මෙතෙක් සම්මුතියෙන් එස්කොබාර්ව පාලනය කරගැනීමට උත්සාහ කළ ජනාධිපති සීසර් ගැවිරියා ඔහුගේ පළා යාමෙන් කෝපයට පත් වුණා. ඔහු ඇමරිකානුවන් අමතා එස්කොබාර් අල්ලාගැනීම සඳහා සම්පූර්ණ සහය ඉල්ලා සිටියා.
මේ අනුව ඇමරිකාවෙන් විවිධ කණ්ඩායම් කොලොම්බියාව වෙත පැමිණියා. ඒ අතර ඩෙල්ටා ෆෝර්ස්, සෙන්ට්‍රා ස්පයික් විශේෂ කණ්ඩායම්, සී.අයි.ඒ ඔත්තු සේවය ආදී විවිධ පිරිස් වුණා.
එස්කොබාර් මෙසේ පළා යාම පිළිබඳ ඔහුව අල්ලාගැනීම සඳහා මෙහෙයුම් දියත් කළ කොලොම්බියානු සහ ඇමරිකානු නිලධාරීන් බෙහෙවින් සතුටට පත් වුණා. දැන් ඔවුනට කිසිදු ආකාරයේ සීමාවකට යටත් නොවී එස්කොබාර් හඹා යා හැකි වුණා.
ඩෙල්ටා ෆෝර්ස් බලකායට දින කිහිපයක් තුළ එස්කොබාර් රැඳී සිටින ස්ථානය පිළිබඳ හෝඩුවාවක් ලැබුණා. නමුත් කොලොම්බියානු සේනාංක එහි යනවිට ඔහු පළාගොස් තිබුණා.
එස්කොබාර් අල්ලාගැනීමේදී මුහුණ දෙන්නට වූ එක් ප්‍රධාන අභියෝගයක් වූයේ ඔහු නිතරම තමන් සිටින ස්ථානය වෙනස් කිරීමයි. එක් රාත්‍රියක ඔහු සිටින ස්ථානයෙන් ඊළඟ දිනයේ උදෑසන ඔහු පිටව ගොස් සිටීම සාමාන්‍ය කරුණක් වුණා. මේ හේතුවෙන් යම් ඔත්තුවක් ලැබුණත් ඒ වෙත ආරක්ෂක අංශ පැමිණෙන විට ඔහු එහි නොසිටීමට හොඳටම ඉඩ තිබුණා.
මෙම අවස්ථාවේ කොලොම්බියානු රජය තීරණය කළේ පැරණි සෙවුම් බලකාය ප්‍රතිස්ථාපනය කිරීමටයි. මෙම අවස්ථාවේදී ඇමරිකානු බුද්ධි අංශ, ත්‍රස්ත විරෝධී බලකා ආදියෙහි සහය ද ඔවුනට ලැබුණා. නැවත වරක් එහි ප්‍රධානියා ලෙස කර්නල් මාර්ටිනෙස් පත් කෙරුණා. නියෝජිත ස්ටීව් මර්ෆි සහ හාවියර් පෙන්යා මෙඩෙයීන් හි රැඳෙමින් ඊට සහය දුන්නා. මෙම සෙවුම් බලකාය පෙර සංවිධානයට වඩා සංවිධානාත්මක, මනා පුහුණුවක් ලද, වඩා හොඳ ආයුධවලින් සන්නද්ධ එකක් වුණා. 1992 වසරේ අවසන් මාසවල මෙම බලකායට ඇමරිකානු සහය ද ඇතිව වඩාත් හොඳ පුහුණුවක් ලබා දුන්නා.
සෙවුම් බලකායේ ප්‍රහාර හමුවේ පාබ්ලෝගේ සංවිධානය යළිත් අසරණ වීමට පටන් ගත්තා. පාබ්ලෝ එස්කොබාර් නැවතත් රජය වෙත පණිවිඩ එන්නට වුණා. එමගින් ඔහු යෝජනා කළේ පෙර වූ ආකාරයේ එකඟතාවකට පැමිණීම යි. නමුත් රජය මෙවර ඒ කිසිවකට සූදානම් වූයේ නැහැ. එස්කොබාර් ලුහු බඳින්නන් මේ වනවිට ඉලක්ක කළේ ඔහු නීතිය හමුවට පැමිණවීමට වඩා ඔහුව මරා දැමීමට බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා.
