මේ, දූරියන් විකුණන වෙළෙන්දන් මඟතොටේ දී සුලභවම දක්නට ලැබෙන කාලයක්. ඉන් කියාපාන්නේ දූරියන් වාරය උදා වී ඇති බව යි. සමහර උදවිය දූරියන් ගෙඩියේ සුවඳට පවා අකමැති වුණත් බොහෝ දෙනෙකු දූරියන් අනුභව කිරීමට දක්වන්නේ පුදුම ආසාවක්. රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන පළතුරක් වන දූරියන් මිලෙන් අධික වුණත් ලාංකිකයන් එහි රස බැලීමට දෙවරක් සිතා බලන්නේ නැහැ. එලෙස කවුරුත් ආසාවෙන් අනුභව කරන දූරියන් පිළිබඳව ඔබ දැනගත යුතු නිසා මෙම ලිපිය ලියවෙන්නේ ලංකාවේ දූරියන් වගාව පිළිබඳව යි.
දූරියන් වගාවට අවශ්‍ය දේශගුණික සාධක
උද්භිද විද්‍යාඥයන්ගේ සඳහන් කරන ආකාරයට දූරියන් ශාකයේ ඡන්ම භූමිය ලෙස සලකනු ලබන්නේ මලයාසියාව යි. ඔවුන් කටුව යන්න හැඳින්වීම සඳහා ඩූරි යන නම භාවිතා කිරීම ඊට හොඳම සාක්ෂිය යි. නමුත් ලංකාවට දූරියන් නම් පළතුර ලැබී තිබෙන්නේ බුරුම රටෙන්. සාමාන්‍යයෙන් දූරියන් ශාකය හොඳින් වර්ධනය වීම සඳහා හිතකර දේශගුණික ලක්ෂණ තිබෙන්නේ නිවර්තන කලාපීය රටවල්වල යි. පහත දක්වා ඇත්තේ දූරියන් වගාව සඳහා හිතකර දේශගුණික ලක්ෂණ යි.
1) දූරියන් ශාකය වගා කිරීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 50-600ක් තරම් උසින් පිහිටි බිම් ප්‍රදේශ යි.
2) දූරියන් වගාව සඳහා සෙල්සියස් අංශක 27-30 අතර ප්‍රශස්ත උෂ්ණත්වයක් පැවතිය යුතු යි.
3) වාර්ෂික වර්ෂාපතනය මි.මි. 2000-5000 පමණ පවතින ප්‍රදේශ දූරියන් වගාවට වඩාත් සුදුසු යි. එසේම සාපේක්ෂ ආර්ද්‍රතාවය 75-80% අතර පවතින ප්‍රදේශ දූරියන් වගාවට වඩාත් හිතකර යි.
4) හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය හොඳින් අඩංගු ගැඹුරු වැලි ලෝම පසක් දූරියන් වගාව සඳහා වඩාත් සුදුසු යි.
5) පොළොව මතුපිට සිට අවම වශයෙන් මීටර් 2ක් වත් ගැඹුරින් භූගත ජල මට්ටම පිහිටීම සාර්ථක වගාවක් සඳහා අවශ්‍යතාවයක්
බහුලවම දූරියන් වගා කරන ප්‍රදේශ
දැනට ලංකාවේ හොඳින්ම දූරියන් වැවෙන්නේ පහතරට සහ මැදරට තෙත් කලාප තුළ යි. ඒ අනුව ගම්පහ, ගාල්ල, කොළඹ, කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, මාතර, මාතලේ වැනි දිස්ත්‍රික්කවල දූරියන් ශාකය බහුලවම දක්නට ලැබෙනවා. මීටර් 600කට වඩා වැඩි උසකින් පිහිටි බිම්වලත් දූරියන් වගා කළ හැකියි. නමුත් එවැනි බිම්වල හැදෙන දූරියන් ගෙඩිවල ගුණාත්මකභාවය අඩු විය හැකියි.
ලංකාවේ දක්නට ලැබෙන දූරියන් වර්ග
ලංකාවේ පළතුරු භෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය විසින් වගාවන් සඳහා නිර්දේශ කර ඇති දූරියන් ප්‍රභේද 5ක් පමණ තිබෙනවා. පහත දක්වා ඇත්තේ එම දූරියන් ප්‍රභේදයන් පිළිබඳව තොරතුරු යි.
ගන්නෝරුව ස්වීට්
ගන්නෝරුව ස්වීට් ප්‍රභේදයට අයත් දූරියන් ගෙඩියක මඳයේ වර්ණය කහ පැහැයට හුරු තැඹිලි පැහැයක් ගනු ලබනවා. ඵලයක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 2-4.5ක් පමණ වනවා. මෙම වර්ගයේ දූරියන් පැණි රස ගතියෙන් වැඩියි. එසේම මෙම ප්‍රභේදයේ මාංශලය ඝනකමින් වැඩියි. මෙම ප්‍රභේදයේ දූරියන්වල මදය ඝනකමින් වැඩි නිසා මදුලුවල හැඩය වෙනස් වීමකින් තොරව ඉවත් කර ගත හැකියි.
කසුන්
කසුන් ප්‍රභේදයට අයත් දූරියන් ගෙඩියක මඳයේ වර්ණය කහ පැහැයක් ගනු ලබනවා. ඵලයක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 1.6ක් පමණ වනවා. මෙම වර්ගයේ දූරියන් ගෙඩිවල මදුල වරකා ස්වභාවයක් ගන්නවා. එසේම මෙම වර්ගයේ දූරියන්වලට පාරිභෝගිකයන් වඩාත් රුචිකත්වයක් දක්වනවා.
