මෙවර රයිගම් සිනමා සම්මාන උලෙළේ දී වසරේ හොඳම නිළියට හිමි සම්මානය හිමි කර ගත්තේ නදී කම්මැල්ලවීර යි. නදී තමන් රඟපෑ පළමු ටෙලි නාට්‍යය වන ‘බැද්දේ කුලවමිය’ ටෙලි නාට්‍යයෙන්ම හොඳම නිළිය සම්මානය හිමි කර ගන්නට සමත් වුණේ එහි ‘චංචලා දේවි’ කියන ගැමි චරිතයට පණ පොවමින් දැක්වූ විශේෂ රංගන කුසලතාව නිසයි.
ඇය වේදිකාව තුළ මෙන්ම සිනමාව තුළත් සිය රංගන හැකියාව මනාව ඔප්පු කළ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය මෑතකදී ජාත්‍යන්තර නිර්මාණයක් සඳහාත් රංගනයෙන් දායක වුණා. තම කලා කටයුතු පිළිබඳව වගේම ශ්‍රී ලංකාවේ කලාව ගැනත් නදී සමඟ කතාබහ කරන්න අපි හිතුවා. මේ නදී කම්මැල්ලවීර සමඟ Roar යෙදුණු පිළිසඳරයි.
ඔබ රඟපෑ පළමු ටෙලි නාට්‍යයෙන්ම මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේදී හොඳම නිළිය සම්මානය ලැබීම ගැන මොකද හිතන්නේ?
හොඳයි කියලා තමයි හිතෙන්නෙ. කරපු පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම හොඳම නිළිය සම්මානය ලබා ගන්න පුළුවන් වීම ගැන සියුම් ආඩම්බරයකුත් දැනෙනවා.
මෙවැනි චරිතයකට කැමති වුණේ ඇයි?
ඇත්තටම මං ඉස්සෙල්ලාම මේ නාට්‍යයට කැමති වෙන්නේ ඒක ආනන්ද අබේනායක මහත්මයාගේ නිර්මාණයක් නිසා. ආනන්ද අයියා තමයි මීට කලින් අවස්ථා කීපයකදීම ඔහුගේ ‘සංසාරේ පිය සටහන්’ ඒකාංගික ටෙලි නාට්‍යවලට නිළියක් හැටියට සම්බන්ධ වෙන්න මට අවස්ථාව දෙන්නේ.
මට ඔහු ගැන, ඔහුගේ නිර්මාණ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. කොහොමත් අරුණ ප්‍රේමරත්න ලියූ බැද්දේ කුලවමිය පිටපත කියෙව්වාම මට ලොකු පෙරේතකමක් ආවා. රූප ශ්‍රියාණි ඒකනායක මහත්මියගේ නවකතාවත් මං කියෙව්වා. චංචලා වැනි චරිතයක් රඟපාන්න ලැබෙන මේ අවස්ථාව කොහොම හරි ඩැහැ ගන්න ඕනේමයි කියලා මට හිතුණා.
‘බැද්දේ කුලවමිය’ ටෙලි නාට්‍යයේ චංචලා වගේ ගැමි චරිතයක් මේ තරම් තාත්විකව නිරූපණය කරන්න පුළුවන්කම ලැබුණේ කොහොමද?
ම්….මං හිතන්නේ මා තුළ ඒ චරිතය ගැන තිබුණු අවබෝධයත්, අධ්‍යක්ෂකගේ මග පෙන්වීමත් එක්ක මගේ අතින් ඒක හොඳට වෙන්න ඇති.
‘බැද්දේ කුලවමිය’ ටෙලි නාට්‍යය මේ තරම් සාර්ථක වෙන්න හේතුව මොකක්ද?
හේතු කීපයක්ම තියෙනවා. එහි තිර රචනය සහ දෙබස්, අධ්‍යක්ෂකගේ නිර්මාණශීලිත්වය, ඔහු විසින් කරන ලද නළු වරණයත් ඉතාම සාර්ථකයි කියලා මට හිතෙනවා. එහි ප්‍රධාන චරිත රඟපෑවේ චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් රවීන්ද්‍ර, ආනන්ද කුමාර උන්නැහේ, නයනා හෙට්ටිආරච්චි, බිම්සරා ප්‍රේමරත්න වැනි දක්ෂ නළු නිළි පිරිසක්.
