Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනාගත ලෝකයේ ආහාරවල ස්වරූප

නූතන මිනිසා සම්භවය වූ දා පටන් කාලානුරූපී ව, හා තමන් ජීවත් වන පෙදෙසේ දේශගුණය, පාරිසරික පිහිටීමට අනුරූපී ව ඔවුන්ගේ ආහාර රටා වෙනස් වුණා. සර්වභක්ෂකයෙකු වන මිනිසා ඔවුන් බිහි වූ මූලික ම අවධියේ වැඩිමනක් ම දඩයමෙන් යැපුණු අතර, පසුකාලීන ව කෘෂිකාර්මික දිවි පෙවෙතකට හුරුවීමත් සමග ඔවුන්ගේ ආහාරවල වැඩි කොටසක් ධාන්‍ය වැනි දේ සඳහා වෙන් වුණා.

වර්තමාන ලෝකයේ ආහාර රටා වෙනස් වීමට සාධක කිහිපයක් බලපානවා. ඉන් එකක් වන්නේ සීඝ්‍රයෙන් වැඩි වන ජනගහනයත් සමග ඔවුන්ගේ ආහාර ඉල්ලුම සැපීරීම සඳහා උපයෝගී කරගත හැකි කෘෂිකාර්මික බිම් වැනි සම්පත් ක්ෂය වී යාම යි. මේ නිසා විකල්ප ආහාර ප්‍රභව කරා යොමු වීමට මිනිසුන්ට සිදුවෙලා. තවත් අතෙකින් තාක්ෂණයේ දියුණුවත් සමග ආහාර නිෂ්පාදනයේ නව මංපෙත් සොයාගන්නට ද විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. තවත් වසර ගණනාවකින් මේ තත්ත්වය වඩාත් තීව්‍ර විය හැකි අතර වර්තමාන මානව ආහාර රටා උඩු යටිකුරු වී තිබිය හැකියි. අනාගත මානව ආහාර වේලක අඩංගු විය හැකි දෑ පිළිබඳ ව විද්වතුන් අපූරු පෙරැයීම් කර තිබෙනවා.

කෘමීන්

Mark Peterson/Redux

තවත් වසර 20 – 30කට පමණ පසු ව ලොව බොහෝ දෙනාගේ ආහාර සලාකවල යහමින් කෘමීන් අඩංගු වී තිබෙනු ඇතැ යි ආහාර පිළිබඳ පෙරැයීම් කරන විද්‍යාඥයින් පවසනවා. මෙයට හේතුන් ද ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. වර්තමානය වන විටත් සමහර ජන කොට්ඨාස කෘමීන් ආහාරයට ගන්නවා. අප්‍රිකානු රටවල දළඹුවන් හා පණුවන් ආහාරයට ගන්නා අතර, නැගෙනහිර ආසියානු රටවල ද කෘමි සතුන් ආහාරයට ගැනෙනවා.

සමස්තයක් ලෙස ගත් විට කෘමීන්ගේ මාංශමය ආහාර තරමට ම බහුල ලෙස ප්‍රෝටීන අඩංගු වෙනවා. නෙදර්ලන්තයේ මේ පිළිබඳ පර්යේෂණ පවත්වන්නන්ට අනුව සමාන ස්කන්ධ සැලකුවහොත් කෘමීන් ගවයින්ට වඩා අඩු ජලය ප්‍රමාණයක් පරිහෝජනය කරන අතර පරිසරයට මුදාහරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ද අවම යි. මෙය අනාගත ලෝකය මුහුණදෙතැ යි අපේක්ෂිත පාරිසරික අභියෝගයන්ට අනුව වාසිදායක තත්ත්වයක්. මීට අමතරව ඔවුන් පවසන ආකාරයට ආහාරයට ගැනීමට සුදුසු කෘමි විශේෂ 1,400ක් පමණ මේ වන විට හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් අනාගතයේ කෘමීන් යොදා තැණුනු බර්ගර් හා සොසේජස් වෙළඳපොළට පැමිණේවියැ යි අපේක්ෂිත යි. (1)

