Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවට නොමරිසි, සමරිසි කතාවක්

සමරිසි එහෙමත් නැත්නම් සමලිංගික, ලංකාවේ අපිට එච්චරම දිරවන්නේ නැති මාතෘකාවකි. බහුතරයක් මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නට ද දක්වන්නේ බියකි. ඒ, තමනුත් සමලිංගික කියලා සමාජය හිතයි කියන බියෙනි. ඒත් කෙනෙක් සමලිංගිකත්වය ගැන කතා කළ පමණින් ඔහු හෝ ඇය සමලිංගික වෙන්නේ නැත. ඒ වගේම තමා, ඔබ යමකට අකැමැති වූ පමණින් සමස්තය එයට අකැමැති විය යුතු ද? නැත, මිනිසෙකුට තමාට හරියැ යි හැඟෙන දෙයක් කරන්න, හෘද සාක්ෂියට එකඟව ජිවත් වෙන්න පූර්ණ අයිතියක් පවතී. ඒ අයිතිය ඔබට හෝ මට උදුරා ගැනීමට නොහැකි ය. එහෙම උදුරා ගන්නේ නම් ඒක සදාචාරාත්මක ද නොවේ.

සමරිසි කියන වචනය ඔබට නිතර ඇහුණ වචනයක් නොවෙන්නට පුළුවනි. ඒත්, LGBTQ කිව්වාම අද ඒක නොදන්න කෙනෙක් නැති තරම් ය. මේවට අමතරව විවිධ පහත්, අසභ්‍ය වචනත් මේ සඳහා භාවිතා කෙරෙනවා අප අසා ඇත්තෙමු. නමුත්, එවැනි වචන සදාචාරාත්මක පදනම මත මෙහි දී සඳහන් නොකරන්නට මම වගබලා ගත්තෙමි.

ද්විලිංගිකත්වය සහ විෂමලිංගිකත්වය මෙන්ම සමලිංගිකත්වය ද විෂමලිංගික-සමලිංගික වර්ණාවලියේ ඇති ප්‍රධාන ලිංගික දිශානති තුනෙන් එකකි. සමලිංගිකත්වය අස්වාභාවික දෙයක් ලෙස සමහර පුද්ගලයින් විශ්වාස කරන නමුත්, විද්‍යාත්මක පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ සමලිංගිකත්වය සාමාන්‍ය සහ මානව ලිංගිකත්වයේ ස්වාභාවික විචලනයක් බවත්, එමඟින් සෘණාත්මක මානසික ප්‍රතිඵල ඇති නොවන බවත් ය.

කවුද මේ LGBTQ

LGBTQ හෝ GLBT යනාදී වශයෙන් මෙකි ප්‍රජාව හඳුන්වනු ලබයි. මේ සියලු යෙදුම් මඟින් පොදුවේ ලිංගික දිශානතිය සහ අනන්‍යතාවය අදහස් කරයි. ලිංගික දිශානතිය යනු යමෙකුගේ ලිංගික ආශාවන්, ලිංගික අවශ්‍යතාවයන් හා සම්බන්ධ ආකර්ෂණය වීමේ, හැසිරීමේ සහ තම අනන්‍යතාවක් නොනැසී පවත්වා ගනු ලබන ආකාරය යි. එය මිනිසෙකු සමග ආදර හෝ ලිංගිකමය වශයෙන් තම සබඳතා වර්ධනය කර ගැනීමට  ඇති නැඹුරුව ප්‍රකාශ කරන්නකි. ලිංගික දිශානතිය සාමාන්‍යයෙන් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත රඳා පවතී. සරලව ගත් විට ලිංගික දිශානතිය යනු ඔබ ආදරය කරන හෝ ලිංගික සබඳතා පවත්වන්නේ කුමන ලිංගිකයෙකු සමග ද, එලෙස ආකර්ෂණය වීම ඔබ කෙලෙස අර්ථකථනය කරනවා ද යන්න යි. LGBTQIA යන යෙදුම හරහා පුළුල් පරාසයක ලිංගික අනන්‍යතා හා දිශානතියන් සහිත පුද්ගලයින් ආවරණය වේ.

එනම්; L=Lesbian, G=Gay, B=Bisexual, T=Transgender, Q=Queer, I=Intersex, හා A=Asexual වශයෙනි.  

Lesbian

කාන්තාවකට තම ආදර, කායික හෝ ලිංගික සබඳතා කෙරෙහි ආකර්ෂණීයත්වය ඇති වන්නේ තවත් එවැනිම කාන්තාවක් සමග නම්, ඇය සමලිංගික කාන්තාවක ලෙස හඳුන්වනු ලබයි.

