දේශපාලකයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම, එම දේශපාලකයාගේ විනිවිදභාවය විදහා පෙන්වන ඉතා වැදගත් අවස්ථාවක්. ඔවුන් දේශපාලනයේ අතිශය තීරණාත්මක තනතුරුවලට පත් වන්නේ මහජන ඡන්දයෙන් බැවින්, වත්කම් සහ බැරකම් ප්‍රකාශන කෙරෙහි අවධානය යොමු කිරීම, ඉල්ලා සිටීම, මහ ජනතාව වන අපගේ ද වගකීමක් වෙනවා. අවම වශයෙන් තමා අයත් වන මැතිවරණ ආසනය මට්ටමෙන් හෝ තම ඡන්දයෙන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට තේරී පත් වන නියෝජිතයන්ගේ වත්කම් සහ බැරකම් වෙත අවධානය යොමු කිරීම කාලෝචිත ක්‍රියාවක්.
අප මෙතෙක් කල් මහජන නියෝජිතයන් රටේ තීරණාත්මක ස්ථානවලට පත් කර යැවීමට සලකා බැලූ සාම්ප්‍රදායික සාධක යළි විමසා බැලීමට කාලය පැමිණ තිබෙනවා. ඔබ තරුණ පරපුරට අයත් කෙනෙක් නම්, තවමත් වතාවක් හෝ දෙවතාවක් භාවිත කර ඇති ඡන්දයට මෙතෙක් හේතු කරගත් සාධකවලට කිසියම් හෝ සාම්ප්‍රදායික සාධකයක් බලපා ඇති ද යන්න වග විමසා බැලීම වටිනවා. එම ස්වයං විමසීම මඟින් ඉදිරි ඡන්ද ප්‍රකාශ කිරීමක දී තම ඡන්දය වඩාත් ප්‍රතිපත්තිගරුක ලෙස ප්‍රකාශ කිරීමට හැකියාව ඔබට ලැබේවි. කෙසේ නමුත්, ශ්‍රී ලාංකික තරුණ පරපුර කොතරම් විචක්ෂණ බුද්ධියකින් හෙබි පිරිසක්දැ යි දැන් පමණටත් වඩා තහවුරු වෙමින් තිබෙනවා.
මෙම ලිපියෙන් වත්කම් සහ බැරකම් නීතිය ගැන සංක්ෂිප්ත විස්තරයක් සරල ව ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එය ඔබ ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියට සහ තීරණයට බද්ධ කරගත හැකි ආකාරය ගැනත් සිතා බලන්න.
වත්කම් සහ බැරකම් නීතිය
දූෂණයට එරෙහි ව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි බලවත් නීතියක් ලෙස වත්කම් සහ බැරකම් නීතිය හැඳින්විය හැකි යි. එය 1975 වර්ෂයේ පටන් ක්‍රියාත්මක වන අතර, 1988 දී පනත සංශෝධනයට ලක් කරමින් වඩාත් විධිමත් සහ බලාත්මක නීතියක් බවට පත් කළා.
මෙම නීතිය මඟින් ආවරණය වන්නේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් පමණක් නොවෙ යි.
1. ජනාධිපතිවරයා පත් කළ විනිසුරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන්, අමාත්‍ය මණ්ඩලය පත් කළ රාජ්‍ය නිලධාරීන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ මෙන්ම, අමාත්‍යාංශ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවල කාර්ය මණ්ඩල නිලධාරීන් පත් කරන අධිකරණ නිලධාරීන් සහ නියමිත රාජ්‍ය නිලධාරීන්.
2. රාජ්‍ය සංස්ථාවල සභාපතිවරුන්, අධ්‍යක්ෂකවරුන්, මණ්ඩල සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලය.
3. පළාත් පාලන ආයතනවල තේරී පත් වූ සාමාජිකයන් සහ මාණ්ඩලික නිලධාරීන්,
ආදී වශයෙන් තවදුරටත් විහිදෙන විශාල පුද්ගල පරාසයක් මෙම පනත මඟින් ආවරණය වෙනවා.
