ලෝකයේ දේශගුණික කලාප – 1 කොටස

“නුවර කියන්නේ සැපෙන් ඉන්න හොඳම පළාතක්” “මෙහෙ වගේ නෙවෙයි මන්නාරමේ රස්නෙට අපිත් කරවල වෙනවා” “නුවර එළියේ ජනවාරියේ ගිහින් බලන්න සීතලේ ගල් වෙනවා” වැනි කියමන් නිතරම අපිට ඇහෙනවා. සාමාන්‍ය ව්‍යවහාරික භාෂාවෙන් මේ සාකච්ඡා වෙන දේ වලින් ප්‍රත්‍යක්ෂ වෙන්නේ ලංකාව ඇතුළේ පවා සැලකිය යුතු තරමේ  දේශගුණික වෙනස්කම් ඒ ඒ ප්‍රදේශ අරභයා ඇති බවයි. ඉතින් මුළු ලෝකයම ගත් විට කොයි තරම් දේශගුණික විවිධත්වයක් ඇතිද?

අක්ෂාංශ ගත පීහිටීම, උන්නතාශය, සමුද්‍රික බලපෑම වැනි දේ මත ලෝකයේ විවිධ ස්ථාන වල දේශගුණය වෙනස් වෙන්නට පුළුවන්.ලෝකයේ වැඩිම පිළිගැනීමකට ලක් වී ඇති දේශගුණික වර්ගීකරණ ක්‍රමය ලෙස සැලැකෙන්නේ දේශගුණික දත්ත මත පදනම්ව සැකසුණු ‘කොප්පෙන්’ දේශගුණික වර්ගීකරණ ක්‍රමයයි.  මෙය සකසන ලද්දේ ජර්මානු ජාතික උද්භිද හා දේශගුණය සම්බන්ධයෙන් විද්‍යාඥයෙකු වන ව්ලැදිමීර් කොප්පෙන් විසින්. මොහුගේ අභිප්‍රාය වී තිබුණේ ලෝකයේ වෘක්ෂලතා විසිරී ඇති ආකාරය අනුව විවිධ කලාප (බියෝම) වෙන් කර දැක්වීමටයි. 1900 වසරේදී වෘක්ෂලතා කලාප වර්ගීකරණයක් පිලිබඳ මුල්ම එළිදැක්වීම කළ මොහු 1940 වන තුරුම එහි විවිධ වෙනස්කම් කරනවා. මේ බියෝම වෙන් කිරීම පරිණාමය වී අවසානයේ කොප්පෙන් දේශගුණික වර්ග කිරීමේ පද්ධතිය කලඑළි බහිනවා.

මූලික වර්ගීකරණය

සම්පූර්ණ කොප්පෙන් දේශ්ගුණික වර්ගීකරණ සිතියමක්-gisweb.ciat.cgiar.org

කොප්පෙන් වර්ගීකරණය මූලික වශයෙන් සිදු කර ඇත්තේ වාර්ෂික හා මාසික වර්ෂාපතනයේ හා උෂ්ණත්වයේ සාමාන්‍යයන් අනුවයි. මේ අනුව වෘක්ෂලතා ගහනය ද වෙනස් වෙනවා. කොප්පෙන් වර්ගීකරණය අනුව ලෝකය ප්‍රධාන දේශගුණික කලාප 5 කට වෙන් කර ඇත්තේ පහත පරිදියි.

 

  • ඝර්ම කලාපීය තෙත් දේශගුණය. මෙහි සියළුම මාසවල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 ට වැඩිය.
  • වියළි දේශගුණය. අවුරුද්දේ වැඩි කාලයක් වර්ෂාව හිඟ ප්‍රදේශ
  • සෞම්‍ය ශීත කාලයක් සහිත තෙත්, මධ්‍ය අක්ෂාංශික දේශගුණ
  • දැඩි ශීත කාලයක් සහිත තෙත්, මධ්‍ය අක්ෂාංශික දේශගුණ
  • ධ්‍රැවාසන්න දේශගුණ

 

ඝර්ම කලාපීය තෙත් දේශගුණය (A)

 

නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක්-scribblemaps.com

ඝර්ම කලාපීය තෙත් දේශගුණය සහිත දේශගුණික කලාපය සමකයේ සිට උතුරු හා දකුණු අක්ෂාංශ 15 සිට 25 දක්වා විහිදී තිබෙනවා. මෙහි සියළුම මාස වල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 ට වඩා වැඩියි. ඒ වාගේ ම වාර්ෂික වර්ෂාපතනයත් මිලිමීටර 1500 ඉක්මවනවා.මේ ප්‍රධාන දේශගුණික කලාපය තුළ උප කලාප තුනක් දකින්නට පුළුවන්. ඒවා වර්ගීකරණය වී තිබෙන්නේ වර්ෂාපතනය ලැබෙන රටාවේ හා කාළයේ වෙනස්කම් මතයි.

