Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේශීය අල වර්ග පහක් හඳුනාගනිමු

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මෙරට ජීවත් වුණු මිනිසුන් විවිධ අල වර්ග අනුභව කළා. එකල වනාන්තර ආශ්‍රිතව වැවුණු විවිධ අල ප්‍රභේදයන් මිනිසාගේ ප්‍රධාන ආහාරයක් බවට පත්වුණා. වසර දහස් ගාණක් පුරාවට ලංකාවේ ජීවත් වුණු මිනිසුන් පරිභෝජනය කළ දේශීය අල වර්ගවලට නරක කාලයක් උදා වුණේ මෙරටට අර්තාපල් වගාව හඳුන්වාදීමෙන් පසුව යි. 

1951 වසරේ දී පමණ අප රට තුළ අර්තාපල් වගාව ආරම්භ කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. ඒ, නිසි වගා ක්‍රම අනුගමනය නොකිරීමෙන් ඇති වුණු පළිබෝධ හානි නිසා යි. ඉන් පසුව 60 දශකය තුළ නැවතත් ආරම්භ කළ අර්තාපල් වගාව සාර්ථක වුණා. එම නිසා 70 දශකය තුළ අර්තාපල් බෝගය ලාංකිකයන් අතර ජනප්‍රිය වන්නට පටන් ගත්තා. පසුගිය දශක පහ තුළ එම ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් වර්ධනය වුණු නිසා අද වන විට අර්තාපල් අපට නැතුවම බැරි බෝගයක් බවට පත්ව තිබෙනවා. 

එලෙස අර්තාපල් අප රට තුළ ජනප්‍රිය වීමත් සමගම දේශීය අල වර්ගවලට තිබුණු ඉල්ලුම අඩු වුණා. එසේම නාගරීකරණය ක්‍රමයෙන් වැඩිවන විට දේශීය අල වර්ග වඳවී යන්නට පටන් ගත්තා. එම නිසා වර්තමානයේ දී සමහර දේශීය අල වර්ග වෙළඳපොල තුළ දකින්නට නැහැ. නමුත් අප රට තුළ තවමත් වගා කරන දේශීය අල වර්ග කිහිපයක් තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ එවැනි දේශීය අල වර්ග පහක්. 

ඉන්නල (රටල)

තෙත් කලාපය තුළ බහුලවම දක්නට ලැබෙන මෙම අල වර්ගය රත්නපුර, ගම්පහ, මාතලේ, කෑගල්ල, ගාල්ල, මහනුවර වැනි දිස්ත්‍රික්ක තුළ පහසුවෙන් වගා කළ හැකියි. එසේම අතරමැදි සහ වියළි කලාපවලත් විශේෂිත තත්ත්ව යටතේ ඉන්නල වගා කළ හැකියි. මෙම අල වර්ගය වගා කිරීම සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ හොඳින් ජලවහනය වන සැහැල්ලු ලෝම පස යි. සාමාන්‍යයෙන් තෙත් කලාපය තුළ ඉන්නල වගා කරන්නේ යල කන්නයේ වර්ෂාවත් සමගින් ජූනි සහ ජූලි මාසවල යි. එසේම සහ අතරමැදි කලාපවල ඉන්නල වගා කරන්නේ මහ කන්නයේ වැසි සමගින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල යි. 

දැනට ප්‍රධාන වශයෙන් වගා කරන ඉන්නල වර්ග දෙකක් තිබෙනවා. ඒ දිගටි ඉන්නල සහ බෝල ඉන්නල යි. ඉන්නල හෙවත් රටල බොහෝවිට ආහාරයට ගන්නේ ව්‍යාංජනයක් ලෙස යි. මෙම අල වර්ගය රසයෙන් අඩු වුණත් ගුණයෙන් වැඩි නිසා බොහෝ දෙනෙකු ආහාරයට ගන්නවා. පහත දක්වා තිබෙන්නේ ඉන්නලවල තිබෙන පෝෂ්‍ය ගුණය සහ ඖෂධීය ගුණය යි.

