Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

චීන කතුන්ගේ රහසිගත අකුරු රටා : නීෂූ

පුංචි කාලේ විනෝදයට මිතුරු මිතුරියන් එක්ක රහස් හුවමාරු කර ගන්න තමන් විසින් ම නිර්මාණය කර ගත්ත අක්ෂර මාලාවක් භාවිතා නොකළ අයෙක් ඉන්නවා නම් ඒ බොහොමත් ම කලාතුරකින්. වයසින් වැඩෙන විට ඒ පුරුදු අපි අතරින් ඈත් වී ගිය ද චීනයේ හුනාන් ප්‍රන්තයට අයත් ජැංයොන් ප්‍රදේශයේ කතුන්, පුරුෂයන්ට රහසින් අදහස් හුවමාරු කර ගැනීම සඳහා රහසිගත අක්ෂර මාලාවක් භාවිතා කළ බව ඔබ දැන සිටියා ද?

© Hu Xin

කිසිම දිනෙක පුරුෂයින්ට කියා නොදුන් මේ අකුරු රටාවන් නීෂූ හෙවත් ‘කාන්තාවන්ගේ ලියැවීම්’ ලෙස හඳුන්වනවා. 19 හෝ 20 වැනි සියවසේ දී භාවිතයට පැමිණි එ් ගැන තොරතුරු ප්‍රසිද්ධියට පත් වන්නේ 1960 දශකයේ දී යි. මේ ලිපියේ අරමුණ භාවිතා නොකිරීම නිසා මේ වන විට අභාවයට යමින් පවතින නීෂූ අකුරු රටාවන් ගැන තොරතුරු ඉදිරිපත් කිරීම යි.

නීෂූ අකුරු රටා භාවිතා කළේ කවුද?

භාවිතයට පැමිණි මුල් කාලයේ දී නීෂූ අකුරු රාටවන් භාවිතා කළේ හුනාන් ප්‍රාන්තයේ ජැංයොන් ප්‍රදේශයේ වාසය කළ අඳ ගෙවිලියන් විසින්. මෙහි පැවැත්ම පිළිබඳ ව පුරුෂයන් දැන සිටිය ද අකුරු රටාවන් කියවීම සහ ලිවීමේ ක්‍රමවේදයන් සෑම විට ම මව විසින් දියණියට පමණක් උගන්වා තිබෙනවා.

collection.sina.com.cn

ඒ කාලයේ චීනයේ පීතෘ මූලික සමාජ ක්‍රමය තදින් ම මුල් බැස තිබුණු අතර පවුලේ සමීප ඥාතිවරියන් සහ මිතුරියන් සමග සන්නිවේදනයේ යෙදීම සඳහා නීෂූ අකුරු රටාවන් භාවිතා කර තිබෙනවා. නීෂූ අකුරු යොදා ගනිමින් අදහස් හුවමාරු කර ගැනීමට ප්‍රථම අදාළ කාන්තාවන් දෙදෙනා ලාටොන්ග් හෙවත් දිවුරුම් දුන් සොයුරියන් බවට පත් විය යුතු යි. එහි දී සිදු වන්නේ එක ම ගම්මානයේ වෙසෙන කුඩා දැරියන් දෙදෙනෙකු අතර සදාකල් පවතින මිතුදමක් ඇති කිරීම යි. මේ සඳහා දැරියන් දෙදෙනා ඥාතීන් නොවිය යුතු අතර ඔවුන් මතු දිනෙක විවාහ වී දුර බැහැර වෙනත් ගම් ප්‍රදේශයක් බලා ගිය ද ඇති කර ගන්නා ලද මිතුදම සදා කාලික ව පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

