Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාත්‍රී අහසේ දක්නට ලැබෙන තරු රටා 5ක් හඳුනාගනිමු

ආකාශ වස්තු සිතියම්ගත කිරීම සහ තරු රටා නම් කිරීමේ ආරම්භය මීට වසර 6000කට පමණ පෙර සිදුවුණු බවට සාක්ෂ්‍ය ලැබී තිබෙනවා. ඒ, මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය ආශ්‍රිතව සිදුකළ කැණීම්වල දී යි. 

එකල විවිධ ජාතීන් තරු රටා සිතියම්ගත කොට නම් ලබාදුන්න ද ධ්‍රැවාසන්නයේ අහස ඔවුන්ට නිරීක්ෂණය කිරීමට ලැබුණේ නැහැ. උතුරු අර්ධයේ වෙසෙන්නන්ට දකුණු ධ්‍රැවයේ අහසත්, දකුණු අර්ධයේ වෙසෙන්නන්ට උතුරු ධ්‍රැවයේ අහස ද නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

එම නිසා සමහර තරු රටා ඔවුන්ගේ දෘෂ්ටියෙන් ගිලිහී ගියා. නමුත් 16 වැනි සියවස පමණ වන විට තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ ඇතිවුණු දියුණුවත් සමගම පැරැන්නන්ගේ දෘෂ්ටියෙන් ගිලිහී ගිය තරු රටා සටහන් කිරීම සිදුවුණා. වර්තමානයේ දී දක්නට ලැබෙන තරු රටා සිතියමෙහි තරු රටා 88ක් දක්නට ලැබෙනවා. එය අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ 1922 වසරේ දී යි. එම සිතියමට අනුව අපට නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන තරු රටා කිහිපය පහත සඳහන් ආකාරයට දැක්විය හැකියි. 

මහා වලසා 

පෙබරවාරි සහ මාර්තු මාසවල මධ්‍යම රාත්‍රි අහසේ උතුරු දෙසට වන්නට මඳක් ඉහළින් මෙම තරු රටාව දැකගත හැකියි. නැවියන්, ධීවරයන්, සහ කාන්තාර තරණය කරන්නන් උතුරු දිශාව තීරණය කිරීමට මෙහි ඇති පෝලාරිස් හෙවත් ධ්‍රැව තාරකාව යොදා ගනියි. මෙම තාරකා රාශිය උතුරු අහසේ ප්‍රධාන තරු 4කින් යුත් කොටුවකින් සහ තරු 3කින් යුත් වක් රේඛාවකින් සමන්විත යි. සාමාන්‍යයෙන් “මහා වලසා” ලෙසින් හඳුන්වනු ලබන මෙම තාරකා රටාව චීන වැසියන් “ලොකු බොකුටු හැන්ද” ලෙසත්, මධ්‍යම ආසියානු වැසියන් “දිගේලි අශ්වයා” ලෙසත්, ඉන්දියානුවන් “නගුල” ලෙසත් හඳුන්වනු  ලබනවා. එක් එක් ජාතිකයන් විවධ නම්වලින් එකම තරු රටාව හඳුන්වා ඇත්තේ මෙම තරුව රටාව සම්බන්ධ විවිධ පුරාවෘත්තයන් පවතින නිසා යි. මහා වලසා යන නමින් මෙම තාරකාව නම් කිරීමට මුල් වුණු ආදි ග්‍රීක පුරාවෘත්තය මෙසේ දැක්විය හැකියි.

 මහා වලසා තරු රටාව (Astro Backyard)

එකමත් එක කාලෙක ආකේඩා නම් රට ලාකුන් නම් රජ කෙනෙකු පාලනය කළා. එම රජතුමාට කැලිස්ටෝ නමින් රූමත් දූ කුමරියක් සිටියා. එම කුමරියගේ රූමත් බව නිසාම හීරා දෙවඟන ඇයට වෛර කරන්නට පටන් ගත්තා. ඇයට අවශ්‍ය වුණේ  කැලිස්ටෝගේ ස්ථානය ලබාගැනීමට යි. එම නිසා ඇයට තිබුණු මන්ත්‍ර බලයෙන් කැලිස්ටෝව අප්‍රසන්න වලහෙකු බවට පත් කළා. 

