ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි ලාස් වේගාස් නගරය ගැන නොඇසූ කෙනෙක් නොමැති තරම්. සුපිරි හෝටල් සංකීර්ණ සහ විශාල කැසිනෝ ශාලා රැසක් පිහිටා ඇති වේගාස් නුවර “Sin City” හෙවත් “ආශාවන්ගේ නගරය” ලෙසත් හඳුන්වනු ලබනවා. අතමිට යහමින් මුදල් ඇත්නම් නිමක් නොමැති තරම් ආස්වාදයන් ලබාගත හැකි වේගාස් නගරය ඇතැම් අවස්ථාවන්හිදී බිහිසුණු අත්දැකීම් වලටද මුහුණ දී තිබෙනවා. මේ එවැනි එක් ශෝචනීය අත්දැකීමක තොරතුරුයි.
ලොව විශාලතම හෝටල් පරිශ්‍රය වූ MGM Grand හෝටලය
1973 වසරේ ලාස් වේගාස් හි විවෘත කෙරුණු “MGM Grand” නම් වූ හෝටලය සහ කැසිනෝ ශාලාව එවකට ලොව විශාලතම හෝටල් පරිශ්‍රය ලෙසින් නම් දරා සිටියා. මහල් විසි හයකින් සමන්විත වූ මෙම හෝටලයේ පළමු මහල සිනමා ශාලාවකින්, වේදිකා දෙකකින් සහ භෝජනාගාර පහකින් සමන්විත වුණා. පාපන්දු පිටි තුනක විශාලත්වයකින් යුක්ත වූ කැසිනෝ ශාලාවක්ද හෝටලය තුළ පිහිටා තිබුණා. MGM Grand හෝටලය එකල හැඳින්වූයේ කාන්තාරයක් මැද සාදන ලද ලාස් වේගාස් නගරයේ මිණි කිරුළ ලෙසිනුයි.
MGM Grand හෝටලය විවෘත කිරීමෙන් වසර හතකට පසුව එළැඹි 1980 වසරේ නොවැම්බර් මස 21වනදා රාත්‍රියේ අනපේක්ෂිත ලෙස හටගත් සුළු විදුලි කාන්දුවක් හේතුවෙන් හෝටලයේ පළමු මහල මුළුමනින්ම දැවී අළු වී ගියා. අනෙක් මහල් දක්වාද ගින්න පැතිර ගියත් පළමු මහල මෙන් අනෙකුත් මහල් සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබුණේ නෑ. මුළු ඇමරිකා එක්සත් ජනපදයම කම්පා කළ එම ගින්නෙන් පුද්ගලයින් හත්සියයකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර, ගින්න නිවීමට පැමිණි ගිනි නිවන භටයින් දාහතර දෙනෙක් ඇතුළු අසූ පස් දෙනෙකුට මරු කැඳවන්නටත් මේ ගිනි ජාලාව සමත් වුණා.
මල සිරුරු තිබූ ස්ථාන අනුව ඇති වූ සැකය
කෙසේ වෙතත්, ගින්න නිවා දැමීමෙන් අනතුරුව හෝටලය වෙත පැමිණි පරීක්ෂකවරුන්ගේ සැකයට බඳුන් වූයේ ගින්න හටගත් ආකාරය හෝ මරණයට පත්වූ පුද්ගලයින් ගණන නොව, මියගිය පුද්ගලයින්ගේ මල සිරුරු හෝටලය පුරා තිබූ ස්ථාන රැසයි. අමුත්තන්ගේ නිදන කාමර තිබූ පස්වන මහලත් දහ අටවන මහලත් අතරතුර මිය ගොස් තිබුණේ එක් පුද්ගලයෙක් පමණයි. දහ අටවන මහලේ සිට විසිතුන්වන මහල දක්වා ඉහළට එක් එක් මහල තුළ මියගොස් සිටි පුද්ගලයින් ගණන කෙමෙන් කෙමෙන් ඉහළ ගොස් තිබූ අතර, විසිතුන් වන මහල තුළින් පමණක් මල සිරුරු දාහතරක් හමු වී තිබුණා. ඉන් ඉහළට ඇති මහල් තුනෙහි වූ මල සිරුරු ගණනේ එකතුව අටක්. මේ පිළිබඳව සැක පළ කළ නාගරික ගිනි නිවන දෙපාර්තමේන්තුව මගින් ජාතික තලයේ පරීක්ෂණ ආයතනයන් වෙත කළ පැමිණිල්ලක් හේතුවෙන් මෙම ගින්න පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කිරීම ඉතා ඉක්මනින් ඇරඹුණා.
ගින්න ඇරඹුණු ආකාරය සොයා ගැනීම නම් විමර්ශකවරුන්ට එතරම් අපහසු කර්තව්‍යයක් වූයේ නැහැ. හෝටල් සංකීර්ණයේ පිහිටා තිබූ විසි හතර පැයේම විවෘත ආපන ශාලාවක් වෙත අලුතින් ගෙන එන ලද ශීතකරණයක් හරහා සිදුවූ විදුලි කාන්දුවක් හරහා ගින්න හටගෙන තිබෙන බව ඉතා ඉක්මනින් සොයා ගැනුණා.
