Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිව්විසි ආශ්‍රමයන්ට සෙවණ සැලසූ මෙතෙඕරා ගිරි කුළු

මධ්‍යම ග්‍රීසියේ මෙතෙඕරා භූ දර්ශන මධ්‍යයේ පිහිටි වැලිගලින් සැදි උස් ගිරි කුළු අතරේ ගොඩ නංවා ඇති ඉපැරණි ආශ්‍රමයන් හි නැගෙනහිර ඕතඩොක්ස් පල්ලියට අයත් පූජකරුවන් සහ සොයුරියන් හැට දෙනෙක් වාසය කරන බව ඇසීම විශ්මයජනක පුවතක්. සියවස් ගණනාවක් තිස්සේ මෙතෙඕරා ගිරි කුළු අනවශ්‍ය අමුත්තන්ගෙන් මේ සොඳුරු ආශ්‍රමයන් සඟවාගෙන සිටිය ද වර්තමානයේ දී මෙතෙඕරා හි නැගෙනහිර ඕතඩොක්ස් පල්ලියට අයත් ආශ්‍රම, ග්‍රීසියේ පිහිටා ඇති ඉහළ ම සංචාරක ආකර්ෂණයක් හිමි ස්ථානයන් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ.

© Matthew Aherne

මෙතෙඕරා ගිරි කුළු පිහිටා ඇත්තේ ඇතැන්ස් නුවර සිට පැය කිහිපයක දුරින් පිහිටි තේසලී තැනිතලාව අද්දර යි. කාලම්බකා නගරය සිට බැලූ විට නෙත් පිනවන මනරම් දසුනක් මවන මෙතෙඕරා ගිරි කුළු වටා නිදහසේ පාවෙන වලාකුළු හේතුවෙන් ඒවා ඈතට ගුවනේ එල්ලී ඇති චමත්කාරජනක ගල් ටැඹ සමූහයක් සේ දිස් වන බව පැවසීම අතිශයෝක්තියක් නෙමෙයි.

සියවස් ගණනක් මිනිසාට සෙවණ සැපයූ ගල් ලෙන්

පුරාවිද්‍යාඥයින් අනාවරණය කරගෙන ඇති සාක්ෂි අනුව මෙතෙඕරා හි ගිරි කුළු මිනිස් වාසස්ථාන ලෙස භාවිතා කිරීම ආරම්භ වී දැනට වසර 50,000 ක පමණ කාලයක් ගත වී තිබෙනවා. මෙතෙඕරා හි දී දක්නට ලැබෙන මිනිසා විසින් ගොඩ නංවන ලද තියෝපෙට්‍රා ගල් ලෙන නිර්මාණය කර ඇත්තේ අදින් වසර 23,000 කට පමණ පෙර යි. මෙසේ මිනිස් වාසස්ථානයක් බවට පත් වූ මෙතෙඕරා හි ගිරි කුළු එතැන් පටන් අඛණ්ඩව සියවස් ගණනක් මුළුල්ලේ මිනිසාට සෙවණ සපයා තිබෙනවා. නමුත් එහි ක්‍රිස්තියානි ආශ්‍රම ගොඩ නංවා ඇත්තේ 14 වැනි සියවසේ දී යි.

(© Ava Babili)
තියෝපෙට්‍රා ගල් ලෙන

ක්‍රිස්තු වර්ෂ 1344 දී ඇතැනාසියෝස් කොයිනෝවිටීස් (Athanasios Koinovitis) නම් පූජකවරයා, ඔහුගේ අනුගාමිකයන් පිරිසක් ද කැටුව ඒ ප්‍රදේශයේ වාසය කළ බව පැවසෙන පැවිදි තාපසවරයෙක් සොයාගෙන මෙතෙඕරා බලා පැමිණ තිබෙනවා. තාපසතුමා, ඇතැනාසියෝස් කොයිනෝවිටීස් ඇතුළු පිරිසට මෙතෙඕරා හි ගිරි කුළු අතර නිදහසේ සැරසරන්නට අවස්ථාව සලසා දී ඇති අතර දක්නට ලද ස්වර්ගය හා සම සොඳුරු දසුනෙන් සතුටට පත් වූ පූජකතුමා, තවුසාගේ අවසරය ඇතිව ක්‍රිස්තු වර්ෂ 1356 – 1372 අතර කාලයේ දී මෙතෙඕරා හි ක්‍රිස්තියානි ආශ්‍රමයක් ගොඩ නංවා එය ‘ශ්‍රේෂ්ඨ මෙතේඔරොන් ආශ්‍රමය’ ලෙස නම් කළා.

