Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අශෝක රජුගේ පුත් කුණාල කුමරුගේ කතාව (දෙවන කොටස)

අප මීට පෙර ලිපියකින් කුණාල කුමරුගේ කතාවේ මුල් කොටස ඉදිරිපත් කළා. එහිදී තිෂ්‍යරක්ෂිතා බිසව රජුගේ රෝගයට පිළියම් සොයමින් සිටියා. මේ ඉන්පසු සිදු වූ දෙයයි.

දින කීපයක් ඇතුළත රජුට වැළඳී ඇති රෝගයෙන්ම මියගිය වැද්දකුගේ මළ සිරුරක් පණිවුඩකරුවන් විසින් සොයාගනු ලබනවා. ඒ මළසිරුර කපා විවෘත කර බලන වෛද්‍යවරු, ශරීරයේ ඇතුළත සිටින පණුවකු සොයාගන්නවා. පණුවා ඉහළට යනවිට සිරුරේ ඉහළ කොටසිනුත්, පණුවා පහළට යනවිට සිරුරේ පහළ කොටසිනුත් අසූචි නික්මෙන බව ඔවුන් සොයාගන්නවා. රෝගය ඇතිවන්නේ පණුවකු නිසා බව ඉගෙනගන්නා තිෂ්‍යරක්ෂිතා බිසව ඊළඟට වෛද්‍යවරුන්ගෙන් අසන්නේ මේ පණුවා ඉවත් කරන්නේ කෙසේ ද යනුවෙන්. රතුළූණු ආහාරයට ගැනීමෙන් පණුවා ඉවත්වන බව ඔවුන් බිසවට පවසනවා. වෛද්‍යවරුන් පිටත්කර හරින බිසව, තනිව රජුගේ කාමරයට පිවිස රජුට රතුළූණු ව්‍යංජනයක් පිළිගන්වනවා.

රජතුමා ඊට දෙන පිළිතුර වන්නේ, තමන් රතුළූණු නොවළඳන බවයි. අශෝක රජු බුදුදහමට කෙතරම් උදව් කළත්, ජෛන විශ්වාස ඔහු තුළ ඉතිරිව තිබු බවට එක සාධකයක්, මේ. ජෛනයෝ අදටත් රතුළූණු වළඳන්නට දක්වන්නේ මැළිකමක්.

කෙසේ වෙතත් දේවියගේ පෙරැත්තය අනුව රජු මේ රතුළූණු ව්‍යංජනය වළඳනවා. ඒ අනුව ඉතා ඉක්මණින් ඔහුගේ රෝගය සුවවෙනවා. රෝගය සුවකළ බිසවට ප්‍රත්‍යුපකාර පිණිස රජු ඇයට පවසන්නේ, කැමති වරයක් ඉල්ලන ලෙසයි. තිෂ්‍යරක්ෂිතාව ඉල්ලන්නේ ඇයට දින හතකට රජකම භාරදෙන ලෙසයි. බිසව කෙරෙහි කිසිදු සැකයක් නොදක්වන රජු, ඒ වරයට එකඟ වී ඇය සත්දවසකට රජකමෙහි පිහිටුවනවා.

අශෝක රජු සහ බිසවක් දැක්වෙන කැටයමක්.    (The Talkative Man)

සත් දවසකට රජකම ගත් තිෂ්‍යරක්ෂිතා මුලින්ම කළේ තමන් හැර කිසිවකු රජු මුණනොගැසිය යුතු බවට ආඥාවක් පැනවීමයි. ඉන්පසුව වහාම තක්ෂිලාවට පණිවුඩයක් යවන ඈ එහි නියෝගයක් ලෙස සඳහන් කරන්නේ කුණාල කුමරුන්ගේ ඇස්දෙක අන්ධ කළ යුතු බවයි. සාමාන්‍යයෙන් ඉක්මණින්ම ඉටුකළ යුතු, ප්‍රශ්න නොකළ යුතු රාජාඥා වලට මුද්‍රා තබන්නේ රජුගේ දතක සටහනකින්. තිෂ්‍යරක්ෂිතාව කරන්නේ, රජු නිදාසිටින විට ඔහු නොදැනුවත්ව ඔහුගේ දතක සටහනින් මුද්‍රා තබා මේ හසුන තක්ෂිලාවට යැවීමයි.

කුණාල කුමරුන් තක්ෂිලාවට යන විට එහි කැරැල්ලක් තිබු බව අප කලින් කීවා. කෙසේ වෙතත් කුණාල කුමරුන්ගේ රූපශෝභාව සහ කාරුණික හැසිරීම හේතුවෙන් කුමරුන් කෙරෙහි අතිශයින් පැහැදුණු පුරවැසියන්, සියලු කලකෝලාහල නවත්වා සාමදාන වී සිටියා. තිෂ්‍යරක්ෂිතාව විසින් රජුගේ දතින් මුද්‍රා තබන ලද හසුන තක්ෂිලාවට ලැබුණු විට නුවර වැසියන් ඒ නියෝගය ක්‍රියාත්මක කිරීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. එහෙත් කුණාල කුමරුන් කැමැති වන්නේ නැහැ සිය පියාගේ නියෝගයට පිටුපාන්න. අවසානයේ ඉතා නොකැමැත්තෙන් නමුත්, කුමරුන්ගේ බලකිරීම මත සැඩොලකු ගෙන්වා කුමරුන්ගේ ඇස් අන්ධ කිරීමට නුවරුන් කටයුතු කරනවා. මේ දැක කුමරුගේ භාර්යාව, කාංචනමාලාව සිහිසුන් වී ඇද වැටුණු බවයි සඳහන් වන්නේ.

