බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති පුරා වස්තු අතරින් ඉහළ ජන ආකර්ෂණයක් දිනා ගත් වස්තුවක් තමයි, රොසෙටා පාෂාණය. අදින් වසර 218 කට පෙර 1799 ජූලි මාසයේ දී ඊජිප්තුවේ නයිල් ගං ඩෙල්ටාවේ පිහිටා ඇති රාෂීඩ් (අතීතයේ දී රෙසෙටා) නගරයේ බලකොටුවක් තනමින් සිටි ප්‍රංශ හමුදා භට කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලද එය ලියා ඇත්තේ ඊජිප්තු සහ ඉපැරණි ග්‍රීක භාෂාවෙන්. එය ලිවීම සඳහා අක්ෂර මාලාවන් ත්‍රිත්වයක් යොදාගෙන තිබෙනවා. ඒ ඉපැරණි ඊජිප්තු රූපාක්ෂර, ක්‍රිස්තු පූර්ව 7 වැනි සහ 5 වැනි සියවසේ දී ඊජිප්තු වැසියන් එදිනෙදා කටයුතුවල දී භාවිතා කළ ඩෙමෝටික් අකුරු සහ ඉපැරණි ග්‍රීක අක්ෂර යි.
මෙසේ අහම්බයකින් සොයා ගන්නා ලද රොසෙටා පාෂාණය නොවන්නට පිරමීඩ ගර්භයන් සරසන ඊජිප්තු රූපාක්ෂර අදටත් ලෝකයට රහසක් වන්නට ඉඩ තිබුණා. මේ ඉපැරණි ඊජිප්තු රූපාක්ෂර කියවීමට මග පෑදූ රොසෙටා පාෂාණය ගැන තොරතුරු බිඳක්.
අක්ෂර මාලා ත්‍රිත්වයක් නිසා හෙළි වූ රහස
රොසෙටා පාෂාණය සොයා ගන්නා කාලය වන විට ඉපැරණි ග්‍රීක අක්ෂර කියවීමේ රටාව පුරාවිද්‍යාඥයින් විසින් හෙළිදරව් කරගෙන තිබෙනවා. මේ නිසා ඉපැරණි ග්‍රීක අක්ෂරවල සහය ඇති ව ඊජිප්තු රූපාක්ෂර සහ ඩෙමෝටික් අකුරු යොදාගෙන ලියන ලද රොසෙටා පාෂාණය කියවීම ඔවුන්ට අභියෝගයක් නොවුණේ අක්ෂර මාලා ත්‍රිත්වයෙන් ම සටහන් කර තිබුණේ එක ම ලියැවිල්ලක් වීම හේතුවෙන්. රොසෙටා පාෂාණය කියවාගෙන යාමේ දී එය ක්‍රිස්තු පූර්ව 196 දී පස් වැනි ටොලමි නම් පාරාවෝ රජුගේ කාලයේ ලියන ලද්දක් බව හෙළි වුණා. රොසෙටා පාෂාණය කියවා තේරුම් ගත් පුරාවිද්‍යාඥයින්, පිරමීඩ ගර්භයන් හි සිතුවම් කළ රූපාක්ෂර සහ පැපිරස් පත්‍රවල සටහන් කළ ඩෙමෝටික් අකුරු කියවා වැළලී ගිය ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන තොරතුරු අනාවරණය කර ගත්තේ ලෝක ඉතිහාසයට අලුත් පරිච්ඡේද එක් කරමින්.
අද වන විට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති රොසෙටා පාෂාණය, බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් ඇත්තේ ප්‍රංශ හමුදාවන් බ්‍රිතාන්‍ය සහ ඔටෝමන් අධිරාජ්‍යයන් හමුවේ යටත් වීමෙන් අනතුරු ව යි. මේ නිසා රොසෙටා පාෂාණයේ දකුණු කෙළවරේ ‘බ්‍රිතාන්‍ය හමුදාව විසින් 1801 දී ඊජිප්තුවේ දී ග්‍රහණයට ගන්නා ලදී’ සහ වම් කෙළවරේ ‘තෙවැනි ජෝර්ජ් රජු විසින් ත්‍යාග කරන ලදී’ යනුවෙන් සටහන් දක්නට ලැබෙනවා. ඊජිප්තුව විසින් රොසෙටා පාෂාණය යළි ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
රොසෙටා පාෂාණය ඇත්තට ම මොකද්ද?