© Dimitrios Lamprou

16 වැනි සියවස වන විට දී මෙතෙඕරා ගිරි කුළු මධ්‍යයේ නැගෙනහිර ඕතඩොක්ස් පල්ලියට අයත් ආශ්‍රම විසි හතරක් (24) පැවතී ඇති අතර වර්තමානයේ දී භාවිතයේ පවතින්නේ එයින් හයක් පමණ යි. 1998 දී යුනෙස්කෝ සංවිධානය මගින් මෙතෙඕරා හි ගිරි කුළු ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

(1) ශ්‍රේෂ්ඨ මෙතේඔරොන් ආශ්‍රමය

මෙතෙඕරා ගිරි කුළු අතරේ ගොඩ නංවන ලද ප්‍රථම සහ විශාල ම ආශ්‍රමය වන මෙහි දැනට පූජකවරුන් තිදෙනෙක් වාසය කරනවා. 14 වැනි සියවසේ මැද භාගයේ දී නිම වූ එය කිහිප වතාවක් ම අලුත්වැඩියාවට ලක් කර ඇති අතර ආශ්‍රමයේ ආසන දෙව්මැදුරේ දී 16 වැනි සියවසට අයත් අලංකාර බිතු සිතුවම් දැක ගැනීමට හැකි යි.

© Visit Meteora

එසේ ම ආශ්‍රමය පැමිණෙන සංචාරකයෙක්ට දැක ගැනීමට ලැබෙන තවත් සුවිශේෂී අංග වන්නේ පල්ලියේ භාණ්ඩ තබන ස්ථානය (sacristy), අතීතයේ දී රෝහලක් ලෙස භාවිතා කරන ලද ආගම වෙනුවෙන් දිවි පුදන්නන්ගේ ශාලාව (martyrs hall) සහ වර්ෂ 1913 – 23 හා 1940 – 41 යන කාලයට අයත් අලංකාර ලෙස වර්ණ ගන්වන ලද ගල් කැටයම් තැන්පත් කරන ලද ශාලාව යි.

(2) වාලාම් ආශ්‍රමය

(© Visit Meteora)
වාලාම් ආශ්‍රමයේ සොඳුරු බිතුසිතුවම්

14 වැනි සියවසේ දී හෝසියෝස් වාලාම් විසින් ගොඩ නංවන ලද මෙය මෙතෙඕරා හි පිහිටා ඇති දෙවැනි විශාලත ම ආශ්‍රමය යි. මෙහි දී දක්නට ලැබෙන ප්‍රධාන පල්ලිය ක්‍රිස්තු වර්ෂ 1548 දී චමත්කාරජනක ලෙස සිතුවම් කර ඇත්තේ එවකට වාසය කළ ප්‍රකට සාන්තුවර චරිතාපදාන ලියන්නෙක් (hagiographer) වූ ෆ්‍රාගෝ කැටෙලානෝ විසින්. එසේ ම වාලාම් ආශ්‍රමයේ දක්නට ලැබෙන තවත් සුවිශේෂී අංගයක් වන්නේ 16 වැනි සියවසේ දී නිර්මාණය කරන ලද ඕක් ලීයෙන් තැනූ සුවිසල් ජල බරණිය යි.

