Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ හදිසි නීතිය

මීට සති කිහිපයකට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් නගරවල ඇති වූ නොසන්සුන්කාරී තත්වයන් හේතුවෙන් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි විටින් විට ඇඳිරි නීතිය පැනවීමට මෙන්ම දින දහයක කාලයකට රට තුළ හදිසි නීතිය පනවන්නටත් රජයට සිදු වුණා. වත්මන් පරපුරේ බොහෝ දෙනෙකුට මේ “ඇඳිරි නීතිය” පැනවීම වැනි අවස්ථාවන් ගැන මින් පෙර අත්දැකීමක් ලැබී නැති තරම්. ඒ වගේම හදිසි නීතිය සහ ඇඳිරි නීතිය අතර වෙනස්කමක් ඇති බව නොදත් කිහිප දෙනෙකුත් ඒ පිළිබඳව නිවැරදි නොවන මත ඉදිරිපත් කොට තිබුණා. මේ නිසා roar.lk පාඨක ඔබ වෙත මේ ලිපිය ගෙන එන්නට අප සිතූයේ ඒ සංකල්ප සහ ඒ හා බැඳි නීතිමය තත්වය පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දීමේ අරමුණ ඇතිවයි.

රටේ මූලික නීතිය-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ශ්‍රී ලංකාවේ භූමිය තුළ ඇඳිරි නීතිය සහ හදිසි නීතිය පැනවීමේ බලය හිමිව ඇත්තේ විධායක ජනාධිපතිවරයාට යි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන පරිච්ඡේදය වෙන්ව ඇත්තේ “විධායකය” (The Executive) හෙවත් ජනාධිපතිවරයා සතු බලතල සඳහන් කිරීම වෙනුවෙනුයි. ව්‍යවස්ථාවේ 30 වන වගන්තියේ පළමු උප වගන්තියට අනුව ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියාද වෙනවා. රාජ්‍ය ආරක්ෂාව මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳවද තීන්දු තීරණ ජනාධිපතිවරයා විසින් ගනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුකූලව සහ 1947 අංක 25 දරන මහජන මහජන ආරක්ෂක ආඥා පනත (Public Security Ordinance) ප්‍රකාරවයි. (මෙම ආඥා පනතෙහි වගන්ති 1978, 1949, 1953, 1959 සහ 1988 යන වසර වලදී සංශෝධනයට ලක්වී ඇත.)

1947 වසරේ ජූනි මස 16වන දින සම්මත කොට බලාත්මක කෙරුණු මහජන ආරක්ෂක ආඥා පනත මගින් හදිසි නීතිය පිළිබඳ රෙගුලාසි පැනවීම, මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය අනෙකුත් පියවර ගැනීම, මහජනතාව අතර සාමකාමී බව තහවුරු කිරීම සහ සමාජයේ යහ පැවැත්ම සඳහා අවශ්‍ය වන සේවා ලබාදීම යනාදී අරමුණු ඉටු කෙරෙන බව ආඥා පනතේ පූර්විකාවෙහි සඳහන් වනවා. (1948ට පෙර සම්මත කොට බලාත්මක කෙරුණු අන පනත් හැඳින්වෙන්නේ ආඥා පනත් හෙවත් Ordinances නමිනි.)

මහජන ආරක්ෂාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ අටවන පරිච්ඡේදය වෙන්ව ඇත්තේ “මහජන ආරක්ෂාව” (Public Seucrity) වෙනුවෙනි. 155වන වගන්තියේ පළමු උප වගන්තිය ප්‍රකාරව 1947 වසරේ බලාත්මක කෙරුණු මහජන ආරක්ෂක ආඥා පනතද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලාත්මක කෙරුණක් බව පිළිගැනෙන අතර, එහි දෙවන උප වගන්තිය ප්‍රකාරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හෝ තත්කාලයේ බලපවත්නා නීතිය යටතේ හෝ හදිසි අවස්ථා නියෝග සෑදීමේ බලය ජනාධිපතිවරයා සතු වන බව පැවසේ (එනම්, ජනාධිපතිවරයා වෙත එම බලතල මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ලබා දී ඇති බවයි.) එම වගන්තියේම තෙවන උප වගන්තිය පවසන පරිදි, මහජන ආරක්ෂාව උදෙසා පනවනු ලබන එවැනි යම් නීතියක විධිවිධාන ක්‍රියාත්මක කරනු ලබන බවට අදාල නීතිය යටතේ ප්‍රකාශනයක් නිකුත් කරනා තෙක් එම විධිවිධානය බලාත්මක නොවන බවද සඳහන් වනවා.