මේ අවස්ථාවේදී සෙවුම් බලකාය විසින් එස්කොබාර්ගේ සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කරගන්නට වුණා. සංවිධාන ශක්තිය දුර්වල කිරීමෙන් එස්කොබාර් කොටුකර ගැනීම ඔවුනගේ ඉලක්කය වූ අතර ඔවුන් ඒ සඳහා එස්කොබාර්ගේ සංවිධානයට සම්බන්ධ වූවන් පිළිබඳ විස්තර සොයාගෙන ඔවුන් ඉලක්ක කළා. එස්කොබාර් මීට පිළිතුරු දුන්නේ මෙඩෙයීන් හි පොලිස් නිලධාරීන් ඉලක්ක කරමින්. ඔහු ලුහුබැඳින බලකායන්ට කිසිදු සබඳතාවක් නොමැති පොලිස් නිලධාරීන් තැන තැන මරා දමනු ලැබුණා.
ලොස් පෙපේස්
1993 ජනවාරි 30 වනදා මෙඩෙයීන් හි තවත් කාර් බෝම්බයක් පුපුරා ගියේ විශාල පිරිසක් මරණයට පත් කරමින්. මෙය එස්කොබාර් විනාශ කිරීමේ උත්සාහය තව තවත් තීව්‍ර කිරීමට හේතු වුණා.
මේ අතර ඉන් දින කිහිපයකට පසු වෙනත් බෝම්බ ප්‍රහාරයන් මෙඩෙයීන් හි සිදු වුණා. නමුත් මෙවර එස්කොබාර් එම ප්‍රහාරයන් හි ඉලක්කය බවට පත් වුණා. ඔහුගේ මවට අයත් තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා ගියා. ටික දිනකින් එස්කොබාර්ගේ තවත් නිවසක් බෝම්බ ප්‍රහාරයකින් සුනුවිසුනු වී ගියා.
මෙම ප්‍රහාරයන් හි වගකීම භාරගත්තේ “ලොස් පෙපේස්” නම් සංවිධානයක්. “පාබ්ලෝ එස්කොබාර් අතින් පීඩනයට පත් අයගේ නෑ හිතමිතුරන්” යන අර්ථයෙන් මෙම නම තබන ලද බවයි සඳහන් වූයේ. බලධාරීන් ප්‍රකාශ කළේ මේ පිරිස පිළිබඳ තමන් කිසිත් නොදන්නා බවයි. එස්කොබාර් භාවිතා කළ ආකාරයේම කුරිරු ක්‍රමවලින් මොවුන් එස්කොබාර්ගේ පිරිස් ඉලක්ක කරනු දැකිය හැකි වුණා. මෙම පිරිස ආරක්ෂක අංශවලටත් වඩා එස්කොබාර්ට තර්ජනයක් බවට පත් වූ බව පැහැදිලියි. ඇතැම් කාලවලදී සෑම දිනකම පාහේ එස්කොබාර්ට සම්බන්ධ වූ පස් හය දෙනකුවත් ලොස් පෙපේස් විසින් ඝාතනය කරනු ලැබීම මෙම තර්ජනයෙහි තරම කියාපානවා.
පසුකාලීනව හෙළි වූයේ එස්කොබාර් සමග සම්බන්ධව සිට, පසුව ඔහු හා බිඳී ගිය පැරාමිලිටරි කණ්ඩායම් ද මේ පිටිපස සිටින බවයි. එස්කොබාර් තම සංවිධානයේ සාමාජිකයන් ඝාතනය කිරීමට පටන් ගත් විට එහි ඇතැම් සාමාජිකයන්, මේ පැරාමිලිටරි කණ්ඩායම් හා සම්බන්ධ වුණා. කස්තාන්යා සහෝදරවරුන්ගේ සංවිධානය මේ අතර ප්‍රමුඛ වූ අතර ලොස් පෙපේස් නිර්මාණය සඳහා ද ඔවුන් දායක වුණා. මෙඩෙයීන් කාර්ටලයේ ප්‍රධාන ව්‍යාපාරික තරගකරු වූ කාලි කාර්ටලය ලොස් පෙපේස් වෙත ආධාර කළ බව ද කියැවුණා. මේ අතර ලොස් පෙපේස් සඳහා කොලොම්බියානු සහ ඇමරිකානු බලධාරීන්ගේ ආධාර තිබෙන බව එස්කොබාර් දිගින් දිගටම කියා සිටියා.
