Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාරයේ රෝදයක හුළං යාම නිසා ආණ්ඩුවක් පෙරලුණු හැටි

1960 ජූලි මහා මැතිවරණයෙන් පසුව සිරිමා බණ්ඩාරනායක රජය බලයට පත් වුණේ මන්ත්‍රී ආසන 75ක් දිනාගනිමින්. එම අවධියේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 151ක් සිටි නිසා යම් පක්ෂයකට බහුතර බලය ලබාගැනීම සඳහා මන්ත්‍රීධූර 76ක් අවශ්‍ය වුණා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සතුව මන්ත්‍රීවරුන් 75ක් පමණක් සිටි නිසා ඕනෑම අවස්ථාවක රජය පෙරළා දැමීමේ අවස්ථාව විපක්ෂයට හිමිව තිබුණා. නමුත් 1964 වසරේ දී සිරිමා බණ්ඩාරනායක රජය පෙරළා දැමුවේ එවකට සිටි ප්‍රබලම ඇමතිවරයෙකුගේ සහාය ඇතිව යි.

සිරිමා බණ්ඩාරනායක (gettyimages) 

1963 වසරේ දී වාමාංශික එක්සත් පෙරමුණ බිහිවීම 

1963 වසරේ අගෝස්තු මාසයේ දී එවකට දේශපාලන බිමේ සිටි ප්‍රබලම වාමාංශික පක්ෂ ත්‍රිත්වය වුණු ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, සහ මහජන එක්සත් පෙරමුණ එක්ව ගිවිසුමක් අත්සන් කළා. ඉන් පසුව එම පක්ෂ එකතු වී වාමාංශික එක්සත් පෙරමුණ මඟින් නව සන්ධානයක් පිහිටුවා ගත්තේ ඉදිරි මහා මැතිවරණය සඳහා මුහුණ දීමේ අරමුණ ඇතිව යි. 1963 වසරේ අගෝස්තු 12 වැනිදා කොළඹ නගරයට සිව් දෙසකින් ජනතා පෙළපාලි එකතු වුණේ වාමාංශික එක්සත් පෙරමුණේ මංගල රැළිය පැවැත්වීම සඳහා යි. එදා නිදහස් චතුරස්‍රයේ පැවති එම ජන රැළියට අති විශාල ජනකායක් එකතු වීමත් සමගම ලංකාවේ වාමාංශික දේශපාලනයේ නව පිබිදීමක් දක්නට ලැබුණා.

හවුල් ආණ්ඩුවකට පාර කැපූ බොරැල්ල අතුරු මැතිවරණය

1960 ජූලි මහා මැතිවරණයේ දී බොරැල්ල ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුණු දොස්තර ඩැනිස්ටර් ද සිල්වා යි. ඔහු 1963 වසරේ අග භාගයේ දී මිය යාමත් සමග ඇති වුණු පුරප්පාඩුව සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වුණේ 1964 වසරේ ජනවාරි 18 වැනිදා යි. එම කාල සමය වන විට එක්සත් ජාතික පක්ෂය යළි නැගිටිමින් සිටි නිසා ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂයා වුණු ආර්.බී. ලෙනෝරා අතුරු මැතිවරණය ජයගනු ඇති බවට බොහෝ දෙනෙකු විශ්වාස කළා. නමුත් කිසිවෙකු නොසිතූ අයුරින් වාමාංශික එක්සත් පෙරමුණ මඟින් ඉදිරිපත් කළ විවියන් ගුණවර්ධන වැඩි ඡන්ද 423කින් බොරැල්ල අතුරු මැතිවරණය ජයග්‍රහණය කළා. එවකට බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම අතුරු මැතිවරණය සඳහා තරගකරුවෙකු ඉදිරිපත් කළේ නැහැ. නමුත් ස්වාධීනව අතුරු මැතිවරණය සඳහා තරග කළ ඩැනිස්ටර් ද සිල්වාගේ බිරිඳ වුණු කමලා ද සිල්වාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලැබුණා. මැතිවරණය අවසානයේ දී කමලා ද සිල්වා ඡන්ද 1,356ක් පමණක් ලබාගනිමින් අන්ත පරාජයක් ලැබූ නිසා එවකට අගමැතිනිය ලෙසින් කටයුතු කළ සිරිමා බණ්ඩාරනායක පවා වික්ෂිප්ත වුණා.

