece

https://ipfs.io/ipfs/QmXoypizjW3WknFiJnKLwHCnL72vedxjQkDDP1mXWo6uco/wiki/Matunga_railway_station.html

http://indianexpress.com/article/cities/mumbai/maharashtra-all-women-crew-at-matunga-station-safety-and-infrastructure-issues-emerge-4725230/

Related Articles