(3) රෝසානෝ ආශ්‍රමය

© Visit Meteora

එහි වාසය කරන ලද ප්‍රථම තාපසතුමාගේ නමින් ‘රෝසානෝ ආශ්‍රමය’ ලෙස නම් කරන ලද මෙහි ආසන දෙව්මැදුර ගොඩ නංවා ඇත්තේ 16 වැනි සියවසේ අග භාගයේදී යි. මෙතෙඕරා හි අනෙකුත් ආශ්‍රමයන්ට සාපේක්ෂ ව තරමක් පහළ උන්නතාංශයක පිහිටා ඇති මෙය දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී දැඩි ලෙස හානියට පත් වී තිබෙනවා. පසු කාලීන ව අලුත්වැඩියා කරන ලද මෙය වර්තමානයේ දී භාවිතා කරන්නේ කන්‍යාරාමයක් ලෙස යි.

(4) ශාන්ත ස්ටීවන්ගේ ආශ්‍රමය

© Visit Meteora

මෙතෙඕරා හි ආශ්‍රම අතරින් ළඟා වීමට වඩාත් පහසු ආශ්‍රමය වන මෙය 15 වැනි සියවසේ ආරම්භයේ දී නිර්මාණය කරන ලද්දක්. මෙහි ආසන දෙව්මැදුරු ද්විත්වයක් දැක ගැනීමට ලැබෙන අතර 16 වැනි සියවසේ දී ගොඩ නංවන ලද දෙව්මැදුර පළමු ව දෙවැනි ලෝක සංග්‍රම සමයේ දී ද පසු ව ග්‍රීක සිවිල් යුද්ධයේ දී ද දැඩි ලෙස හානියට පත් වී තිබෙනවා. 18 වැනි සියවසේ දී ගොඩ නංවා ඇති ප්‍රධාන දෙව්මැදුර වෙන් කර ඇත්තේ ශාන්ත කරලම්බෝස් වෙනුවෙන්.

(5) ශුද්ධ වූ ත්‍රිත්වයේ ආශ්‍රමය

© Visit Meteora

ශාන්ත ස්ටීවන්ගේ ආශ්‍රමය මෙන් නොව ළඟා වීමට වඩාත් අපහසු ආශ්‍රමය වන මෙයට ළඟා විය හැක්කේ දැඩි බෑවුමක පිහිටි පියගැට 140 ක් තරණය කිරීමෙන් අනතුරු ව යි. 15 වැනි සියවසේ ගොඩ නංවන ලද මෙහි ආසන දෙව්මැදුව ක්‍රිස්තු වර්ෂ 1741 දී පූජකවරුන් දෙදෙනෙකු විසින් බිතුසිතුවමින් අලංකාර කර තිබෙනවා. එසේ ම මෙහි දී ශාන්ත ජෝන් වෙනුවෙන් වෙන් කරන ලද ගිරි කුළ කැපීමෙන් නිර්මාණය කර ඇති විචිත්‍රවත් බිතුසිතුවම් සහිත අර්ධගෝල ශිර්ෂයකින් යුතු කුඩා වෘත්තාකාර දෙව්මැදුරක් දැක ගැනීමට හැකි යි.

(6) ශාන්ත නිකොලස් ඇනපැෆ්සාස්ගේ ආශ්‍රමය

© Visit Meteora

මෙතෙඕරා හි ආශ්‍රම නරඹන්නට යන අයෙක්ට පළමුවෙන් ම හමු වන ශාන්ත නිකොලස් ඇනපැෆ්සාස්ගේ ආශ්‍රමය ගොඩ නංවා ඇත්තේ 14 වැනි සියවසේ අග භාගයේදී යි. අතීතයේ දී එය වන්දනාවේ යන්නන්ට විවේක ගත හැකි ගිමන්හලක් ලෙස භාවිතා කරන්නට ඇති බව සැලකෙනවා.

මෙහි දී ශාන්ත නිකොලස් වෙනුවෙන් ගොඩ නංවන ලද මඩම් පල්ලියක් (catholicon) ද ආශ්‍රමයේ වටිනා වස්තූන් තැන්පත් කර ඇති ශාන්ත ඇන්තනි වෙනුවෙන් නිම වූ දෙව්මැදුරක් ද දැක ගැනීමට හැකි යි.

කවරයේ පින්තූරය : (© Ioannis Th. Karageorgos)

Related Articles