අනුප්‍රාප්තික ජනපතිවරයෙක් තෝරා ගන්නා පිළිවෙළ

කොළඹ, ගාලුවමුවදොර පිටියේ, ක්‍රියාත්මක වූ ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමිය කේන්ද්‍ර කරගත් විශාල ජනතා අරගලයක ප්‍රතිපලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 14 දින ධුරයෙන් ඉල්ලා අස් විය.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා අනුප්‍රාප්තිකයෙක් තෝරාගැනීම සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇති වී තිබේ.

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් පැවැති විරෝධතා – www.aljazeera.com

ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හෝ වෙනත් හේතුවක් මත ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ අවස්ථාවක අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබේ. මේ ලිපියෙන් ඒ පිළිබඳ ව විමසා බලමු.

ගෝඨාභය ජනාධිපතිවරයා ලෙස පත් වීම

2019 නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණයෙන් මිලියන 6.9ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ වැදුණු ගෝඨාභය රාජපක්ෂ මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. ඔහු 2019 නොවැම්බර් 18 දින ජනාධිපති ධුරයේ වැඩ භාර ගත්තේ ය.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරණ වේදිකාවේ – www.thediplomatist.com

2015 දී හඳුන්වා දුන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ඒ වන විට ජනාධිපතිවරයාගේ බලතල යම් තරමකට සීමා වී තිබිණි. කෙසේ වෙතත් 2020 අගෝස්තු මස පැවැති මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බහුතර බලයක් හිමි වීම, සහ එම වසරේ ම ඔක්තෝබර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම සමඟ ජනාධිපතිවරයාගේ විධායක බලතල සැලකිය යුතු ලෙස වැඩි විය.

ජනපතිගේ වැරැදි තීරණ

2020 වසරේ මුල් භාගයේ දී මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දීම සහ 2021 වසරේ දී රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය තහනම් කිරීම, රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතයෙන් සිදු කළ ගොවිතැන වෙනුවට කාබනික ගොවිතැනට මාරු වීමට ගොවීනට එක්වරම නියෝග කිරීම ඇතුළු තවත් තීරණ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතා විරෝධයක් ඇති විය.

රසායනික පොහොර සහ අනිකුත් කෘෂි රසායන ආනයනය 2021 මැයි මස සිට බලපැවැත්වෙන පරිදි සම්පූර්ණයෙන් ම තහනම් කිරීමත් සමඟ ගොවි ජනතාවගෙන් ඔහුට එල්ල වූයේ විශාල විරෝධයකි. සිය වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස බල කරමින් දහස් සංඛ්‍යාත ගොවීන් මහමඟට බැස විරෝධතා ආරම්භ කළ අතර ඔවුන් දිගින් දිගට ම චෝදනා කළේ කාබනික පොහොර පමණක් භාවිත කර ප්‍රමාණවත් අස්වැන්නක් ලබා ගත නොහැකි බව යි. මේ ආකාරයෙන් මාස ගණනාවක් තිස්සේ දිගින් දිගට ම පැවති විරෝධතාවල ප්‍රතිපලයක් වශයෙන් 2021 වසරේ නොවැම්බර් මස අදාළ රසායනික පොහොර සහ කෘෂි රසායන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබිණි.

පොහොර ඉල්ලා පැවැති විරෝධතා – www.WSWS.com

 අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම සහ නිසි මූල්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම වැනි හේතු මත 2021 වසරේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය විශාල ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් භාණ්ඩවල මිල සහ සේවා සඳහා අයකරන ගාස්තු ද ඉතා විශාල අගයන්ගෙන් ඉහළ ගියේ ජනතාව දැඩි අපහසුතාවකට පත් කරමිනි.

රට තුළ පැවති විදෙස් මුදල් සංචිත, විශේෂයෙන් ම අමෙරිකා එක්සත් ජනපද ඩොලර් සංචිත පහළ බැසීම හේතුවෙන් ගෑස්, කිරිපිටි,  ඖෂධ, ඉන්ධන සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් ඇති අයුරු – www.dailymirror.lk

ජනපතිට එරෙහිව ඇරඹුණු විරෝධතා

ඉහත කී පොහොර අර්බුදය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වීම සහ තවත් හේතු ගණනාවක් මත ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ දැඩි අප්‍රසාදයක් ඇති විය. ඒ අනුව මේ වසරේ මුල් භාගයේ පටන් ජනාධිපතිවරයාට සහ එවකට පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට විරුද්ධ ව රට පුරා විරෝධතා රැල්ලක් ආරම්භ විය.