නිවර්තන තෙත් කලාපයේ දී (Af) වර්ෂාව වසර පුරාම ලැබෙනවා. මුළු අවුරුද්ද පුරාම උෂ්ණත්වය වෙනස් වීම සෙල්සියස් අංශක 3 කට අඩුයි. භූමිය රත්වීම නිසා හා වැඩි ආර්ද්‍රතාවය නිසා සංවහන වළාකුළු සෑම අපරභාගයකම පාහේ ඇති වෙනවා. දිනයක උපරිම උෂ්ණත්වය සාමන්‍යයෙන් සෙල්සියස් අංශක 32ක් පමණ වෙනවා. රාත්‍රියේදී අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 22ක් පමණ වෙනවා.

නිවර්තන මෝසම් දේශගුණයේදී (Am) වාර්ෂික වර්ෂාපතනය නිවර්තන තෙත් දේශගුණයට සමාන හෝ වැඩි විය හැකියි. නමුත් වර්ෂාපතනය ලැබෙන්නේ අවුරුද්දේ උෂ්ණත්වයෙන් වැඩිම මාස කිහිපය තුළ යි. ඉතිරි මාස වල ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුයි.

ඝර්ම කලාපීය තෙත් හා වියලි හෙවත් සැවානා (Aw) දේශගුණයේදී අත් දකින්නට ලැබෙන වියලි කාළය වැඩි අතර මාස කීපයකට සීමා වෙන තෙත් ග්‍රීෂ්මයක් සහිතයි. වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍යයෙන් මිලිමීටර් 1000 ට අඩුයි.

වියලි දේශගුණ (B)

වියලි දේශගුණික කලාප වල සෑදෙන වෘක්ෂලතා ජලය රක්ෂණය කර ගන්නට අනුවර්තනය වී තිබෙනවා.-watersome.blogspot.com

මේ දේශගුණික කලාප වල දැකිය හැකි අනිවාර්ය ලක්ෂණයක් ලෙස වාෂ්පීභවනයෙන් හා උත්ස්වේදනයෙන් හානි වන ජල ප්‍රමාණය වර්ෂාවෙන් ලැබෙන ප්‍රමාණය ඉක්මවීම ගත හැකියි. මේවා සාමාන්‍යයෙන් උතුරු හා දකුණු අක්ෂාංශ 20-35 අතර ස්ථානගත වී ඇති අතර මීට අමතරව කඳු වළලු වලින් වටවුණු සුළං මුවාවන්වල ද දැක ගත හැකියි. මෙහිද උප කොටස් දෙකක් තිබෙනවා.

වියලි ශුෂ්ක (කාන්තාර) (BW) දේශගුණය ගොඩබිමින් 12% ක් පමණ වසාගෙන පැතිරිලා තිබෙනවා. මේ දේශගුණයට හුරු වුණු වෘක්ෂලතාදිය මෙහිදී දැකගන්නට පුළුවන්. මෙය හැඳින්වීමට යොදා ගන්න කැපිටල් අකුරු දෙකට අමතරව සිම්පල් h හා k යොදාගන්නේ මේ දේශගුණය සහිත ප්‍රදේශය හමු වෙන්නේ උපනිවර්තන කලාපයේද මධ‍ය අක්ෂාංශික කලාපයේද යන්න වෙන් කොට දැක්වීම සඳහායි.

අර්ධ ශුෂ්ක කලාපය (BS) ළඳු බිම් වලින් යුක්ත වන අතර ගොඩබිමින් 14%ක් පමණ වසා පැතිරී තිබෙනවා. මේ කලාපයට ශුෂ්ක කාන්තාර කලාපයට වඩා වර්ෂාව ලැබෙන අතර ඒවා ලැබෙන්නේ වාසුළි හා අඩු පීඩන කලාප වර්ධනය වීම මගින්.මෙයද පිහිටා ඇති ප්‍රදේශ අනුව කාන්තාරික ඒවා මෙන්ම වර්ගීකරණය කරනවා.

සෞම්‍ය ශීත කාලයක් සහිත තෙත්, උප නිවර්තන, මධ්‍ය අක්ෂාංශික දේශගුණ (C)

johndenugent.com

මේ කලාපයේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ  උණුසුම් හා වැඩි ආර්ද්‍රතාවයෙන් යුතු ග්‍රීෂ්මත් සෞම්‍ය ශීත ඍතුත් පැවතීමයි. මේවා උතුරු හා දකුණු අක්ෂාංශ 30ත් 50ත් අතර සාමාන්‍යයෙන් පැතිරී පවතින අතර බොහෝ විට රට වල නැගෙනහිර හා බටහිර මායිම් වල දැකිය හැකියි. ශීත ඍතුවේදී උප නිවර්තන වාසුළි මඟින්ද ග්‍රීෂ්මයේදී සංවහන වර්ෂා මඟින්ද මේවාට වර්ෂාව ලැබෙනවා. මෙම කලාපය තුළද උප කලාප 3ක් දැක ගත හැකියි.

