ශාපලත් අද්භූත හොලිවුඩ් චිත්‍රපට ත්‍රිත්වයක්

හොලිවුඩ් කර්මාන්තය පුරාවට තැනී ඇති සමහරක් චිත්‍රපට ඒවායේ නිෂ්පාදකයින්ට මෙන්ම එයට සම්බන්ධ වූ අනෙක් අයවලුනටත් වාසනාව ගෙනාවා. තවත් සමහර චිත්‍රපටවල වියදම පියවා ගන්න්නටවත් එහි හිමිකරුවන්ට හැකි වූයේ නැහැ.

‘අවාසනාවන්ත’ ලේබලය වැදුණු හොලිවුඩ් චිත්‍රපට කිහිපයකුත් ඉතිහාසය පිරික්සීමේ දී හමුවනවා. මේ චිත්‍රපටවලට සම්බන්ධ වූ පුද්ගලයින් හට අත් වූ අවාසනාවන්ත ඉරණම් සලකා බැලීමේ දී ඒවා හුදු අහම්බයන්යැ යි සළකා එක් වරම බැහර කිරීම උගහට යි. මින් අතළොස්සක් හා සබැඳුණු අවාසනාවන්ත සිද්ධීන් කෙතරම් ප්‍රබල ද යත් ඒවා ‘ශාපලත්’ චිත්‍රපටයැ යි හඳුන්වන්නට තරම් සමහරෙක් පෙළැඹුණා. වඩාත් විශේෂ කාරණාව වන්නේ මේ අතරින් ඉදිරියෙන්ම සිටින කිහිපයකම වස්තු බීජය වන්නේ අද්භූත කථාංගයක් වීමයි.

පෝල්ටර්ගායිස්ට් 

grunge.com

පෝල්ටර්ගායිස්ට් නම් හොලිවුඩ් චිත්‍රපට මාලාව ඉතාමත් තදබල ශාපයක් වැදුණු චිත්‍රපටය කිහිපයක් ලෙස යි සැලකෙන්නේ. එහි තේමාවත් අද්භූත එකක්. මෙම චිත්‍රපට මාලාවට දායක වූ කිහිප දෙනෙක්ම ඉතා අවාසනාවන්ත ලෙස අකාලයේ මියගියා.

පෝල්ටර්ගායිස්ට් පළමු චිත්‍රපටයට රංගනයෙන් දායක වූ ඩොමිනික් ඩන් 22 හැවිරිදි වියේ සිටිය දී සිය පෙම්වතා විසින් ඝාතනය කරනු ලබනවා. එමෙන්ම හෙන්රි කේන්ගේ චරිතය නිරූපණය කළ ජුලියන් බෙක් 1985 වසරේ දී මියයන්නේ උදර පිළිකාවක් වැළඳීම හේතුවෙනු යි. පෝල්ටර්ගායිස්ට් දෙවන චිත්‍රපටයේ ටේලර්ගේ චරිතය නිරූපණය කළ විල් සැම්ප්සන් එම වසරේ දීම මියයන්නේ වකුගඩු අකර්මන්‍යතාවක් නිසා යි.

පෝල්ටර්ගායිස්ට් චිත්‍රපට මාලාව හා සබැඳි වඩාත් අසාමාන්‍ය හා කතාබහට ලක් වූ මරණය සිදුවන්නේ එහි තෙවන චිත්‍රපටය රූගත කරමින් සිටි අතරතුර යි. 12 හැවිරිදි හේදර් ඕ රෝක් හදිසියේම දර්ශන තලයේ දී සිය උදරයේ වේදනාවක් ඇතිවන බැව් පැවසුවා. ඇය රෝහල වෙත ගෙන යාමට කටයුතු සූදානම් කරමින් සිටිය දී තත්ත්වය වඩාත් බරපතල වී ඇයට හෘදයාබාධයක් ද වැළඳෙනවා. ඉක්මණින් රෝහල් ගත කර ශල්‍යකර්මයක් කිරීමට වෛද්‍යවරු උත්සාහ දැරුව ද, ශල්‍යාගාරයේ ඇඳ මත දීම ඇය අවසන් සුසුම් හෙළනවා. මේ වන විට එම චිත්‍රපටයේ දර්ශන සියල්ලම පාහේ රූගත කොට අවසන්ව තිබූ අතර, හේදර්ගේ ඉතිරි දර්ශන ස්වල්පය ආදේශක නිළියක යොදාගෙන රූගත කරන්නට සිදුවුණා.

ද ඕමන්

denofgeek.com

1976 වසරේ තිරගත වූ ඕමන් නම් චිත්‍රපටයත් ශාපලත් චිත්‍රපටයක් ලෙස බොහෝ දෙනා හඳුන්වනවා. මෙයට ප්‍රධාන කොටම හේතු වන්නේ එය රූගත කිරීමේ දී සිදු වූ අවාසනාවන්ත මෙන්ම අසාමාන්‍ය සිද්ධි කිහිපයකුයි. මෙහි රඟපෑ ග්‍රෙගරි පෙක් හා නිෂ්පාදන කටයුතු සිදුකළ මේස් නියුෆෙල්ඩ් යන දෙදෙනා ගමන් කළ ගුවන් යානා දෙකකට අකුණු සැර වදිනවා. එමෙන්ම පෙක්ගේ පුත්‍රයා රූගත කිරීම ඇරඹීමට ඔන්න මෙන්න තිබිය දී සිය දිවි හානි කරගන්නවා. ඉන් ටික දිනකට පසු නියුෆෙල්ඩ් සිටි හෝටලයට අයි.ආර්.ඒ. සටන්කාමීන් බෝම්බ තබන අතර, නැවතත් ඔවුන්ම ඕමන් චිත්‍රපටයට සම්බන්ධ කිහිපදෙනෙකු ආහාර ගනිමින් සිටි ආපනශාලාවකට බෝම්බ තබනවා. මීට අමතරව මෙහි දර්ශනයක් රූගත කිරීමට යොදාගත් ගුවන් යානයක් අනතුරට ලක් වී එහි ගමන් කළ සියළු දෙනාම මියයනවා. 