ජනාධිපති අපේක්ෂයන් ද ඇතුළත්
1988 දී ගෙන ආ සංශෝධනයට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් ද වත්කම් සහ බැරකම් ප්‍රකාශයක් සිදු කරනවා. එය නාම යෝජනා භාර දෙන දිනයේ හෝ ජනාධිපති ධූරයේ කටයුතු ආරම්භ කිරීමට පෙර හෝ සිදු කළ යුතු යි. නාම යෝජනා දිනයේ දී වත්කම් සහ බැරකම් ප්‍රකාශනය සිදු කිරීමට අදහස් කරන්නේ නම් එය මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරියේ කළ හැකි යි. නැතහොත්, ජනාධිපති ධූරයේ වැඩ භාර ගන්නා අවස්ථාවේ දී අග්‍ර විනිශ්චයකාරවරයාට වත්කම් සහ බැරකම් ප්‍රකාශය් භාර දීමේ හැකියාව පවතිනවා. ඒ අනුව මෙම පනතෙන් ජනාධිපති පවා යම් ආකාරයකින් ආවරණය වී තිබෙන අතර, අනෙක් අයටත් ආදර්ශයක් වන සේ කටයුතු කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙනවා.
1988 දී මෙම පනත ඉතා හොඳින් සංශෝධනය කර තිබුණා. වෘත්තිය සමිති නිලධාරී මණ්ඩල සාමාජිකයන්, ජනමාධ්‍යවේදීන් පවා තම වත්කම් සහ බැරකම් ප්‍රකාශන භාර දිය යුතු බවට විධි විධාන පැනවූවා. මෙම නීතියට ඇතුළත් වන සෑම පුද්ගලයෙක් ම නීතිය අදාළ වී මාස තුනක් ඇතුළත තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ සිදු කළ යුතු යි. එම ප්‍රකාශයට තම ස්වාමි පුරුෂයාගේ/භාර්යාවගේ සහ දරුවන්ගේ වත්කම් හා බැරකම් ද ඇතුළත් විය යුතු බව පැවසෙනවා.
වත්කම් සහ බැරකම් ප්‍රකාශය සඳහා වන අන්තර්ජාල අයදුම්පතට මෙතැනින් පිවිසෙන්න.
හඳුනාගැනෙන වත්කම් සහ බැරකම්
“වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම” යන්න සැලකීමේ දී ප්‍රකාශ කරන්නේ මොනවාද යන ගැටලුවත් පැන නඟිනවා. එලෙස වත්කම් සහ බැරකම් ලෙස හඳුනා ගැනෙන දේවල් කිහිපයක් පහත දැක්වෙනවා.
1. නිශ්චල දේපළ (ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල ඇති.)
2. ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ඇති බැංකු ගිණුම් විස්තර
3. මාසික වැටුප් සහ දීමනා
4. මෝටර් වාහන, මෝටර් බෝට්ටු හෝ වෙනත් බලවේග වාහන
කෘෂිකාර්මික දේපළ
5. යම් දේශපාලකයකු හෝ නීතිය යටතේ ආවරණය වන පුද්ගලයාගේ ස්වාමියා/ බිරිය හෝ දරුවන් වෙනුවෙන් වෙනත් අයකුගේ භාරය යටතේ පවතින දේපළ
6. ණයට ගත් මුදල්
7. බැංකු සුරක්ෂිතාගාර තොරතුරු
වත්කම් සහ බැරකම් නීතිය, දූෂණය හා සම්බන්ධ කාරණාවල දී අයථා ලෙස වත්කම් රැස් කර ගන්නන් සියුම් ලෙස කොටු කර ගැනීම අරමුණු කර ගත් නීතියක් ලෙස හැඳින්විය හැකි යි. කෙසේ නමුත්, මෙම නීතියේ ප්‍රායෝගිකත්වය තවත් වැඩි දියුණු කිරීමේ හැකියාව පවතිනවා. එබැවින්, ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ඉදිරිගාමී සාධකයක් ලෙස ක්‍රියා කළ හැකි වත්කම් සහ බැරකම් නීතිය, එතරම් ප්‍රබල ව ක්‍රියාත්මක නොවන නීතියක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙනවා. එවැනි ගැටලු කිහිපයක් ගැන දැන් අවධානය යොමු කරමු.
