“ද මිනිස්ට්‍රි ඔෆ් අට්මෝස්ට් හැපිනස්” (The Ministry of Utmost Happiness) නමින් ඉන්දියානු සමාජ ක්‍රියාකාරිණික් හා විප්ලවකාරී කතුවරියක් වන අරුන්දතී රෝයි විසින් ලියූ ඇගේ දෙවන නවකතාව පසුගිය ජූනි මාසයේ නිකුත් වුණා. ඇය 1997 වසරේදී තම පළමු නවකතාව වූ ඉන්දියාවේ කුල, ආගම් හා ජාති භේදයට දැඩි ලෙස පහර එල්ල කළ “ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්” (The God of Small Things) එලි දක්වමින් ලෝක සාහිත්‍ය කරළියේ පෙරළිකාර කතුවරියක් ලෙස නමක් දිනා ගන්නට සමත්වූ ලේඛිකාවක්. මාස කිහිපයක් ඇතුළත එම කෘතියේ පිටපත් ලක්ෂ හතරක් ලොව පුරා විකිණිනු අතර එම කෘතිය 1997 වසරේ බුකර් සාහිත්‍ය සම්මානයද දිනා ගන්නවා.
වසර විස්සකට පසුව ඇය ලියූ දෙවන නවකතාවද ඔක්තෝබර් 17දා පැවැත්වීමට නියමිත මෙවර බුකර් සම්මාන උළෙල සඳහා නිර්දේශිත අවසන් ග්‍රන්ථ හයට ඇතුළත් නොවූවත් නිර්දේශිත අවසන් නවකතා 13 සඳහා ඇතුළත් වී තිබුනා.
වසර විස්සක කාලයක් පුරා ඇය ඉන්දියාව තුළ කැපී පෙනුණේ ලේඛිකාවක් මෙන්ම විප්ලවීය දේශපාලන ක්‍රියාකාරිකාවක් ලෙසයි. ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල බරපතළ අරගල සහ ගැටළු පිළිබඳව ලියන්නට හා විවේචනය කරමින් කතා කරන්නට සමත් වූ මේ කාන්තාව ලේඛන කලාව උදෙසා මෙන්ම ලෝක සාමය හා ස්‌ත්‍රීත්වය වෙනුවෙන් ඉටු කළ සේවාව අති විශාලයි.
පෙරළිකාර මවකට දාව ඉපදුණු ළදැරිය
1961 වසරේ නොවැම්බර් 24 වන දින බෙංගාලයේ ශිලොන්ග්හිදී උපත ලබන අරුන්දතී රෝයිගේ මව වන්නේ එකල ප්‍රසිද්ධ සමාජ සේවිකාවක් වන මේරී රෝයි නම් කාන්තාවක්. පියා බෙන්ගාලි ජාතික වැවිලිකරුවෙක් වන අතර ඔවුන්ගේ විවාහයට මේරි රෝයිගේ පාර්ශවයෙන් අකමැති වන්නේ කුල පිළිබඳව ප්‍රශ්නයක් හේතුවෙන්. නමුත් ප්‍රගතිශීලි අදහස් ඇති මේරි තම මවුපියන්ගේ විරුද්ධත්වය මත විවාහ වෙනවා.
අරුන්දතී කුඩා වයසේදීම දෙමාපියන් දික්කසාද වන අතර ඉන් පසුව ඇය සිය මවත් සමඟ හැදී වැඩෙන්නේ කේරළයේ අයමෙනම් නගරයේයි. තමිල්නාඩු ප්‍රාන්තයේ නිල්ග්‍රීස්හි ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව නවදිල්ලියේ සැලසුම් කිරීමේ හා ගෘහ නිර්මාණ පාසලෙන් නිර්මාණ ශිල්පිණියක් ලෙස පුහුණුවීම් ලබනවා.
කලා ක්ෂේත්‍රයේ අවධානයට
එම විද්‍යාලයේදී මුණ ගැසුණු ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ගෙරාඩ් ඩකූනා සමඟ විවාහ වෙන නමුත් ඇගේ පළමු විවාහයට ආයු ලැබුණේ වසර පහකටත් අඩු කාලයක්. 1984 දී ඇය ප්‍රදීප් ක්‍රිෂන් නමැති චිත්‍රපට නිෂ්පාදකවරයා සමඟ දෙවන වරට විවාහ වෙනවා.
