20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ඒ වෙනුවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වූ ප්‍රගතිශීලි ප්‍රතිපාදන ද ඇතුළත් කොට 21 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳ ව මේ වන විට විශාල කතාබහක් ඇති වී තිබේ. විපක්ෂය වන සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 21 වන ව්‍යවස්ථා සංශෝධන කොටුම්පතෙ හි ඇතුළත් බොහෝ වගන්ති නීතියක් බවට පත් වීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කර තිබිණි.
සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක, රටේ මහජනතාව මෙන්ම ජාත්‍යන්තරයත් අපේක්ෂා කළ පරිදි, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට නීතියේ අධිපත්‍ය තහවුරු කිරීමේ අරමුණින්, අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිස්සංකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රජපක්ෂ ඉදිරිපත් කළ 22 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කොටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය දා හිමි විය.
මුලින් සලකා බලන සංශෝධන කොටුම්පත
පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ වන ක්‍රියාදාමයේදී මුලින් සලකා බලන සංශෝධන කොටුම්පත කුමක්ද යන්න අනුව එය නැවත වතාවක් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ලෙස නම් කරන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිස්සංකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රජපක්ෂ පවසයි. ඒ අනුව 22 වන සංශෝධනය මුලින් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්නා අවස්ථාව වන විට එය 21 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ලෙස නම් කෙරෙන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙම සංශෝධන පිළිබඳ කතාබහත් සමඟ කරළියට පැමිණි, පසුගිය යහපාලන රජය සමයේ හඳුන්වා දුන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉතා ශක්තිමත් ව ස්ථාපිත කළ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු සම්බන්ධයෙන් ද මේ වන විට කතාබහක් ඇති වී තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරූ ජයසූරිය සහ අනිකුත් අදාළ පාර්ශවයන්හි උපදෙස් ලබාගෙන මෙම කමිටු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව යි.
එවන් වැදගත්කමකින් සංවාදයට බඳුන් කෙරෙන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු සහ ඒවායේ වැදගත්කම පිළිබඳ ව මෙම ලිපියෙන් විමසා බලමු.
ආංශික අධීක්ෂණ කමිටු
පාර්ලිමේන්තුව හා සම්බන්ධ වන කමිටු ගණනාවක් අතරින් එකක් වන ආංශික අධීක්ෂණ කමිටු සමන්විත වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙනි. ඒ ඒ ආංශික අධීක්ෂණ කමිටුවට අදාළ විෂය පථයක් තිබේ. එම විෂයයන්ට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන යෝජනා සහ අනපනත් මෙන්ම ඒවාට අදාළ ආයතනවල කටයුතු පිළිබඳව සොයා බැලීමට සහ සුදුසු පරිදි නිර්දේශ ඉදිරිපත් කිරීමට ආංශික අධීක්ෂණ කමිටුවල වගකීම ය. ඒ සඳහා ඔවුන්ට බලය තිබේ.
මෙම ආංශික අධීක්ෂණ කමිටු අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන ඒවා පොදු ජනතාව නිතර අසා ඇති ආංශික අධීක්ෂණ කමිටු වර්ග අතරින් කිහිපයකි.
මැතිවරණයකින් පසු පැවැත්වෙන ප්‍රථම රැස්වීමෙන් සති හයක් ඇතුළත පාර්ලිමේන්තු තේරීම් කමිටුව, ඊට සුදුසු යැයි හැඟෙන ආංශික අධීක්ෂණ කමිටු සංඛ්‍යාවක් පත් කළ යුතු ය. කෙසේ වෙතත් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව පත් කර ඇති ආංශික අධීක්ෂණ කමිටු සංඛ්‍යාව 20 නොඉක්මවිය යුතු ය. පාර්ලිමේන්තු තේරීම් කමිටුව, ඒ ඒ ආංශික අධීක්ෂණ කමිටුවට පැවරිය යුතු විෂයයන් සහ කාර්යයන් තීරණය කළ යුතු ය.
ආංශික අධීක්ෂණ කමිටුවකට එහි විෂය පථයට අදාළ පනතක්, යෝජනාවක්, ගිවිසුමක්, වාර්තාවක් හෝ වෙනත් අනුබද්ධ නීති සම්පාදනයක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලය ඇත. පාර්ලිමේන්තුවට, වෙනත් ඕනෑම කාරක සභාවකට හෝ අමාත්‍යවරයකුට ආංශික අධීක්ෂණ කමිටුවක විෂය පථය යටතේ ගැනෙන කරුණක් විමර්ශනය කිරීම සඳහා අදාළ කමිටුවකට යොමු කළ හැක.
ආංශික අධීක්ෂණ කමිටු සාමාජිකයෝ
කතානායක, නියෝජ්‍ය කතානායක, කාරක සභා නියෝජ්‍ය සභාපති, අග්‍රාමාත්‍ය, සභානායක, විපක්ෂ නායක සහ කැබිනට් අමාත්‍යවරුන් හැර වෙනත් ඕනෑ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආංශික අධීක්ෂණ කමිටුවක සාමාජිකත්වය දැරිය හැකි ය. පාර්ලිමේන්තු තේරීම් කමිටුව ආංශික අධීක්ෂණ කමිටු සඳහා සාමාජිකයන් නම් කරන අතර එහිදී දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කර ඇති නාමයෝජනා සැලකිල්ලට ගත යුතු ය.
එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආංශික අධීක්ෂණ කමිටු තුනක සාමාජිකයෙක් ලෙස කටයුතු කළ හැක. කෙසේ නමුත් කැබිනට් අමාත්‍යවරයකු යටතේ කටයුතු කරන, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හෝ රාජ්‍ය අමාත්‍යවරයෙක් යම්කිසි ආංශික අධීක්ෂණ කමිටුවක සාමාජිකයකු ලෙස නම් කරන්නේ නම් ඔවුන්ට අදාළ කැබිනට් අමාත්‍යවරයාගේ සහ අදාළ අංශික අධීක්ෂණ කමිටුවේ කාර්යභාරය එකිනෙකට වෙනස් විය යුතු ය.
සාමාන්‍යයෙන් මෙම කමිටුවක සිටිය යුතු උපරිම සාමාජිකයන් සංඛ්‍යාව 12ක් නමුත් විෂය පථය අනුව යම්කිසි කමිටුවක් සඳහා සාමාජිකයන් 12කට වැඩි සංඛ්‍යාවක අවශ්‍යතාවක් තිබෙන බව හඳුනා ගන්නා අවස්ථාවක දී එහි සාමාජිකයන් සංඛ්‍යාව ඉහළ දැමිය හැකි ය. ආංශික අධීක්ෂණ කමිටුවක සභාපති තනතුර සඳහා අයෙකු පත් කරන්නේ එහි අනිකුත් සාමාජිකයන් ය. යම්කිසි සාමාජිකයෙක් පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩව කාරක සභා රැස්වීම් තුනකට සහභාගී නොවීම එහි සාමාජිකත්වය හැර යාමක් සේ සලකයි.
නිල කාලය
සෑම ආංශික අධීක්ෂණ කමිටුවක් ම එහි රැස්වීම්වලට අදාළ ව වාර්ෂික දින දර්ශනයක් සකස් කළ යුතු ය. මෙම කමිටු සෑම මසක ම අවම වශයෙන් දින දෙකක් රැස්විය යුතු ය. එක් එක් ආංශික අධීක්ෂණ කමිටුවේ රැස්වීම් පෙර කී දින දර්ශනය අනුව හෝ එහි සභාපතිවරයා තීරණය කරන පරිදි කැඳවනු ඇත. ඕනෑම ආංශික අධීක්ෂණ කමිටුවක අතිරේක රැස්වීම් සභාපතිවරයාගේ හෝ එහි සාමාජිකයන්ගෙන් අඩකට නොඅඩු සංඛ්‍යාවකගේ ඉල්ලීමක් මත කැඳවිය හැකි ය. පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් මෙම කමිටු ක්‍රියාත්මක වන අතර පාර්ලිමේන්තුව කල් තැබීමක් සිදු වුව ද, ඒවායේ කටයුතු කරගෙන යා යුතු ය.
බලතල සහ කාර්යභාරය
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවක මූලික කාර්යභාරය වන්නේ එම කමිටුවේ විෂයට පථයට අදාළ පනත්, යෝජනා, ගිවිසුම් සහ නීති සම්පාදන වැනි දෑ සම්බන්ධයෙන් නිශ්චිත කාල සීමාවක් තුළ පරික්ෂා කර – අධ්‍යයනය කර, පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම වේ. ඊට අමතර ව එහි විෂය පථයට අදාළ දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතනවල කටයුතු පිළිබඳ ව සොයා බැලීමට ද මෙම කමිටුවලට බලය තිබේ.
අවශ්‍ය අවස්ථාවල දී සාක්ෂිකරුවන් කැඳවීමට සහ ලිපිගොනු සහ වාර්තා යනාදිය ඉල්ලා සිටීමට ආංශික අධීක්ෂණ කමිටුවලට බලය ඇත. යම් කරුණක් සම්බන්ධයෙන් කමිටුවේ මතය සහ එහි රැස්වීම්වලට අදාළ තොරතුරු වාර්තා සමඟ ලිඛිත ව කතානායකවරයා වෙත භාර දිය යුතු වේ. ඉන් අනතුරුව කතානායකවරයා එම වාර්තා පාර්ලිමේන්තුව තුළ සභාගත කිරීමට කටයුතු කරයි.
මේ වන විට ඇති වී ඇති කතාබහ
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වන විට රජය, විපක්ෂය සහ වෙනත් බොහෝ පාර්ශවයන්හි අවධානය යොමු වී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරූ ජයසූරිය සමඟ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබිණි. එහිදී ආංශික අධීක්ෂණ කමිටු වඩාත් ශක්තිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට හිටපු කතානායකවරයා එකඟතාව පළ කළ බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබිණි.
නව යෝජනා
පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සභාපතිත්වය දරන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ද ආංශික අධීක්ෂණ කමිටු ශක්තිමත් කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් වන යෝජනාවලියක් සකස් කර තිබේ.
අදාළ යෝජනාවලිය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට භාරදීමට නියමිත අතර එය අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන සිදු කරමින් ක්‍රියාවට නැංවීම පාර්ලිමේන්තුවේ වගකීම වේ.
එමෙන්ම 2015-2019 කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන, විද්වතුන් සහ වෙනත් ප්‍රවීණයන් උපදේශකයන් වශයෙන් ආංශික අධීක්ෂණ කමිටු සඳහා පත් කර තිබිණි. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, යම්කිසි නීතිමය පදනමක් මත බාහිර පුද්ගලයන් ආංශික අධීක්ෂණ කමිටුවල සාමාජිකයන් හෝ උපදේශකයන් ලෙස පත් කිරීම සඳහා ඇති හැකියාව මේ වන විට සොයා බලමින් සිටින බව මේ වන විට වාර්තා වේ.