මාව චංචලාගේ චරිතයට තෝරා ගැනීමත් නාට්‍යයේ සාර්ථකත්වයට බලපාන්න ඇති කියල මං ඉතා නිහතමානීව කල්පනා කරනවා. මොකද මාව ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ මීට කලින් ගොඩක් දැකලා තිබුණෙත් නෑ. බියුටි සැලුන්වලින් නිතර නොහදපු, අමු ගමේ මූණක් හැටියට ඔවුන්ට මාව නැවුම් විදියට පේන්න ඇති. ඒ නිසා චංචලා කියන චරිතය සැබෑ තාත්වික චරිතයක් හැටියට වැළඳගන්න පහසු වෙන්න ඇති.
කලා කටයුතු සඳහා ඔබේ පියාගෙන් ලැබෙන පිටුබලය මොන වගේද?
තාත්තා නිසා තමයි මට පොඩි කාලේ ඉඳන්ම සාහිත්‍ය පොත පත, නාට්‍ය, චිත්‍රපටි රසවිඳින්න පසුබිම හැදුණේ. මාව මුලින්ම සෝමලතා සුබසිංහ මිස්ගේ රංග පාසලට එක්කං ගියෙත් තාත්තා. තාත්තා වගේම මගේ අම්මත් මට කලා කටයුතුවල නියැලෙන්න විශාල සහයෝගයක් දෙනවා. ඒ සහයෝගය නොවෙන්න මේ වැඩ කිසි දෙයක් නොකර, ගෙදරට වෙලා රස්සාවක් කරගෙන දරුවා හදන එක විතරයි කරන්න වෙන්නෙ. අම්මයි තාත්තයි උදව් කරන නිසා තමයි මේ තරම් වැඩ කරන්න ඉඩක් ලැබිලා තියෙන්නෙ.
ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි හොලිවුඩයේ දැවැන්ත නළු නිළියන් සමඟ විදෙස් ටෙලිනාට්‍ය මාලාවකටත් සම්බන්ධ වෙන්නත් නදීට හැකි වුණා. ඒ ගැන කතා කළොත්?
පාඕලෝ සොරෙන්ටිනෝ කියන ඉතාලි ජාතික සිනමාකරු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘The Young Pope’ කියන ටෙලි සීරිස් එකේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒක මට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්. Jude Law, Deane Keaton, Sylvio Orlando ඇතුළු සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු නිළියන් ගණනාවක් එක්ක සමීපව වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. පාඕලෝ සොරෙන්ටිනෝ කියන්නේ දෙවියන් වහන්සේ වගේ නිර්මාණකරුවෙක්. The Young Pope ටෙලි වෘතාන්ත මාලාව බැලුවාම තේරෙනවා ඔහු මොන තරම් අදීන, විශිෂ්ට නිර්මාණකරුවෙක්ද කියලා. ඒ නිර්මාණයට සම්බන්ධ වෙලා මං ලබපු අත්දැකීම් මහමෙරක් තරං. දියුණු රටවල චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය කර්මාන්තයේ ස්වභාවය පිළිබඳවත් ප්‍රායෝගිකව මට ලොකු අවබෝධයක් ලැබුණා.
නැවත විදෙස් නිර්මාණ සඳහා ආරාධනා ලැබුණොත් බාර ගන්නවද?
අපෝ නැතුව? පැනලා බාර ගන්නවා.
වර්තමාන ලාංකීය ටෙලි නාට්‍ය කලාවේ අර්බුදයක් තියෙනවද?
විශාල අර්බුදයක් තියෙනවා. කරමාන්තක් විදියට අපේ ටෙලි නාට්‍ය කර්මාන්තය තියෙන්නේ ඉතාම පරිහානිගත තත්වයක. රූපවාහිනී චැනල්වලින් බාල, රස සුන් ඉන්දියානු ටෙලි නාට්‍ය ගෙනල්ලා, සිංහලට හඬ කවලා පෙන්නනවා. ඒකෙන් ප්‍රේක්ෂක රසවින්දනයට විශාල නිගාවක් කරනවා. අනික ලොකු අවදානමක් අරගෙන හොඳ, කලාත්මක නිර්මාණයකට මුදල් වියදම් කරන්න නිෂ්පාදනකයන් ඉදිරිපත් වෙන්නේ හරි අඩුවෙන්. මොකද එහෙම හදන නිර්මාණ ඒ නිසි මුදල් වටිනාකම ගෙවලා විකාශය කරන්න බාර ගන්න චැනල් නැහැ.