කොලොම්බියාවෙහි එස්කොබාර් හඹා යන මෙහෙයුම්වලට දායක වූ ඇමරිකානුවන්ට ලොස් පෙපේස් සමග සබඳතා තිබුණා හෝ නැතා හෝ, එවැන්නක් තිබෙන බවක් වොෂිංටනය සැක කරනවාට ඔවුන් කැමති වූයේ නැහැ. ලොස් පෙපේස් යනු ඉතා කුරිරු කණ්ඩායමක් වූ හෙයින් යම් හෙයකින් ඇමරිකානුවන් ඒ හා සම්බන්ධ බව සැක කළේ නම්, ඇමරිකානු රජය කොලොම්බියාවේ තම කටයුතු නවතා දැමීමට වුවද ඉඩ තිබුණා.
මේ අතර සෙවුම් බලකායේ සාමාජිකයන් සහ ලොස් පෙපේස් අතර සබඳතා ඇති බවට ඇමරිකානුවන්ට තොරතුරු ලැබී තිබුණා. ඒ පිළිබඳ ඇමරිකානු තානාපතිවරයා ජනාධිපති ගැවිරියා වෙත පැමිණිලි කළා. ගැවිරියා පොලිසියට කියා සිටියේ ලොස් පෙපේස් හා සබඳතා නොපැවැත්විය යුතු බවයි. එම නියෝගයෙන් ස්වල්ප දිනකට පසු ලොස් පෙපේස් සංවිධානය විසුරුවා හරින බව එම සංවිධානය විසින් ප්‍රකාශ කළා. එමෙන්ම කලක් යනතුරු ලොස් පෙපේස් විසින් එල්ල කෙරෙන ප්‍රහාර නැවතී ගියා. මේ අනුව ලොස් පෙපේස් සහ පොලිසිය අතර යම් සම්බන්ධකමක් ඇති බවට වූ සැකය ද තහවුරු වුණා. ඒ කෙසේ වෙතත් ලොස් පෙපේස් විසින් එල්ල කළ ප්‍රහාර ස්වල්ප දිනකට පසු යළිත් ඇරඹුණා.
1993 වසර මුල පටන්ම එක දිගටම එස්කොබාර් වෙත විවිධ අංශයන් වෙතින් එල්ල වූ ප්‍රහාර හමුවේ ඔහුගේ මෙඩෙයීන් කාර්ටලය අඩපණ වුණා. ලොස් පෙපේස් විසින් පහළ මට්ටමේ සාමාජිකයන් මරා දමද්දී සෙවුම් බලකාය විසින් කාර්ටලයේ ප්‍රබලයින් සොයා ඝාතනය කළා. නිල වශයෙන් තහනම් වුවද ඇමරිකානු බලකායන් ද මෙම ප්‍රහාරවලට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම ලොස් පෙපේස් ප්‍රහාර හමුවේ එස්කොබාර්ගේ මෙඩෙයීන් කාර්ටල ජාලයම සුනුවිසුනු වෙමින් පැවතියා.
එස්කොබාර්ගේ පවුල
1992 ජූලි මාසයේදී එස්කොබාර් ලා කැතේඩ්‍රාල් හි සිට පළා ගිය පසු විමර්ශකයන් එය පරීක්ෂා කළා. එහිදී සොයාගත් ඡායාරූප ආදියෙන් ඔවුනට පැහැදිලි වූයේ එස්කොබාර් සිය පවුලට කෙතරම් සමීපද යන්නයි. ලොස් පෙපේස් සංවිධානය ද ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක කරගත් විට එස්කොබාර් බියට පත් වූයේ එහෙයින්.