හේරාගේ සැමියා වුණු සියුස් දෙවියාට කැලිස්ටෝ ගැන අනුකම්පාවක් ඇති වුණා. ඔහු කැලිස්ටෝව බේරා ගැනීමට උත්සාහ කරන විට ඇය අතුරුදහන් වී සිටියා. අවසානයේ දී අප්‍රසන්න වලසෙකු බවට පත්ව සිටි කැලිස්ටෝව සියුස් දෙවියන්ට හමුවුණා. එම අවස්ථාවේ දී සියුස් දෙවියා වේගයෙන් දිව ගිය කැලිස්ටෝ වලසාගේ වලිගයෙන් අල්ලා ගත්තා. ඉන් අනතුරුව වලසාගේ වලිගයෙන් ඇද වැර යොදා අහසට විසි කළා. එහි දී ඔහු වැර යොදා වලිගයෙන් ඇද්ද නිසා වලසාගේ වලිගය දිගු වුණා. එම නිසා  දිගු වලිගය සහිත වලසා අදටත් උතුරු අහසේ තරු රටාවක් මෙන් දැකගැනීමට හැකිවනවා. 

ඔරායන් හෙවත් දඩයක්කාරයා 

රාත්‍රී අහසේ දක්නට ලැබෙන ජනප්‍රියතම තරු රටා අතුරින් එකක් වන ඔරායන්, පෙබරවාරි සහ මාර්තු මාසවල දී රාත්‍රී 8ට පමණ අහස මුදුනට ආසන්නයේ දැකිය හැකියි. ලෙස පුරාවෘත්තවල සිටින දඩයක්කරුවෙකුගේ ස්වරූපය මැනවින් නිරූපනය කරන මෙම තරු රටාව තුළ දීප්තිමත් තාරකාවන් 4ක් පිහිටා තිබෙන ආකාරය දැකිය හැකියි. ඔරායන්ගේ දකුණු උරහිසෙහි බෙටල්ජූස් නම් දැවැන්ත රතු තාරකාව දක්නට ලැබෙනවා. මෙම තරු රටාවේ විශාලතම තරුව වන එය සූර්යයාටත් වඩා අතිශයින් විශාල යි. රිජෙල් නම් තාරකාව මෙහි දීප්තිමත්ම තරුව යි. එය  සූර්යයා  මෙන් 40000 ගුණයක් පමණ දීප්තිමත් තාරකාවක් වනවා සේම,  සූර්යයා  මෙන් 100,000 ගුණයක් පමණ ශක්තියක් මුදාහරියි. 

ඔරායන්ගේ බඳ පටිය ලෙස හඳුන්වන එක පෙළට ඇති දීප්තිමත් තාරකා ත්‍රිත්වය ද සුවිශේෂ යි. මෙම ඔරායන්ගේ බඳ පටියේ ඇති තාරකාවන් වන ඇල්නිටක්, ඇල්නිලම්, සහ මින්ටාකා යන තාරකාවන්ට සමපාත වන අයුරින් මිසරයේ ගීසාහි පිහිටි මහා පිරමීඩ ත්‍රිත්වය වන ඛුෆු, ඛෆ්‍රේ, සහ මෙන්කෝරා ඉදිකර තිබෙන බව කියැවෙනවා. එසේම මෙහි තිබෙන රිජෙල්, මින්ටාක, සහ බෙලට්‍රික්ස් තාරකාවලට සමපාතව අනුරාධපුරයේ පිහිටා තිබෙන රුවන්වැලි සෑය, ජේතවනාරාමය, සහ මිරිසයවැටිය ඉදිකර තිබෙන බවට මතයක් පවතිනවා. 

ඔරායන් තාරකා රටාව සම්බන්ධයෙන් ද පුරාවෘත්තයක් තිබෙනවා. එය පහත සඳහන් ආකාරයට දැක්විය හැකියි.