1989 වසරේදී තමා විසින්ම ලියන ලද තිර කතාවකට අනුව සැමියා විසින් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටයක රඟපාමින් ඇය වරෙක නිළියක් ලෙසද කටයුතු කරනවා. ලිපි රචනා සහ ටෙලිනාට්‍ය රචනා කිරීමෙන් මෙන්ම ස්‌වායු ස්‌වසන පංති (aerobics Classes) පැවැත්වීමද තම ජීවන වෘත්තිය කර ගන්නවා.
ඉන්දියාවේ චෞර රැජිණක් වූ පුලාන් දේවිගේ කතාව ආශ්‍රයෙන් 1996දී තිරගත කරනු ලැබූ ෂේකර් කපුර්ගේ Bandit Queen සිනමාපටය දැඩි ලෙස විවේචනය කරන අරුන්දතී එය හුදෙක් මඩිය තර කරගැනීමට පුලාන් දේවිගේ ජීවිත කතාව වැරදි ලෙස නිරූපණය කර ඇති අතර එම චිත්‍රපටය ඉන්දියාව තුළ දූෂිත අපරාධ තවදුරටත් ඉහළ නංවන්නට සාධක විය හැකි බවත් පෙන්වා දෙනවා.
ප්‍රථම නවකතාවෙන් ලෝක පූජිත ලේඛිකාවක් බවට
“ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්” නවකතාව දේශපාලන වශයෙන් විශාල ආන්දෝලනයකට තුඩු දුන් ආගම්, ජාති හා කුල ආදී විවිධ භේද වලින් පිරුණු ඉන්දිය සමාජය තුල නොයෙකුත් දෝෂාරෝපණ වලටද ලක් වූ පෙරළිකාර කෘතියක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එහිදී විස්තර වන්නේ බාහිර බලපෑම් වලට නතු වූ නිවුන් පිරිමි හා ගැහැණු දරුවන් දෙදෙනෙකු වටා ගෙතුණු කතාවක්. උග්‍ර කුල භේදය හා පන්ති භේදය විසින් පුද්ගලයාව හා මුළු මහත් සමාජයම හැසිරවීම මෙහිදී මැනවින් නිරූපනය කරනවා. (මෙම නවකතාව ‘සුළු දෙය ඇසුරු කළ දෙවියා’ නමින් සිංහලට පරිවර්තනය වී තිබෙනවා.)
මෙම නවකතාව ඉන්දියාවේ මෙන්ම බටහිර රටවලද මහත් ජනප්‍රියත්වට පත් වූ අතර රටවල් 21ක විවිධ භාෂා වලට නවකතාව පරිවර්තනය වීම සිදු වෙනවා. 2016 වසර වන විට විකණුනු පිටපත් ගණන හැටලක්ෂය ඉක්මවා ගොස් තිබෙන අතර 1997 වසරේදී කෘතිය සඳහා ඇමරිකාවේ “ද බුකර්” සම්මානය හිමි වෙනවා. එම සම්මානය ලබාගත් ප්‍රථම ඉන්දියානු ලේඛිකාවක වන්නේද ඇයයි.
අරගලයන්ට මැදි වූ දේශපාලන ක්‍රියාකාරිණිය
ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ඉදිකෙරෙන නර්මදා වේල්ල ව්‍යාපෘතියට එරහිව ඇය රැගෙන යන සටන හේතුවෙන් අරුන්දතී ලොවපුරා ප්‍රසිද්ධ වෙන්නේ ව්‍යාපෘතිය හේතුවෙන් වන්දි නොමැතිව, බීමට සුදුසු ජලය හා වෙනත් පහසුකම් නොමැතිව දුක් විඳින පන් ලක්ෂයක් පමණ ජනතාව වෙනුවෙන් හඩ නඟන කාන්තාවක් ලෙසයි. තවද ඇයට බුකර් සම්මානයෙන් හිමි වූ මුදල්ද ඇයගේ පොත් වලින් ලද කර්තෘ භාගද මානව හිමිකම් ක්‍රියාකාරීන් හා පරිසරවේදීන්ගෙන් සැදුම්ලත් Narmada Bachao Andolan සංවිධානයට පරිත්‍යාග කරනවා.
ඉන්දියාව විසින් රාජස්ථාන් ප්‍රදේශයේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම දැඩි ලෙස විවේචනය කරන ඇය ඒ පිළිබඳව ලිපි රැසක් ලියා පළ කරනවා. 1998 වසරේදී The cost of living නමින් ලිපි එකතුවක් පළ කරන ඇය ඒ මගින් විවිධ ප්‍රාන්ත වල සැලසුමකින් තොරව කෙරෙන ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් විවේචනය කරනු ලබනවා.