තමන්ට එරෙහි ප්‍රහාර දරුණු වනවිට එස්කොබාර් තම පවුල කොලොම්බියාවෙන් පිටමං කිරීමට උත්සාහ කළා. එක් අවස්ථාවක ඔවුන් ඇමරිකානු වීසා ද සමග කොලොම්බියාවෙන් පිට වීමට යද්දී බොගොටා හි ගුවන් තොටුපලේදී ඔවුන් නවතා ගනු ලැබුණා. ඔවුනගේ වීසා ද අවලංගු කෙරුණා.
එස්කොබාර්ගේ පවුල රටින් පිට වී නම් ඔහු වඩා නිදහස් ව සිය ක්‍රියාකාරකම්වල නිරත වන බව කාටත් පැහැදිලි වුණා. මේ අනුව ඔවුන් රට තුල තබා ගැනීම ඉතා වැදගත් වුණා. ඔහුගේ පවුල පොලිසිය විසින් විසි හතර පැයේම නිරීක්ෂණය කරන බව එස්කොබාර් දැන සිටියා. එහෙයින් තමා හඹා එන ප්‍රධාන නිලධාරීන්ගේ පවුල් ඉලක්ක කරගෙන පහර දීමට ඔහු පෙළඹුණේ නැහැ. එසේ කළේ නම් ඔහුගේ පවුල ද ඝාතනය වන බව එස්කොබාර් හොඳින් දැන සිටියා. නමුත් එස්කොබාර් පවුල රටින් පළා ගියේ නම් ඔහුට තම එදිරිවාදීනගේ පවුල් ඉලක්ක කරගෙන පහර දිය හැකි වුණා. එහෙයින් එස්කොබාර්ගේ පවුලට රටින් පිට වීමට ඉඩ නොදීම අත්‍යාවශ්‍ය වුණා.
තම අපවුලේ අයට පිට වීමට ඉඩ නොදීමේ සිද්ධියෙන් එස්කොබාර් දැඩි සේ කුපිත වුණා. ඔහුගේ ප්‍රතිචාරය වූයේ 1993 අප්‍රේල් 19 වනදා බොගොටාවේදී පුපුරා ගිය කිලෝ 150 ක අධි බලැති කාර් බෝම්බයක්. ඔහු එතැනින් ද නැවතුණේ නැහැ. මාස දෙකක් තුල ඔහුගේ අණ පරිදි කාර් බෝම්බ නවයක් පිපිරී ගිය අතර සිය ගණනක් අහින්සකයින් ඉන් මිය ගියා.
මේ අතර එස්කොබාර් සමග සටන තවත් ප්‍රචණ්ඩ වන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා. එස්කොබාර්ගේ බෝම්බ ප්‍රහාරයන්ට ලොස් පෙපේස් විසින් ප්‍රතිචාර දැක්වූයේ ඔහුගේ ප්‍රධාන නීතිඥයා සහ ඔහුගේ පුත්‍රයා පැහැරගෙන ගොස් මරා දැමීමෙන්.
රහසින් සවන් දෙන්නෝ
මේ අතර සෙන්ට්‍රා ස්පයික් කණ්ඩායමට මාස කිහිපයකින් එස්කොබාර්ගේ හඬ අසන්නට ලැබී තිබුණේ නැහැ. මේ හේතුවෙන් කර්නල් හියුගෝ මාර්ටිනේස් භූමියේ සිට රහසින් සවන් දෙන කොලොම්බියානු කණ්ඩායමක ආධාර ඉල්ලා සිටියා. ඔවුනට නවීන සවන් දෙන උපකරණ සහිත වෑන් රථයක් ප්‍රංශයෙන් ලැබී තිබුණා. මාර්ටිනෙස් මේ පිරිස ගැන හොඳින් දැන සිටියා. ඔහුගේ පුත්‍රයා සේවය කළේ ද මෙම කණ්ඩායම සමගයි. කර්නල් මාර්ටිනෙස් සිය පුත්‍රයා ආපසු බොගොටාවට යැවූ නමුත් ඔහුගේ පුත්‍රයා එම තීරණයට එරෙහි වුණා. ඔහුට මෙම මෙහෙයුමට සම්බන්ධ වීමට අවශ්‍ය වුණා. එහෙයින් තම පියා සමග බොහෝ සේ වාද කළ ඔහු අවසානයේ සිය පියාව කැමැති කරවාගෙන තම කණ්ඩායම සමග රැඳුණා.