ඊට සමගාමීව 2022 මාර්තු 31 දින මිරිහාන ප්‍රදේශයේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස ඉදිරිපිට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවයක් පැවැත්විණ. අනතුරු ව පසුගිය අප්‍රේල් 9 දා ගාලුමුවදොර පිටියේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස් වූ දහස් සංඛ්‍යාත ජනතාව ජනාධිපතිවරයාට විරුද්ධව දැවැන්ත විරෝධතාවක් ඇරඹූ අතර එය ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියේ ආරම්භය විය.

“ගෝඨාගෝගම” විරෝධතා භූමිය – www.newsfirst.lk

ජූලි 9 දැවැන්ත විරෝධතා

අප්‍රේල් 9 වැනි දින පටන් මාස තුනක කාලයක් තිස්සේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ‘ගෝඨාගෝගම’ විරෝධතාව ක්‍රියාත්මක විය. මේ අතර ජූලි 9 වැනිදා මිලියනකට ආසන්න ජනතාවක් ගාලු මුවදොර පිටියට එක්රැස් වී, ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් දැවැන්ත විරෝධතාවයක් සිදු කළහ.

ඒ විරෝධතාව අවසානයේ ජනාධිපතිවරයාගේ නිල නිවස වන කොළඹ කොටුව පිහිටි ජනාධිපති මන්දිරය, ගාලුමුවදොර පිටියේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය, සහ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරය අත්පත් කරගැනීමට ජනතාවට හැකි විය. එදින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්ෂ නායකයන් ඒකමතික ව තීන්දු කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂ වහා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව යි.

ජූලි 9 දින ජනතාව අත්පත් කරගත් ජනාධිපති ලේකම් කාර්‍යාලය – www.lankaexpress.com

ජනාධිපතිවරයා ඉල්ලා අස් වීම

මෙම විරෝධතාවෙන් දින හතරකට පසු, එනම් ජුලි 13 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබිණි. ජුලි 14වැනි දින ඔහු මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත් ව ගොස් තිබු අතර එදින පස්වරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කර තිබිණි.

කතානායකවරයා ඒ පිළිබඳ ව සිය නිල නිවේදනය ඉදිරිපත් කරමින් ජුලි 15 වැනි දින සඳහන් කළේ පුරප්පාඩු වී ඇති ජනාධිපති ධුරය සඳහා සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කරගන්නා තෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බව යි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අගවිනිසුරුවරයා ඉදිරියේ වැඩබලන ජනාධිපති ධුරයේ එදින පස්වරුවේ දිවුරුම් දී තිබුණි.

පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දීම

ජනාධිපති ධුරය හිස් වූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාව මඟින් දක්වා ඇති පරිදි, ධුරය හිස් වූ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය සඳහා පමණක් ධුරය දැරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තෝරා පත් කර ගැනීම පාර්ලිමේන්තුවට පැවරේ. එම තෝරා පත් කර ගැනීම, 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ එන ප්‍රතිපාදන අනුගමනය කරමින් සිදු වේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු – www.ft.lk

ඒ අනුව ප්‍රථමයෙන් ම ජනාධිපති ධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව රැස් විය යුතු අතර ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වේ. මෙම නියමය අනුව ජුලි 16 වැනි දින පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස් වූ අතර, ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

නාම යෝජනා භාරගැනීම

ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන් දිනයේ සිට දින දෙකකට නොඅඩු සහ දින හතකට නොවැඩි දිනයක ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා භාර ගැනීම සඳහා දිනයක් නියම කළ යුතු වේ. ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයා ජුලි 16 දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජුලි 19 දින ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාමයෝජනා භාරගන්නා බව යි. ඒ අනුව ජනාධිපති ධුරය සඳහා වන නාමයෝජනා භාරගැනීම අද (19) දිව සිදු කෙරිණි. එහිදී ජනාධිපති ධුරයට නම් තුනක් යෝජනා කෙරිණි. ඒ ඩලස් අලහප්පෙරුම, රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක යන තිදෙනාගේ නම් ය.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ජනපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දුන් අයුරු  -www.facebook.com – Parliament of Sri Lanka

නාමයෝජනා භාරගන්නා දිනයේ දී පාර්ලිමේන්තුව රැස් විය යුතු අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ යුතු වේ. ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට අපේක්ෂා කරන සෑම මන්ත්‍රීවරයෙක් ම අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබේ. ඔවුන් යෝජනා කිරීමට නියමිත මන්ත්‍රීවරයා/ වරිය ජනාධිපති වශයෙන් තෝරා පත්කර ගතහොත් ඔවුන් එම ධුරයේ කටයුතු කිරීමට කැමති බවට ලිඛිත එකඟතාවක් ලබා ගත යුතු වේ. අපේක්ෂකත්වයට යෝජනා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාමයෝජනා භාර ගන්නා දිනයේ දී පාර්ලිමේන්තුවට පැමිණීම ද අනිවාර්ය වේ.