රජය සහ වාමාංශික පක්ෂ අතර හවුල් ආණ්ඩුවක් 

1964 වසරේ මාර්තු 21 වැනිදා ප්‍රබල වෘත්තීය සමිති 14ක් එක්ව ඇන්.ඇම්. පෙරේරාගේ නායකත්වය යටතේ දැවැන්ත ජන රැලියක් පවත්වනු ලැබුවේ ගාලු මුවදොර පිටියේ දී යි. එදා වාමාංශික එක්සත් පෙරමුණ ප්‍රමුඛ  පිරිස රජයට ඉල්ලීම් 21ක් ඉදිරිපත් කළා. එලෙස වාමාංශික එක්සත් පෙරමුණ විශාල ජන බලයක් සමග පෙරට ඒම එතරම් හිතකර නොවුණු නිසා ලංකා සමසමාජ පක්ෂය සමගින් හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සිරිමා බණ්ඩාරනායක පිඹුරුපත් සකස් කළා. එවකට රජයේ අමාත්‍යවරයෙකුව සිටි ටී.බී. ඉලංගරත්න සමසමාජ නායකයන් සමග සාකච්ඡා කිරීම සඳහා යොදවනු ලැබුවා. අවසානයේ දී සමසමාජ පක්ෂය  රජයට එක් වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කළත් ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් එයට විරුද්ධ වුණා. එනිසා 1964 වසරේ මැයි 9 වැනිදා පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ඉහත යෝජනාව ඉදිරිපත් කෙරුනා. එහි දී යෝජනාවට පක්ෂව ඡන්ද 212ක් ලැබෙන විට විපක්ෂව ලැබුණේ ඡන්ද 4ක් පමණ යි. නමුත් ලංකා සමසමාජ පක්ෂයේ එඩ්මන්ඩ් සමරක්කොඩි ප්‍රමුඛ පාර්ශවය රජය සමග එකතු වීමට තරයේම විරුද්ධ වුණා. ඒ අනුව ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ආණ්ඩුවට එක්වීම පිළිබඳව කළ යෝජනාව වැඩි ඡන්ද 1කින් පරාජයට පත් වුණා. නමුත් ඉන් නොසැලුණු පක්ෂ නායක ඇන්.ඇම්. පෙරේරා 1964 වසරේ ජූනි 7 වැනිදා පක්ෂ මහා සමුළුව කැඳවා ඡන්දය විමසනු ලැබුවා. එහි දී යෝජනාවට පක්ෂව ඡන්ද 507ක් ලැබෙන විට විපක්ෂව ලැබුණේ ඡන්ද 176ක් පමණ යි. එලෙස යෝජනාව සම්මත වීමත් සමග ජූනි 11 වැනිදා සමසමාජ පක්ෂය රජය සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. එහි දී සමසමාජ පක්ෂයට ඇමතිධූර ලැබුණේ පහත දැක්වෙන ආකාරයට යි.

ඇන්.ඇම්. පෙරේරා- මුදල් අමාත්‍ය

අනිල් මුණසිංහ- ප්‍රවාහන අමාත්‍ය

චම්ලි ගුණවර්ධන- රජයේ වැඩ අමාත්‍ය

විවියන් ගුණවර්ධන- ස්වදේශ සහ පළාත් පාලන නියෝජ්‍ය ඇමතිනිය 

චන්ද්‍රා ගුණසේකර- සංස්කෘතික සහ සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය

ඇන්.ඇම් පෙරේරා (Daily Mirror)

හවුල් ආණ්ඩුව නිසා මෙරට දේශපාලන පිටිය උණුසුම් වෙයි 

ලංකා සමසමාජ පක්ෂය රජය සමග සන්ධානගත වුණත් මහජන එක්සත් පෙරමුණ සහ කොමියුනිස්ට් පක්ෂය රජයට එකතු වුණේ නැහැ. එදා සමසමාජ පක්ෂය ඉවත්ව යාමත් සමගම වාමාංශික එක්සත් පෙරමුණ නම් ප්‍රබල සන්ධානය බිඳ වැටුණා. එය සිරිමා බණ්ඩාරනායක රජය අපේක්ෂා කළ සිදුවීමක් වුණා. එලෙස වාමාංශික එක්සත් පෙරමුණ බිඳ වැටෙන විට හවුල් ආණ්ඩුව තුළ ද අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. එම නිසා හවුල් ආණ්ඩුවේ තැපැල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි මහානාම සමරවීර එම තනතුරෙන් ඉල්ලා අස් වුණා. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටි දක්ෂිණාංශිකයින් වුණු සී.පී. ද සිල්වා ප්‍රමුඛ පිරිස හවුල් ආණ්ඩුව පිළිබඳව සිටියේ කැමැත්තකින් නොවෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුව තුළ අභ්‍යන්තර ගැටුම් ඇති වන ආකාරය දක්නට ලැබුණා. 