Gay 

යම් පුරුෂයකුට තම ලිංගික සබඳතා හෝ ආදර සබඳතා කෙරෙහි ආකර්ෂණියත්වය ඇති වන්නේ තමා වැනිම  පුරුෂයකු සමග නම්, එවැනි පුද්ගලයෙකු සමලිංගික පුරුෂයෙකු ලෙස හඳුන්වනු ලබයි. සමලිංගිකත්වය පොදුවේ ගැහැණු-පිරිමි දෙපාර්ශ්වයට ම අදාළ කරගත හැකිය. සමලිංගිකයෙකු වීමට නම් අනිවාර්යයෙන්ම ඔවුන් තමාට සමාන ලිංගිකත්වයක් ඇති පුද්ගලයෙකු සමග එනම්, ගැහැනියක් නම් තවත් ගැහැනියක සමග සහ පුරුෂයෙක් නම් තවත් පුරුෂයෙකු සමග සබඳතා පැවැත්විය යුතුයි, ලිංගිකව ආකර්ෂණය විය යුතුය, ආදරය කළ යුතුයි. මින් කුමන හෝ සබඳතාවක් පවත්වන්නේ නම් ඉහත කී කාන්තාව හෝ පුරුෂයා සමලිංගිකයෙකුයැ යි හඳුන්වනු ලබයි.

Bisexual 

ද්විලිංගිකත්වය යනු කාන්තා හා පිරිමි යන දෙපාර්ශ්වය සමග ම ලිංගික, කායික මානසික යන සබඳතා ඇති කර ගත හැකි පිරිසට යි. මොවුන් දෙපාර්ශවය වෙත ම ආකර්ෂණය වන පුද්ගල කොට්ඨාශයකි.

උදා;

යම් ගැහැනියක් ලිංගිකව හෝ මානසික වශයෙන් පුරුෂයකු සමග මෙන්ම ගැහැනියක් වෙත ද සම සේ ආකර්ෂණය වන්නේ නම් එවැනි ස්ත්‍රියක් ද්විලිංගික යනුවෙන් හඳුන්වනු ලබයි.

Asexual 

මේ කාණ්ඩයට අයත් පුද්ගලයන්ට අනෙක් අය සමග අර්ථවත් සබඳතා ගොඩනඟාගත හැකියි. මොවුන් විරුද්ධ ලිංගිකයින් සමග සමීප සබඳතා පවත්වයි. නමුත් මොවුන් අනෙක් ප්‍රභේදවලින් වෙනස් වන්නේ මොවුන් කිසිදු අවස්ථාවක ලිංගිකත්වය වෙත ආකර්ෂණය නොවීම නිසා ය. මොවුන් ace-sexual ලෙස ද හඳුන්වයි.

Cisgender

මෙය අප සාමාන්‍යයෙන් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සිතනා දෙයයි. අපට උපතේ දී ස්ත්‍රී හෝ පුරුෂ යනුවෙන් ලිංගික අනන්‍යතාවයක් හිමි වේ. ඒ ලිංගික ඉන්ද්‍රිය දෙස බැලීමෙනි. එම බාහිර ශරීරය දෙස බලා දෙන නිගමනය හා අපගේ හැඟීම් එකිනෙක සමග සමපාත වන්නේ නම්, ඔවුන් cisgender ලෙස හඳුන්වයි.

උදාහරණයක් ලෙස ගත් විට; මා භෞතික ඉන්ද්‍රියමය වශයෙන් කාන්තාවක ලෙස පෙනී සිටින අතරම මානසික වශයෙන් සහ විඤ්ඤාණය වශයෙන් සිතන්නේ සහ පතන්නේ ද කාන්තාවක වශයෙන් නම් මා මේ කාණ්ඩයට අයත් වනු ලැබේ .

Transgender 

සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් යනු උපතේ දී පවරා ඇති ලිංගිකත්වයට වඩා වෙනස්ම ලිංගිකත්වයක් පසුකාලීනව උරුම වන්නා වු පිරිසකි. මෙය සංකීර්ණ සංකල්පයකි. මේ කාණ්ඩයට විවිධ ප්‍රභේද අයත් වේ. සංක්‍රාන්තික සමාජභාවය තුළ ප්‍රභේද ගණනාවකි. Transgender, Transsexual, Cross dressers, Drag queens, kings යනු එම ප්‍රභේද අතරින් කිහිපයකි. සංක්‍රාන්තික යන වචනයට පෙර තරු ලකුණක්  භාවිතා කරනු ඇතැම් විට දක්නට හැකිය. එමඟින් මේ කාණ්ඩය තුළ විවිධ ප්‍රභේද සහිත පුද්ගලයින් අන්තර්ගත වන බව ගම්‍ය කරවනු ලබයි.