බැද්දේ කුලවමිය නිෂ්පාදකයාට තවමත් ඒ නාට්‍යයට ලැබිය යුතු මුදල් චැනල් එකෙන් ලැබිලා නැහැ. ඔහුට මිලියන ගාණක් පාඩුයි. කූඹියෝ නාට්‍ය හදලා අවුරුදු පහකට පස්සේ තමයි චැනල් එකක් බාර ගත්තේ. මේ සේරමත් එක්ක ටෙලි නාට්‍ය කලාවේ රැඳෙන කලා ශිල්පීන්ට ආර්ථික වශයෙන් සර්වයිව් වෙන්න බෑ. ඔවුන්ට ඔවුන්ගේ වටිනාකම ආරක්ෂා කරගෙන ගෞරවනීයව ජිවත් වෙන්න බැහැ.
මාධ්‍ය චැනල් හුදෙක් ලාභය මතම පමණක් සියල්ල තීරණය කිරීම හරහා හුඟාක් දේ ජරාජීර්ණ වෙලා අන්තෙටම පිරිහිලා තියෙන්නෙ. කොටස් පන් හය සීය දිගට ඇදෙන නයි, නිධන්, හදි හූනියම් වගේ මිථ්‍යාව වපුරන ඉතාම අවර ගණයේ ටෙලි නාට්‍ය තමයි දිගට හරහට යන්නෙ. මේ තත්ත්වය නියාමනය කිරීමට කුමක් හෝ ක්රමවෛ්දයක් අත්‍යවශ්‍යයි. නැත්තං අපිට රසවින්දනාත්මක ටෙලි නාට්‍ය කලාව කියලා එකක් නැත්තටම නැතිවෙයි.
පහුගිය කාලේ කූඹියෝ ටෙලි නාට්‍යය සමාජයේ කතාබහට ලක් වුණා. ඒ නාට්‍යය ඔබ දකින්නේ කොහොමද?
ඒ නාට්‍යය ජනප්‍රියම නාට්‍යයත් වුණා. ඒකේ රඟපාපු තුමිදු දොඩන්තැන්න ජනප්‍රියම නළුවා වුණා. මේක ඉතාම හොඳ ප්‍රවණතාවක්. ඒ කියන්නේ හොඳ, නිර්මාණශීලි දේවල් ජනප්‍රිය කරවන්නත් පුළුවන් කියන එකයි. මං හිතන්නේ කූඹියෝ කියන්නේ මෙතෙක් අපේ රටේ පැවති ටෙලි නාට්‍ය සම්ප්රදාය එකෙල මෙකෙල කරපු, තිර රචකයන්ට, අධ්‍යක්ෂවරුන්ට නිර්මාණාත්මක ලෙස ප්‍රබල අභියෝගයක් එල්ල කරපු පට්ට නාට්‍යයක්. එවැනි නිර්මාණයක් හදලා අවුරුදු පහකට පස්සේ හරි රටට පෙන්නන්න ලැබිච්ච එක ලොකු දෙයක්. මිනිස්සුන්ට හොඳ දෙයක් හරි විදියට දුන්නාම එය වැළඳගන්න තවමත් අපේ සමාජයට හැකියාවක් තියෙන බව කූඹියෝ තුළින් ඔප්පු වුණා. රඟපෑම් කියන්නේ මේකයි කියලත් ඒකේ නළු නිළියෝ ඔප්පු කරලා පෙන්නුවා.
සම්මානය ගන්න අවස්ථාවේදී කුණු වෙච්ච දේශපාලන සිස්ටම් එක ගැන තුමිඳු කතා කරනවා. ඔහු කියපු දේ ගැන ඔබේ අර්ථකථනය මොන වගේද?
