ශ්‍රී ලංකාව හා මාලදිවයින් රාජ්‍යය අතර ඈත අතීතයේ පටන් නොයෙකුත් සම්බන්ධතා පැවති බවට ඉතිහාසය පිළිබඳ ව සඳහන් වෙන නොයෙකුත් මුලාශ්‍රවල සටහන් වී තිබෙනවා. මහාවංශයේ සඳහන් වන පරිදි විජය ඇතුළු හත්සියයක පිරිමි පිරිසක් සිටි නෞකා සමූහය ලංකාවට ගසාගෙන ආ අතර ඔවුන්ගේ ස්ත්‍රීන් සිටි යාත්‍රාව මාලදිවයිනට ගසාගෙන යනවා. මහිලා දීප ලෙස එවකට එය හැඳුන්වූ අතර එය වර්තමාන මාලදිවයින බව ඇතැම් ඉතිහාසඥයන් විසින් පෙන්වා දෙනවා. පුරාණයේ මෙහි කාන්තාවන් රැජිනියන් ලෙස රට පාලනය කර ඇති බව ද එරට මුලාශ්‍රවල සඳහන් වීම ද විශේෂත්වක්.
මාලදිවයින් ඉතිහාසය දෙස බැලුව ද ඔවුන්ගේ පළමු රාජ කුමාරයා සිංහලයෙක් බව සඳහන් වී තිබෙනවා. දෙරටේ ම ඉතිහාසය තුළ පැහැදිලි ව සඳහන් නොවූවත් මාලදිවයින අතීතයේ ලංකාවේ රජුගේ පාලන ප්‍රදේශයක් ලෙස පැවතුණු බව ඇතැම් ප්‍රදේශවල මාලදිවයින් වැසියන්ගේ ජනශ්‍රැතිවල සඳහන් වෙනවා.
මාලදිවයින් වැසියන්ගේ පෙනුම ද සිංහලයන්ගේ පෙනුමට සමාන කමක් දක්වනවා . ලාංකික සිංහල ගැමියන්ගේ හා මාලදිවයින් ගැමියන්ගේ ඇඳුම මෙන්ම ඔවුන් කතා කරන විලාසය ද යම් කිසි සමානතාවයකින් යුක්ත යි.
මාලදිවයින් දිවෙහි භාෂාව හා සිංහල භාෂාව
මාලදිවයින් රාජ්‍ය භාෂාව වන ‘දිවෙහි’ භාෂාව හා සිංහල භාෂාව අතර සමානතාවයක් දකින්න ලැබීම ඉතා විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකි යි. දිවෙහි භාෂාව මෙන්ම සිංහල භාෂාව ද “ඉන්දු-යුරෝපීය” භාෂාවල උප ගණයක් ලෙස හඳුන්වන “ඉන්දු-ආර්ය” භාෂා ගණයට අයිති වෙනවා. විශේෂයෙන් සිංහල භාෂාව ඇසුරෙන් දිවෙහි භාෂාව සංවර්ධනය වන්නට ඇති බව ඇතැම් විද්වතුන්ගේ මතය යි.
දිවෙහි යන්නෙහි අරුත දිවයිනක වෙසෙන්නන් යන්න යි. එනම් දිවෙහි භාෂාව යනු දිවයිනක වෙසෙන්නන්ගේ භාෂාව යි. මෙම භාෂාව හා සිංහල භාෂාව අතර සම්බන්ධය සොයා අධ්‍යයනය කළ පුද්ගලයන් අතර මෙරට පරිපාලන නිලධාරියෙකු වූ ඉංග්‍රීසි ජාතික සි. පි. බෙල්, විල්හෙල්ම් ගයිගර්, හා එම්. ඩබ්. එස්. ද සිල්වා යන ඉතිහාසඥයන්ට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙනවා.
ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහි වී ඇති අතර, ක්‍රි. පූ. 03 වැනි සියවසෙහි පැවති හෙළ, හෙළු, හෝ එළු වශයෙන් හඳුන්වන සිංහල භාෂාවේ ආදීතම මුහුණුවරකින් තමයි දිවෙහි භාෂාව සංවර්ධනය වී තිබෙන්නේ.
දිවෙහි භාෂාවේ වර්ධනය
තව ද දිවෙහි භාෂාව, සිංහල භාෂාවෙන් දහවැනි සියවසේ දී කැඩී ගිය මිශ්‍ර භාෂාවක් ලෙස විල්හෙල්ම් ගයිගර් නම් ඉතිහාසඥයා ප්‍රකාශ කරනවා. ඇතැම් විද්වතුන්ට අනුව එය දොළොස් වැනි සියවසේ දී සිදුවූවක් ලෙස අර්ථ දැක්වෙනවා.
