ස්පාඤ්ඤ භාශාවෙන් එල් නිනෝ (El Niño) ලෙසින් අදහස් කෙරෙනුයේ පිරිමි දරුවා යන්නයි. එසේම ලා නිනා (La Niña) යන්නෙන් ගැහැණු දරුවා යනුවෙන් අදහස් වෙනවා. නමුත් මේ පවසන්නට යන සංසිද්ධිය කිසිසේත්ම දරුවන් හා සම්බන්ධ දෙයක් නෙවෙයි. එල් නිනෝ සහ ලා නිනා යනුවෙන් මෙහි හැඳින්වෙන්නේ ගෝලීය වශයෙන් බලපෑම් ඇති කල හැකි කාළගුණික තත්ත්වයන් දෙකක් පිළිබඳවයි.
මොකක්ද මේ එල් නිනෝ?
සාමාන්‍යයෙන් එල් නිනෝ තත්ත්වය ඇතිවන්නේ දෙසැම්බර් මාසය ආශ්‍රිතවයි. මේ එල් නිනෝ තත්ත්වය මුළින්ම හඳුනා ගනු ලැබුවේ දකුණු අප්‍රිකානු ගැඹුරු මුහුදේ මසුන් දඩයමේ යෙදුනු ධීවරයින් විසින් බවයි පැවසෙන්නේ. ඒ දෙසැම්බර් අග කාලයේ පැසිෆික් මුහුදු ජලයේ ඇතිවන අසාමාන්‍ය උෂ්ණත්වය ඉහල යාමක් ලෙසින්.
එල් නිනෝ තත්වයකදි සිදු වන දේ තමයි පැසිෆික් සාගරය ආශ්‍රිතව සාගර – වායුගෝල පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධාවීම් ඇතිවීම. සාමාන්‍යයෙන් පැසිෆික් සාගරය ගෝලීය කාළගුණික තත්ත්වයන්ට පැහැදිලි බලපෑමක් ඇති කරන නිසා එල් නිනෝ තත්ත්වයකදී ලෝකයේ රටවල් විශාල ගණනාවක කාලගුණයේ විපර්යාසයන් ඇතිවෙනවා.
එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට හේතුව තමයි සාමාන්‍ය සුලං ප්‍රවාහයන් සහ සාගර දියවැල්වල රටාව වෙනස්වීම
එල් නිනෝ හි බලපෑම්
සාමාන්‍ය අවස්ථාවකදී සිදු වන සාමාන්‍ය කාළගුණික තත්ත්ව වලට පරිබාහිරව එල් නිනෝ තත්ත්වයකදී දකුණු ඇමෙරිකාව හා ඒ ආශ්‍රිත රටවල් වලට විශාල වර්ශාපතනයක් ලැබෙනවා. දකුණුදිග බ්‍රසීලය, පේරු රාජ්‍යය ආදී රටවලට ගංවතුර උවදුරු, නායායාම් ආදී ස්වභාවික ව්‍යසන එල් නිනෝ තත්ත්වයකදී බහුල වෙනවා.
ඒ වගේම ඔස්ට්‍රේලියාව සහ ඒ ආශ්‍රිත රටවල් විශාල නියඟයකට ලක් වෙනවා. ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි වැඩි වශයෙන්ම ඇති වන්නේ එල් නිනෝ තත්ත්ව වලදීයි. එසේම පිලිපීනය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව වැනි රටවලුත් නියඟයට ගොදුරු වෙනවා.
එල් නිනෝ නිසා ඇතිවන එක් අපූරු සිදුවීමක් තමයි චිලී රාජ්‍යයේ කාන්තාර ආශ්‍රිතව මල් හටගැනීම.