කොලොම්බියානු බලධාරීන් පාබ්ලෝ එස්කොබාර්ගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ අවධානයෙන් සිටින්නට පටන් ගත්තා. මෙම දිනවල එස්කොබාර් සිය පුත්‍රයා වූ හුවාන් පාබ්ලෝ සමග නිතර දුරකථනයෙන් සංවාදයෙහි යෙදුණා. රජය සමග එකඟත්වයක් කරා පැමිණීම එස්කොබාර්ගේ එක් අරමුණක් වුණා. ඔහුගේ අනෙක් අරමුණ වූයේ සිය පවුල කොලොම්බියාවෙන් පිට කිරීමයි.
මේ අතර ලොස් පෙපේස් සහ ඇමරිකානු පුහුණුව ලද සෙවුම් බලකාය අතර සබඳතා පිළිබඳ සැකය ද එන්න එන්නම වැඩි වුණා. මෙහි ප්‍රතිඵලය වුණේ 1993 නොවැම්බර් 12 වනදා කොලොම්බියාවේ සිටි සියළු ඇමරිකානු විශේෂ බලකා සාමාජිකයන් යළි සියරට පැමිණිය යුතු බවට එරට රජය විසින් නියෝග කිරීමයි. කෙසේ වෙතත් කොලොම්බියාවේ ඇමරිකානු තානාපතිවරයා වහා ක්‍රියාත්මක වී මෙම නියෝගය අවලංගු කරවා ගත්තා. මේ අවස්ථාවේ මෙය ඉතා වැදගත් වූයේ එස්කොබාර් කරා ඔවුන් දිනෙන් දින ළඟා වන බවට දැනෙමින් තිබුණ නිසයි.
යාන්තමින් ගැලවීම
නොවැම්බර් මාසයේ අවසාන සමයේ දිනෙක සෙන්ට්‍රා ස්පයික් සහ සෙවුම් බලකා කණ්ඩායම්වලට එස්කොබාර් සිටින ස්ථානයක් පිළිබඳ හෝඩුවාවක් ලැබුණා. ඔහුගේ දුරකථන භාවිතය හේතුවෙන් ලැබුණ සංඥා අනුව ඔහු මෙඩෙයීන් නගරයෙන් එපිට කඳුකරයේ වූ කුඩා ගොවි නිවසක රැඳී සිටින බවයි දැනගන්නට ලැබුණේ. මේ අනුව විශේෂ බලකා එවෙත මෙහෙයුමක් දියත් කළා.
මෙහෙයුම සිදු වූයේ රාත්‍රී කාලයේදී යි. සෙවුම් බලකායේ පිරිස් එම නිවස වෙත කඩා වදිද්දී එස්කොබාර් එහි සිටියේ නැහැ. ඊට සුළු වෙලාවකට කලින් ඔහු එයින් පැන ගොස් ඇති බවට දැකගන්නට ලැබුණා. ඇත්තෙන්ම එස්කොබාර් දුරකථන ඇමතුමක් ලබගැනීම සඳහා නිවසින් පිටත ලඳු කැළෑ ප්‍රදේශයක් වෙත ගිය අවස්ථාවක මෙම කඩා වැදීම සිදු වූ බව ද කියැවෙනවා. මේ අනුව එස්කොබාර් වාසනාව නිසාවෙන් එවර සන්නද්ධ අංශවලට හසු නොවී ගැලවුණා.
නමුත් මේ වෙද්දී ඔහු දිගින් දිගටම දැඩි පීඩනයකට හසු වූ බව පැහැදිලි වුණා. නිවස පරික්ෂා කළ බලධාරීන්ට ද වැටහුණේ ඔහු ඉතා තදබල ආතතියකින් ජීවත් වන බවක්.
ජර්මනියට පළා යාම
එස්කොබාර් සිය පවුලට ජර්මනිය කරා පිටව යාමට අවස්ථාවක් උදාකර දුන්නා. මේ අනුව එස්කොබාර් පවුලේ අය 1993 නොවැම්බර් 27 වනදා බොගොටාවෙන් ලුෆ්තන්සා ගුවන් යානයක නැගුණේ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් බලා යාමට යි.
