Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුණුබුරු-මිණිබිරියන් සහ වැඩිහිටියන් එකට කල් ගෙවීමෙන් ලැබෙන වාසි බොහොමයි

‍ළමා සහ වැඩිහිටි දිනය එකම දවසක තියෙන්නේ ඇයි කියන ගැටළුව බොහෝ දෙනෙක්ට තිබෙනවා. වැඩිහිටියන් ද දරුවන් සමග කාලය ගත කරද්දි, දරුවන් සේම කෙළිදෙලෙන් කල් ගෙවන ආකාරය පුදුම සහගත යි. කාර්යබහුල බව නිසා මව්පියන්ගෙන් ‍නොදැනුවත්වම දරුවන්ට ඇතිවන අඩුපාඩු සපුරන්නට ආච්චිට සහ සීයාට හැකියාව තිබෙනවා.

දිවා සුරැකුමක දරුවා රඳවනවාට වඩා මේ පවුලේ බැඳීම දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් සුවිසල් මානසික සහනයක් ගෙන එනවා. අපි මුලින් බලන්නේ මේ සබැඳියාවෙන් දරුවන්ට ඇති වාසි ගැන යි.

හැඟීම් දරාගැනීමේ හැකියාවන් වැඩි වීම

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ කරන ලද අධ්‍යයනයකට අනුව, තම ආච්චිලා සීයලා ළඟින් ඇසුරු කරන දරුවන්ට චිත්තවේගීය සහ හැසිරීම් සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් ඇති බව හෙළිව තිබෙනවා. මීට අමතරව, සම වයසේ මිතුරන් සමග කටයුතු කිරීමේ දී හා සබඳතා පවත්වා ගැනීමේ දී ඔවුන් අපහසුතාවන්ට මුහුණ දී නැහැ. 

මෙම අධ්‍යයනයෙන් ළමුන් 1500කට අධික සංඛ්‍යාවක් සමීක්ෂණය කර ඇති අතර, දරුවන්ගේ දියුණුව සඳහා වැඩිහිටියන්ගේ සහභාගීත්වය ඉතා වැදගත් බව පෙන්වා දී තිබෙනවා. ආච්චි නිසා දරුවාගේ පෝෂණයත්, සීයා නිසා දරුවන්ට උපදේශනයත් ලැබෙන බව එය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ අනුව, අධික සතුට, දුක වැනි ඕනෑම හැඟීමක් පාලනය කරගත හැකි ලෙස දරුවන් කුඩාකල සිටම හුරු කරවීමෙන්, විශේෂයෙන් තරුණ වියේ දී මුහුණ දෙන සමාජයීය ගැටළුවලට ඔවුන් සාර්ථකව මුහුණ දෙනු ඇති‍.

පරාර්ථකාමී බව වැඩි වීම

ඇමරිකාවේ බ්‍රිගම් යං සරසවියේ කළ පර්යේෂණයක් පෙන්වා දෙන්නේ තම සීයා සහ ආච්චි සමග කල් ගෙවූ දරුවන්ගේ පරාර්ථකාමී බව සාපේක්ෂව වැඩි බව යි. මෙම පර්යේෂණයට දෙමව්පියන් දෙපළම සහ තනි මව්පියෙක් සිටින පවුල් ද යොදාගෙන ඇති අතර, එහි බලපෑමකින් තොරව දරුවන්ගේ ගතිගුණ ඉහළ මට්ටමට ළඟා වන්නට වැඩිහිටියන්ගේ සහයෝගය ලැබී ඇති බව තහවුරු වී තිබෙනවා.

මව්පියන්ට සැලකීම අඩුවීම, ආත්මාර්ථකාමී බවින් පිරුණු සමාජයක් ගැන බොහෝ කතිකාවන් ඇතිවන කාලයක ‍කුඩා කල පටන්ම දරුවන්ට අන් අය ගැනත් සානුකම්පිතව සිතිය හැකි ආකාරයේ චින්තන රටාවක් උරුම කරවීම අත්‍යාවශ්‍ය බව අවිවාදාත්මක යි.

පවුලේ ඉතිහාසය ගැන දැනුවත් වීම

ඔබේ කුඩාවිය ගැන ඔබටත් අමතක බොහෝ දේවල් මව්පියන්ට මතක යි. ඒ කතන්දර තමන්ගේ සී‍යා-ආච්චිගෙන් අහන්නට දරුවන් ආසා කරන්නේ ඒවායෙන් තමන්ටත් ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙන නිසා යි. එමඟින් මව්පියන් සහ දරුවන් අතර ඇති බැඳීම ද වර්ධනය වන අතර, පැරණි මතකයන් අවධි කරමින් සිනහවෙන් කල් ගෙවන්නට සීයා-ආච්චි සහ දරුවන්ට හැකි වෙනවා.

මෙමඟින් ශ්‍රී ලංකාවේ විවිධ කාලවල පැවති ආර්ථික තත්ත්වය, සමාජයීය වටපිටාව, ගැටළුවල දී ක්‍රියා කළ යුතු ආකාරය, තම මුතුන් මිත්තන්ගේ සුරුවිරුකම් නිසා ඇතිවන ආත්මාභිමානය වැනි අංශයන් රැසකින් ඵල ලබන්නට දරුවන්ට අවස්ථාව ලැබෙනවා.