ඇඳිරි නීතිය පැනවීම

ඇඳිරි නීතිය පැනවීමද හදිසි නීති රෙගුලාසි වලින් එකක් ලෙස සැලකේ. නමුත් හදිසි නීතිය සහ ඇඳිරි නීතිය යනු එකක් නොවේ. ඇඳිරි නීතිය පැනවීම යනු හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයාට පැනවිය හැකි රෙගුලාසි හා/හෝ ඔහු සතු බලතල වලින් එකක් පමණි.

මහජන ආරක්ෂක පනතේ 16වන වගන්තියේ පළමු උප වගන්තිය ප්‍රකාරව මුළු රට තුළම හෝ රට තුළ යම් භූමි ප්‍රදේශයක මහජන සාමය තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන ඕනෑම මොහොතකදී ගැසට් පත්‍රයක් මගින් ඇඳිරි නීතිය පැනවීමේ නියෝගයක් පැනවීමට හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ. එම නියෝගය තුළ සඳහන් කර ඇති කාල පරාසය තුළ, අදාල ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුට එම ප්‍රදේශයේ ඇති මහා මාර්ග, දුම්රිය මාර්ග, පොදු උයන්, ක්‍රීඩාංගන, පොදු මුහුදු වෙරළ, පොදු පාලම්, පොදු පදික වේදිකා, බෝක්කු, ආදී කිසිදු “පොදු” ස්ථානයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි ස්ථානයක රැඳී සිටීමට අවසර නොලැබේ.

groundviews.org

එම නියෝගය කඩ කරන ඕනෑම පුද්ගලයකු සාපරාධී වරදක් කළ අයෙකු ලෙස සැලකෙනු ඇති අතර, එසේ නියෝගයක් කඩ කොට පොලිසිය භාරයට ගැනෙන ඕනෑම පුද්ගලයකු පැය විසි හතරක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කොට ලඝු කාර්යය පටිපාටිය යටතේ වරදකරු බවට පත් කළ හැකි බව එම වගන්තියේ තෙවන උප වගන්තිය සඳහන් කරයි. (මෙවැනි අවස්ථාවකදී යම් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවේ. ආඥා පනතේ 18වන වගන්තිය ප්‍රකාරව සාධාරණ සැකය මත එවැනි පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියකුට අවසර ඇත.) එම වගන්තිය වැඩිදුරටත් සඳහන් කරන්නේ එසේ වරදකරු ලෙස නම් කෙරෙන ඕනෑම පුද්ගලයෙකු හට මසක් නොඉක්මවන බරපතල වැඩ සහිත සිර දඬුවමක් හෝ රුපියල් සියයකට නොවැඩි දඩයක් හෝ එම දඬුවම් ද්විත්වයම පැනවිය හැකි බවයි. මෙම වරද ඇප ලබාගත හැකි වරදක් බව සිව්වන උප වගන්තියෙන් ප්‍රකාශ කෙරේ.