අඟල් 44 ක උසකින් යුතු රොසෙටා පාෂාණය අඟල් 30 ක පළලකින් යුතු වන අතර කිලෝ 762 ක බරකින් යුතු බව කියැවෙනවා. එහි පිටුපස රළු ස්වභාවයක් ගන්නා අතර එයින් පෙනී යන්නේ රොසෙටා පාෂාණය වෙනත් බිත්තියකට සවි කර තිබෙන්නට ඇති බව යි. එය නිමවා ඇත්තේ අස්වාන් නගරයෙන් හමු වන කළු ග්‍රැනට්වලට තරමක් සමාන එහෙත් වඩාත් හොඳ වර්ගයේ ග්‍රැනට් විශේෂයක් යොදාගෙන යි. ඒ ගැන අදහස් දක්වන භූ විද්‍යාඥයින්ගේ මතය වන්නේ එම ග්‍රැනට් විශේෂය, ටොලමි රජ සමයේ දී අස්වාන් නුවර දකුණු දෙස පිහිටි ගල් ආකරයකින් ලබා ගන්නට ඇති බව යි.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඊජිප්තු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් රේ සඳහන් කරන ආකාරයට රොසෙටා පාෂාණයෙන් රජු සහ ඊජිප්තු පූජක සභාව එක් ව නිකුත් කරන ලද තීන්දු ප්‍රකාශයක් දැක්වෙනවා. ඊජිප්තු පූජක සභාව විසින් දේවාල සහ පූජකයින්ගේ බදු අය කර නොගැනීමේ කොන්දේසිය මත පස් වැනි ටොලමි රජු ව පාරාවෝ ලෙස පිළි ගැනීමට සහ දෙවියන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එකඟ වන බව එහි සඳහන්. එසේ ම අදාළ ප්‍රකාශය, පාෂාණයක් මත පූජනීය අක්ෂර, ලේඛනාක්ෂර සහ ග්‍රීක් අක්ෂර මගින් සටහන් කළ ඊජිප්තුව පුරා විසිරී ඇති දේවාලයන් හි රජුගේ පිළිරුව ආසන්නයෙන් තැන්පත් කළ යුතු බව ද එහි ම සඳහන් වෙනවා.
මෙහි පූජනීය අක්ෂර ලෙස දක්වා ඇත්තේ ඊජිප්තු රූපාක්ෂර යි. සහස්‍ර ත්‍රිත්වයකට ආසන්න කාලයක් තිස්සේ භාවිතා කරන ලද රූපාක්ෂර, ක්‍රිස්තු පූර්ව 196 වන විට භාවිතා කරන ලද්දේ විශේෂඥ පූජකයින් කාණ්ඩයක් පමණ යි. මේ නිසාවෙන් පොදු ජනයා අතර බහුල වශයෙන් ඩෙමෝටික් අක්ෂර භාවිතා වීම සිදු වුණා. එසේ ම ටොලමි රජ සමයේ දී ග්‍රීක භාෂාව ද ඊජිප්තුවට ගෙන එන ලද අතර කෙටි කලකින් ම එය ඊජිප්තුව පුරා බහුල වශයෙන් භාවිතා වීම ඇරඹුණා. මෙයට මූලික වශයෙන් හේතු වුණේ පළමු වැනි ටොලමි රජු ග්‍රීසියේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ජෙනරාල්වරයෙකුගෙන් පැවතෙන්නෙකු වීම යි.
දැවැන්ත ශිලා ස්තම්භයක කොටසක් ද?
රාෂීඩ් නගරයෙන් සොයා ගත්ත ද රොසෙටා පාෂාණය සත්‍ය වශයෙන් ම ඉපැරණි ඊජිප්තු නගරයක් වන සායිස් නුවර පිහිටි දේවාලයක පිහිටුවන ලද දැවැන්ත ශිලා ස්තම්භයකින් කැඩී ගිය පාෂාණ කොටසක් ලෙස සැලකෙනවා. පුරාවිද්‍යාඥයින්ගේ මතය අනුව එය අඟල් 59 ක පමණ උසකින් යුතු වූවක් වන අතර එහි උඩ කොටස සැරසීම සඳහා රජුගේ සහ දෙවිවරුන්ගේ රූප යොදාගෙන තිබෙනවා. එසේ ම රූපාක්ෂර අඩංගු කොටසින් ද ඉතුරු වී ඇත්තේ තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් පමණ යි. ඩෙමෝටික් සහ ග්‍රීක අක්ෂර ඇතුළත් කොටසක් ද කැඩී ගොස් ඇති නමුත් ඒවායින් වැඩි ප්‍රමාණයක් ඉතුරු වී තිබීම සතුටට කරුණක්.