විද්‍යාගාරයේ නිෂ්පාදිත මාංශ

Alex011973 / Shutterstock

වර්තමානය වන විටත් සත්ත්ව දෛහික සෛල යොදාගෙන විද්‍යාගාරවල මාංශ නිපදවීම සිදුකෙරෙනවා. මේ පිළිබඳ සවිස්තර ලිපියක් අපි ඔබ වෙත ගෙන ආවා. මේ ආකාරයට මාංශ නිෂ්පාදනයේ දී සත්ත්ව ඝාතන සිදුවීම අවම වන අතර සාමාන්‍ය මාංශ නිෂ්පාදනයට වඩා 7-45% අඩු ශක්තියක් වැය වන බව, 78-96% හරිතාගාර වායු මුක්ත වීම අඩුවෙන් සිදුවෙන බව හා 99% අඩුවෙන් භූමිය අවශ්‍ය වන බව සොයාගෙන තිබෙනවා. මේ සියල්ල අනාගත ලෝකයට ඉතා වාසිදායක වන බැවින් ඉක්මණින් ම මේ මාංශ ලොව ප්‍රචලිත වේයැ යි අපේක්ෂිත යි.

වර්තමානය වන විට මෙලෙස විද්‍යාගාර තුළ දී නිෂ්පාදනය වන මාංශ සම්බන්ධයෙන් අභියෝග කිහිපයක් විද්‍යාඥයින් සතු ව තිබෙනවා. ඒවා නිපදවීමට වැඩි වියදමක් දැරීමට සිදුවීම හා සාපේක්ක්ෂව රසයෙන් අඩු වීම ඉන් ප්‍රබල ම කාරණා දෙකක්. කෙසේ නමුත් නුදුරු අනාගතයේ දී ම ඊට පිළියම් සොයාගත හැකි වේයැ යි අපේක්ෂිත යි. (2)

‘ශබ්දය’ වැඩිදියුණු කළ ආහාර

pocketfork.com

අනාගතයේ දී ආහාර ‘රුචිය’ ඔප්නංවනු වස් ශබ්දය වැඩිදියුණු කරන ලද ආහාර වෙළඳපොළට පැමිණෙනු ඇතැ යි අපේක්ෂිත යි. රසයට එකහෙළා සම්බන්ධයක් නැතත්, වර්ණය මෙන්ම එහි රුචිය වැඩිදියුණු කිරීමට ආහාරයට ගැනීමේ දී ප්‍රිය උපදවන ශබ්දයක් නිකුත් කරන ආහාර සමත් වන්නේයැ යි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා. ප්‍රියමනාප ශබ්දයක් සහිත ආහාර මඟින් මොළයට පණිවුඩ යවා එහි රසය වැඩිපුර දැනෙන්නට සලස්වන බවත්, අප්‍රියජනක ශබ්ද සහිත ආහාර එහි රසය අඩු කිරීම සිදු කරන බවත් ඔවුන් පර්යේෂණ කිහිපයකින් තහවුරු කරගෙන තිබෙනවා.

වර්තමානය වන විට ආහාරය තුළින් ම ශබ්දය නිකුත් කරන ආහාර නිපදවා නැතත් ආහාරයක් පිළිගැන්වීමේ දී ඒත් සමග එයට අදාළ වන පරිදි සංගීත ඛණ්ඩ හෝ සාගරයේ, සුළඟේ ශබ්දය වැනි දේ ඇසීමට සලස්වන උපකරණයක් ද පිළිගන්වන ආපනශාලා අද වන විට එංගලන්තය වැනි රටවල දකින්නට පිළිවන්. මේ අනුව සීනි ලුණු වැනි දේ අඩුවෙන් භාවිත කර රසවත් ව ආහාර නිපදවීමට හැකි වෙතැ යි අපේක්ෂිත යි.