ගොඩනැගිල්ලේ ප්‍රමිතියකින් තොර ඉදි කිරීම්
හෝටල් ගොඩනැගිල්ල සෑදීමේදී අනුගමනය කළ යුතු සාධන මට්ටම් විශාල ප්‍රමාණයක් ගොඩනැගිලි නිපදවන්නන් විසින් අනුගමනය කොට නොමැති බව අනාවරණය වූයේ ඉන් අනතුරුවයි. සාමාන්‍යයෙන් තට්ටු ගොඩනැගිල්ලක් නිපදවා ඊට විදුලි සෝපාන සවි කරන්නේ නම් එම විදුලි සෝපානයන්ගේ දොරවල් දෙක නිසි පරිදි සීල් වන සේ වැසිය යුතු වුවත් මෙම ගොඩනැගිල්ලේ විදුලි සෝපානයන්ගේ කිසිදු දොරක් එලෙස වැසෙන ලෙස සකස් කොට තිබී නෑ. එම දොරවල් දෙක අතර වූ අඟල් තුන් කාලක පමණ විවරයන් හරහා ෆැරන්හයිට් අංශක දස දහසක, එනම් සෙල්සියස් අංශක පන්දහස් පන්සියයක පමණ උෂ්ණත්වයක් ගමන් කොට ඇති අතර, ඉන් මිනිත්තු කීපයක් ඇතුළත විදුලි සෝපානයේ වූ මල නොබැඳෙන වානේ කේබල් උණු වී විදුලි සෝපානය කඩා වැටී, එහි වූ පුද්ගලයින්ටද මරු කැඳවා තිබෙනවා. සෝපානයේ පැවති බර උසුලන කොටස් කඩා වැටී ඇත්තේ බිම් මහලේ වූ මෝටර් රථ මතටයි.
හෝටලයේ වූ එක් විදුලි සෝපානයක් කඩා නොවැටුණත්, ඒ තුළ වූ මගීන් හතර දෙනෙකු විසි වන මහලේදී විදුලි සෝපානයේ සිරවීමෙන් අනතුරුව, ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් හුස්ම හිරවී මියගොස් තිබුණා. ගින්නක් හටගත් විටෙක එහි දුම් විදුලි සෝපානයේ තිබෙන දුම් අනාවරණ යන්ත්‍ර මගින් එය නිරීක්ෂණය කොට ක්ෂණිකවම සෝපානය විවෘත විය යුතු වුවත්, මෙම ගොඩනැගිල්ල තුළ එවැනි උපකරණ කිසිවක් රඳවා තිබී නැහැ.
ගින්න පිළිබඳව කිසිවක් නොදැන තම කාමර තුළට වී සුව නින්දේ පසු වූ ඇතැම් අමුත්තන් නින්දෙන්ම මියගොස් තිබුණේ එම කාමර තුළ සවිකර තිබූ විදුලි පංකාවන්ගේ දඟර නොකඩවා භ්‍රමණය වෙමින් හෝටලයේ කොරිඩෝ දිගේ ව්‍යාප්ත වූ දුම එම කාමර තුළට ඇදගෙන තිබූ නිසාවෙනුයි. මිනිසුන්ගේ කෑ ගැසීම් සහ ගිනි නිවන හමුදාවේ නළා හඬට අවදි වූ ඇතැමුන් එළියට දිව යාම සඳහා කොරිඩෝව වෙත පැමිණියද, විෂ දුමාරයෙන් පිරී තිබූ කොරිඩෝ තුළ ආඝ්‍රාණය කරගත නොහැකිව ඔවුන් මියගොස් තිබුණා.
හදිසියකදී පිටවීම සඳහා තනා ඇති පිටවීමේ මාර්ග හයක් හෝටල් ගොඩනැගිල්ල තුළ තිබුණද, ඉන් හතරක්ම පිටවීමට හැකි තත්වයක තිබී නෑ. ඉතිරි මාර්ග දෙක තුළටද විෂ වායු ඉතා පහසුවෙන් ඇතුළත් වී තිබුණා. හෝටලයේ බොහෝ දොරවල් ස්වයංක්‍රීයව අගුළු වැටුණු අතර, බිම් මහල හරහා ගොඩනැගිල්ලෙන් පිටතට පැන ගැනීමට නොහැකි වූවන්ට වහලයට නැග දිවි බේරා ගැනීම සඳහා විසි හයවන මහල තෙක් පඩි පෙළ නගින්නට සිදු වී තිබුණා.
මෙසේ බොහෝ පිරිසකට මරු කැඳවූ ගින්නෙන් ඇ.ඩො. මිලියන පනහකට අධික පාඩුවක් ලද හෝටල් හිමිකරුවෝ නැවතත් හෝටලය මාස හතක් ඇතුළත දී විවෘත කරනු ලැබුවා. ගොඩනැගිල්ලේ බේරාගත හැකිවූ කොටස් වෙනස් නොකොට එලෙසම තබන්නටත් ඔවුන් කටයුතු කොට තිබුණා.
කෙසේ වෙතත්, මුලින්ම හටගත් ගින්නෙන් සැබවින්ම මියගොස් තිබුණේ පුද්ගලයින් දහ අට දෙනෙක් පමණක් වුවත්, අනෙක් හැටහත් දෙනාම මියගොස් තිබුණේ ගොඩනැගිල්ල නිපදවූවන්ගේ නොසැලකිල්ල, නොමනා සැලසුම්කරණය සහ තමාගේ ගොඩනැගිල්ල කිසි දිනෙක විනාශයට පත් කළ නොහැකැයි වූ මාන්නය යනාදිය නිසාවෙනුයි. පරම්පරා ගණනාවක් තිස්සේ ලාස් වේගාස් හි සූදු කෙලින්නන්ගේ සිත් වලත් ඇති මේ “අපරාජිත මානසිකත්වය” විසින්ම ඔවුන්ව පරාජිතයින් බවට පත් කරන්නේද එලෙසින්මයි.
කවරයේ ඡායාරූපය – kdwn.com
තොරතුරු උපුටා ගැනීම – www.damninteresting.com වෙබ් අඩවියේ “Fire and Dice” ලිපිය ඇසුරිනි.