ද ඕමන් හා සබැඳි තවත් අවාසනාවන්ත මරණ දෙකක් සිදු වුණා. චිත්‍රපටයට අදාල කොටියන් හසුරවන්නෙකු හදිසි අනතුරකින් මියගිය අතර, මේ හා ඈඳුණු වඩාත් අසාමාන්‍ය මරණය ලෙස කියැවෙන්නේ, නිර්මාපක ජෝන් රිචඩ්සන්ගේ බිරියගේ මරණය යි. ජෝන් රිචඩ්සන් සිය බිරිය සමග සිය කාරයේ ගමන් කරමින් සිටිය දී වූ අනතුරක් නිසා ඔහුගේ බිරියගේ හිස කඳින් වෙන් වෙනවා. විශේෂත්වය වන්නේ ද ඕමන් චිත්‍රපටයේ ද එවැනිම හිස කඳින් වෙන් වීමේ දර්ශනයක් ඇති අතර එහි නිර්මාණ කටයුතු සිදු කර තිබුණේ රිචඩ්සන් වීම යි. ඉතා අසාමාන්ය හා විකාරරූපී කාරණය වන්නේ මෙම අනතුර සිදු වූ ස්ථානයේ ඇති මාර්ග සංඥා පුවරුවේ ‘ඕමන් කි.මී 66.6’ ලෙස සටහන් ව තිබීම යි. එමෙන්ම එම දිනය 13 වැනි සිකුරාදාවක් වුණා.

ද එක්සොසිස්ට්

gointothestory.blcklst.com

1973 වසරේ තිරගත වූ ‘අද්භූත’ කුලකයට අයත් චිත්‍රපටයක් වන ද එක්සොසිට්යම් කිසි ශාපයකට ලක් වූ චිත්‍රපටයක් ලෙස බොහෝ දෙනා හඳුන්වනු ලබනවා. ඒ, එය රූගත කරන කාලය අතරතුර හෝ, යම් කිසි ආකාරයකින් ඒත් සමග සම්බන්ධයක් ඇති අය අවම වශයෙන් අට දෙනෙකු වත් අසාමාන්‍ය ආකාරයෙන් මරණයට පත් ව තිබීම යි.

ද එක්සොසිස්ට් චිත්‍රපටයේ ප්‍රධාන භූමික දෙකක් නිරූපණය කළ ජැක් මැක්ගෝරන් හා වැසිලිකි මැලියාරෝස් යන දෙදෙනාම චිත්‍රපටය නිකුත් වී කෙටි කලෙකින්ම මියයනවා. ජැක් එහි බෲක් ඩෙනින්ග්ස් ගේ චරිතය නිරූපණය කළ අතර, වැසිලිකි, කරස් පියතුමා ගේ මවගේ චරිතය නිරූපණය කළා. මෙම මරණ වැල චිත්‍රපටයේ රංගන ශිල්පීන්ට පමණක් සීමා වූයේ නැහැ. චිත්‍රපටය රූගත කෙරෙන අතරතුර, එහි වායු සමීකරණය බාර ප්‍රධාන කාර්මිකයා හා චිත්‍රපටයේ භාණ්ඩ, පසුතල මෙන්ම එහි නිෂ්පාදන කණ්ඩායමේ ද ආරක්ෂාව භාරව සිටි රාත්‍රී මුරකරුවෙකු ද අවාසනාවන්ත ලෙස මියගියා. එමෙන්ම චිත්‍රපටයේ ප්‍රධානතම දර්ශන තලයක් වන ‘මැක්නීල් නිවස’ ද ඉතා අසාමාන්‍ය ආකාරයේ ගින්නක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම දැවී අළු වී බිමට සමතලා වී ගියා.

ද එක්සොසිස්ට් හා සබැඳි වඩාත් අසාමාන්‍ය මෙන්ම අවාසනාවන්ත සිදුවීම සිදුවූයේ එහි මංගල දර්ශන පවත්වමින් තිබූ සමයේ යි. මෙහි ඉතාලියේ මංගල දර්ශනය පවත්වන්නට සියළු කටයුතු සූදානම් කර තිබුණේ රෝමයේ මෙට්‍රොපොලිටන් සිනමා ශාලාවේ දී යි. චිත්‍රපටයේ මංගල දර්ශනය තිරගත වන අතරතුරදී හදිසියේම අවට කාලගුණය අයහපත් වූ අතර හාත්පස අකුණු ගසන්නට පටන් ගත්තා. මෙලෙස කෙටූ එක් අකුණක් අසල තිබූ පෞරාණික දේවස්ථානයක ඉපැරණි කුරුසයකට වැදුණු අතර, එම අකුණු පහරින් වසර 400ක ඉතිහාසයකට උරුමකම් කියූ එම කුරුසය සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා. මේත් සමග මෙම චිත්‍රපටයට යක්ෂයාගේ බැල්ම වැටී ඇති බව ලොව පුරා දිවි ගෙවූ සමහර ජනයා ප්‍රකාශ කරන්නට පටන් ගත්තා.

කවරයේ පින්තූරය- bloody-disgusting.com

Related Articles

Exit mobile version