හොරණ ජම්බෝ
හොරණ ජම්බෝ දූරියන් ප්‍රභේදයට අයත් ගෙඩි කොළ දුඹුරු පැහැයෙන් යුක්ත යි. ගෙඩියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 2.8ක් පමණ වනවා. මෙම ප්‍රභේදයේ දූරියන් ඵල විශාලත්වයෙන් වැඩියි. එසේම මෙම ප්‍රභේදයේ මාංශලය ඝනකමින් වැඩියි. නමුත් මෙම දූරියන් වර්ගයේ තිබෙන ගැටලුව වන්නේ අධික පුහු බීජ ප්‍රමාණයක් අඩංගු වීම යි.
අඹතැන්න
අඹතැන්න ප්‍රභේදයට අයත් දූරියන් ගෙඩියක මදයේ වර්ණය ක්‍රීම් පැහැයක් ගනු ලබනවා. ඵලයක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 1.5ක් පමණ වනවා. මෙම වර්ගයේ දූරියන් ගෙඩිවල මදුල වරකා ස්වභාවයක් ගන්නවා. එසේම මෙම වර්ගයේ දූරියන්වලට වෙළඳපොළ තුළ හොඳ ඉල්ලුමක් තිබෙනවා.
හොරණ ගෝල්ඩ්
හොරණ ගෝල්ඩ් දූරියන් ප්‍රභේදයට අයත් ගෙඩි ලා කොළ පැහැයෙන් යුක්ත යි. ගෙඩියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 2.5ක් පමණ වනවා. මෙම ප්‍රභේදයේ දූරියන් ඵල විශාලත්වයෙන් වැඩියි. එසේම මෙම ප්‍රභේදයේ මාංශලය කහ පැහැයක් ගන්නා අතර එය ඝනකමින් ද වැඩියි.
දූරියන්වලට හානිකරන සතුන් සහ වැළඳෙන රෝග
දූරියන්වලට ප්‍රධාන වශයෙන් හානි කරන කෘමීන් වර්ග 2ක් සිටිනවා. එසේම එක් දිලීර වර්ගයක් ද දූරියන්වලට හානි කරනවා. පහත දක්වා ඇත්තේ එම කෘමීන් සහ දිලීරය වගාවට හානි කරන ආකාරය සහ ඔවුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ හැකි පියවර පිළිබඳව යි.
කඳ විදින පණුවන්
මෙම පණුවන් විශේෂය ශාකයේ කඳ සිදුරු කර එය තුළින් ඉහළට ගමන් කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අත්ත වියළී මැරී යනවා. එය පාලනය කිරීම සඳහා ශාකයේ අතු කපා පුළුස්සා දැමිය යුතු යි.
කොරපොතු කෘමීන්
මෙම කෘමි විශේෂය වියළි කාලවල දී දූරියන් පත්‍රවල යටි පැත්තේ බහුලව දැකිය හැකියි. ඔවුන් ශාක පත්‍රයේ යුෂ උරා බීම නිසා පත්‍ර මත කහ පැහැති ලප ඇති වන ආකාරය නිරීක්ෂණය කර හැකියි. එලෙස කොරපොතු කෘමීන් කරන හානිය නිසා දූරියන් පත්‍ර වියලුණු ස්වභාවයක් ගෙන පසුව හැලී යා හැකියි.
පයිටොප්තෙරා පාම්මෝරා
පයිටොප්තෙරා පාම්මෝරා නැමැති දිලීරය දූරියන් මුල්, කඳ, පත්‍ර හා ඵලවලට හානි කරනවා. පැළය සිටුවීමේ දී මනා ජල වහනයක් සහිත ස්ථානයක් තෝරා ගැනීම ඉතා වැදගත්. කාබනික පොහොර භාවිතය, මනා ජල සම්පාදනය සහ නිසි කලට පොහොර යෙදීම මඟින් පැළ ශක්තිමත්ව තබා ගැනීමට හැකි වනවා සේම රෝගයට ඔරෝත්තු දීමේ හැකියාව ද වර්ධනය වෙනවා. මෙම දිලීරය නිසා රෝගී වුණු අතු නිසි කප්පාදුවකින් ඉවත් කර ශාකයට හොඳින් හිරුඑළිය වැටීමට සලස්වීම මඟින් රෝගය පැතිරියාම පාලනය කරගත හැකියි.
දූරියන්වල තිබෙන සුවිශේෂී ගුණ
දූරියන් කියන්නේ රසයෙන් පමණක් නොව ගුණයෙන් ද යුක්ත පළතුරක්. එම නිසාම ඔබට දූරියන් ආහාරයට ගැනීම මඟින් පහත ප්‍රතිලාභ ලබාගත හැකියි.
1) බර අඩු කුඩා ළමයින්ට බර වැඩි කර ගැනීම සඳහා ලබාදෙන පළතුරක්
2) E කාණ්ඩයේ විටමින් බහුල පළතුරක්
3) මළ බද්ධයෙන් පෙළෙන අයට ගුණදායක පළතුරක් බවට මතයක් තිබෙනවා
4) ආහාර ජීර්ණය පහසු කරනවා
5) බඩවැල්වල සෑදෙන පිළිකා වැලැක්වීමේ හැකියාව තිබෙන බවට මතයක් පවතිනවා
6) ශක්තිජනක ආහාරයක්
7) ලිංගික ශක්තිය වැඩි කරයි
8) අස්ථිවල වර්ධනය සහ නිරෝගිමත් බව ඇති කරයි