කෙසේ හෝ තක්ෂිලාවට සමු දී ආපසු පාටලීපුත්‍රයට පැමිණෙන කුණාල කුමරු, නුවරට ළඟාවන්නේ ඉතා රෑ බෝ වීයි. රාත්‍රියට නුවර දොරටු වසා තබන නිසාත්, බොහෝදුර මග ගෙවා පැමිණීමෙන් කෙට්ටු වී සිටි නිසාත්, දොරටුපාලයන් මේ කුණාල කුමරුන් බව හඳුනාගන්නේ නැහැ. ඉතින් ඔහුටත් ඔහුගේ භාර්යාවටත් සිදුවෙනවා රාත්‍රිය නවාතැන්පොළක ගතකරන්න.

අලුයම අවදි වූ කුණාල කුමරුන් තමන්ගේ පුරුද්ද පරිදි වීණා වාදනය කරමින් සිය මිහිරි හඬින් ගීයක් ගයනවා. මේ ගීය ඇතුළු නුවර සිටි අශෝක රජුට ඇසෙනවා. වහාම ඇමතියකු යවා “මා පුතුගේ හඬින්ම ගී ගයන මේ ගායකයා දකිනු කැමැත්තෙමි”යි නියෝග කර, අන්ධ වාදකයා රජමැදුරට ගෙන්වනවා. මේ ඉන්නේ තමන්ගේ පුතා කුණාල කුමරුන් බව දකින රජු, කුමරුට සිදු වූ විපත්තිය පිළිබඳව ශෝකයට සහ කෝපයට පත්වෙනවා. කුණාල කුමරු එහිදී තිෂ්‍යරක්ෂිතාව තමන් වසඟයට ගන්නට උත්සාහ කළ ආකාරයත්, තමන් ඊට අකැමැති වූ ආකාරයත්, ඒ නිසා ඇය තමන්ගෙන් පළිගත් ආකාරයත් රජුට දන්වා සිටිනවා. මේ අසා කෝපයට පත්වන රජු, තිෂ්‍යරක්ෂිතාව හිස ගසා මරා දැමීමට නියෝග කරනවා.

හ්යුං සියං භික්ෂුවගේ දේශාටන වාර්තා වල සඳහන් කුණාල පුවත.   (හියුං සියං භ්‍රමණවෘතාන්තය – අනුවාදය; පොල්වත්තේ බුද්ධදත්ත මහනායක හිමි)

කුණාල කුමරුන්ට නැවත පෙනීම ලැබුණු ආකාරය වෘත්තාන්ත දෙකක, දෙයාකාරයකට දැක්වෙනවා. කුනාලාවදානයේ දැක්වෙන්නේ, කුණාල කුමරුන් රජු ඉදිරියේ සත්‍යක්‍රියා කළ බවයි. “මා කිසිදාක මගේ සුළුමව කෙරෙහි වරදක් නොසිතූ බව සත්‍යනම්, මාගේ දෑස පෙනේවා” යැයි සත්‍යක්‍රියා කළ බවයි එහි දැක්වෙන්නේ. හියුං සියං භික්ෂුවගේ දේශාටන වාර්තාවල දැක්වෙන්නේ, ඝෝෂ නම් භික්ෂුවක් නුවර වැස්සන් එක්රැස් කරවා මුළු රැයක් තිස්සේ ධර්ම දේශනාවක් කළ බවයි. ඒ ධර්ම දේශනාව ඇසු නුවර වැස්සන් හට, උතුරාගිය ශ්‍රද්ධාව හේතුවෙන් කඳුළු ගලා ගිය බවත්, ඒ කඳුළු සියල්ල එක්රැස් කර, කුණාල කුමරුන්ගේ දෑස සෝදා, මෙසේ සත්‍යක්‍රියා කළ බවත් එහි සඳහන්: “මේ කඳුළු සියල්ල තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් වගුරන ලද කඳුළු ය. තථාගත ධර්මය සත්‍යනම් මේ දෑස යළි පෙනේවා!”. එවිට ඒ බලයෙන් කුමරුට ඇස් පෙනීම ලැබුණේ ලු.

පෙනීම යළි ලබාගත්තත්, කුණාල කුමරුන් සිහසුනට කැමැති වූ බවක් සඳහන් වන්නේ නැහැ. අශෝක රජුගේ අභාවයෙන් පසුව සිහසුන ලබාදෙන්නේ කුණාල කුමරුගේ පුත් සම්ප්‍රති හෙවත් සම්පදී හටයි. අශෝක රජුගේ අවසාන කාලයත්, මේ වගේම විචිත්‍ර වෘත්තාන්තවලින් පිරුණු කතාවක්. ඔබේ කැමැත්ත අනුව ඒ කතාත් ඉදිරියේ දී ලිපි පෙළක් ලෙස ඉදිරිපත් කිරීමට අප සූදානම්.

Sources: අශෝකාවදාන

කුණාලාවදාන

හ්යුං සියං භ්‍රමණවෘත්තාන්තය

cover image: ashoka-the-great-original-imae88n3jyhpsm2r.jpg  (SwamiRaRa)

Related Articles