මහජනතාවගේ අනවධානය
වත්කම් සහ බැරකම් නීතිය බලගන්වන උත්ප්‍රේරකය ලෙස ක්‍රියා කරන්නේ මහජනතාව යි. එනම්, මහජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීමට මහ ජනයා නිරතුරුව ම උනන්දු විය යුතු යි. සාමාන්‍යයෙන් සිදු වන්නේ නීතියට අනුව වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු අය ලබා දෙන ප්‍රකාශ අදාළ බලධාරියා භාරයේ සුරක්ෂිත ව තැන්පත් කොට තැබීම යි. මහජනයා ඒවා පරීක්ෂාවට භාජනය නොකරන තාක් නීතිය පවතින්නේ ක්‍රියා විරහිත තත්ත්වයක යි. ඒ හැරුණුකොට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හෝ දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශයක් පරීක්ෂාවට භාජනය වීමේ හැකියාව පවතිනවා.
පනත හරහා ආවරණය වන පුද්ගලයකු ගෙන් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටීමට මහජනතාවට හැකියාව තිබුණත්, එම ඉල්ලීමට අනුව ප්‍රකාශවල පිටපත් ලබා දිය යුතු බවට අනිවාර්ය කිරීමක් සිදු කර නැහැ. වත්කම් බැරකම් ප්‍රකාශයක් ලිඛිත ව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හෝ මඟ හැරීමට හැකියාව තිබෙනවා. එලෙස ප්‍රකාශ ලබාදීම ප්‍රතික්ෂේප කරන බලධාරීන්ට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් මහජනතාවට නැහැ. එම බලය අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන සභාව යටතට පත් කර ඇති අතර, එම ඒකකයට පැමිණිලි කිරීමෙන් පසු විමර්ශන කටයුතු සිදු වෙනවා.
දඬුවම් ලිහිල් වීම
නීතියක් ප්‍රබල වීම කෙරෙහි නීතියට අදාළ දඬුවම් ද බලපානවා. රටේ උන්නතියට වග කියන රාජ්‍ය සේවකයෙක් හෝ මහජන නියෝජිතයෙක් සිය වත්කම් සහ බැරකම් සැඟවීම ඉතා බරපතල තත්ත්වයක්. එසේ නම්, එවැනි බරපතල වැරැද්දක් යළි යළිත් සමාජය තුළ සිදු නොවීමට ප්‍රමාණවත් දණ්ඩන ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවක් පවතිනවා.
මෙම නීතිය පහත සඳහන් හේතු යටතේ උල්ලංඝණය විය හැකි යි.
1. සාධාරණ හේතුවක් නොමැති ව නීතිය යටතේ ආවරණය වන වත්කම් සහ බැරකම් ප්‍රකාශ නොකිරීම.
2. ප්‍රකාශයේ අසත්‍ය කරුණු අන්තර්ගත වීම හෝ කිසියම් වත්කමක් හෝ බැරකමක් සිතාමතාම ප්‍රකාශ නොකර සිටීම.
3. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නියම කළ තොරතුරක් වේ නම් ඒවා සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රකාශයෙන් පැහැර හැරීම.
4. පනතේ සඳහන් වෙනත් කිසියම් හෝ විධි විධානයක් කඩ කිරීම.