නව කුසලතා වර්ධනය කරගැනීමට අවස්ථාව

වැඩිහිටියන් සතු වසර ගණනාවක අත්දැකීම් සියල්ලම පාහේ කුඩා කාලයේ දීම දරුවන්ට ලබා ගන්නට හැකියාව ලැබීමෙන් ඔවුන්ට තම ඉදිරි ජීවිතය ආලෝකමත් කරගන්නට අවස්ථාව උදා වෙනවා. මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම්, භාෂා භාවිතය, නිවස පිරිසිදු කිරීමේ ක්‍රමෝපායයන්, සතුන් සමග මිතුරු විය හැකි ආකාර, අත්කම් ආදී විශාල පරාසයක හැකියාවන් ප්‍රමාණයක් ආච්චිගෙන් සහ සීයාගෙන් ඉගෙන ගන්නට හැකියි.

මෙය පාසලේ දී අන් දරුවන් අතරින් විශේෂ හැකියාවන් සමග ඔවුන්ව ඉහළට ඔසවා තැබෙන අතර, තරුණ වියට ආ පසුව ද තනිවම තමන්ගේ කටයුතු කරගෙන යන්නට දරුවන්ට මේ දැනුම මහත් පිටිවහලක් බවට පත් වීම විශේෂත්වයක්.

තම මුණුබුරු-මිණිබිරියන් සමග කටයුතු කිරීමෙන් වැඩිහිටියන්ට ලැබෙන වාසි ද බොහොම යි. විශ්‍රාම ගත් පසු කරන්නට ඇති වැඩ ප්‍රමාණය බෙහෙවින් සීමා සහිත වූ පසු, කාලය විනෝදයෙන් ගෙවන්නට ඔවුන්ට නව ක්‍රම අවශ්‍ය වෙනවා. වැඩිහිටි නිවාසයක තනිව කල් ‍ගෙවනවා වෙනුවට කාර්යබහුල ඔබට දරුවන් බලා ගැනීමට ඇති අපහසුතා මඟහරවා ගන්නට ඔවුන්ගෙන් මහත් උපකාර ලැබෙනවා. මුණුබුරු-මිණිබිරියන් සමග කාලය ගෙවීමෙන් වැඩිහිටියන්ට ලැබෙන සහනය මෙසේ යි:

සංජානන කුසලතා වර්ධනය

ආතතිය දුරලීමට පමණක් නොව, වැඩිහිටියන්ට මුණුබුරන් සමග කාලය ගත කිරීම මඟින් සංජානන කුසලතා දියුණු කරගන්නට හැකි වෙනවා. ඔස්ට්‍රියාවේ පර්යේෂකයෝ මිත්තණිවරු 120ක් යොදාගෙන අධ්‍යයනයක් කළ අතර එහිදී සතියකට එක් දිනක් තම මුණුබුරු-මිණිබිරියන් රැකබලා ගත් අයට මතකය හා ඒ හා සමාන මානසික පරීක්ෂණවලින් ඉහළ ලකුණු ලබා ගන්නට හැකි වූ බව හෙළි වුණා.

ක්‍රියාකාරී ජීවිතයක්

වියපත් වත්ම, දවස පුරා හිඳගෙන සිටීම වැනි ඒකාකාරී ජීවිතයක් තුළින් ඇතිවන සෞඛ්‍ය ගැටළු රැසක් මුණුබුරු-මිණිබිරියන් සමග විනෝදයෙන් කල් ගෙවීම හරහා ලද ‍හැකි‍ වෙනවා. හිතාමතා ව්‍යායාම කිරීම වෙනුව‍ට, දරු සුරතල් සමග කාලය ගෙවීමෙන් පහසුවෙන්ම දේහයට අවශ්‍ය ක්‍රියාකාරීත්වය ලබා දීමට හැකි යි. 

මානසික අවපීඩනය අවම වීම

මුණුබුරු-මිණිබිරියන් සමග කාලය ගත කරන වැඩිහිටියන්ගේ මානසික අවපීඩනය අවම මට්ටමක පවතින බව පර්යේෂණ හරහා තහවුරු වී තිබෙනවා. තනිව කල් ගෙවමින් දුක්බර කාලයක් ගෙවනවාට වඩා විනෝදයෙන්, තම පැරණි මතකයන් අවධි කරමින් කල් ගෙවීම නිසා පාළුව කාන්සියෙන් තොර ජීවන රටාවක් ඔවුන්ට ලැබෙනවා.

මෙරට ප්‍රමුඛ රක්ෂණායතනයක් වන Softlogic Life Insurance මෑතක දී ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් මේ සම්බන්ධ පණිවිඩයක් ගෙන ආවා. එය දරුවන් සහ වැඩිහිටියන් අතර පවතින බැඳීමෙන් දෙපාර්ශවයම ඵල ලබන ආකාරය කෙටියෙන්, සිත්ගන්නාසුළු ආකාරයට ඉදිරිපත් කරනු ලැබුවා. එම වීඩියෝව ඔබට මෙතැන ක්ලික් කර නැරඹිය හැකියි.

ඉතින් ඔබත් මව් පියන්ගෙන් වෙන්ව කල් ගෙවනවා නම්, නිරන්තරයෙන් දරුවන් සමග ගොස් ඔවුන්ගේ දුක සැප සොයා බලන අතරේ, දරුවන්ටත් ඔවුන් සමග ගැවසෙන්නට ඉඩ සලසමින් තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්නට අවස්ථාව සලසන්න.

Related Articles