මුහුද ආසන්නයේ පිහිටා ඇති රාෂීඩ් නගරය, රොසෙටා පාෂාණය නිර්මාණය කරන ලද කාල වකවානුවේ නොපැවති හෙයින් රට තුළ පිහිටි දෙවොලක එය පිහිටා තිබෙන්නට ඇති අතර පසු කාලීන ව කැබලිවලට කැඩීමෙන් පසු ව එය රාෂීඩ් වෙත ගෙන එන්නට ඇති බව සැලකෙනවා.
රොසෙටා පාෂාණය කිය වූ යං සහ චැම්පොලියොන්
ඊජිප්තු රූපාක්ෂර සම්පූර්ණයෙන් භාවිතයෙන් බැහැර ව පැවති 19 වැනි සියවසේ දී රොසෙටා පාෂාණය කියවීමේ ගෞරවය හිමි වන්නේ තෝමස් යං සහ ජෝන් ප්‍රංශුවා චැම්පොලියොන් යන දෙදෙනාට යි.
බහුශාස්ත්‍රාඥයෙකු වූ යං, රොසෙටා පාෂාණය සොයා ගන්නා විට ද යාන්ත්‍ර විද්‍යාව, දෘෂ්ටි විද්‍යාව, ව්‍යවච්ඡේද විද්‍යාව, භෞතික විද්‍යාව, භාෂා, ධ්වනික විද්‍යාව සහ නාවික යාත්‍රා වැනි ක්ෂේත්‍ර ගණනාවක් ගැන සොයා ගැනීම් කිරීම හේතුවෙන් පේටන්ට් බලපත්‍ර ලද ඉහළ කීර්තියක් අත්පත් කරගෙන සිටි විද්වතෙක්. ඊජිප්තු විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙකු වූ තරුණ චැම්පොලියොන්, තම ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගැනීමට උත්සාහ කරමින් සිටියා.
යංගේ අවධානය ඩෙමෝටික් අකුරු කියවීම කෙරෙහි යොමු වුණා. ඒ කාලය වන විට ඩෙමෝටික් අක්ෂර මාලාව අකුරු සහ ශබ්ද දැක්වීම සඳහා යොදා ගත් බව විද්වතුන් දැන සිටි අතර ඔවුන්ගේ මතය වුණේ ඊජිප්තු රූපාක්ෂර මගින් සංකේත දක්වන බව යි.
කෙසේ හෝ රූපාක්ෂර මගින් ලියන ලද ‘ටොලමි’ යන වදන තේරුම් ගැනීමට යං සමත් වූ අතර ඔහුගේ නිගමනය වුණේ රූපාක්ෂර මගින් අකුරු සහ ශබ්ද දක්වන බව යි. ඒ අනුව තමන්ගේ සොයා ගැනීම් දක්වමින් 1819 දී යං, බ්‍රිටැනිකා විශ්වකෝෂයට ලිපියක් සම්පාදනය කර තිබෙනවා. එහි ඔහු රූපාක්ෂර හෝඩිය මෙන් ම ඒවා කියවිය යුතු දිශාව ගැන ද මග පෙන්වීමක් කර තිබුණා.
යංගේ සොයා ගැනීම් කෙරෙහි උනන්දුවක් දැක් වූ චැම්පොලියොන් තව දුරටත් රූපාක්ෂර අධ්‍යයනය කළ අතර ඔහු අනාවරණය කර ගත්තේ යං සම්පූර්ණයෙන් ම නිවැරදි නොවන බව යි. ඒ අනුව රූපාක්ෂර මගින් අකුරු සහ ශබ්ද පමණක් නොව අක්ෂරයේ මාත්‍රාව සහ ඇතැම් විටෙක සම්පූර්ණ වචනයක් පවා නිරූපණය කරන බව ඔහු පෙන්වා දුන්නා. එසේ ම රොසෙටා පාෂාණය ඊජිප්තු බසින් ලියා ග්‍රීක් බසට පරිවර්තනය කරන ලද්දක් නොව ග්‍රීක් අකුරින් ලියා රූපාක්ෂරයන්ට පරිවර්තනය කරන ලද්දක් බව ද ඔහු අනාවරණය කර ගත්තා. ඔහුගේ ඒ සොයා ගැනීම එළැඹුණු දශකය කිහිපය තුළ දී ඊජිප්තු රූපාක්ෂර කියවීම තුළින් වැළලී ගිය ඉතිහාසය ගොඩ ගන්නට අතිශය උපකාරී වූ බව නම් අවිවාදාත්මක යි.
කවරයේ පින්තූරය : (© Apeiron En)