වැඩි ආර්ද්‍රතාවයෙන් යුත් උපනිවර්තන කලාපයේ (Cfa) සාමාන්‍යයෙන් උණුසුම් හා තෙත් ග්‍රීෂ්ම ඍතුවක් ඇති අතර සෞම‍්‍ය ඍතුවක් පවතිනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කොටසේ පවතින්නේ මෙවැනි දේශගුණයක්.

සමුද්‍රික දේශගුණය සහිත ප්‍රදේශ (Cfb) සාමාන්‍යයෙන් මහද්වීප වල බටහිර වෙරළාශ්‍රිතව දැකගන්නට පිළිවන්. මේවාට කෙටි හා උණුසුම් ග්‍රීෂ්ම ඍතු බල පවත්වන අතර දිගු හා වර්ෂාව බහුල සෞම්‍ය ශීත කාල පැමිණෙනවා. මේ ප්‍රදේශ වලට ශීත කාලයේදී හොඳින් බල පැවැත්වෙන වාසුළි නිසා ඉතා දැඩි වර්ෂාවක් ලැබෙනවා.

මධ්‍යධරණී  දේශගුණය (Cs) සහිත ප්‍රදේශ  වලට වර්ෂාව ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ශීත කාළයේ බල පවත්වන සෞම්‍ය කලාපික වාසුළි නිසා. මේවායේ මාස 5ක් පමණ බල පැවැත්වෙන වියලි ග්‍රීෂ්මයක් ක්‍රියාත්මක වෙනවා. කැලිෆෝනියා ප්‍රාන්තය මීට හොඳ උදාහරණයක්.

දැඩි ශීත කාලයක් සහිත තෙත්, උප නිවර්තන, මධ්‍ය අක්ෂාංශික දේශගුණ (D)

මේ ප්‍රදේශ වලට ශීත කාලයට වැඩි හිම පතනයක් ලැබෙනවා-blogs.agu.org

මේ කලාපය සහිත බොහෝ ස්ථාන වල උණුසුම් හෝ සෞම්‍ය ග්‍රීෂ්ම කාලත් දැඩි ශීතලකින් යුක්ත ශීත කාළත් අත් විඳින්නට පුළුවන්. මේවා පවතින්නේ පවතින සෞම්‍ය ශීත කාලයක් සහිත තෙත්, උප නිවර්තන, මධ්‍ය අක්ෂාංශික දේශගුණ පෙන්වන ප්‍රදේශ වලින් ධ්‍රැව දෙසට යන විටයි. උණුසුම්ම මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 ඉක්මවන අතර ශීතලම මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක -3 ට අඩු වෙනවා. මේවායේ ශීත කාල, හිම කුණාටු හා තද සුළං සහිත දැඩි ඒවායි. මේ කොටසට අයත් ප්‍රදේශත් වියලි ශීත (Dw), වියලි ග්‍රීෂ්ම (Ds), සදා තෙත් (Df) යනුවෙන් උප කොටස් තුනකට බෙදෙනවා.

ධ්‍රැවාසන්න දේශගුණ (E)

WordPress.com

ධ්‍රැවාසන්න දේශගුණ පවතින ප්‍රදේශ වල වර්ෂය පුරාම ශීතල දේශගුණයක් පවතින අතර උණුසුම්ම මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට වඩා අඩු අගයක් ගන්නවා. මේ දේශගුණය සහිත ප්‍රදේශ උතුරු ඇමෙරිකාවේ උතුරු වෙරළබඩත්, යුරෝපයේ, ආසියාවේ, ග්‍රීන්ලන්තයේ හා ඇන්ටාක්ටිකාවේ දී දැක ගන්නට පුළුවන්.

ධ්‍රැවාසන්න තුන්ද්‍රා (ET) දේශගුණය සහිත ප්‍රදේශ වල පොළොව සදාකාලිකවම අඩි සිය ගණනක් ගැඹුරට යන තුරු මිදී පවතින අතර ලයිකන, පාසි, කුඩා පඳුරු වැනිදෑ වැවෙනවා.

ධ්‍රැවාසන්න අයිස් (EF) සහිත ප්‍රදේශ වල පොළොව සදාකාලිකවම අයිස් තට්ටුවකින් වැසී තිබෙනවා.

8- (සමකාසන්න කිලිමන්ජාරෝ කඳු මුදුන – දේශගුණික කලාප වලට බලපාන්නේ අක්ෂාංශගත පිහිටීම හා වර්ෂාපතනයම නොවේ-cumbretours.com)

විවිධ දේශගුණික කලාප ඇති වීමට බලපාන හේතු හා කොප්පෙන් දේශගුණික වර්ගීකරණයේ උප කොටස් පිළිබඳ වැඩි විස්තර ලිපියේ මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න.

(කවරයේ පින්තූරය – xinature.com)

මූලාශ්‍ර

PhysicalGeography.net

britannica.com

Related Articles

Exit mobile version