© UN Women

මෙසේ විවාහ වී වෙනත් ගම්මානයන් හි පදිංචිය සඳහා ගිය බොහෝ කතුන්ට ජීවත් වීමට සිදු වුණේ දැඩි අණසක යටතේ යි. ඔවුන්ට නිවසෙන් පිටතට පැමිණීමට අවසර නොතිබුණු අතර නිවස පිරිසිදු කිරීමේ සහ අත්කම් කටයුතු සිදු කරමින් දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදු වුණා. මෙවැනි විටක දී තමන්ගේ දුක, ළඟ ම මිතුරියක් සමග බෙදා හදා ගැනීම සඳහා නීෂූ අකුරු රටාවන් භාවිතා කරමින් ලියන ලද ලිපි හුවමාරු කර ගැනීමට චීන කතුන් පෙළඹී තිබෙනවා.

‘කතුන්ගේ ලියැවීම්’ ගැන හෙළි වුණේ කොහොම ද?

වසර සිය ගණනක් තිස්සේ රහසක් ව පැවති නීෂූ අකුරු රටාවන් පිළිබඳ තොරතුරු ලෝකයට හෙළි වුණේ අහම්බයෙන්. 1960 දශකයේ දිනක හුනාන් ප්‍රාන්තයේ දුම්රිය පොළකට වයස්ගත කාන්තාවක් සිහි මූර්ජා වී ඇද වැටුණු අතර එහි දී ඇගේ සහයට පැමිණ ඇත්තේ පොලීසිය යි. ඇගේ තොරතුරු සොයා ගැනීම සඳහා ඇය සතු බඩුබාහිරාදිය පිරික්සීමේ දී අමුතු අකුරු ක්‍රමයක් යොදා ගනිමින් ලියන ලද ලිපි කිහිපයක් හමු වී ඇති අතර එම කාන්තාව ඔත්තුකාරියක් බවට සැක කළ පොලිසිය ඇය ව සිර භාරයට ගෙන තිබෙනවා.

npr.org

ඉන් පසු ව සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී එතෙක් ලොවට රහසක් ව පැවති නීෂූ අකුරු රටාවන් පිළිබඳ ව කරුණු අනාවරණය වුණා. නමුත් විධිමත් වශයෙන් එහි බිහි වීම සහ වර්ධනය ගැන අධ්‍යයනය කිරීම අරඹා ඇත්තේ 1980 දශකයේ දී යි. ඒ චූ ෂෝයී නම් පුද්ගලයෙකු විසින්. නීෂූ අකුරු රටා තේරුම් ගැනීමට උගත් ප්‍රථම පුරුෂයා ලෙස සැලකෙන ඔහු 2003 දී ඒ සම්බන්ධයෙන් ශබ්දකෝෂයක් පවා සම්පාදනය කර කළා.

අත් ලේන්සුවේ මැසූ රහසිගත අකුරු

බිහි වූ දිනය හෝ ආකාරය ගැන නිශ්චිත තොරතුරු නොමැති නීෂූ අකුරු රටා වැඩි වශයෙන් දැක ගැනීමට ලැබෙන්නේ අලංකාර මැහුම් ක්‍රම යොදා ගෙන නිර්මාණය කළ අත් ලේන්සුවල සහ කම්බිලිවල යි. මෙයට අමතර ව චීන කතුන් භාවිතා කරන අත් පංකාවන් සහ ඔවුන් අතර හුවමාරු කර ගන්නා ලද ලිපිවල ද නීෂූ අකුරු සටහන් කර ඇති ආකාරය දැක ගැනීමට ලැබෙනවා.

reflexionarteling.wordpress.com

නීෂූ අකුරු භාවිතා කරන තවත් අවස්ථාවක් ලෙස සංචාෂු හෙවත් තෙවැනි දින සංදේශ හැඳින්විය හැකි යි. සංචාෂු ලෙස හඳුන්වන්නේ මනාලියකට ඇගේ විවාහ උත්සවයෙන් දින තුනකට පසු ව තිළිණ කරන රෙදි යොදා සැකසූ කවරයක් සහිත ග්‍රන්ථයක්. එය බොහෝ විට මනාලියගේ මව, ළඟ ම වැඩිහිටි ඥාතිවරියක් හෝ මිතුරියක් විසින් සම්පාදනය කරනු ලබනවා. එහි සඳහන් වන්නේ මනාලියගේ නික්ම යාම ඔවුන්ට දුක ගෙන දෙන බවත් ඇගේ මතු අනාගතය සතුටින් පිරුණු එකක් විය යුතු බවට වන ඔවුන්ගේ ප්‍රර්ථනා ඇතුළත් පණිවුඩ යි.