ඔරායන් තරු රටාව (tbtsonm)

ග්‍රීක පුරාවෘත්තවලට අනුව ඔරායන් යනු දඩයමට සහ යුද්ධයට දස්කම් දැක්වූ පුද්ගලයෙක්. මුහුදට අධිපති දෙවියන් ලෙසින් සැලකූ නෙප්චූන්ගේගේ පුතෙකු වන මොහුට අනිත් දෙවිවරුන් ඊර්ෂ්‍යා කළා. එම නිසා විෂකුරු ගෝනුස්සෙකු ලවා ඔරායන්ව මරණයට පත් කළා. ඔරායන් මරණයට පත්වීමෙන් පසුව ඩයනා නම් දෙව්දුව ඔහුව තරු අතරට කැඳවා අමරණීයත්වයට පත්කළා. ගෝනුස්සාට නැවතත් ඔරායන් වෙත ළඟා වීමට නොහැකි වන පරිදි අහස් ගෝලයේ විරුද්ධ පැත්තෙන් රඳවනු ලැබුවා.

මහා බල්ලා  

බල්ලෙකුගේ හැඩයෙන් යුත් තරු රටාවක් වන මෙය ඔරායන් තාරකා මණ්ඩලයට මඳක් නැගෙනහිර දෙසින් පිහිටා තිබෙනවා. මෙය පෙබරවාරි සහ මාර්තු මාසවල දී රාත්‍රි 8ට පමණ රාත්‍රි අහසේ දැකි තරු රටාවක්. ඔරායන් තරු රටාවේ බඳපටිය දක්වන තරු තුන සිතින් යා කර එම රේඛාව ඔස්සේ නැගෙනහිර දෙසට ඇස් යැවූ විට සීරියස් නම් දීප්තිමත්ම තාරකාව දක්නට ලැබෙනවා. එය මහා බල්ලා තාරකා රටාවේ හිස කොටස තුළ පිහිටා තිබෙනවා.

මහා බල්ලා තරු රටාව (Star Registration)

වෘෂභ 

ගවයෙකුගේ හැඩය ගත් විශාල තරු රටාවක් වන මෙය දඩයක්කරයා තරු රටාවට මඳක් උතුරට බරව බටහිර දෙසින් දිස්වනවා. මෙම තරු රටාව තුළ ඇල්ඩෙබරන් නම් රතු පැහැති දීප්තිමත් තාරකාව පිහිටා තිබෙනවා. 

වෘෂභ තරු රටාව ද පෙබරවාරි සහ මාර්තු මාසවල දී රාත්‍රී 8ට පමණ දැකගන්නට පුළුවන්. ඔරායන්ට පහරදීමට සැරසී සිටින ගවයෙකුගේ එක් ඇසක් මින් නිරූපණය කරනවා. එහි දී දීප්තිමත් තරු පහෙන් ගවයාගේ ශීර්ෂය V හැඩයට පිහිටා තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. V අකුරේ බාහුදෙකට තරමක් ඉහළට වන්නට ගවයාගේ අං දෙකෙහි කෙළවරයන්හි තවත් තරු දෙකක් පිහිටා තිබෙනවා.  

වෘෂභ තරු රටාව (Youtube)

සිංහ 

පෙබරවාරි සහ මාර්තු මාසවල මධ්‍යම රාත්‍රී අහසේ මෙම තරු රටාව දැකිය හැකියි. මහා වලසා තාරකා රටාවේ දර්ශක තරු දෙක ඔස්සේ ඉහළට නෙත් යොමුකර විට දෑකැත්තක හැඩයෙන් යුත් දීප්තිමත් තරු රටාවක් දක්නට ලැබෙයි. එම තරු කිහිපයට නැගෙනහිර දෙසින් ඍජුකෝණී ත්‍රිකෝණයක ආකාරයෙන් පිහිටි තරු තුනක් ද දක්නට ලැබෙයි. එම දෑකැත්ත සහ ත්‍රිකෝණය එක්වීමෙන් සිංහ නම් තරු රටාව නිර්මාණය වන ආකාරය දැකිය හැකියි. මෙම තරු රටාවේ දීප්තිමත්ම තාරකාව වන්නේ රෙගියුලස් නම් තාරකාව යි. එහි  මතුපිට උෂ්ණත්වය සූර්යයා මෙන් දෙගුණයකටත් වඩා වැඩියි. 

සිංහ තරු රටාව (Star Registration)

කවරයේ ඡායාරූපය- ඔරායන් තරු රටාව (Geoff Johnson)

මූලාශ්‍රයයන්-  sinhaladgi.gov.lk

Related Articles