කොලොම්බියානු සහ ඇමරිකානු බලධාරීන් මෙම උත්සාහය ගැන දැනගෙන ඒ බව ජර්මන් බලධාරීන් වෙත දන්වා සිටියා. ජර්මන් බලධාරීන් එස්කොබාර්ගේ පවුල ෆ්‍රැන්ක්ෆර්ට් සිට ආපසු කොලොම්බියාවට හරවා එව්වා.
එස්කොබාර්ගේ පවුල යළි බොගොටාවට පැමිණි අවස්ථාවේදී විශාල හෝටල් සංකීර්ණයක ඔවුන්ව රඳවනු ලැබුණා. මෙම ස්ථානයෙහි අයිතිකරුවන් වූයේ කොලොම්බියානු ජාතික පොලිසිය යි. ස්වාභාවිකව ම මෙය විශාල විවාදයකට හේතු වුණා. පොලිසිය සඳහන් කළේ තමන් මෙම පියවර ගත්තේ එස්කොබාර් පවුලේ ආරක්ෂාව වෙනුවෙන් බවයි. නමුත් මෙය ඔහුගේ පවුලට කෙරෙන තර්ජනයක් ලෙස මෙය දුටුවා. පොලිසිය විසින් ඔහුගේ පවුලේ අය මරා දැමීමට වුවද ඉඩ තිබෙන බවයි එස්කොබාර්ගේ විශ්වාසය වුණේ.
මේ නිසා ආපසු ඔවුන් පැමිණි විගස පාබ්ලෝ ඔහුගේ පුත්‍රයා සමග දුරකථනයෙන් සම්බන්ධ වුණා. මේ වනවිට පාබ්ලෝ තම පවුල පිළිබඳ බෙහෙවින් බියට පත්ව සිටියා. මේ හේතුව නිසාම ඔහු අතින් වැරදීම් සිදු වන්නට පටන් ගත්තා.
සාමාන්‍යයෙන් එස්කොබාර් මෙතෙක් කිසි විටෙක එක තැනක රැඳුණේ නැහැ. ඔහු දුරකථනයෙන් කතා කළත් ඇතැම්විට එසේ කළේ කුලී රියක ගමන් කරන අතරතුරයි. නමුත් මේ දිනවල ඔහු එකතැනක රැඳෙන්නට පටන් ගත්තා. එමෙන්ම ඔහු රජයේ විවිධ අංශවලට ද අමතමින් සිය පවුල නිදහස් කරන ලෙස බලපෑම් කළා.
මීට ප්‍රතිචාරයක් ලෙස කොලොම්බියා රජය කළේ ඔහුගේ පවුල වටා වූ පොලිස් ආරක්ෂකයින් ඉවත් කිරීමයි. එමගින් එස්කොබාර් තවත් කුපිත වුණා. ඒ සමගම ලොස් පෙපේස් සංවිධානයද නැවත එස්කොබාර්ට එරෙහි මෙහෙයුම් දියත් කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.
අවසානය
මේ වනවිට මෙඩෙයීන් කාර්ටලය බොහෝ දුරට විනාශ වී තිබුණා. පාබ්ලෝ එස්කොබාර් ද ඇතැම් විට එක් ආරක්ෂකයකු පමණක් සමග සැඟව සිටින තැනට පත් වී සිටියා.
1993 දෙසැම්බර් 1 වනදා එස්කොබාර් සිය 44 වන උපන් දිනය සැමරුවා. ඊළඟ දිනයේ උදෑසන ආහාරයෙන් පසු එස්කොබාර් සිය පුත්‍රයාට කතා කළා. එහිදී ඔහු එස්කොබාර් සමග සාකච්ඡා කළේ අලුත් උපක්‍රමයක් පිළිබඳවයි. මේ අනුව කොලොම්බියානු පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමට ඔවුන් එකඟ වුණා. මෙහිදී එස්කොබාර් බලාපොරොත්තු වූයේ තම පවුල වෙත එල්ල කෙරෙන පීඩනය පිළිබඳ සාකච්ඡා කර ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමයි.