ශ්‍රී ලංකාවට බලපෑම
ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ එල් නිනෝ ක්‍රියාකාරී සීමාවෙයි. එනිසා එල් නිනෝ වලදී සැලකිය යුතු බලපෑමක් ශ්‍රී ලංකාවටත් පවතිනවා. මෙහි බලපෑම නිසා ජනවාරි සිට මාර්තු දක්වා සහ ජූනි සිට අගෝස්තු දක්වා වර්ශාපතනයේ සැලකියයුතු අඩුවීමක් සිදු වන අතර, එනිසා වර්ශයේ එම කාල සීමාව තුල නියං සමයක් ඇති වෙන්නට පුළුවන්.
නමුත් ශ්‍රී ලංකාවේ කාළගුණයට වැඩි වශයෙන් බලපෑම් ඇති කරන්නේ ඉන්දියන් සාගරය ආශ්‍රිතව ඇති වන තත්ත්වයන් නිසා එල් නිනෝවේ බලපෑම ඊට අනුරූපව අඩු හෝ වැඩි වන්නට පුළුවන්.
ලා නිනා ; එල් නිනෝ හි සොයුරිය
ලා නිනා තත්ත්වයකදී සිදුවන්නේ මුහුදු ජලය අසාමාන්‍ය ලෙස සීතල ස්වභාවයක් ගැනීම. එනම් මෙය එල් නිනෝ හි විරුද්ධ ආකාරයයි. ඇතැම් ලා නිනා තත්ත්ව එල් නිනෝ තත්ත්ව වලට පසුව ඇතිවුවත්, ඇතැම් ඒවා හුදෙකලාවද ඇතිවෙනවා.
ශීත සෘතුවක ලා නිනා තත්ත්වයක් ඇති වූ විට එම ශීත සෘතුව අනෙක් ශීත සෘතු වලට වඩා ප්‍රබල වෙනවා. ඇමෙරිකානු මහාද්වීපය ආශ්‍රිතව ශීත සමයක ලා නිනා තත්ත්වයක් ඇති වූ විට දකුණු ප්‍රදේශ වල උශ්ණත්වය වෙනත් ශීත සමයන්ට වඩා වැඩි වන අතර උතුර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල උශ්ණත්වය වෙනත් ශීත සමයන් වලට වඩා අඩු අගයක් ගන්නවා.
එසේම එල් නිනෝ තත්ත්වයකදී ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව ඉතා වියලි කාළගුණයක් පැවතුනත් ලා නිනා තත්වයකදී පවතින්නේ සාමාන්‍ය තත්ත්ව වලටත් වඩා තෙත් කාළගුණයක්.
කොතරම් සීග්‍රතාවයකින් ඇතිවෙනවාද?
මෙම එල් නිනෝ සහ ලා නිනා යන තත්ත්ව දෙකම ඇතිවන්නේ අහඹු ආකාරයට. මෙතරම් වසර ගණනාවකට වරක් මෙය පැමිණෙනවා යැයි නියමයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් මෙකී සංසිද්ධීන් වසර 3 – 4 කට පමණ වරක් ඇති වනවා.
කල් තබා හඳුනාගන්නේ කෙසේද?
එල් නිනෝ සහ ලා නිනා තත්ත්ව කල් තබා හඳුනා ගත හැකියි. කාලගුණ විද්‍යාඥයින් මේ සඳහා දීර්ඝකාලින දත්ත ගොනු සහ නවීන චන්ද්‍රිකා තාක්ශණය ඇසුරෙන් පුරෝකථනයන් සිදු කරනු ලබනවා. එමඟින් මෙම තත්ත්වයන් කල් තබා හඳුනා ගත හැකියි.
සම්මත දේශගුණික රටාවන් වල අපගමනයවීම් වන මෙවන් තත්ත්වයන් මඟින් සාමාන්‍ය ජන ජීවිතයට, ලෝක ආර්ථිකයට සහ ජීවීන්ගේ පැවැත්මට බලපෑම් ඇති කරනවා. කාලගුණ විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන පුරෝකථනයන් මඟින් මේ ආකාරයෙන් ඇති කරනු ලබන සියලුම වර්ගයේ හානීන් අවම කරගැනීම බලාපොරොත්තු වෙනවා.
මූලාශ්‍ර – pmel.noaa.gov
Cover photo: beautiful-views.net