මෙවැනි බරපතල පැහැර හැරීමක් හමුවේ නියම කර ඇති දඬුවම වන්නේ රුපියල් දහසකට නොවැඩි දඩයක් හා/හෝ වසරකට නොවැඩි සිරගත කිරීමක් පමණ යි. වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙක් වරදකරු වී ඇත්නම් එම වරදට අදාළ වත්කම් රජයට පවරා ගැනීමේ හැකියාවක් ද පවතිනවා. කෙසේ නමුත්, වත්කම් සහ බැරකම් නීතිය උල්ලංඝණය කරන්නන්ට පනවන දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමේ සූදානමක් ගැන පසුගිය ආණ්ඩු සමයේ දී සාකච්ඡාවට භාජනය වුණා.
නිරවද්‍යතාව වෙනුවෙන් යාන්ත්‍රණයක් නැහැ
මෙම නීතියේ පවතින අනෙක් ගැටලුව වන්නේ පනත මඟින් ආවරණය වන පුද්ගලයෙක් ඉදිරිපත් කරන වත්කම් සහ බැරකම් ප්‍රකාශයක නිරවද්‍යතාව සොයා බැලීමේ යාන්ත්‍රණයක් නොමැති වීම යි. ඒ නිසා වරින් වර තම දේශපාලන දිවියේ විනිවිදභාවය පෙන්වීම වෙනුවෙන් ප්‍රසිද්ධ කරන වත්කම් සහ බැරකම් ප්‍රකාශයක පවා විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලු පැන නැඟිය හැකි යි. නිවැරදි යාන්ත්‍රණයක් තිබේ නම් තම විනිවිදභාවය අවංකව ම පෙන්වීමට කැමති මහජන නියෝජිතයන්ට ද පහසුවක් සැලසෙනවා. එය ඡන්ද දායකයකුට ප්‍රතිපත්තිමය පදනමකින් ඡන්දය ප්‍රකාශ කිරීමට ලැබෙන උත්තේජනයක් ද වෙනවා.
නීතිය වඩාත් හොඳින් ක්‍රියාත්මක වීමට නම්..
මෙම නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වීමට නම් වත්කම් සහ බැරකම් ප්‍රකාශ නිරන්තර මහජන පරික්ෂාවට ලක් වීමේ පසුබිමක් ඇති වීම අත්‍යවශ්‍ය ම කරුණක්. නීතිය සකස් කර තිබෙන්නේත් එම පදනම අනුව යි. මෙම නීතිය සැදුණු කාලයේ අන්තර්ජාල භාවිතයක් තිබුණේ නැහැ. මිලක් ගෙවා ඡායා පිටපත් ගැනිමේ ක්‍රමයක් සකසා තිබුණා. නමුත්, අප දැන් ගත කරන්නේ කඩදාසිවලින් කටයුතු කරන කාලයක නොවෙ යි. දැන් එම යල්පැන ගිය ක්‍රමයෙන් අත්මිදී වත්කම් සහ බැරකම් ප්‍රකාශන ලබාගත හැකි වෙබ් අඩවියක් පවත්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. එම වෙබ් අඩවිය පවත්වා ගෙන යෑමෙ වගකීම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට හෝ විගණන දෙපාර්තමේන්තුවට පැවරීමේ හැකියාව තිබෙනවා.
වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම සඳහා තිබෙන පෝරම විද්‍යුත් ක්‍රමවේදයකට සැකසීමේ හැකියාවක් තිබේ නම් මෙම නීතියේ භාවිතය ජනතාව තුළ තවත් ප්‍රචලිත වනු ඇති. එවිට මහජනයාට කිසිදු මුදලක් නොගෙවා හෝ සුළු මුදලක අය කිරීමකින් තමන්ට අභිමත පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා ගැනීමේ හැකියාව ලැබෙන අතර, නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ගොනු වන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ යනු ඇති. ඒ අතරවාරයේ වත්කම් සහ බැරකම් නීතියේ ප්‍රායෝගිකත්වය තවත් ඉහළ දැමිය හැකි අවකාශ තිබේ නම්, විෂය දැනුම ඇති විද්වතුන් එක් වී අවශ්‍ය වෙනස්කම් යෝජනා කිරීමත් ඉදිරිගාමී ක්‍රියාපිළිවෙතකට ප්‍රවේශ වීමක් වනු ඇති.