පොඩි වීමේ දී කණට මිහිරි ශබ්ද නිකුත් කෙරෙන ඇසුරුම් වර්තමානය වන විට වෙළඳපොළට නිකුත් වී තිබෙනවා. සිලි සිලි හඬ ගෙන දෙන ඇසුරුම් යොදාගෙන ‘කර කර’ ගා හැපෙන ආහාර අලෙවි කළ විට ඒවා වැඩිපුර අලෙවි වන බව අල පෙති අලෙවි කරන සමාගමක් අත්දැක තිබෙනවා. (1)

ඇල්ගී

lucidfood.com

අනාගත ආහාර සලාකවල ඇල්ගී ද යහමින් අන්තර්ගත වනු ඇතැ යි අපේක්ෂිත යි. පර්යේෂණවලට අනුව සමහර ඇල්ගී විශේෂවල ප්‍රෝටීන, විටමින්, කාබොහයිඩ්‍රේට, මේදය වැනි දේ යහමින් ඇති අතර ඒ සමහරක ශරීරයට හිතකර ඔමේගා -3 මේද අම්ල පවා අන්තර්ගතව තිබෙන බව සොයාගෙන තිබෙනවා. වර්තමානය වන විටත් ලොව සමහර ආපනශාලා ඇල්ගී සහිත ආහාර අත්හදා බලමින් සිටින අතර මේවා යොදාගෙන ආහාරයක් නිපදවීමේ දී යොදාගන්නා ඇල්ගී වර්ගය පිළිබඳ ව වඩාත් විමසිලිමත් විය යුත්තේ ඇල්ගී විශේෂ සමහරක මිනිස් පරිභෝජනයට නුසුදුසු සංඝටක අන්තර්ගත වී තිබෙන නිසා යි. (2)

ත්‍රිමාණ ලෙස මුද්‍රණය කරන ලද ආහාර

AFP/Getty Images

තාක්ෂණයේ දියුණුවත් සමග නුදුරු අනාගතයේ දී ම ත්‍රිමාණ ලෙස මුද්‍රණය කරන ලද ආහාර වෙළඳපොළට පැමිණේවියැ යි විද්‍යාඥයින් අනුමාන කරනවා. මෙමඟින් ආහාර පිසීමට ගත කරන කාලය අවම කරගත හැකි වනු අතර, ඉතා දෘඪ ආහාර ගත නොහැකි වැඩිහිටි ජනතාවට සුමුදු ලෙස තමන් කැමති ආහාර ‘මුද්‍රණය’ කර පරිහෝජනයට හැකි වනු ඇති. මීට අමතරව නිපදවීමේ දී වැඩි වියදම්සහගත ආහාර වෙනත් අමුද්‍රව්‍ය යොදාගෙන එහි හැඩය, වර්ණය, හා රසය ඇති වන පරිදි අඩු වියදමකින් නිර්මාණය කළ හැකිවනු ඇති.

නාසා ආයතනය සිය ගගනගාමීන්ට ත්‍රිමාණ ලෙස මුද්‍රණය කරන ලද ආහාර දීම පිළිබඳ ව පර්යේෂණ කරමින් සිටිනවා. ඒ ගුරුත්වය අඩු අවස්ථාවල දී වඩා පහසුවෙන් හසුරවාගත හැකි පරිදි පෝෂ්‍යදායී මෙන්ම ඔවුන් ප්‍රිය කරන එදිනෙදා ආහාර නිපදවාගත හැකි වුවහොත් එය ගගනගාමීන්ට වඩාත් ප්‍රියජනක වන නිසාවෙනුයි. (2)

කවරයේ පින්තූරය- softpedia.com

මූලාශ්‍රයයන්:

  1. Bbc.com
  2. gizmodo.com

Related Articles