මේ වනවිට එස්කොබාර් සිය පුත්‍රයාට දුරකථනයෙන් අමතන්නේ මෙඩෙයීන් හි ලොස් ඔලීවොස් නම් ප්‍රදේශයේ සිට බව සෙන්ත්‍රා ස්පයික් කණ්ඩායම සොයාගන තිබුණා. දෙසැම්බර් 2 වනදා ද උදෑසන මේ දෙදෙනා දුරකථනයෙන් සාකච්ඡා කළ අතර එම කතාබහ දිගු වන හෙයින් පැය කිහිපයකින් නැවත අමතන බව එස්කොබාර් ප්‍රකාශ කළා. මේ අවස්ථාවේ කර්නල් මාර්ටිනෙස් ලොස් ඔලීවොස් ප්‍රදේශයේ තැන තැන තම පිරිස් රැඳවූයේ මීළඟ දුරකථන ඇමතුම සඳහා සූදානමින්. මේ අතර කනිෂ්ඨ හියුගෝ මාර්ටිනෙස්, මීළඟ ඇමතුම පැමිණෙන ස්ථානය සොයාගැනීමට, සන්නිවේදන රථයෙහි සූදානම් ව සිටියා.
එස්කොබාර් මීළඟ දුරකථන ඇමතුම ලබාගත් විට කනිෂ්ඨ හියුගෝ මාර්ටිනෙස් එම සංඥාව සොයන්නට වුණා. ඔහු සමග සිටි සෙවුම් බලකා කණ්ඩායම ඔහුගේ රථය පිටිපසින් ඇදුණා.
සංඥාව පැමිණෙන ගොඩනැගිල්ල සොයාගත් මාර්ටිනෙස් තම පිරිසට එම ගොඩනැගිල්ල පෙන්වා සිටියා. ඒ අනුව පිටිපසින් පැමිණි පොලිස් වාහනවල සිටි පිරිස එම ගොඩනැගිල්ලට කඩා වැදුණා.
නමුත් එස්කොබාර් තම දුරකථන ඇමතුමෙහි දිගටම රැඳී සිටියා. පොලිස් ප්‍රහාරයක් ගැන ඔහු කිසිසේත් කලබල වූ බවක් පෙනුණේ නැහැ.
මේ අවස්ථාවේ මාර්ටිනෙස් වටහා ගත්තේ ඔහුට යම් වරදක් වූ බවයි. මඳක් ප්‍රදේශය පරීක්ෂා කරද්දී, අසල වූ ඇල මාර්ගයක ජල පහර හේතුවෙන් සංඥාව වෙනස් වන බව ඔහු තේරුම් ගත්තා. මේ අනුව මාර්ටිනෙස් වටහා ගත්තේ එස්කොබාර් සිටින ස්ථානය වෙනස් බවයි. ඔහු උපකරණයෙහි අවශ්‍ය නිවැරදිකිරීම් සිදු කළ විට වෙනස් ස්ථානයක් එයින් පෙන්වා සිටියා.
මාර්ටිනෙස් සිය වාහනයේ රියැදුරා එදෙසට යොමු කර, ප්‍රහාරය සඳහා ගිය සෙවුම් බලකායේ පිරිස වෙත රේඩියෝ මගින් මෙම වෙනස පිළිබඳ දන්වා සිටියා. ඔවුන් තමා පසුපසින් එනු ඇතැයි සිතා මාර්ටිනෙස් තම උපකරණයෙන් පෙන්වූ අලුත් ස්ථානය සොයා ගියා.
සංඥාව පැමිණියේ එක්තරා මහල් දෙකක නිවසකින්. එහි උඩු මහලේ සිට සංඥාව පැමිණෙන බව කනිෂ්ඨ මාර්ටිනෙස්ට වැටහුණා. වරක් එම වීදිය දිගේ වාහනයෙන් ගිය ඔවුන් එය හරවාගෙන යළිත් එම වීදිය ඔස්සේ පැමිණියා. අදාල නිවස ඉදිරියේදී ඔහු තම සංඥා උපකරණය වාහනයෙන් පිටතට දමා සංඥාව පරික්ෂා කළා. උඩු මහලේ වූ දොර රෙද්දත් සමග එස්කොබාර්ගේ ඡයාව ඔහු දුටුවා. දෙදෙනාම එකිනෙකාව දුටු බව මාර්ටිනෙස්ට වැටහුණා. මාර්ටිනෙස් වහා තම පියා අමතා එස්කොබාර් සිටින තැන තහවුරු කළා.