නීෂූ අකුරු ලියන අයුරු

© Hu Xin

චීන අක්ෂර මාලාව ඇසුරු කරගෙන සකසා ඇති නීෂූ අකුරු වැඩි වශයෙන් ම තිත්, චාපයන් සහ සිරස් ඉරි කැබලිවන් සමන්විත යි. සාමාන්‍ය යෙන් අකුරු 1,000 – 1,500 අතර ප්‍රමාණයකින් යුතු නීෂූ අකුරු දකුණේ සිට වමට, ඉහළ සිට පහළට ලියනු ලබනවා. නීෂූ අක්ෂර මාලාවේ ඇති අකුරු ප්‍රමාණයෙන් අඩක් පමණ විවිධ ශබ්දයන් පෙන්නුම් කිරීම සඳහා යොදා ගන්නා අතර ඉතිරි අඩ යම් කිසි තේරුමක් හැඟවීම සඳහා යොදා ගන්නවා.

නමුත් බහුල වශයෙන් භාවිතා කරන්නේ ශබ්ද පෙන්නුම් කිරීම සඳහා භාවිතා කරන ගණනින් 600 – 700 අතර ප්‍රමාණයක් ගන්නා අක්ෂර කොට්ඨාසය යි. ඒ අනුව චීන භාෂාවේ එන වචන නීෂූ අකුරු යොදා ගනිමින් නැවත ලිවීම මගින් පුරාණ චීන කතුන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

නීෂූ අකුරු භාවිතයෙන් ඈත් වුණේ ඇයි?

corriere.it

1980 දශකයේ නීෂූ අක්ෂර පිළිබඳ ව අධ්‍යයනයන් ආරම්භ කරන විට ද එය අභාවයට යමින් පැවතුණා. ඒ කාලයේ දී නීෂූ අකුරු ලිවීමට සහ කියවීමට හැකි කාන්තාවන් සිටියේ දුසිමකටත් අඩු පිරිසක්. එයට බොහෝ විට හේතු වන්නට ඇත්තේ 20 වැනි සියවසේ දී චීනය තුළ සිදු වූ සංස්කෘතික සහ සාමාජීය වෙනස් වීම් විය හැකි යි. තමන්ගේ මවගෙන් අකුරු ඉගෙන ගන්නවා වෙනුවට පාසල් යාමට චීන දැරියන්ට අවස්ථාවක් හිමි වූ අතර පිරිමි දරුවන් හා තරඟයට ඔවුන් ද සම්මත චීන අක්ෂර මාලාව ඉගෙනීමට යොමු වුණා.

නීෂූ අක්ෂර භාෂාව ගැන හදාරන අය හැරුණු විට එය මනා ව කියවීමට සහ ලිවීමට දැන සිටි යං හුආයී 2004 දී මිය ගියේ වයස අවුරුදු 98 ක් ව තිබිය දී යි. නමුත් යුනෙස්කෝ සංවිධානය මගින් ක්‍රියාත්මක කරන නෂ්ට භාෂා නැවත පිහිටුවීමේ වැඩසටහන යටතේ මේ වන විට චීන කතුන් යළිත් නීෂූ අකුරු රටා ඉගෙනීම කෙරෙ හි යොමු වී සිටිනවා.

කවරයේ පින්තූරය : (© Pedro Serapio)

Related Articles