පසුකාලයේ දී සිංහල භාෂාවට අමතර ව තවත් විවිධ භාෂාවන් සමග මිශ්‍ර වී දිවෙහි භාෂාව වර්ධනය වී තිබෙනවා. එම කාලයේ දී දිවෙහි භාෂාවට වැඩිම බලපෑමක් එල්ල කර තිබෙන්නේ අරාබි භාෂාව යි. ඊට අමතර ව පර්සියන්, ප්‍රංශ, පෘතුගීසි, හින්දි, හා ඉංග්‍රීසි භාෂාවන් ද, දකුණු ඉන්දීය භාෂා ද මේ සඳහා තවත් බලපෑම් එල්ල කර තිබෙනවා. එම භාෂාවල වචන විශාල සංඛ්‍යාවක් වර්තමානය වන විට දිවෙහි භාෂාවේ දකින්න පුළුවන්. 12 වන සියවසෙන් පසු දිවෙහි භාෂාව අනෙක් භාෂාවලින් වෙන්ව තනි භාෂාවක් ලෙස සංවර්ධනය වීම ඇරඹෙනවා.
කථනය සිංහල භාෂාවට සමීප වූවත් දිවෙහි භාෂාවේ අක්ෂර හෝඩිය සිංහල භාෂාවෙන් සම්පූර්ණයෙන් ම වෙනස්. 16 වන සියවසේ දී දිවෙහි භාෂාවට ඇතුළත් වූ අක්ෂර මාලාව බොහෝ විට සමාන වන්නේ අරාබි හා ඊට ආසන්න භාෂාවලට යි. ලියන්නෙත් අරාබි භාෂාව මෙන් දකුණේ සිට වමට යි.
සිංහල භාෂාවේ හා දිවෙහි භාෂාවේ සමානකම්
සිංහල භාෂාවේ හා දිවෙහි භාෂාවේ සමානකම් සහිත වචන විශාල ගණනාවක් දැකිය හැකි යි. එම භාෂාවෙන් දූ යන්න සිංහලෙන් දූපත යි. මාලේ යනු මාලය යි. මගු ලෙස හඳුන්වන්නේ සිංහල බසින් මඟ හෙවත් මාර්ගයට යි. ගේ ලෙස හඳුන්වන්නේ ගෙදරට යි. අං හිනුන් යනු සිංහල බසින් අඟනුන් ලෙස ප්‍රකාශ කළ හැකි යි.
එවැනි සමාන වචන කිහිපයක් පහත ලෙස පෙළ ගස්සවා දැක්විය හැකි යි. එහි වරහන් තුළ දක්වා තිබෙන්නේ දිවෙහි භාෂාවේ වචනයට සමාන සිංහල භාෂාවේ එන වචනය යි.
ඉඟිලි (ඇඟිල්ල), කුඩ (කුඩය), කිරුන් (කිරනවා), හුදු (සුදු), ලිවුන් (ලියනවා), එකෙ (එක), තිනෙ (තුන), හතරෙ (හතර), පහෙ (පහ), හයෙ (හය), හතෙ (හත), නුවයේ (නවය), දිහයෙ (දහය), සාලිස් (හතලිහ), බුධ (බදාදා), බුරාහස්පති (බ්‍රහස්පතින්දා), හුකුරු (සිකුරාදා), හොනිහුරු (සෙනසුරාදා).
අලතු (අලුත්), කුරුම්බා (කුරුම්බා ), පෙන් (පැන්), අකුරු (අකුරු), නිකං (නිකම්), පාලං (පාලම), රා (රා), සින්ගා (සිංහයා), මගු (මග), කුඹු (කුඹ ගස), මගේ (මගේ), හඳු (සඳ), හෝනු (හූනා), දුවුන් (දුවනවා), අස් (අශ්වයා), මූදු (මුහුද), වික්කුන් (විකුණනවා), හෙලුවුන් (හොලවනවා), පාප (පාපය), කුරු (මිටි), මීහා (මිනිසා)
ඊයේ (ඊයේ), ගෙරි (ගවයා), මී ගොනු (මී ගවයා), මස් (මාංශ), උතුරු (උතුර), දෙකුණු (දකුණ), රාජ්ජේ (රාජ්‍යය)
මේ දැක්වූ වචනවලට අමතර ව තවත් මෙවැනි සමානකම් ඇති වචන ඉතා විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්. ඊට අමතර ව හින්දි හා දකුණු ඉන්දියානු භාෂාවල ඇති වචනවලට සමාන වචන ද දැකිය හැකි යි.
කවරයේ පින්තූරය: – Amaya Resorts & Spas
මූලාශ්‍රයයන්:
apeaurumaya.blogspot.com