තුමිදු කියපු හැම දේකටම මං සියයට සියයක් එකඟයි. මේ සිස්ටම් එක කුණු වෙලා. ඒක කුණු වෙලා කියලා මිනිස්සුන්ට තේරෙනවා. මේ ජරාජීර්ණ සිස්ටම් එක ගැන සමාජයේ තියෙන ප්රතිවිරෝධය තමයි කූඹියෝ ජනප්‍රියම නාට්‍ය කරලා මිනිස්සු මුදා හැරියේ කියලා ඔහු කිව්වා. හරියට හරි. හැබැයි මේ සිස්ටම් එක පවත්වාගෙන යන ජරාජීර්ණ දේශපාලකයන්ව බලයට පත් නොකර ඉන්නත්, සිස්ටම් එකට අහු නොවී ඒක ප්‍රශ්න කරමින්, අභියෝගයට ලක් කරමින්, අංශු මාත්‍රයකින් හරි සාධනීය තත්ත්වයක් උදා කරගන්න දායක වීමේ වගකීමත් කූඹියෝ වෙනුවෙන් ඡන්දය දීපු ප්‍රේක්ෂක සමාජයට තියෙනවා.
දේශපාලනය තුළ කලාකරුවන් කියන සාධකය අද ප්‍රබල වෙලා තියෙනවා. පසුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුව බලයට පත් කරද්දිත් මතවාදීමය පැත්තෙන් කලාකරුවෝ යම් කාර්යභාරයක් ඉටු කළා. සමහරු හැම ආණ්ඩුවකින්ම වාසි ගන්නවා. සමහර කලාකරුවන්ට කර කියාගන්න දෙයක් නැතිව ඉන්නවා. ලංකාවේ කලාවට විශාල යහපතක් සිදු වෙලත් නැහැ. දේශපාලනය හා කලාව අතර පවතින සම්බන්ධය ඔබ දකින්නේ කොහොමද?
දේශපාලනය සහ කලාව අතර අත්‍යන්ත සම්බන්ධයක් කවදත් තියෙනවා. අපේ රටේ කලාකරුවෝ දේශපාලනය කියලා බොහෝ විට කරන්නේ ඡන්දෙකදි එක පක්ෂයක් වෙනුවෙන් නැත්තං එක චරිතයක් වෙනුවෙන් පෙනී ඉන්න එක. මං විශ්වාස කරන්නේ කලාකරුවන්ට ඊට වඩා පුළුල්, දේශපාලන කාර්යභාරයක් පැවරෙනවා. අද හොලිවුඩ් වල ජනප්‍රිය නළු නිළියෝ ඒකරාශි වෙලා, සංවිධාන ගත වෙලා ආණ්ඩුව විසින් සාමාන්‍ය ජනයා පෙළීම සඳහා ගෙන එන අණ පනත්වලට විරුද්ධ වෙනවා. වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය, ස්ත්රීන්ට වෙනස්කොට සැලකීම්වලට විරුද්ධ වෙනවා. ඔවුන් ඔවුන්ගේ ජනප්‍රියකම පාවිච්චි කරන්නේ සමාජයේ දුක් විඳින සාමාන්‍ය මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන්. නැතිනම් ප්රජාතන්ත්රවාදය රැකගැනීම, මානව හිමිකම් රැකගැනීම වැනි පුළුල් අරමුණු වෙනුවෙන්.
අපේ රටේ කිසිම දේශපාලන පක්ෂයක්, නායකයෙක් පොදු ජන සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරලා නෑ. හැමදාම ජනතාව රටවපු එක මිසක්. ඒ නිසා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පැත්තේ ඉඳන් හඬක් නගන්න, ඔවුන්ගේ දුක් වේදනා වෙනුවෙන් පෙනී ඉන්න කලාකරුවන්ට වගකීමක් තියෙනවා. කැලෑ කපනකොට, මහජන මුදල් හොරකං කරනකොට, වර්ගවාදය අවුස්සනකොට, මූලික මානව හිමිකම් කඩ කරන කොට ඒවා වෙනුවෙන් ඉදිරිපත් වෙලා හඬ නගන්න කලාකරුවන්ට වගකීමක් තියෙනවා.
Cover ඡායාරූප – YouTube.com