ජනාධිපති ධුරය සඳහා එක් මන්ත්‍රීවරයෙක්/ වරියක් පමණක් යෝජනා වී, ඔහුගේ හෝ ඇයගේ නම ස්ථිර වූයේ නම් පාර්ලිමේන්තු මහලේකම්වරයා, අදාළ මන්ත්‍රීවරයා/ වරිය ජනාධිපති ධුරය සඳහා තෝරා පත් කර ගත් බව ප්‍රකාශයට පත් කළ යුතු ය. එක් අයකුට වඩා වැඩි මන්ත්‍රීවරුන් ගණනකගේ නම් ජනාධිපති ධුරය සඳහා යෝජනා කර, ස්ථිර කර ඇති අවස්ථාවක ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු කළ යුතු ය. ඒ සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කිරීම පාර්ලිමේන්තුවට පැවරෙන අතර එම දිනය නාමයෝජනා භාරගත් දින සිට දින දෙකකට පසුව එන දිනයක් නොවිය යුතු ය. ඒ අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (20) පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන සභාවට දැනුම් දුන්නේ ය.

පාර්ලිමේන්තු සභා ගර්භය – www.adaderana.lk

ඡන්ද විමසීම

ඡන්ද විමසීම සඳහා නියම කරන දින පාර්ලිමේන්තු මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කළ යුතු ය. ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර ඔහු හිස් ඡන්ද පෙට්ටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙන්වා එයට මුද්‍රා තැබිය යුතු ය. ඡන්ද විමසීම ආරම්භ වීමෙන් පසු මහලේකම්වරයා, කතානායකවරයා ඇතුළු එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් හඬ නගා කියවයි.

මන්ත්‍රීවරුන්, තමන්ගේ නම කියැවෙන අවස්ථාවේ තේරීම්භාර නිලධාරියා වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක සිය ඡන්දය සලකුණු කර එය ඡන්ද පෙට්ටියට දැමිය යුතු වේ. පළමු වර නම් කියවන අවස්ථාවේ ඡන්දය ප්‍රකාශ නොකළ මන්ත්‍රීවරුන්ගේ නම් නැවත වරක් කියවන අතර, ඒ අවස්ථාවේ ද ඡන්දය ප්‍රකාශ නොකරන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි මන්ත්‍රීවරුන් ලෙස සැලැකේ. අපේක්ෂකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් වී ඇති අවස්ථාවක මනාප ලකුණු කිරීමට ද මන්ත්‍රීවරුන්ට හැකියාව ඇත.

ජනාධිපති මන්දිරයේ පිහිටි පිහිනුම් තටාකයේ විනෝද වන ජනතාව – www.hindustanitimes.com

ඡන්ද ගණන් කිරීම

ඡන්ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම සිදු වේ. ඡන්ද ගණන් කරන ස්ථානයට යම් අපේක්ෂකයකුට පැමිණීමට අවශ්‍ය නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා අවස්ථාව හිමි වේ. තමන් වෙනුවට වෙනත් මන්ත්‍රීවරයෙක් එම ස්ථානයට යැවීමට ද අපේක්ෂකයන්ට හැකියාව ඇත. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙක් ලබාගෙන තිබේ නම් එම අපේක්ෂකයා ජනාධිපති ධූරයට තෝරාපත් කරගත් බව තේරීම්භාර නිලධාරියා වන පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශයට පත් කළ යුතු ය.

ඒ ආකාරයෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද ප්‍රමාණයක් කිසිදු අපේක්ෂයෙක් ලබාගෙන නොමැති අවස්ථාවක මනාප ඡන්ද ගණන් කිරීම සිදු වේ. මේ ආකාරයෙන් ගණනය කිරීම සිදු කර වැඩි ම ඡන්ද ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගනී. අපේක්ෂකයන් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් එක සමාන ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇති අවස්ථාවක කුසපත් ඇදීමක් මඟින් ජයග්‍රාහකයා තෝරා ගැනෙයි.

කවරයේ ඡායාරූපය- ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජනාධිපති ධුරය සඳහා අනුප්‍රාප්තිකයෙකු පත් කර ගැනීමේ කාර්‍යභාරය පාර්ලිමේන්තුවට පැවැරී තිබේ - www.adaderana.lk

මූලාශ්‍ර:

www.parliament.lk

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ (විශේෂ විධිවිධාන) පනත

Related Articles

Exit mobile version