1) අනිකුත් අල වර්ගවලට වඩා මෙහි පිටි ගතිය අඩු යි. එසේම තෙල් සහ සීනි ප්‍රමාණය අඩු යි. නමුත් මෙම අල වර්ගයේ ප්‍රෝටීන්, යකඩ, සහ ඛනිජ ලවණ බහුලව ඇති නිසා පෝෂ්‍ය ගුණයෙන් වැඩියි. 

2) ඉන්නලවල සීනි මට්ටම අඩු නිසා දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු යි. එසේම නීරක්තිය නැති කරයි. 

3) අධික තරබාරුව අඩු කර, කෑම රුචිය වැඩි කරයි.

4) කොලෙස්ටෙරෝල්, අධික රුධිර පීඩනය, රුධිර වාහිනීවල රෝග, මළ බද්ධය, ප්‍රෝටීන් ඌනතා රෝග, මුත්‍රා දැවිල්ලට සහනයක් ලබා දෙයි. 

ඉන්නල හෙවත් රටල (news.lk)

බතල 

අප රටේ සෑම ප්‍රදේශයකම වාගේ වැවෙන බතල ලාංකිකයන් අතර ඉතාමත් ජනප්‍රිය අල වර්ගයක්. මෙම අල වර්ගය වර්ධනය වන මුල් කාලයේ දී වර්ෂාව ලැබීමත්, අල හටගන්නා කාලයේ දී වියළි දේශගුණයක් තිබීමත් වඩාත් හිතකර යි. බතල වගාවට වඩාත් යෝග්‍ය වන්නේ ජලය හොඳින් බැස යන වැලි ලොම් සහිත පස යි. මැටි පසෙහි බතල වගා කළ විට අස්වැන්න අඩු වී යාමට තිබෙන ඉඩ වැඩියි. ලංකාව තුළ බතල ප්‍රභේද රැසක් වගා කරනු ලබනවා. පහත දක්වා තිබෙන්නේ ඒ පිළිබඳව යි.

1) CARI-9                          2) CARI-273

3) CARI-426                      4) වාරියපොල රතු 

5) රණ බිම                           6) BW-8 (ශාන්ති)

7) BW-21 (චිත්‍රා)                  8) ගන්නෝරුව සුදු 

9) වාරියපොල සුදු 

බතල තම්බා හෝ ව්‍යාංජනයක් ලෙසින් ආහාරයට ගත හැකියි. රසයෙන් සහ ගුණයෙන් අනූන බතලවල කාබෝහයිඩ්‍රේට බහුලව අඩංගු යි. එසේම විටමින් A, B6, C අඩංගු වෙයි. ඊට අමතරව යකඩ සහ කැල්සියම් අඩංගු නිසා බතල පෝෂ්‍යදායක ආහාරයක් ලෙස හැඳින්විය හැකියි.

බතල වර්ග (doa.gov.lk)

රාජ අල 

ඉතාමත් අලංකාර දම් පැහැයකින් යුක්ත මෙම අල වර්ගය බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ආහාරයක්. සාමාන්‍යයෙන් තෙත් කලාපය තුළ බහුලවම දක්නට ලැබෙන රාජ අල වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශවලත් වගා කළ හැකියි. මෙම අල වර්ගය තම්බා හෝ ව්‍යාංජනයක් ලෙසින් ආහාරයට ගත හැකියි. මෙම අල වර්ගයේ පිෂ්ඨය අධික නිසා ප්‍රධාන ආහාර වේලක් ලෙස ගැනීමට සුදුසු යි. 