හදිසි නීතිය

හදිසි නීතිය හෙවත් ද මුළු රටටම හෝ එක් ප්‍රදේශයකට පමණක් බලපැවැත්වෙන පරිදි පැනවිය හැකියි. මෙවැනි අවස්ථාවකදීද යම් පුද්ගලයකු හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය වන්නේ නැත. ආඥා පනතේ 18වන වගන්තිය ප්‍රකාරව සාධාරණ සැකය මත එවැනි පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියකුට අවසර ඇත. ආඥා පනතේ දෙවන පරිච්ඡේදයේ එන පස්වන වගන්තිය ප්‍රකාරව මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම, මහජනතාව අතර සාමකාමී බව තහවුරු කිරීම සහ සමාජයේ යහ පැවැත්ම සඳහා අවශ්‍ය වන සේවා ලබාදීම යනාදියෙහි අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව මෙන්ම, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපතිවරයාට හැඟී යන මොහොතකදී හදිසි නීති රෙගුලාසි පැනවීමට ඔහුට හැකියාව ඇති බව සඳහන් වේ.

hirunews.lk

ආඥා පනතේ දෙවන වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලදුව මසක කාලයක් දක්වා හදිසි නීති රෙගුලාසි පැනවිය හැකි අතර, මාසයක කාලය ඉක්ම යත්ම (අවශ්‍යතාවය මත) එම රෙගුලාසිය නැවත බලාත්මක කළ යුතු වේ. (1983 වසරේ පටන් යුද සමය අවසන් වී යුද බිය තුරන් වී ඇති බවට පාර්ලිමේන්තුව පිළිගැණුනු තුරුම ශ්‍රී ලංකාවේ හදිසි නීති රෙගුලාසි බලපැවැත්විණි. 1986 වසරේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි ඉවත් කෙරුණද ඔහුගෙන් අනතුරුව නැවත එම රෙගුලාසි බලගැන්වුණි.) නීතිමය තත්වය එසේ වෙතත්, ජනාධිපතිවරයාට මනා යැයි සිතන්නේ නම් මසකට අඩු කාලයක්ද එම රෙගුලාසි බලාත්මක කළ හැකිය. (මෙවර දින දහයක කාලයක් පමණක් හදිසි නීතිය බලපැවැත්වූයේ එලෙසයි.)

මහජන ආරක්ෂක පනතේ සත්වන වගන්තිය පවසන ආකාරයට රට තුළ හදිසි නීති රෙගුලාසි පැනවූ පසු එම කාලය තුළ රට තුළ පවත්නා අනෙකුත් නීති හා රෙගුලාසි වලට ඉහළින් බලපැවැත්වේ. එමෙන්ම කිසිදු හදිසි නීති රෙගුලාසියක් හෝ හදිසි නීතිය යටතේ පනවනු ලබන වෙනත් කිසිදු නීතියක් හෝ නියෝගයක් රටේ කිසිදු අධිකරණයක් හරහා ප්‍රශ්නගත කිරීමේ හැකියාවද මහජනතාවට නොමැති බව අටවන වගන්තිය ප්‍රකාශ කර සිටී.

srilankamirror.com

හදිසි නීතිය යටතේ ජනාධිපති සතු බලතල

ආඥා පනතේ පස්වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පුද්ගලයින් රඳවා තබා ගැනීමට, ඕනෑම ස්ථානයකට ඇතුළත්ව සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට, ඕනෑම නීතියක් සංශෝධනය කිරීමට, හදිසි නීති රෙගුලාසි මගින් බලපෑම් සිදුවුණු පුද්ගලයින් හට වන්දි මුදලක් ගෙවීමට, එම රෙගුලාසි යටතේ වරදකරුවන් වූ පුද්ගලයින් හට නිසි දඬුවම් පැමිණවීමේ කාර්ය පටිපාටිය සැකසීම යනාදී බලතල හිමි වේ.

දොළොස්වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සන්නද්ධ හමුදාවන් කැඳවීමේ බලයද ඔහු සතු වේ. දහතුන් වන වගන්තිය ප්‍රකාරව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින්නන්ගෙන් ඒවා ලබා ගැනීමේ අවසරය රජයට හිමි වනවා.

හදිසි නීතිය සහ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව තවත් ලිපියකින් සාකච්ඡා කරමු.

කවරයේ ඡායාරූපය- groundviews.org

තොරතුරු උපුටා ගැනීම- 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරින් සහ 1947 අංක 25 දරන 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනත ඇසුරිනි.

Related Articles