රාජාසන කතාවට විරුද්ධව රජයේ මන්ත්‍රීවරුන් 14ක් ඡන්දය දෙයි 

රාජාසන කතාව සඳහා ඡන්ද විමසීම යෙදී තිබුණේ 1964 වසරේ දෙසැම්බර් 3 වැනිදා යි. එම ඡන්ද විමසීම ආරම්භ වන විටම සභා නායක සී.පී. ද සිල්වා විපක්ෂයට ගොස් අසුන් ගත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රීතී ඝෝෂා හඬ මැද යි. එදා රාජාසන කතාව සඳහා පැවති ඡන්ද විමසීමේ දී එයට විරුද්ධව ඡන්දය දුන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙසේ යි.

1) සී.පී. ද සිල්වා- සභා නායක, වාරිමාර්ග, ඉඩම්, කෘෂිකර්ම සහ විදුලිබල අමාත්‍ය 

2) මහානාම සමරවීර- මාතර මන්ත්‍රී 

3) විජේබාහු විජේසිංහ- මීරිගම මන්ත්‍රී 

4) ඉන්ද්‍රසේන ද සොයිසා- අම්පාර මන්ත්‍රී

5) එස්.බී. ලේනව- කැකිරාව මන්ත්‍රී 

6) පී.පී. වික්‍රමසූරිය- දෙවිනුවර මන්ත්‍රී 

7) සර් රසික් ෆරීඩ්- මැද කොළඹ පළමු මන්ත්‍රී 

8) ඒ.එච්. ද සිල්වා- පොළොන්නරුව පළමු මන්ත්‍රී 

9) එඩ්ටන් විජේසූරිය- මස්කෙළිය මන්ත්‍රී 

10) චන්ද්‍රසේන මුණවීර- රත්තොට මන්ත්‍රී 

11) ඩී.ඊ. තිලකරත්න- රත්ගම මන්ත්‍රී 

12) ලක්ෂ්මන් ද සිල්වා- බලපිටිය මන්ත්‍රී 

13) ඇල්බට් සිල්වා- මොණරාගල මන්ත්‍රී 

14) සිංගල්ටන් සැමන්- පත් කළ මන්ත්‍රී 

රජය එක් ඡන්දයකින් රාජාසන කතාව පරාජය වෙයි 

එදා ඡන්ද විමසීම අවසානයේ දී රජයට පක්ෂව ඡන්ද 73ක් ලැබෙන විට විපක්ෂව ඡන්ද 74ක් ලැබී තිබුණා. එහි දී සෞම්‍යමූර්ති තොණ්ඩමන් ඡන්දය ලබාදීමෙන් වැලකී සිටීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේම එම ඡන්ද විමසීමේ දී රජයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට ඡන්දය ලබා දීමට නොහැකි වීම අනපේක්ෂිත සිදුවීමක් වුණා. ඒ වන විට ලංඩන් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇන්.ඇම්. පෙරේරාටත්, කැනඩාවේ සංචාරයක නිරත වෙමින් සිටි බර්නාඩ් සොයිසාටත් විදේශගතව සිටි නිසා ඡන්ද විමසීම සඳහා පැමිණීම කිසිසේත්ම කළ නොහැකි වුණා. එසේම එදා පස්සර මන්ත්‍රීවරයාව සිටි අමරානන්ද රත්නායක පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටිය දී සිය කාරයේ රෝදයක හුළං බැසීම නිසා නියමිත වේලාවට එහි පැමිණීමට නොහැකි වුණා. එදා යම් හෙයකින් අමරානන්ද රත්නායක මන්ත්‍රීවරයාගේ ඡන්දය ආණ්ඩුවට පක්ෂව ලබාදුන්නා නම් දෙපිලටම ඡන්ද 74 බැගින් ලැබීමට ඉඩ තිබුණා. නමුත් අවාසනාවන්ත අන්දමින් එම මන්ත්‍රීවරයාගේ කාරයේ රෝදයක හුළං බැසීම ආණ්ඩු පෙරළියකට මුල් වුණේ පුදුමාකාර අන්දමින්.

කවරයේ ඡායාරූපය- සී.පී ද සිල්වා (සී.පී ද සිල්වාගේ චරිතාපදානය) 

මූලාශ්‍රයයන්- යුගයක ගමන- ටී.බී ඉලංගරත්න 

Related Articles