රාජ අල කිරි වඩවන ආහාරයක් බව දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන්ව තිබෙනවා. එම නිසා කිරිදෙන මව්වරුන්ට මෙය ඉතාමත් හොඳ ආහාරයක්. ගුණයෙන් ඉහළ දේශීය අල වර්ගයක් වන රාජ අලවල යකඩ, කැල්සියම්, පොටෑසියම්, ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රෝටීන අඩංගු වනවා. රාජ අල ජලයට දමා තැම්බීම නිසා එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය විනාශ වන බව පර්යේෂණ මඟින් සොයා ගෙන තිබෙනවා. එම නිසා රාජ අල තැම්බීමේ දී අවම ජල ප්‍රමාණයක් භාවිතා කිරීම වඩාත් සුදුසු යි. එසේම රාජ අල දියවැඩියාවට සහ කොලෙස්ටරෝල් යන රෝග සඳහා ගුණදායක බව දේශීය වෛද්‍යවරුන්ගේ පවසා සිටිනවා.

තැම්බූ රාජ අල (අත්තම්මාගේ අත්බෙහෙත්)

කිරි අල 

සෙවණ ලැදි බෝගයක් වන කිරි අල ගෙවතු, ඕවිටි බිම්, බෑවුම් ආශ්‍රිතව මහා පරිමාණයෙන් වගා කළ හැකියි. එසේම මෙම අල වර්ගය ලංකාවේ බොහෝ ප්‍රදේශවල වගා කළ හැකි නිසා ගොවියන් අතර වඩාත් ජනප්‍රිය යි. මෙම අල වර්ගය සෙවණට දක්වන ලැදියාව නිසා තෙත් සහ අතරමැදි කලාපවල පොල් සහ කෙසෙල් බෝග සමග අතුරු බෝගයක් ලෙසින් වගා කළ හැකියි. පළිබෝධ හානි සහ කෘමි හානි අවම මට්ටමක පවතින නිසා අඩු අවදානයක් යොමු කළ යුතු වගාවක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා. 

බොහෝ විට කිරි අල ව්‍යාංජනයක් ලෙසින් ආහාරයට ගනියි. මෙම අල වර්ගයේ අල පමණක් නොව කොළ ද ආහාරයට ගනියි. රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන ආහාරයක් වන කිරි අල වගාවක් ලෙස සිදුකරනු ලබනවා. ලංකාව තුළ වගා කරන කිරි අල ප්‍රභේද පහත පරිදි යි.

1) ඉසුරු 

2) රතු කිරි අල 

3) අඩ දම් කිරි අල 

4) කහ ඉරි කිරි අල 

5) දම් කිරි අල 

කිරි අල (no foods style)

බුත්සරණ 

බුත්සරණ අල වර්ගය බොහෝ ගෙවතු ආශ්‍රිතව දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මීටර් 2ක් පමණ උසට වැඩෙන බුත්සරණ ශාකයක පත්‍රයක් සෙ.මී 30-40 අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙයි. සුලබව දක්නට ලැබෙන බුත්සරණ වර්ගයේ පත්‍ර දම් පැහැතියි. නමුත් පත්‍ර කොළ පැහැති ප්‍රභේදයක් ද දක්නට ලැබෙනවා. එම ප්‍රභේදයන් දෙක රතු බුත්සරණ සහ සුදු බුත්සරණ ලෙසින් හඳුන්වනවා. තරමක් පැණි රස ගතියෙන් යුත් මෙම අල වර්ගය තම්බා ආහාරයට ගන්නවා. බුත්සරණ අලවලින් ලබාගන්නා පිටි, කිරි සහ සීනි සමගින් මිශ්‍ර කර රසවත් තලපයක් සාදාගත හැකියි. සෙංගමාලය, මල බද්ධය වැනි රෝගවලින් පෙළෙන අය සඳහා මෙම අල ලබාදෙනවා. බුත්සරණ කොළ සහ මල් සර්ප විෂ නැසීම සඳහාත් භාවිතා කරනවා.

බුත්සරණ අල  (BFN)

කවරයේ ඡායාරූපය- රාජ අල (voice of ceylon)

මූලාශ්‍රයයන්- doa.gov.lk

Related Articles