ජම්මු – කාශ්මීර සිද්ධියේදී ඇය සිටියේ කාශ්මීරය වෙන් වූ රාජ්‍යයක් විය යුතු යැයි සටන් කළ පාර්ශවය තුළයි. ඉන්දියාව එයට මැදිහත් නොවිය යුතු යැයි ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇය ඉන්දියානු රජයේ බලවත් අප්‍රසාදයට ලක්වෙනවා.
මේ ආකාරයේ විප්ලවකාරී ලිපි ලේඛන හා ක්‍රියාකාරකම් හේතුවෙන් ඉන්දියානු ජාතික කොංග්‍රසයේ මෙන්ම භාරතීය ජනතා පක්‍ෂයේද ප්‍රබල විවේචනය ඇය වෙත එල්ල වෙනවා. ඇයගේ ලිපි කටයුතු සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර 2002 හා 2010 වසර වලදී අධිකරණය නොසළකා හැරීම සම්බන්ධයෙන් සිර දඬුවම්ද හිමි වෙනවා. තවද ඉන්දියානු ගැහැණියට දෑවැද්ද සම්බන්ධයෙන් මුහුණ පෑමට සිදුව ඇති සමාජ කෘරත්වයට විරුද්ධවද ඇය හඬ නගනවා.
ඇමරිකානු රජයේ යුද්ධකාමී ප්‍රතිපත්තීන්ට එරෙහිව
ඇමරිකාව විසින් තමන්ට කැමති ආකාරයට අනෙක් රටවලට බෝම්බ හෙළීම දැඩි ලෙස විවේචනය කරන ඇය ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම මගින් ඇමරිකාව ත්‍රස්තවාදය පතුරවන බවට එංගලන්තයේ The Guardian, ප්‍රංශයේ Li Monde, හා ස්පාඤ්ඤයේ El Mundo වැනි පුවත්පත් වලට ලිපි ලියමින් ප්‍රකාශ කර සිටිනවා. 2002 වසරේ මැයි මාසයේදී නිව්යෝර්ක් නගරයේදී කතාවක් පවත්වමින් නූතන ඇමරිකානු ත්‍රස්තවාදය පිළිබඳවත් ඉරාකයට සිදු කරන යුද්ධමය මැදිහත්වීමත් සවිස්තරාත්මකව ප්‍රකාශ කර සිටිනවා.
2006 වසරේ ජෝර්ජ් බුෂ්ගේ ඉන්දියානු සංචාරයත් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිත් පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කළ ඇය 2006 වසරේදී ඇයගේ ලිපි එකතුවක් වන The Algebra of Infinite Justice කෘතියට ඉන්දියානු රජය විසින් පිරිනමන ලද සාහිත්‍ය ඇකඩමි සම්මානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඊට හේතුව ලෙස ඇය සඳහන් කරන්නේ ඉන්දියානු රජය, ඇමරිකානු ප්‍රතිපත්ති වලට අනුව දරුණු ලෙස කම්කරුවන් මර්ධනය කිරීමට විරුද්ධත්වය පෑමක් ලෙසයි.
ඇමරිකාවේ ද බුකර් සම්මානයද, 2004 වසරේ සිඩ්නි සාම ත්‍යාගයද ලබා ගන්නා ඇය මෙම වසරේ රචනා කල කෘතියත් ලොවපුරා දේශපාලන කතිකාවතක් නිර්මාණය කරනු ඇතැයි අනුමාන කරනවා. ඉන්දියාවෙන් බිහි වූ අරගලකාරී ලේඛිකාව පිළිබඳව මෙම ලිපිය ඇයගේ එක් ප්‍රකාශයකින් අවසන් කරන්නට අපි තීරණය කළා.
“මට හිනාවෙනවා වගේම අඬන්නත් පුළුවන්. මම එක අතකින් උමතු ස්‌ත්‍රියක්‌ද? ඔව් ඒක සත්‍යයක්. හැබැයි මම අසාධාරණයට එරෙහිව කෑ ගසන්නේ අසාධාරණකම් කරන්නවුන්ගේ වහළ මුදුනේ සිටගෙනයි”
කවරයේ ජායාරූපය – Wikipedia