කර්නල් මාර්ටිනෙස් ඔහුට දන්වා සිටියේ සෙවුම් බලකාය පැමිණෙනතුරු ඔහු එම ස්ථානයේම රැඳිය යුතු බව යි. මේ අනුව කනිෂ්ඨ මාර්ටිනෙස් ගොඩනැගිල්ල පිටිපසට දිවගිය අතර ඔහු හා සිටි අනෙක් කිහිප දෙනෙක් අනෙක් පසින් රැකවලට රැඳුණා. නමුත් එස්කොබාර් මේ කිසිවක් දැක තිබුණේ නැහැ.
මේ අතර හියුගෝ අගුයිලාර්ගේ පිරිස එහි ළඟා වුණා. ඔවුන් කෙලින්ම නිවස වෙත කඩා වැදුණා.
“මොකක් හෝ සිදු වනවා. මම පසුව කතා කරන්නම්,” යනුවෙන් පැවසූ එස්කොබාර් දුරකථනය විසන්ධි කර තමා සිටි තැනින් දිව ගියා.
මේ අතර ඔහුගේ ආරක්ෂකයා පසෙක වූ ජනේලයකින් පහළ වහලයකට පැන්නා. එහි සිට ඔහු වෙඩි තබමින් ඉදිරියට දිව ආ අතර පොලිසිය ඔහුට වෙඩි තැබුවා. ඔහු පැමිණි වේගයෙන්ම විත් වහලයෙන් පහලට ඇද වැටුණා.
එස්කොබාර් ද එම කවුළුවෙන් පිටතට පැන්නේ එම අවස්ථාවේදී යි. ඒ සමගම වූ බිත්තියට මුවා වී ඔහු ඉදිරියට එන්නට උත්සාහ කළා. මෙම අවස්ථාවේ නිවස තුලට පැමිණි භටයින් ද කවුළුව අසළට එන බව ඔහු දැන සිටියා. ඔහු තමා ආවරණය වූ ස්ථානයෙන් දිව ඒමට උත්සාහ කරද්දී වෙඩි ප්‍රහාරයට ලක් වී වහලය මත ඇද වැටුණා.
ඉතිහාසයේ විශාලම ලුහු බැඳීමක් අවසන් කරමින් එස්කොබාර් මියගියේ එලෙසයි.
එස්කොබාර්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳ යම් විවාදයක් පවතිනවා. කොලොම්බියානු නිල ස්ථාවරය වන්නේ ඔහු වහලය දිගේ දිව යද්දී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මියගිය බවයි. නමුත් ඔහුගේ හිසෙහි එක් කණක් අසළින් ඇතුල් වී අනෙක් කණ අසලින් පිටවූ උණ් ඩයක් තිබීම හේතුවෙන් මෙම ස්ථාවරය අභියෝගයට ලක් වුණා. මේ අනුව, එස්කොබාර් වහලය මත වැටුණ පසු, කොලොම්බියානු පොලිස් නිලධාරියකු පැමිණ අවසන් වෙඩිල්ල තබන්නට ඇතැයි සැක කෙරෙනවා.
මේ අතර ඇතැමුන් විශ්වාස කරන්නේ ඇමරිකානු ඩෙල්ටා ෆෝර්ස් ස්නයිපර් වෙඩික්කරුවකු අවසන් වෙඩිල්ල තබන්නට ඇති බවයි.
කෙසේ හෝ වේවා එස්කොබාර් මියගිය අතර ඔහුගේ මෙඩෙයීන් කාර්ටලයේද අවසානය ඒ සමගම ළඟා වුණා. මේ අතර, එස්කොබාර්ගෙන් පසු, කොකේන් ජාවාරමෙහි වැඩි කොටසක් පාලනය කළේ කැරලිකරුවන් විසින්.
පසුගිය සමයේදී කැරලිකරුවන් ද කොලොම්බියානු රජය සමග සාම ගිවිසුමක් අත්සන් කළා. නමුත් කොලොම්බියාවෙහි කොකේන් ජාවාරම් කටයුතු තවමත් පෙර මෙන්ම ක්‍රියාත්මක වනවා.