විශේෂයෙන්ම අවධාරණය කළ යුත්තේ, සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් යනු ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අනන්‍යතාවක් මිස ලිංගික දිශානතියක් නොවන බව යි. මෙම පුද්ගලයින් සමලිංගික පුද්ගලයින් ලෙස හඳුනාගැනීම වැරදි ය.

Queer

යමෙකුගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගික දිශානතිය යන 2ම මෙහි දී අවධානයට ලක් කරයි. මෙකී පුද්ගලයින්ට නිශ්චිත ලිංගික අනන්‍යතාවක් නොමැතිය. එනම් තමන් පුරුෂයෙකු ද, එසේත් නොමැති නම් ගැහැනියක ද යන්න ඔවුනටම ප්‍රශ්නයකි. එවන්  ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නකාරී ගැටලු සහිත කාණ්ඩය මෙම කොටසට අයත් වේ.

Intersex

මෙය ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය, ලිංගික දිශානතිය යන දෙයාකාරයටම වඩා වෙනස් වේ. මෙමඟින් හඳුන්වන්නේ යමෙකු තමාගේ ලිංගිකත්වය හඳුනා ගන්නා ආකාරය යි. ඔවුන්ගේ ශරීරයේ අවයව මත ලිංගිකත්වය තීරණය කරනු ලබයි. එනම් මෙම පුද්ගලයන්ට මිශ්‍ර හා නොපැහැදිලි බාහිර ලිංගික ඉන්ද්‍රියන්, අභ්‍යන්තර ලිංගික ඉන්ද්‍රියන් තිබිය හැකිය. මොවුන්ට උපතේ දී යම් ලිංගිකත්වයක් හිමි වේ. නමුත් කුඩා අවධියේ දී ම ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය පිළිබඳ ශල්‍යකර්මවලට භාජනය වන අතර සංස්කෘතික වශයෙන් පිළිගත හැකි පරිදි ස්ත්‍රී හෝ පුරුෂ පෙනුමක් ලබාගැනීමට ඒ හරහා ක්‍රියා කරනු ලබයි. නමුත් එය වෛද්‍ය විද්‍යාවේ ආචාරධර්ම අභියෝගයට ලක් කරයි. එලෙස කුඩා අවදියේ දී එවැනි ශල්‍ය කර්මයට ලක්වන පුද්ගලයන්ට පසුකාලීනව තමාගේ වැදගත් ඉන්ද්‍රියක් තමාට අහිමි වූවායැ යි යන හැඟීමක් ඇති වන බව පසුකාලීනව කරන ලද පර්යේෂණවලින් තහවුරු වී ඇත. ලොව පුරා උපදින දරුවන්ගෙන් 2%-4% අතර ප්‍රමාණයක් මේ කාණ්ඩයට අයත් වේ .

LGBTQIA යන කාණ්ඩයට අයත් වන පුද්ගලයින්ට විවිධ ලිංගික අනන්‍යතා හා විවිධ ලිංගික දිශානතීන් සහිත ය. නමුත් විවිධත්වය සහිත මේ සියලු දෙනා එක් ප්‍රධාන කාණ්ඩයකට හෝ ප්‍රජාවකට ගොනුකොට කතා කරනු ලබන්නේ ඇයි ද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත් ය. ඔවුන් තමාගේ ලිංගිකත්ව අනන්‍යතාවය හෝ ලිංගික දිශානතිය මත එකිනෙකාට වඩා හාත්පසින්ම වෙනස් වූ නමුත් මේ සියලු දෙනා එකම කාණ්ඩයකට ගෙන අවධානය යොමු කරනු ලබන්නේ ඒ සියලු දෙනාට ම අනන්‍ය වූ එක් ලක්ෂණයක් නිසා ය. ඒ ඔවුන් පොදුවේ ප්‍රජාවක් ලෙස සමාජය තුළ හිංසනයට, පීඩනයට හා සමාජයේ හාස්‍යයට, කොන් කිරීමට ලක්වන බැවිනි.

මානව හිමිකම් යනු මිනිසකු ලෙස උපත ලැබීම නිසාම මිනිසාට අනිවාර්යය ලෙස හිමි විය යුතු, අහිමි කළ නොහැකි අයිතිවාසිකම් සමුදායකි. එසේ නම්, මිනිසුන් ලෙස උපත ලද මෙම ප්‍රජාවට ද මානව හිමිකම් හිමි විය යුතු ය. ඔවුනට ද තමාට කැමති අයෙකුට ආදරේ කිරීමට, තමන් කැමැති අයකු සමග ලිංගික සබඳතා පැවැත්වීමට නිදහස සහ අයිතිය තිබිය යුතු ය.

Related Articles